තෙරුවන් වැඳීම

සසර සැරිසරන අසරණ සත්ත්ව සමූහයාට පිහිට වන මහා කාරුණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස,

චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ අතිදීර්ඝ කාලය මුළුල්ලෙහි දාන පාරමිතාය. ශීල පාරමිතාය, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාය, ප්‍රඥා පාරමිතාය, වීර්යය පාරමිතාය, ක්ෂාන්ති පාරමිතාය, සත්‍ය පාරමිතාය, අධිෂ්ඨාන පාරමිතාය, මෛත්‍රී පාරමිතාය, උපේක්ෂා පාරමිතාය, යන දශ පාරමී ධර්මයන් සපුරා චතුස්සත්‍යාවබෝධ කොට පස්මරුන් පරදවා සර්වඥපදප්‍රාප්ත වූ නුඹ වහන්සේ සීලයෙන් ද, සමාධියෙන් ද, ප්‍රඥාවෙන් ද, සෘද්ධියෙන් ද, යසසින් ද ලෝකයෙහි අග්‍ර වන සේක. නුඹ වහන්සේ වැඩ සිටි තැනට පා තැබූ තැනට පවා රජහු ද දෙවි බඹහු ද නමස්කාර කරන්නාහ.

මහාකාරුණිකයන් වහන්ස, නුඹ වහන්සේගේ කරුණා ගුණය ඉතා ආශ්චර්ය ය. ලොවුතුරා බුදු ව අසරණ සත්ත්වයනට පිහිට වනු සඳහා දාන පාරමිතාව පිරූ නුඹ වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් වූ මේ දීර්ඝ කාලයෙහි නුදුන් දනක් නැත. නුඹ වහන්සේ දුන් දාන වස්තු සම්භාරයට උපමා කිරීමට මහමෙර මිටිය, මහපොළොව කුඩාය, පොළොවේ වැලි කැට මඳය, සාගර ජලය මදය, නුඹ වහන්සේ දුන් වස්තු සම්භාරයට උපමා නැත. නුඹ වහන්සේ අනේක වාරයන්හි සකල සම්පත්තියෙන් පරිපූර්ණ මහා රාජ්‍යයන් දුන් සේක. ප්‍රාණය සේ ප්‍රිය අඹු දරුවන් දුන් සේක. සිය සිරුරෙන් ලේ වගුරුවා දුන් සේක. හදවත උපුටා දුන් සේක. නෙත් උපුටා දුන් සේක. හිස් කපා දුන් සේක. නුඹ වහන්සේගේ කරුණාවට උපමා නැත. කෝටියක් මවුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණාව එක් පිණ්ඩයක් කළ ද නුඹ වහන්සේගේ කරුණාවට උපමා නො කළ හැකිය.

අසරණ සරණ භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ බොහෝ සත්ත්වයනට පිහිට වන සේක. නුඹ වහන්සේ බොහෝ සත්ත්වයන් අපායෙන් මුදවන සේක. සසර දුකින් මුදවන සේක. බොහෝ සත්ත්වයනට දෙව් මිනිස් සැප ලබා දෙන සේක. නිවන් සැප ලබා දෙන සේක. නුඹ වහන්සේ බරණැස ඉසිපතනයේ දී දම්සක් පැවැත්වීමෙන් අටළොස් කෙළක් දෙව් බඹුන් නිවන් දැක්වූ සේක. තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාවෙන් සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. සුමනමාලාකාර සමාගමයේදී සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ධනපාල සමාගමයේදි දසදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ඛ්දිරංගාරජාතක සමාගමයේදී සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ජම්බුකාජීව සමාගමයේදි සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. ආනන්දසෙට්ඨි සමාගමයේදි සුවාසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. පාරායන සූත්‍ර දේශනයේදී තුදුස් කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. යමක ප්‍රාතිහාර්‍යයේදි විසි කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. දේවෝරෝහණයේදී තිස් කෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. අභිධර්ම දේශනයේදී අසූකෝටියක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. සක්කපඤ්හ සූත්‍ර දේශනයේදී අසූදහසක් සත්ත්වයන් නිවන් දැක්වූ සේක. මහාසමය සූත්‍ර මංගල සූත්‍ර චූලරාහුලෝවාද සූත්‍ර දේශනාවලදී අප්‍රමාණ සත්ත්වයන් නිවන් දැක්වූ සේක.

මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්ස, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූ අනුව්‍යංජන ලක්ෂණයෙන් කේතුමාලාවෙන් ව්‍යාමප්‍රභාවෙන් ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් බබලන්නා වූ නුඹ වහන්සේ රූපසෞන්දර්යයෙන් ද ලෝකයෙහි අග්‍ර වූ සේක.

අෂ්ටාංගසමන්වාගත බ්‍රහ්මස්වරයෙන් දාම් දෙසන්නා වූ නුඹ වහන්සේ වචන විලාසයෙන් ද ලෝකයෙහි අග්‍ර වූ සේක.

සර්වඥතාඥාන දශබලඥාන චතුර්වෛශාරද්‍යඥාන ෂඩ් අසාධාරණඥාන චතුර්යෝනි පරිච්ඡේදඥාන පඤ්චගති පරිච්ඡේදඥාන චතුර්දශබුද්ධඥාන ප්‍රතිසම්භිදාඥානාදි අනේක ඥානයන්ගෙන් ආඪ්‍ය වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මනුෂ්‍ය දිව්‍ය-බ්‍රහ්ම යන ලෝකත්‍රයෙහි සියල්ලන් විසින් දත් සියල්ල නුඹ වහන්සේ දත් සේක. ඔවුන්ගේ සිත් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ චරිත නුඹ වහන්සේ මැනවින් දත් සේක. අතීතයෙහි වූ සියල්ල ද අනාගතයට වන සියල්ල ද වර්තමානයෙහි ඇති සියල්ල ද නුඹ වහන්සේ මැනවින් දන්නා සේක. නුඹ වහන්සේ විසින් නො දත හැකි ධර්මයක් නැත.

දෝත නඟා වඳින්නහුට පවා නොයෙක් දෙව් මිනිස් සැප ලබාදීමට සමත් අචින්තනීය අප්‍රමේය ගුණස්කන්ධයක් ඇති මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්ස, නුඹ වහන්සේ පිළිසරණ කරගන්නට ලැබූ මම ද පිනැතියෙමි.

අසරණ සරණ වූ භාග්‍යවතුන් වහන්ස,මම දිවි හිමි කොට නුඹ වහන්සේ සරණ යෙමි. මම නුඹ වහන්සේ ගෙ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නය ද සරණ යෙමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර ආර්ය සංඝ රත්නය ද සරණ යෙමි.

දෙවි බඹුන් විසිනුදු බැතියෙන් නමදින නුඹ වහන්සේගේ පාද පද්මය බැතියෙන් වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේ වදාළ ධර්ම රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි. නුඹ වහන්සේගේ ඖරස පුත්‍ර මහා සංඝ රත්නයට ද වඳිමි. දෙවනුව ද වඳිමි. තෙවනුව ද වඳිමි.

බුදුරදුන්ගේ අනේක ගුණ දැක්වෙන ඉහත දැක්වූ වාක්‍යය පාඩම් කර එය කියා වන්දනා කරන්නා වූ සැදැහැවතුනට එක් එක් වරක් වැඳීමේදී ම සසර බොහෝ සැප සම්පත් ලබා දෙන ඥාන සම්ප්‍රයුක්ත පුණ්‍යස්කන්ධයක් ඇති වනු ඇත. ‘ඉතිපි සො භගවා’ යනාදීන් තමාට නො තේරෙන දේ කියා වඳින්නවුන්ට ඇති වන්නේ මඳ විපාක ඇති ඥානවිප්‍රයුක්ත කුසල් ය. දිග නිසා මේ වැකිය නිතර භාවිත කිරීම අපහසු සැදැහැවතුන් මතු දැක්වෙන කෙටි වන්දනා වාක්‍යය භාවිත කළ යුතුය.

අනු මාතෘකා
keyboard_arrow_rightපහන් පූජාව
keyboard_arrow_rightමල් පූජාව
keyboard_arrow_rightපැන් පූජාව
keyboard_arrow_rightගිලන්පස පූජාව
keyboard_arrow_rightදැහැත් පූජාව
keyboard_arrow_rightකොඩි පූජාව
keyboard_arrow_rightආහාර පූජාව