පඤ්චමහා විලොකනය

star_outline

පංච මහා විලොකන නම් කවරහු? යත්;

යම් කාලයෙක මනුෂ්‍යයන්ගේ ආයු ලක්‍ෂයක් හවුරුද්දට බොහෝ වී නම් එ කල ජරා මරණ මඳ හෙයිනුත්, රෝගාන්තරාය, බොහෝ නො වන හෙයිනුත්, මනුෂ්‍යයන්ට දුක් මඳ වෙයි දුක් උදෙසා ම සැදැහැ උපදනා හෙයිනුත්, දුක් මඳ වීමෙන් කුසල් සිත් මඳ වෙයි. තිලකුණු සලකුණු කරරවා ගිවිස්වා ලිය නො හැක්ක. එ් තිලකුණෙහි පිහිටුුවා ලිය නො හැක්කෙන් සත්ත්‍වයාට මාර්ගඵල දී ලිය නො හැක්ක මේ කාරණයෙන් ලක්‍ෂයක් හවුරුද්දට වඩනා ආයු කාලයෙහි බුදුන් නූපදනා හෙයින් ඒ බුදුවන්නට කාල නම් නො වෙයි.

තව ද යම් කාලයෙහි මිනිස් ලොව ආයු සියක් හවුරුද්දට මඳ වී නම් ඒ හීන ආයු කාලයෙහි අකුශලයෝ බෙහෙව, කුසල ධර්මයෝ මඳ වෙති. හීනායුකාලයෙහි උපන් සත්ත්‍වයෝ කුසල් කරම්හ යි වරදවා අකුසල් කෙරෙති. කුසල් සිත සිතා අමායෙහි [1]සිරිඟි ඕනාවුන් සේ අකුසල් සිතති. කුසල් අස අසා අකුසල් අසති. ඔවා තෙපුල් නොගිවිසති. බණ කථා අසන කල දියෙහි ඇඳලූ රේඛාව පසු පස්සේ මැකී යන්නා සේ ඇසු ඇසූ බණ සිතින් මැකීගෙන යෙයි. මෙසේ සත්ත්‍වයන්ගේ සිත් විකල හෙයින් මාර්ගඵල දී ලිය නො හැක්ක. මේ මේ කාරණයෙන් සියක් හවුරුද්දට හීනායු කාලය ද බුදුන් ඉපැදීමට කල් නො වෙයි බලන්නා වූ බෝධිසත්ත්‍වයෝ එ කල මිනිස් ලොව එක්සිය විසි හවුරුද්දට ආයු දැක බුදුන් උපදනා කාලය මේ යයි දුටුසේක. මේ පළමුවන කල් බැලුම් නම.

දීප විලොකන නම් කවර? යත්;

මේ මඟුල් සක්වළ සත් දහසක් යොදුන් අපරගොයාන ද්වීපය හා පන්සියයක් කොදෙව් දැක, අට දහසක් යොදුන් උත්තරකුරු ද්වීපය හා පන්සියයක් කොදෙව් දැක. සත් දහසක් යොදුන් පූර්ව විදෙහ දිවයින හා පන්සියයක් ක්‍ෂුද්‍රද්විප දැක, දස දහසක් යොදුන් ජම්බුද්වීපය හා පන්සියයක් ක්‍ෂුද්‍රද්වීප දැක. මෙසේ සතර මහාද්වීප හා දෙ දහසක් කොදෙව් දැක “මා බුදු වන ජාතියෙහි උත්පත්තියට කවර ද්වීපයෙක් උතුම් දෝ හෝ”යි පරීක්ෂා කොට අනන්තාරියන්ත වූ බුදුන්ගේ උත්පත්තිස්ථානය වූ ඒ ජම්බුද්වීපයෙහි උපදිමි”යි දුටු සේක. මේ දෙවන ද්විප විලොකන නම.

දෙස විලොකන නම් කවර? යත්;

තව ද: ඒ ජම්බුද්වීපය නම් දස දහසක් යොදුන එයින් තුන් දහසක් යොදුන් තැන් හිමාලය පර්වතය වී ය. තවද සාර දහසක් යොදුන් තැන් සාගරයෙන් ගිලින. තුබුතුන් දහසක් යොදුන් තැන දඹදිව නම. මේ දඹදිව නම් සයානූකෙළක් පටුන් ගමින් හා, නවානූලක්‍ෂයක් ද්‍රෝණ මුඛයෙන් හා සපණසක් රුවන් ආකරයෙන් හා සමෘද්ධ විය. තව ද උත්තම කාලයෙහි එක්ලක්‍ෂ නවානූදහසක් පමණ රාජධානි ඇතියේ ය. මධ්‍යම කාලයෙහි සුවාසූදහසක් හෝ තෙසැටදහසක් ශ්‍රී නගරයෙන් හොබනේ ය. පශ්චිම කාලයෙහි එක්සියයක් පමණ රාජධානි ඇති ව මෙසේ සැදී එක මඟුල්ගෙයක් සේ ශෝභාව ජය ශ්‍රී මහා බෝධිමණ්ඩලය නම් දඹදිවට නාභිමණ්ඩලයක් සේ මැද පිහිටියේ ය. එසේ වූ බෝධිමණ්ඩපයට පූර්ව දිග්භාගයෙහි සසියයක් ගවු ගිය කල කජංගල නම් නියම් ගමෙක් ඇත. එ ගමට නැගෙනහිර ඉතා මහත් වූ ශාලද්‍රැමයෙක් ඇත. තව ද ඒ බෝධිමණ්ඩලයට අග්නි දිග්භාගයෙහි සලලවතී නම් ගඞ්ගාවෙක් ඇත. තව ද බෝධිමණ්ඩලයට දක්‍ෂිණ දිග්භාගයෙහි පන්සියයක් ගවු ගිය කල ශ්වේතකර්ණිකා නම් නියම්ගමෙක් ඇත. තව ද ඒ බෝධිමණ්ඩලයට පශ්චිම දිග්භාගයෙහි ස සියයක් ගවු ගිය කල ථූන නම් මහ බමුණුගමෙක් ඇත. තව ද ඒ බෝධිමණ්ඩලයට උත්තරදිග්භාගයෙහි පන්සියයක් ගවු ගිය කල උශීරධ්වජ නම් පර්වතයෙක් ඇත. නැගෙනහිර කී සල්ගස පටන් බටහිර, කී බමුණු ගමට එක්දහස් දෙසීයයක් ගවු ය. දකුණුදිග කී ශ්වේත කර්ණිකාව පටන් උතුරුදිග කී පර්වතයට දහසක් පමණ ගවු ය. මෙසේ අසමින් තුන්සියයක් යොදුන් හා විතරින් දෙසිය පනසක් යොදුන් හා වටින් නව සියයක් යොදුන් තැන මධ්‍ය මණ්ඩල නමි.

තව ද මේ බෝධිමණ්ඩලයට පූර්ව දිග්භාගයෙහි හා සතිපුරය, මාතඞ්කය. සෞවීරය. සේරාෂ්ට්‍රය, පුණ්ඩරීකය, කාලිඞ්ගය, සුප්පාරකය යි යන රුවන් ආකර උපන්නා වූ උතුම් වූමේ මහ නුවර සත පිහිටියේ ය. තව ද මේ බෝධිමණ්ඩලයට අග්නි දිග් බාගයෙහි සැවැත් නුවරය, ජයතුරා නුවරය, සාගල නුවරය, කුසාවතී නුවරය, රජගහා නුවරය, මියුලු නුවරය යන මේ මහ නුවර සය සලලවතී නම් ගඞ්ගාව දිශාවෙහි පිහිටියේ ය. තව ද මේ බෝධිමණ්ඩලයට දක්‍ෂිණ දිග්භාගයෙහි අශ්වපුරය කුලසවුවය, අයෝධ්‍යා පුරය, ඉදිපත් නුවරය, කුරුරටය, බරණැසය, කිඹුල්වතය යන මේ මහ නුවර සත පිහිටියේය. තවද මේ බෝධිමණ්ඩලයට පශ්චිම දිග්භාගයෙහි සිංහපුරය, අරිෂ්ට පුරය, විශාල මහා නුවරය, කොසඹෑ නුවරය, පැළලුප් නුවරය, කණී ශෞඩය‍්, දද්දරපුරය යන මේ උතුම් වූ සත් නුවර ථූන නම් බමුණුගම දිශාවෙහි පිහිටියේ ය. තව ද මේ බෝධිමණ්ඩලයට උතුරු දිග්භාගයෙහි උත්තර පඤ්චාල නුවරය, රොජය, වස්සානය, තක්සලා නුවරය, කුසිනාරා නුවරය, තාම්ප්‍රපර්ණි නුවරය, ශෞඩ දේශය, ගන්ධාර දේශය යි යන මේ අට මහ නුවර පිහිටියේය. මේ පන්තිස් මහ නුවර මධ්‍යමණ්ඩලයට ඇතුළත් විය. මේ මහ නුවර නම් චක්‍රවර්ති රජුන් හා මහ ධන සිටුවරුන් හා මහේශාක්‍ය දෙවියන් හා අසූ මහසව්වන් හා පසේබුදුන් හා ලොවුතුරා බුදුන් හා මෙ කී උත්තමයන්ගේ ම උත්පත්තිස්ථානයෙක.

මෙයින් පිටත් බංගාලය. අරමණය, වගුරටය, කොඞ්කණය. කඞ්ගුදේශය, සින්‍ධුය, ඕහළය, නේපාලය, ගුර්ජය, තිංගුරය, දොළුවරය, වෙයඟුය, කණීටය, ලාටය, පරලාටය, තිමිරිදේශය. කාකය, යවනය, තුරගය, අඳුය, මඳුය, කාම්බෝජය, පුප්පොලය, කුරුකය, ඡත්තිශය, කණීහාරය, වඩය, වල්ලුරය, මලයුරය, පංඩූරය, චීනය, මහා චීනය, කාශ්මීරය, යෝනකය, බබ්රය, ශවරය, වඩිගරය, වීරය, කල්‍යාණය, පූරණය, වෝඩය, පාණ්ඩය්‍යය යනාදි මෙ කී දේශ මධ්‍යමණ්ඩලයෙන් පිටත් වූ ප්‍රත්‍යන්ත දේශ නමි. මේ දේශවල බුද්ධාදීහු නූපදනාහුය.

එසේ හෙයින් බුදුන් උපදනා වූ මේ මධ්‍යමණ්ඩලය නම් අනන්තාපරියන්ත වූ සක්වළ වලට ද, මෙම සක්වළ නො කියන ලද සෙසු දිවයින්වලට ද, දෙව්ලොව ද, බඹලොවට ද වඩා මෙම මධ්‍යමණ්ඩලය ම උතුම්.

එසේ හෙයින් මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ “උතුම් වූ මේ මධ්‍ය දේශයෙහි ම උපදිමි” යි දුටුසේක. මේ තුන්වන දෙස විලොකන නම.

කුල විලොකන නම් කවර? යත්;

හැම සර්වඥවරයෝ ම ගොවි කුලෙහි හෝ වෙළඳ කුලෙහි නූපදනාහුය. බ්‍රාහ්මණකුලෙහි හෝ රජකුලෙහි උපදනාහු ය. යම් කලෙක රජදරුවෝ බමුණන්ට වඳිත් නම් එ කල බුදුහු බමුණු කුලෙහි උපදනාහු ය. යම් කලෙක බමුණෝ රජදරුවන්ට වඳින් නම් එ කල බුදුහු රජකුලෙහි උපදනාහු ය. එසේ හෙයින් “බමුණු කුල ය උතුම් දෝ හෝ රජකුලය උතුම් දෝ හෝ”යි මිනිස් ලොව බලා “දැන් කුලය උතුමැ”යි දැක මෙ සමයෙහි දඹදිවි තෙලෙහි තෙසැට දහසක් රාජධානිවල තෙසැට දහසක් රජුන් අතුරෙන් කවර නම් රජෙක් බුදුකෙනකුන්ට පිතෘස්ථානයෙහි සිටිමි”යි කරන ලද ප්‍රාර්ථනා ඇති ව කප් ලක්‍ෂයක් පැරුම් පුරා සිටියේ දෝ හෝ”යි බලන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ කපිලවස්තු නම් පුරයෙහි ශාක්‍යවංශ නමැති ප්‍රාසාදයෙහි නැගූ ජයකේතුවක් වැනි වූ උභයකුල පරිශුද්ධ ශුද්ධෝන නම් නරපතිහු දුටුසේක.

එ රජ කෙසේ උභයකුල පරිශුද්ධ වී ද? යත්; එහි පිළිවෙල කතාව මෙසේ දතයුතු.

  1. රිසි