තෙරුවන් වැඳීමේ කෙටි ක්‍රමය

‘ස්වාමිනි! භාග්‍යවත් බුදු රජාණන් වහන්ස, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා අසු අනුව්‍යඤ්ජන ලක්ෂණයෙන් ද කේතුමාලාවෙන් හා ව්‍යාමප්‍රභාවෙන් ද නීල පීතාදී ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් ද බැබලෙමින් වැඩ සිටින්නා වූ නුඹ වහන්සේ චතුර සංඛ්‍යකල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස්කළ පාරමිතා කුශල බලයෙන් ලත් අර්හත් මාර්ගඥාන නැමැති ජලයෙන්, තුබු බවට ලකුණ කුදු ඉතිරි නොවන පරිදි සියලු කෙලෙස් කිලුටු සෝදා හැර පවිත්‍ර වූ සේක. මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දෝත නඟා වඳින්නහුට අපමණ දෙව් මිනිස් සැප ලබා දීමට සමත් සුපරිසුද්ධ ශීලස්කන්ධයකින් හා අචල සමාධියන් ද සර්වඥතාඥාන, දශබලඥාන, චතුර්වෛශාරධ්‍යඥාන, ප්‍රතිසම්භිදාඥානාදි අනේක ඥානයන්ගෙන් ද යුක්ත වන සේක. අපා මඟ වසා සඟමොක් මඟ පාදා සත්ත්වයනට සෙත් කරන්නා වූ මාගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ තුන්ලොවට සුරතුරක් වන සේක. සිව්සස් දහම් දෙසා දෙව්මිනිසුන් තුළ පවත්නා මොහඳුරු දුරුකරන්නා වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුන් ලොවට ප්‍රදීපයක් වන සේක. තුන් ලොවට ඇසක් වන සේක. මහා කාරුණික වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම අසරණයන්ට සරණ වන නුඹ වහන්සේ සරණ යෙමි. නුඹ වහන්සේ ගේ ශ්‍රාවක වෙමි. නුඹ වහන්සේ ගේ පා පියුම් බැතියෙන් වඳිමි.

ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ අති පරිසුද්ධ අත්‍යුත්තම ධර්මරත්නයට ද වඳිමි. ඒ උත්තම ධර්මය සේවනය කරන්නා වූ ජනයාට පවසන්නා වූ මහා සංඝරත්නයටද වඳිමි.

මෙසේ ස්තුති පූජා පූර්වකව තෙරුවන් වැඳ මතු දැක්වෙන ගථා තේරුමත් සමඟ කියා මල් පහන් ආදිය පුදනු.