5.9. නාගාවගේ කථාව.

1. බුදුරජාණන් වහන්සේ ජීවත්ව වාසය කරන සමයෙහි ලඞ්කාවෙහි නාගදීපයෙහි දී චූලෝදර-මහෝදර යන මාමා බෑණලා අතර මැණික් පුටුවක් උදෙසා මහා යුද්ධයක් එළඹ සිටියේය. එකල්හි බුදුරජාණන් වහන්සේ බෝධියෙන් 5 වැනි අවුරුද්දෙහි දෙව්රම් වෙහෙරෙහි වැඩවාසය කරමින් අළුයම ලොව බලන්නේ ඔවුන් දැක අද මම එහි ගොස් කලහය සංසිඳවීම සුදුසු යයි සිතා බලන්නේ සමිද්ධි සුමන නම් දෙව් රජුන් දුටහ. මේ දෙව් රජ කවරෙක් ද? හේ මීට පෙර ජීවිතයෙහි නාගදීපයෙහි එක්තරා මිනිසෙක් වී. එකල්හි ගන්‍ධමාදන පර්වතයෙහි වසන එක් පසේබුදු කෙනෙක් පිඬු පිණිස හැසිර ඒ කිරිපලු නුග ගස ත බුණු තැන හිඳ බත්කිස කෙරෙති. හේ ඒ දැක එකෙණෙහිම සිත පහදවා පාත්‍ර‍ය සේදීමට කොළ කඩා දුන්නේය. හේ ඒ පින්කමෙන් එයින් චුතව දෙව්ලොව ඉපද අපගේ බුදුන් වහන්සේලාගේ කාලයෙහි දෙව්රම දොරටු කොටුවෙහි පසක කිරිපලු රුකක දේවතාවා වී උපන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්රජුට කථාකොට මා සමග නාගදීපයට එන්නැයි කීහ. ඉක්බිති ඔහු විසින් තමන්ගේ භවනය වූ කිරිපලු ගස උදුරා භාග්‍යවතුන් වහන්සේගේ හිසට කුඩයක් මෙන් දරමින් යන මොහු සමග භාග්‍යවතුන් වහන්සේ නාගදීපයට වැඩිසේක.

එහෙයින් මහා වංශයෙහි කියන ලදි.

2. බක් මස කළුවර පක්‍ෂයෙහි පොහෝ දිනයෙහි උදයෙහි උතුම් පා සිවුරු ආදිය ගෙන, බුදුරජාණන් වහන්සේ කිරිපළු ගස රැගත් සුමන දෙවියා සමගම අහසින් පැමිණ නයින්ට අනුකම්පාව සඳහා නාගදීපයට වැඩි සේක.

3. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මේ නාරජුන දෙදෙනාගේ සංග්‍රාමය මැද අහසෙහි හිඳ වැස්ස, සුළඟ, අඳුර ආදියෙන් බිය හා තැති ගැන්ම උපදවා එයින් ඉතා ඝන අඳුරු පටල පැන නැඟි සූර්යා සේ සවණක් රැසින් බබළමින් ආකාශයෙහි තමන් දක්වා ඔවුන් අස්වසා සියළුම බිය සංසිඳවීය. ඉක්බිති නාගයෝ සවණක් රසින් බබළන භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතින් ගත් ගත් ආයුධයන් හැර බුදුරජාණන් වහන්සේ දෙපා හිසින් වැන්දාහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ ඔවුන්ට ධර්මය දේශනා කළ සේක. මහා වංශයෙහිම කියන ලදි.

4. බුදුරජාණන් වහන්සේ ඔවුනට සමගි කරන ධර්මය දේශනා කළ සේක. ඒ දෙදෙනාම සතුටුව පුටුව බුදුපියාණන් වහන්සේට දුන්නාහුය.

5. භූමියට වැඩම කළ බුදුරජාණෝ රතනාසනයෙහි වැඩ හුන් සේක. දිව්‍යමය ආහාර පානයෙන් නාගරාජයන් විසින් තර්පණය කරන ලදි.

6. ජලයෙහි හා ගොඩ වාසය කරන නාගයෝ අසූ කෙළකි. බුදුරජාණන් වහන්සේ ඔවුන් සරණ ශීලයෙහි පිහිටවූ සේක.

7. බුදුරජාණන් වහන්සේ ඒ කිරිපළු ගස ද මහාර්ග වූ ආසනයද නා රජුන්ට පූජා කරන්නට දුන් සේක.

8. නාරජුනි, මගේ පාරිභෝගික චෛත්‍යයන්ට නමස්කාර කරව්. එය නාග රජුනි, ඔබට හිත සැප පිණිස වේ.

9. මේ ආදී ක්‍ර‍මයෙන් ධර්ම දේශනා කොට ඔවුන් සමගි කරවා සමිද්ධි සුමන දෙවියන් කිරිපළු ගසක් සමග එහිම නවතා දෙව්රම් වෙහෙරටම ගිය සේක. ඉක්බිති නාගයෝ එහි සෑයක් හදා නිතර වඳිමින් පුදමින් වාසය කළාහු ය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි එහි මිනිස්සු සෑයක් කළාහුය. අද ද එය රාජායතන චෛත්‍ය නාමයෙන් ප්‍ර‍කට ය. මේ රාජායතන චෛත්‍යයාගේ උත්පත්තියයි.

10. එක් කලෙක ලඞ්කාද්වීපයෙහි සැට නමක් පමණ භික්‍ෂූහු සමන්කුළු කැළණි ආදි මහා විහාරයන් වඳිමින් පුදමින් සැරිසරති. ඉක්බිති ඔවුහු නාගද්වීපයෙහි රාජායතන චෛත්‍යය වඳිනු කැමැතිව පිළිවෙලින් එහි ගොස් රාජායතන චෛත්‍යය වැඳ පුදා රැය පහන් වූ කල්හි උන්වහන්සේලා මනාව හැඳ පැළඳගෙන ගමට පිඬු පිණිස පිවිස මුළු ගමෙහම ඇවිද කිසිවක් නොලැබ සේදූ පාත්‍රයෙන්ම නික්මුණාය. එකල්හි එගමෙහි කහවණු සැටකට දාසියක වී එක ගෙදරක වාසය කරන්නා වූ නාගා නම් දැස්සක් කළයද රැගෙන දිය සඳහා යන්නී ගම්දොර ඒ භික්‍ෂූන් දැක ඔවුන්ගේ සමීපයට ගොස් වැඳ ආර්යවරුනි, භික්‍ෂාභාර ලැබුවාහුදැයි විචාළහ. උපාසිකාව තවම පෙර බත් කාලය යි කීවාහු ය. ඕ තොමෝ උන්වහන්සේලාට කිසිවක් නොලැබුණු බව දැනගෙන දොම්නස්ව කිනම් උපායකින් අද ආර්යන්ට දන් දෙම්දැයි සිතන්නී පෙර කහවණු හැට ණයට ගෙන පරකුලයක සේවය කරමි. දැන් මම රාත්‍රිකාල දාසියක්ව දන් දෙමියි සනිටුහන් කොට ගෙන භික්‍ෂූන් කරා පැමිණ උන්වහන්සේලාගේ ඉදිරිපස කළය තබා ස්වාමීනි, මේ කළය රන් පාදයක් වටී. මා එනතුරු මෙතැනින් ඉවත් නොවනු මැනවැයි කියා සක්මන් කොට ඒ ගෙදරටම ගොස් තවත් කහවණු සැටක් මට දෙන්නැයි කීවාය. හේ එය අසා පින්වතිය, තී පරකුලයෙහි දැස්සක්ව පරණ ණයෙන් නොමිදුණෙහි, එසේ වුවත් නැවතද වැඩියෙන් ධනය ගනී. මේ කිමෙක්ද? ධන ගැන නොසිතනු මැනව ස්වාමීනියි ඈ කීවාය. ඔබගේ ගෙදර රාත්‍රි සේවිකාවක්ව කර්මාන්ත කරමින් ණය ගෙවමි. කහවණු සැටක් මට දෙන්න. හේ යහපතැයි හසුනක් ලියා කහවණු දුන්නේය. ඉක්බිති ඇය එය රැගෙන මුළු මහත් ගමෙහි ම ඇවිද එක එක ගෙදරට එක එක කහවණුව බැගින් කහවණු හැටම දී බත් පිළියෙල කොට පාත්‍ර‍වලට බෙදා පිළිගන්නවා තමා විසින් කරන ලද වෑයම භික්‍ෂූන්ට මෙසේ කීවාය.

11. ආර්යයන්ගේ ශ්‍රී පාදය වඳිමින් මෙය දන්වමි. එය හොඳින් ශ්‍ර‍වණය කරනු මැනවි. දුගී බවෙන් මා හා සම කෙනෙක් මේ මිහිපිට නොමැත.

12. මම පළමු ණයට ගත් කහවණු ඇති නිසා ඉණ දාසියක් වීමි. පිස අනුභවයට සාල් නැළියක් වත් නොමැතිව භෝගයන් ගෙන් තොරව නෑයන් නැත්තියක්ව වසමි.

13. අද දන් දුන්නී රාත්‍රි දාසී බවට පත්වීමෙනි. ආර්යවරු මවිසින් දෙන ලද දුප්පත් දානය වළඳත්වා!

14. මේ ආදි ක්‍ර‍මයෙන් තමා විසින් කරන ලද සියල්ල කියා වැඳ කළයද රැගෙන ගියාය. භික්‍ෂූහු ඇගේ කථාව අසා අහෝ! පුදුමයි යන විස්මිත සිතින් බත් ගෙන මහානාම නම් විල සමීපයේ මුචලින්‍ද වනයට ඇතුල්ව සිටියාහු ය. ඉක්බිති ඔවුනතුරින් ප්‍ර‍ධාන භික්‍ෂූන් වහන්සේ ඇවැත්නි, යයි භික්‍ෂූන් අමතා ආයුෂ්මත්හු මැයගේ ශ්‍ර‍ද්ධාබීජයට කෙත ශුද්ධ කරත්වා! රාගීව හිඳ මේ දානය නොවළඳත්වායි කියා මෙසේ කීහ.

15. එම්බා ඇවැත්නි, මෝ ස්ත්‍රීතොමෝ අපගේ මවක්, සොහොයුරියක්, නැන්දණියක්, යෙහෙළණියක්, නෑයෙක්, මිතුරියක් නොවන්නීය.

16. මේ භික්‍ෂූහු ශීලවන්තයහ, ගුණවන්තයහ, මනාවූ ව්‍ර‍ත ඇත්තේයි. මොවුන් වහන්සේලාට දුන් සුළු දෙය තමාට ඵල ගෙන දේයයි.

17. ඉතා දීනවූ දිළිඳු වූ ඕ තොමෝ අනුන්ගේ වැඩට තමා තමාම විකුණා අපට අද දන් දුන්නීය.

18. ඒ උපාසිකාවට මහ ආනිසංස ඇතිවනු සඳහා ආත්මයන් පිරිසිදු කරමු. එයම කැමැත්තෙන් රාගීව, ආශ්‍ර‍වයන් දුරු නොකොට නොවළඳමු.

19. මෙසේ කියා ඔවුහු මුචලින්‍ද වනයෙහි ඒ ඒ තැන හිඳිමින් විදසුන් වඩා සිවුපිළිසිඹියාපත් රහත් වූහ. ඉක්බිති උන්වහන්සේලා එම වනයෙහි දෙවියන් විසින් සාධුකාර පවත්වද්දී පැමිණ බත් අනුභව කළහ. ඉක්බිති ඇගේ ද භික්‍ෂූන් වහන්සේගේ ද ප්‍ර‍වෘත්තිය දැන දෙවියන්ගේ සාධුකාරය අසා රජුගේ සේසතෙහි අධිගෘහිත දෙව්දුව සතුටුව සාධුකාර දෙන්නී.

20. මහා ශ්‍ර‍ද්ධා ඇති තැනැත්තිය, තී විසින් කරන ලද්දේ ඉතාම යහපත් ක්‍රියාවකි. දානය නමැති බීජය කෙත් වතට ගියේය. තිට යහපත් ලාභයක් විය.

21. රජතුමා දෙව්දුවගේ සාධු නාදය අසා බොල දෙවතාවිය. කිමෙක් ද තී අපගේ දානය සඳහා ද සාධුකාර දුන්නීද, නැතහොත් කවර කෙනෙකුගේ දානයට සාධුකාර දුන්නී දැයි ඇසීය. තමුන්නාන්සේගේ දානය ගැන නොවේ. නාගාවගේ දන ගැනයි කීහ.

22. යමෙක් සිඳුම් බිඳුම්වලින් පෙළා මහදන් පවත්වතියි ද, එවිට එය මහත් ඵල නොවෙයි.

23. ආදරය පෙරදැරි නොකොට, ශ්‍ර‍ද්ධාවෙන් තොරව, නුවණින් නොසිතා කෙත් නොවන තැනකට යමෙක් දන්දේද එය මහත් ඵල නොවේ.

24. දිළිඳු වූයේ නමුදු මහා ශ්‍ර‍ද්ධාවෙන් යුක්තවූයේ ආදර සහිතව පිරිසිදු සිතින් ඉතා සුලු දෙයක් හෝ දන් පිණිස දේද? එය හැම කල්හි අප්‍ර‍මාණ විපාක ගෙන දෙන්නේ ය.

25. මේ ආදි විසින් මහත්ඵල බව වණා මහරජ, නාග දීපයෙහි නාගා නම් සැට කහවණුවක් ණයට ගත් ඉණ දාසියක වී භික්‍ෂූන්ට මෙසේ මෙසේ දන් දුන්නීය. භික්‍ෂූහු ද ඇගේ දානය නිසා රහත්වූහ. මම ඇයට සතුටුව සාධුකාර දුනිමියි සියල්ල විස්තර වශයෙන් කීයේය. රජතුමා එය අසා සතුටු වූයේ ණය දුන්නාට නියමයෙන් ණය දී ඇය දාසි බවෙන් මුදවා ඒ මුළු දිවයිනම උතුම් දායාද කොට ඇයට දී මහ සම්පත්ද දෙවීය. එතැන් පටන් ඒ දිවයින නාගදීපයයි ප්‍ර‍කට විය. ඇය එතැන් පටන් බොහෝ පින්කම් කොට දිවි කෙළවර දෙව්ලොව උපන්නීය.

26. මෙසේ නුවණ ඇති ශ්‍ර‍ද්ධාවන්තයෝ තමන්ගේ ජීවිතය පවා අනුන්ට දාසකොට දී දන් පින් කොට මෙම ජාතියෙහි දිව්‍ය මනුෂ්‍යාදී බොහෝ දෙනාගේ ප්‍ර‍ශංසා ලැබ දිව්‍යලෝකයට යති. එනිසා දානය නම් කැමැති කැමැති දෑ දෙන කප් රුකක් සම ය. සත්‍වයන් විසින් මසුරු සතුරා විනාශ කොට දාන නැමැති මිත්‍ර‍යා භාජනය කරව්.

9. නාගාවගේ කථාව නිමි.