වන්දනා ගාථා කීම

මෙකල තුනුරුවන් වැඳීමේදී ද මල් පහන් ආදිය පිදීමෙහිදී ද සෑම දෙනා ම වාගේ නානා ප්‍රකාර ගාථා කියති. බොහෝ දෙනා ඒවා කිරීමේ දී ගාථා කිය යුතුම යැයි සිතති. ගාථා නො කියා ඒවා නො කළ හැකිය යි ඇතැම් හු සිතති. ඒ නිසා ඇතැම්හු මල් පූජා ආදිය කිරීමේ දී අමාරුවෙන් වුව ද කෙමෙකු සොයා ගාථා කියවා ගනිති. ගාථා කියන්නට බැරි කම නිසා ඇතැම්හු වැඳුම් පිදුම් නො කරති. ගාථා නො කියා ගාථා නැතිව වැඳුම් පිදුම් නො කළ හැකිය යනු වැරදි හැඟීමකි. වැඳුම් පිදුම් කිරීමට ගාථා කිය යුතුම කියා නියමයක් නැත. ගාථා නො කියා වැඳුම් පිදුම් කිරීමෙන් ද පින් සිදුවන්නේ ය. වැඳුම් පිදුම් කිරීමේ පින කුඩා මහත් වන්නේ කියන ගාථා අනුව නොව කරන තැනැත්තාගේ සිතේ ඇති ශ්‍රද්ධා ප්‍රඥාවන් අනුවය. බලවත් ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව වඳින්නහුට බොහෝ අනුසස් ලැබිය හැකි වන බලවත් කුශලයක් අත් වේ. මඳ සැදැහැයෙන්, මඳ නුවණින් වඳින්නහුට දුබල කුශලයක් ලැබේ. සම්පූර්ණයෙන් ප්‍රඥාවෙන් තොරව වඳින්නහුට ඉතා දුබල කුශලයක් ලැබේ.

දිනක් තථාගතයන් වහන්සේ බලවත් උදෑසන කාලයේ මහකුළුණු සමවතින් නැගිට ලොව බලා වදාරණ සේක්. එදිනම මැරී අපායෙහි උපදින්නට ඇති මහළු සැඩොල් ගැහැණියක දැක, ඇය දෙව් ලොවට පමුණු වන්නට සිතා මහ සඟන පිරිවරා රජගහ නුවර බලා පිඬු පිණිස වැඩම කළ සේක. එ වෙලෙහි සැඩොල් මැහැල්ල සැරයටියක් ගෙන වෙව්ලමින් නුවරින් නික්මෙන්නී බුදුරදුන් වඩිනු දැක නැවතුනාය. තථාගතයන් වහන්සේ ද ඇයට මඟ අවුරන්නාක් මෙන් ඇය ඉදිරියේ නැවතුනාහ. උන්වහන්සේ පසුපස වැඩම කළ මුගලන් මහ තෙරුන් වහන්සේ තථාගතයන් වහන්සේ නැවතී සිටින කාරණයත් සැඩොල් මැහැල්ලගේ ආයු කෙළවර වන්නට ළං වී ඇති බවත් දැන,රොඩී මැහැල්ල අමතා ඇගේ ආයුෂ කෙළවර වන්නට ළං වී ඇති බව වදාරා තථාගතයන් වහන්සේ ගේ පා වඳින ලෙස වදාළහ. එය අසා ඉමහත් සංවේගයට පැමිණි රොඩී මැහැල්ල බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදා පසඟ පිහිටුවා උන්වහන්සේ ගේ පා වැන්දාය. ඉක්බිති නැගිට තථාගතයන් වහන්සේ දෙසට වැඳගෙන බුද්ධාලම්බණ ප්‍රීතියෙන් සිත එකඟ කොට බලා සිටියා ය. තථාගතයන් වහන්සේ මැයට ස්වර්ගයෙහි ඉපදීමට මේ පින ප්‍රමාණවත් යයි නුවරට පිවිසි සේක. රොඩී මැහැල්ල දන්නා එක ම ගාථාවකුදු නැත. ඇය වැන්දේ කිසිවක් නො කියමින් ය. ඇය එදින කාලක්‍රියා කොට ගාථා නොකියා වැන්දා වූ ඒ පිනෙන් තව්තිසා දෙව්ලොව මහත් සම්පත්තියක් ඇති දෙවඟනක් වූවා ය. මේ කථාව විමානවත්ථූපකරණයෙහි එන්නේ ය. වන්දනාමය කුශලය සිදු කර ගැනීම ගාථා නැතිව කළ හැකි බවට මේ කථාව සාධකයකි.

බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ දී උන්වහන්සේ වෙත දිනපතා දහස් ගණන් ජනයා පැමිණියහ. ඒ අය මෙකල බෞද්ධයන් විහාරවලට ගොස් වඳින්නාක් මෙන් ගාථා කියමින් වැඳීම කළාහු නම් තථාගතයන් වහන්සේට වැඳුම් පිළිගැනීමට වඩා වැඩි වැඩක් කරන්නට නො ලැබෙන්නේ ය. ඔවුහු රජකු ඉදිරියට යන කලෙක මෙන් ඉතා ගෞරවයෙන් ඉතා ශාන්ත ලීලාවෙන් බුදුන් වහන්සේ ඉදිරියට ගොස් පසඟ පිහිටුවා හෝ අන් අයුරකින් හෝ වැඳීම කළහ. පිදියයුත්තක් ඇති නම් එය තථාගතයන් වහන්සේගේ අතට පිළිගැන්වූහ. පාමුල හෝ තැබූහ. දැනට මල් පහන් ගිලන්පස විහාරවලට ගෙන ගොස් බුදුපිළිමය ඉදිරියේ තබා මහ හඬ නඟා බොහෝ වේලා ගාථා කියන්නාක් මෙන් ජීවමාන බුදුන් වහන්සේ ඔවුන් පලවා හරිනු නො අනුමානය.

බුදුරදුන් පිරිනිවීමෙන් පසු උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්නවුන් විසින් ගත යුතු හොඳ ම ක්‍රමය උසස් ම ක්‍රමය නම් බුදුගුණ මෙනෙහි කොට බුදුරුව සිතින් මවා ගෙන දිවමන් බුදුන් වහන්සේට මෙන් පරම ගෞරවයෙන් වැඳුම් පිදුම් කිරීම ය. එසේ කරන තැනැත්තා විසින් විහාරයකට හෝ දාගැබක් වෙතට හෝ යන කල්හි බුදුගුණ සිහි කරමින් රජකු ඉදිරියට යන්නාක් මෙන් ඉතා ගෞරවයෙන් සන්සුන්ව පූජනීය ස්ථානයට යා යුතුය. ඉක්බිති සිතින් බුදුරදුන් නිර්මිත කරගෙන බුදුනට වඳිමි යි පසඟ පිහිටුවා පරම ගෞරවයෙන් වැඳිය යුතුය. මල් ආදී පිදිය යුතු දැයක් ඇති නම් බුදුන් වහන්සේගේ පාමුල තබන අයුරින් ගෞරවයෙන් ඒවා පිදිය යුතුය. එසේ කරන්නහුට දිවමන් බුදුනට වැඳුම් පිදුම් කිරීමෙන් ලැබෙන කුශලයට නො වෙනස් කුශලයක් අත්පත් වේ.

තිට්ඨන්තේ නිබ්බුතෙ චාපි - සමෙ චිත්තෙ සමං ඵලං

චෙතොපණිධි හෙතු හි - සත්තා ගච්ඡන්ති සුග්ගතිං

(විමාන වත්ථුපාලි)

“බුදුරදුන් දිවමන් කල්හි ද පිරිනිවීමෙන් පසු ද උන්වහන්සේට වැඳුම් පිදුම් කරන්නවුන්ට සිත සමාන නම් සමාන ඵල ලැබෙන්නේ ය. සිත මනා කොට තැබීම හේතුකොට සත්ත්වයෝ සුගතියට යන්නාහ.” යනු ඒ ගාථාවේ තේරුම ය.

ජීවමාන බුදුනට වැඳුම් පිදුම් කිරීමේ දී ඇතිවන සිතට සමාන සිතක් ඇති කරගෙන පිරිනිවියා වූ බුදුනට වැඳුම් පිදුම් කළ හැක්කේ නුවණ දියුණු අයට පමණෙකි. නුවණ නො දියුණු අයට එය කිරීම අපහසු ය. ඔවුනට දැනට පුරුදු වී ඇති ගාථා කියා වැඳුම් පිදුම් කිරීමේ ක්‍රමය ම වඩා යෝග්‍ය බව කිව යුතු ය.

ගාථා කියා වැඳුම් පිදුම් කිරීමේ සිරිත එතරම් පැරණි නොවේ. බුදුගොස් හිමියන් ලක්දිවට පැමිණ අටුවා ලියූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ නවසිය ගණනකට පසුවය. අටුවාවල වැඳීමේ ආකාරය දක්වා ඇති තැන්වල ගාථා කිය යුතු බවක් සඳහන් වී නැත. එයින් සිතා ගන්නට ඇත්තේ ඒ කාලයේ දී ගාථා කියා වැඳීමේ සිරිතක් නො තිබූ බව ය. සුමංගලවිලාසිනී නම් වූ දීඝනිකායට්ඨකථාවෙහි සාමඤ්ඤඵල සූත්‍ර වර්ණනාවෙහි චෛත්‍යය හා බෝධිය වැඳිය යුතු සැටි දක්වා ඇත්තේ මෙසේ ය.

“බුද්ධාරම්මණං පීතිං ගහෙත්වා චෙතියංගණං ආරුය්හ මහන්තං චෙ චෙතියං තික්ඛත්තුං පදක්ඛිණං කත්වා චතුසු ඨානෙසු වන්දිතබ්බං ඛුද්දකං චෙ තථෙව පදක්ඛිණං කත්වා අට්ඨසු ඨානෙසු වන්දිතබ්බං, චෙතියං වන්දිත්වා බොධියංගණං පත්තෙනා පි බුද්ධස්ස භගවතො සම්මුඛා විය නිපච්චාකාරං දස්සෙත්වා බෝධිං වන්දිතබ්බා”

එහි තේරුම: “බුද්ධාරම්මණ ප්‍රීතිය උපදවා ගෙන සෑමළුවට නැඟ ඉදින් චෛත්‍යය මහත් වේ නම්, තුන් වරක් පැදකුණු කොට සතර තැනක වැඳිය යුතුය. ඉදින් චෛත්‍යය කුඩා නම්, එසේම පැදකුණු කොට අට තැනක වැඳිය යුතුය. චෛත්‍යය වැඳ බෝමළුවට පැමිණියාහු විසින් බුදුන් වහන්සේ ඉදිරියෙහි මෙන් ගෞරව දක්වා බෝධිය වැඳිය යුතුය” යනු යි.

පැදකුණු කිරීමය යනු තමාගේ දකුණු අංශය චෛත්‍යය දෙසට සිටින සේ වැඳ ගෙන චෛත්‍යය වටා යාමය. එසේ කිරීමේ දී ඒ ඒ තැන දී පසඟ පිහිටුවා වැඳිය යුතු ය. මේ අටුවාවෙහි චෛත්‍යය වන්දනාව දක්වා ඇති ආකාරය ය. ගාථා කීමේ සිරිත ඒ කාලයේ පැවතියේ නම් බුදු ගොස් හිමියන් විසින් ගාථා කිය යුතු බවත් නො අනුමානව ම සඳහන් කරනවා ඇත. එසේ සඳහන් නො කිරීමෙන් පිළිගන්නට ඇත්තේ ඒ කාලයේ දී ගාථා කියා වැඳීමේ සිරිත නො තිබූ බවය.

බුදුරදුන් පිරිනිවීමෙන් පසු බුද්ධ ප්‍රමුඛ උභතෝ සංඝයා හට දන් දෙනු කැමති කල්හි උභතෝ සංඝයා මැද බුදු පිළිමයක් තබා එය ඉදිරියෙහි පාත්‍රයක් තබා සංඝයාට දන් බෙදන කල්හි බුදුන් වහන්සේගේ කොටස ඒ පාත්‍රයට බෙදමින් දානය දිය යුතු බව දක්ෂිණාවිභංග සූත්‍ර අටුවාවෙහි කියා තිබේ. ගාථා කියා බුද්ධ පූජාව කිරීමක් එහි සඳහන් නො වේ. එයින් තේරුම් ගත යුත්තේ ඒ කාලයේ පිරිනිවියාවූ බුදුනට ආහාර පූජාදිය කිරීමේ දී ගාථා කීමේ සිරිත නො තිබූ බව ය.මේ කරුණු අනුව කිව යුත්තේ ගාථා නො කියා වැඳුම් පිදුම් කිරීමේ වරදක් නැති බවත් සැදැහැයෙන් වැඳුම් පිදුම් කරන්නෙකුට ගාථා නැතිකමින් හානියක් නැති බවත් ය.