වන්දනාව

වැඳුම් පිදුම් කිරීමට සුදුසු බුද්ධාදි මහෝත්තමයන් කෙරෙහි හා වන්දනීය පූජනීය වස්තූන් කෙරෙහි ද ගෞරවාදරයෙන් නැමීම, අවනත බව යටහත් බව දැක්වීම වන්දනා නම් වේ. ඒ වන්දනීය පූජනීය පුද්ගලයන් කෙරෙහි හා ශාරීරික ධාතු ආදී වස්තූන් කෙරෙහි නැමීම් වශයෙන් ඒ ඒ පුද්ගලයන් කෙරෙහි පහළ වන්නා වූ චිත්තය වන්දනාමය කුශලය ය. එය දශපුණ්‍ය ක්‍රියාවන් අතුරෙන් අපචායන කුශලට අයත් වේ.

“තිස්සො ඉමං භික්ඛවෙ, වන්දනා, කතමා තිස්සො? කායෙන වාචාය මනසා, ඉමා ඛො භික්ඛවේ, තිස්සො වන්දනා”

(අංගුත්තර තික නිපාත)

යනු වෙන් කාය වන්දනාව ය, වචී වන්දනාව ය, මනෝ වන්දනාව යයි වන්දනා තුනක් ඇති බව තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කොට ඇත්තේ ය. එහි මනෝ වන්දනාව නම් මුවින් නො බැන කය නො සොලවා ‘නමස්කාර කරමි, නමස්කාර වේවා’ යනාදීන් සිතීම ය. වචී වන්දනාව නම් දෙ අත් එකතු කිරීම ආදී කායික ක්‍රියාවක් නො කොට “නමො බුද්ධාය, නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස.”

“යෙ බ්‍රහ්මණා වෙදගු සබ්බ ධම්මෙ

තෙ මෙ නමො තෙ ච මං පාලයන්තු

-

නමත්ථු බුද්ධානං නමත්ථු බොධියා

නමො විමුත්තානං නමො විමුත්තියා”

යනාදීන් මුවින් පමණක් වන්දනාව පැවසීම ය.

කයින් වැඳීමේ ක්‍රම බොහෝ ඇත්තේය. සිටගෙන පපුව කෙළින් දෙ අත් එකතු කිරීම එක් වන්දනා ක්‍රමයකි. එසේ කර ශරීරයත් ඉදිරියට නැමීම එක් ක්‍රමයකි. දෙ අත් එක් කොට නළල මත තැබීම එක් ක්‍රමයකි. හිස මත තැබීම එක් ක්‍රමයකි. එක් දණක් බිම හැණ වැඳීම එක් ක්‍රමයකි. දෙ දණ ම බිම ඇණ වැඳීම එක් ක්‍රමයකි. දෙ දණ දෙ වැලමිට නළල යන පස ම බිම පිහිටුවා වැඳීම එක් ක්‍රමයකි. එයට පසඟ පිහිටුවා වැඳීම යැයි කියනු ලැබේ. ගොප් ඇට පිරිමදිමින් පතුල මත හිස තබා වැඳීම එක් ක්‍රමයකි. පතුල් පිරිමදිමින් වැඳීම එක් ක්‍රමයකි. පාමුල බිම දිගා වී වැඳීම එක් ක්‍රමයකි. පසේනදී කොසොල් රජතුමා බුදුන් වහන්සේ වෙත එළඹ බිම දණ ගසා තථාගතයන් වහන්සේගේ පතුල් මත හිස තබා අතින් පා පිරිමදිමින් සිඹිමින් “ස්වාමිනි, මම පසේනදි කොසොල් රජු ය, ස්වාමිනි, මම පසේනදි කොසොල් රජු ය” යි කී බව මජ්ඣිමනිකායේ ධම්මචේතිය සූත්‍රයෙහි දක්වා තිබේ. එය ඒ රජතුමාගේ උසස් වන්දනාව ය. මෙසේ කාය වන්දනාව අනේකාකාර වන බව දත යුතුය. වචී වන්දනාව කරන තැනැත්තා එය කරන්නේ වචනය උපයෝගී කර ගෙන සිතින් ම ය. කාය වන්දනාව කරන තැනැත්තා එය කරන්නේ ද කය උපයෝගී කර ගෙන සිතින් ම ය. මේ දෙතන්හි ම කුශලය වන්නේ ඒ ක්‍රියා සිදු කරන සිත ම බව දත යුතු ය. වන්දනා චිත්තය ඥාන සම්ප්‍රයුක්ත වී නම් බලවත් කුශලයක් වේ. ඥානවිප්‍රයුක්ත වී නම් දුබල කුශලයක් වේ.

අනු මාතෘකා