ඉහත දැක් වූ කරුණු අනුව සිතන කල්හි දැනට කරගෙන යන පරිදි වැඳුම් පිදුම් කිරීමේ දී නොයෙක් ගාථා නොයෙක් වාක්‍යන් කීම නිෂ්ඵල නුවුමනා දෙයකැයි ඇතැමුන්ට සිතෙන්නට පිළිවන. බොහෝ වේලා නොයෙක් දේ කියමින් වැඳීම පිදීම වුවමනා නැති නිෂ්ඵල වැඩකැයි ඇතමුන් කියනු ද සමහරවිට ඇසේ. එසේ කියනුයේ ද ඔවුන්ගේ නො දැනීම නිසාය. වැඳුම් පිදුම් කිරීමේ දී රත්නත්‍රයේ ගුණ දැක්වෙන ගාථා හෝ වාක්‍යයන් කීමේ ප්‍රයෝජන බොහෝ ඇත්තේ ය. වඩා ප්‍රයෝජනය ඇති වන පරිදි එය හොඳින් සකස්කර ගන්නවා මිස අත්හැර දැමිය යුතු නොවේ.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දක්නට ඇත්තා වූ, උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් කරන මධුර ධර්ම දේශනය අසන්නට ඇත්තා වූ, උන්වහන්සේ වාසය කරන විහාරාරාමයන් දක්නට ඇත්තා වූ, උන්වහන්සේ ගේ උසස් ශ්‍රාවකයන් දක්නට ඇත්තා වූ, උන්වහන්සේ වෙත පැමිණ ගරු බුහුමන් කරන රාජරාජමහාමාත්‍යාදීන් දක්නට ඇත්තා වූ, උන්වහන්සේ ගේ ගුණ අසන්නට ලැබෙන්නා වූ උන්වහන්සේ ජීවමානව වැඩ සිටියාවූ කාලයේ දී කාහටත් ලෙහෙසියෙන් බුදුගුණ දත හැකිය. අනන්ත ගුණ ඇති තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාරා බොහෝ කල් ගත වී ඇති බැවින් මෙකල ඉන්නා ජනයන්ට බුදුන් හැඳින ගැනීමට බුදුගුණ දැන ගැනීමට දුෂ්කරය. වන්දනාමය කුශලයත් පූජාමය කුශලයත් මහත්ඵල වන්නේ ඒවා කරන අයගේ බුදුගුණ දැනීම අනුව ය. වන්දනා පූජා සඳහා පිළියෙල කර ඇති ගාථා හා වාක්‍ය බුදුගුණ ප්‍රකාශ කරන ඒවා ය. ඒවා පාඩම් කරගෙන කියමින් වැඳුම් පිදුම් කරන කල්හි ඒ ගාථාවලින් වාක්‍යවලින් දැක්වෙන බුදුගුණ වන්දනා කරුවන්ගේ සිතට නැඟී එන්නේ ය. එයින් ඔහුට බුද්ධාලම්බණ ප්‍රීතිය හා ශ්‍රද්ධාව ඇතිවේ. බුදුගුණ සිතට නඟා ගෙන බුද්ධාලම්බණ ප්‍රීතියෙන් යුතුව කරන ඒ වන්දනා පූජාවෝ ඒ නිසාම මහත්ඵල වන්නාහ. නොයෙක් ලෙස ගාථා කියමින් කල් ගතකරමින් වැඳුම් පිදුම් කිරීම ජීවමාන බුදුරදුන් ඉදිරියේ කිරීම සුදුසු නැත ද මේ කාලයේ තමන්ගේ සිතින් බුදුන් මවාගෙන උන්වහන්සේට වැඳුම් පිදුම් කිරීමේදි බුදුගුණ කීම සුදුසු ය. බුද්ධ ගුණාත්මක ගාථාදිය කියමින් වඳින්නවුන්ට බුදුගුණ සිහිකිරීමෙන් හා කීමෙන් අතිරේක කුශලයක් ද අයත් වේ. බුදුගුණ සිහිකරන කියන අවස්ථාවේදී එසේ කරන තැනැත්තාට කියන වචනයක් පාසා ම ඇති වන්නේ කාමාවචර කුසල් සිත් ය. ඒ හැම කුසල් සිතක්ම අනාගතයේදී ඔහුට බොහෝ ඉෂ්ට විපාක ඇතිකරන්නේ ය. බොහෝ වෙලාවක් බුදුගුණ කියමින් වඳින සැදැහැවතාට බොහෝ කුසල් සිත් ඇති වේ. මඳ වෙලාවක් එසේ කරන තැනැත්තාට ඇති වන්නේ කුසල් සිත් ස්වල්පයකි. බොහෝ පින් ඇති කරගනු කැමතියන් විසින් බොහෝ බුදුගුණ පාඨයන් පාඩම් කරගෙන ඒවා කියමින් වැඳිය යුතුය. බුදුගුණ කොතෙක් කීවද එහි වැඩිකමක් නිෂ්ඵල කමක් නැත. බුදුගුණ කියන්නහුට දහම් ගුණ කියන්නහුට සඟගුණ කියන්නහුට පදයක් පදයක් පාසාම උසස් කුශලයක් අත්පත් වේ. ඒ කුශලයේ අගය මෙසේ දක්වා තිබේ.
“බුද්ධොති කිත්තයන්තස්ස
යස්ස කායෙ භවති යා පිතී,
වරමෙව හි සා පීති
කසිණෙනපි ජම්බුදීපස්ස
-
ධම්මොති කිත්තයන්තස්ස
යස්ස කායෙ භවතු යා පීති
වරමෙව හි සා පීති
කසිණෙනපි ජම්බුදීපස්ස
-
සංඝොති කිත්තයන්තස්ස
යස්ස කායෙ භවතු යා පීති
වරමෙව හි සා පීති
කසිණෙනපි ජම්බුදීපස්ස”
(බ්‍රහ්මජාල සුත්තට්ඨකථා)
ශ්‍රද්ධාව ඇතිවීම පිණිස මේ ගාථා පාඩම් කරගෙන තිබීම යහපති. බුද්ධ යන වචනය කියන්නහුට ද ධම්ම යන වචනය කියන්නහුට ද සංඝ යන වචනය කියන්නහුට ද එයින් යම් ප්‍රීතියක් වේ නම් ඒ ප්‍රීතිය මුළු දඹදිවට රජ වීමට ද වඩා උතුම් බව ඒ ගාථාවලින් ප්‍රකාශ වේ.