5.8. අභය ස්ථවිරයන්ගේ කථාව.

1. ලඞ්කාවෙහි බස්නාහිර පලාතෙහි මල්වැස්ස නම් සිත්කළු විහාරයක් විය. ඒ විහාර ආසන්නයෙහි දේව ග්‍රාමයෙහි දේව නම් ඇමැතියෙක් ඔහුගේ ප්‍ර‍ධානත්‍වය පතුරුවයි. එක් දිනක් ඇමතිතුමා ගමෙහි ඇවිද ගෙදරට පැමිණ වතාවත් කරන්නන් අමතා වැළඳිය යුතු යයි කීයේය. එකල්හි ඔහුට වතාවත් කරන්නෝ කෑම එළවූහ. එකෙණෙහි බඩසයින් පෙළුණු එක් බල්ලෙක් බඩගින්නෙන් පෙළුණේ වෙවුලමින් විත් බත් දැක මෙයින් කිසිවක් ලදිම් නම් මැනවයි ඔහු සමීපයට පැමිණියේය. ඔහුගේ එක් සුළු සේවකයෙක් බල්ලා එළවමියි දණ්ඩක් ඇරගෙන දිවීය. ඇමැතියා සුනඛයා කෙරෙහි කරන ලද කරුණාවෙන් පින්වත, ඌට පහර නොදෙන්න යයි වළක්වා නොයෙක් රසයෙන් යුත් ලොකු බත් පිඩක් ගුලි කොට දුන්නේය. බල්ලා බත් අනුභව කරන්නට පටන් ගති. මේ දුටු ඇමැතියා තමා විසින් දෙන ලද දානයෙහි ම සිත පැහැදවීය. හේ මේ පින්කමින් පමණක් කළුරිය කොට එම ගමෙහිම එක් කුල ගෙදරක උපන්නේය. හේ පිළිවෙලින් වැඩිවියට පැමිණ අඹුවන් පෝෂණයෙන් ගෙදර වාසය නොකොට මහළු කාලයෙහි මල්වැස්ස විහාරයට ගොස් භික්‍ෂූන් වහන්සේ සමීපයෙහි පැවිදිව පර්යාප්ති සද්ධර්මය ඉගෙන මහා අභය ස්ථවිර යයි ප්‍ර‍කට විය. ඒ එසේ මැයි. සිත පැහැදුණු කල්හි තිරිසන් ගතයෙකුට පවා දුන් දානය මහත් විපාකයක් වේ.

2. මේ ලෝකයේ යම් මිනිසෙක් ශ්‍ර‍ද්ධාව මුල් කොටගෙන තිරිසන්ගත කුහුඹියෙකුට පවා දන්දේද,

ඒ දානයේ විපාකය දිව්‍ය මානුෂික සැප දී කෙළවර නිර්වාණ සම්පත්තිය දෙන්නේය.

3. ඉක්බිතිව ඊට පසු කලක ලඞ්කාවෙහි බැමිණිතියාසාය නම් සොරබියක් විය. අවුරුදු දොළසක් මනාකොට නොවැස්සේය. දුබික් බියක් හෝ රෝ බියක් ඇති විය. ඒ නිසා විහාර සමීපයෙහි මිනිසුන්ට ජීවත් වීමට නොහැක්කේ අන් තැනකට ගොස් ජීවිකාව කරමුයි තෙරුන් වහන්සේ සමීපයට පැමිණ මෙසේ කීහ.

ස්වාමීනි, දුබික් බියක් ඇතිවිය. මෙහි වසමින් ජීවත්වීමට නොහැකිය. නුඹවහන්සේත් වඩිත්වා යි ආරාධනා කළහ. තෙරුන් වහන්සේ ඔවුනට මෙසේ කීහ. බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කොට කරන ලද චෛත්‍යය හා බෝධියට ජීවමාන බුදුන්ට මෙන් පුදා සත්කාර කරමින් නිරත වසමි. ඒ වස්තු අත්හැර යන්නට නොහැක. මෙහිම වසමින් දිවිතෙක් උන්වහන්සේට පිළි දැගුම් කරමි. මා කැඳවා ගෙන යෑමට උත්සාහ නොකරනු මැනවි. මේ අසා මිනිස්සු ඒ ඒ තැන්වලට පලා ගියාහුය. තෙරුන් වහන්සේ ආහාර නොගෙනම පළමු වැනි දවසෙහි වත් පිළිවෙතින්ම දවස ගෙවීය. දෙවැනි දවසෙහි ද එසේම ගෙවී ගියේය. තුන්වැනි දින සෑමළු හැමදීම් ආදියෙන් කළ යුතු දේ කොට විතර්කමාලයෙහි සිටියේය. ඉක්බිති උන්වහන්සේගේ ගුණ තේජසින් මළුව කෙළවරෙහි සිටි කරගසෙහි අධිගෘහිත දිව්‍ය පුත්‍ර‍ තෙම සිරුර මැලවුණු තෙරුන් දැක තමන්ගේ බිරිය කැඳවා මේ අභය හිමි සෑයත් බෝධියත් අතහැර අන් තැනක නොයමියි කරන ලද පිළිණ ඇත්තේය. මෙවැනි දුක් බික් බියක් ඇතිවූ කල කිසි තැනක නොගොස් බතින් තොරව වත් පිළිවෙත් කරයි. උන්වහන්සේට භික්‍ෂාවෙහි හැසිරෙන්ට තැනක් නොමැත. යම් විදියකින් උන්වහන්සේ කාලක්‍රියා කළොත් එය නුසුදුසු ය. අද මුන්වහන්සේට දානය දෙමු දැයි ඇසීය. ඉක්බිති සැමියාණෙනි, ඔබ තෙරුන් වහන්සේට අහර දෙමියි කීයෙහි. උන්වහන්සේ පෙර කරන ලද පින්කම් මට කියනු මැනවයි අසන්නියට මෙසේ කීයේය.

4. දේවයෙනි, මොහු සසර නමැති මහා දුර්ගයෙහි හැසිරෙද්දී භව භෝග සම්පත් ලැබීමට කිනම් පින්කමක් කෙළෙහිද? කුමන කරුණක් නිසා උන්වහන්සේට දනක් දීමට ඔබගේ සිත මෙහෙයවී දැයි මම ප්‍ර‍ශ්න කරමි. එය ප්‍ර‍කාශ කරනු මැනවි. දේව පුත්‍ර‍යා ඇයට මේ පින මෙසේ ප්‍ර‍කාශ කෙළේය.

5. මේ භික්‍ෂුව ගිය ජීවිතයේ දී ‘දේව’ නමින් ප්‍ර‍කට විය. හේ ආහාර ගැනීමට සූදානම් වූ විට බඩසයින් යුත් ක්ලාන්තවූ බල්ලකු දුටුවේය.

6. කනු කැමැත්ත ඇති ඒ සුනඛයාට ඒ බතින් මහ ලොකු පිඩක් ගසා දුන්නේය. සොඳුර, ඒ මේ දානයේ විපාකයෙන් මේ ජීවිතයෙහි විපාක එන්නේය. දන සුළු යයි නොසිතිය යුතුය. කුඩාම බීජයකින් මහ නුගයක් හට ගන්නාක් මෙනි.

7. මෙසේ කියා දෙව්පුත් තෙමේ තමන්ගේ ආත්මභාවය අත හැර මිනිස් වෙසින් තෙරුන් වහන්සේ කරා පැමිණ පාත්‍ර‍ය ගෙන දිව්‍යාහාර දී මෙසේ කීය. ස්වාමීනි, ජීවිතාන්තය තෙක් නුඹවහන්සේට ආහාර දෙමි. ඔබ වහන්සේ පමා නොවී මහණකම කරනු මැනවි. මගේ විමන කරඳ රුකයි. ඔබ වහන්සේ එතැනට වැඩිය මැනවයි ආරාධනා කොට විමනට ගියේය. එතැන් පටන් තෙරුන් වහන්සේ ගසමුලට එළඹෙති. දිව්‍ය පුත්‍ර‍ තෙමේ නිතර දිව අහරම දෙමින් වසයි.

ඉක්බිති එක් දිනක් බඩසයින් පෙළුණු මිනිස්සු මිනීමස් කමින් ඒ විහාරයට පැමිණ දිව්‍යමය ආහාරයෙන් වැඩුණු සිරුර ඇති තෙරුන් දැක මොහු මරා කමුයි සාකච්ඡා කොට තෙරුන් සෑ මළුව හැමද නික්මුණු කල්හි මහා හඬ නගමින් දඬු මුගුරු ආදිය ගෙන වැටලූහ. තෙරුන් විසින් පෙර අමාත්‍ය කාලයෙහි බල්ලාට ගසනු පිණිස මුගුරු ඔසවා එළඹී මිනිසා වැළකීය. ඔහුගේ මේ පින්කමින් වෙහෙර මැද මහත් පව්වක් පැනනැගී විවරයක් තැබීය. සොරු පැමිණ ඔබ මොබ බලා එහෙත් නොදැක රහත් භික්‍ෂූන් වහන්සේ නමක් වන්නේ යයි සිතා පලා ගියහ.

8. දඬුවමකට නුසුදුස්සෙකුට යමෙක් දඬුවම් කෙරේද හේ භවයක් භවයක් පාසා දඬුවම් ලබන්නෙක් වේ. යමෙක් කෝපය නසා දඬුවම් නො කෙරේද දෙවි මිනිස්සු ඔහු රක්‍ෂා කෙරෙති.

9. ස්ථවිරයන් වහන්සේ දෙවියන් විසින් දෙන ලද සුධා භෝජන වළඳන්නෝ දොළොස් අවුරුද්දක් පුහුදුනෙක්ව විසූහ. පසුව විදර්ශනාව වඩා රහත් බවට පැමිණ එසේම අවුරුදු දොළසක් ගෙවීය. මෙසේ දිව්‍ය පුත්‍ර‍ තෙම අවුරුදු විසිහතරක් දිව්‍ය ආහාරයෙන් තෙරුන්ට පිළි දැගුම් කෙළේය. තෙරුන් වහන්සේ එම විහාරයෙහිම පිරිනිවියෝය.

10. බඩසයින් පෙළුණු එක් බල්ලෙකුට ආහාර පිඩක් දී දිව්‍යාහාර ලැබුවේය. එසේම ඒ යතීන්‍ද්‍රියා නිවීමට පත්වූයේය. නුඹලාද නිතර කාට හෝ යමක් දිය යුතුය. එය සංසාරයෙහි දී පිළිසරණ වේ. කෙළවර නිර්වාණයද ලබයි.

8. අභයහිමිගේ කථා වස්තුව නිමි.