ප්‍රථම අන්තඃකල්පයෙහි සූර්ය පුත්‍ර මහාසම්මත නම් ඕපපාතික රජෙක් විය. ඒ රජ මහාජනයාගේ සම්මතයෙන් පළමුවන අභිෂේකට පැමිණි හෙයින් මහාසම්මත නම් වීය. එ රජ තෙම හිරුරැස් කලබක් බඳු වූ සියලඟ ආලෝක ඇතියේ ය. ආකාශයෙහි පලක් බැඳ වැඩහිඳ සියලු ජනයන්ට අනුශාසනා කරන මහත් වූ සෘද්ධි ඇතියේය. විද්‍යාධරයෝ සතර දෙනෙක් කඩු ගෙන රජුට සතර දිග රකවල් ගෙන සිටිනාහ. ඔහු සියලඟින් නිකුත් දිවසඳුන් සුවඳ හාත්පසින් සතර ගව්වක් තැන් පැතිර සිටිනේ ය. ඔහු බැන නැගී බස හා සමග මුඛයෙන් නිකුත් මහනෙල් මල් සුවඳ යොදනක් තැන් දිවෙයි. මෙසේ වූ සතර මහා සෘද්ධීන් රාජ්‍යය කරන්නා වූ ඒ රජ ජරා විළිපිළියක් නැති ව රෝගාදි ව්‍යසනයකුත් නැතිව පුත්‍රදාරාදි සෝකයකුත් නැතිව අසඞ්ඛෙය්‍යක් හවුරුදු මුළු දඹදිව රාජ්‍යය කෙළේ ය. එ සමය නම් සියලු සතුන්ට ම අසඞ්ඛ්‍යෙයායු සමය ය. එ කල අකුශල ධර්මයෝ තමා ම නැත. එසේ හෙයින් කුශල ධර්මයන්ගේ නිෂ්කලඞ්ක භාවයෙන් සත්ත්‍වයෝ උපන් කල් නො දනිති. මියන කල් නො දනිති. ජරා විළිපිළි නැත. අජරාමරයන් වැනියහ. දෙව්ලොව දෙවියන්ට පවා ආයු මඳ ය යි අපහාස කරන්නාහ. එසේ හෙයින් එ කල මිනිස්ලොව දෙව්ලොවටත් වඩා ආයු සම්පත්තීන් වඩනේ ය. එ සමයෙහි සිවුපාවෝ සිංහයන් රජ කළහ. පක්‍ෂීහු හංසයන් රජ කළහ. දියෙහි මස්හු, ආනන්‍ද නම් මත්ස්‍යයා රජ කළහ. යටත් වසයෙන් කුරුකුහුඹුවෝ දක්වා තමන් තමන්ට රජුන් ඇති කළහ. එහි විභාග ඒ ඒ ජාතක සූත්‍රාදී පූර්වකථාවලින් බලා දතයුතු.
පසුව ඒ මහාසම්මත රජහුගේ පිත් රොජ නම් රජ ද, එසේම අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඔහු පිත් වරරොජ නම් රජ ද, අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඔහු පිත් කල්‍යාණ නම් රජ ද, අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් වරකල්‍යාණ නම් රජ ද. අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් උපොසථ නම් රජ ද, අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් මහාමන්‍ධාතු නම් චක්‍රවර්ති රජ මහත් වූ ආඥා තේජස් ඇති විය. ඔහු වමත හකුළුවා දකුණතින් අත් පොළසන් දී ආකාශය බලා “දෙවියනි! මට මිනිස්ලොව සම්පත් නො කැමැත්තේ ය. මාගේ ආඥාවක් ඇත්නම් මට දිව්‍ය සම්පත් දෙව”යි හඞ්ගා කී කල සියලු දෙවියෝ සුළං ගත් මහ වනයක් සේ වෙවුලා වෙන වෙන සත් රුවන් වැසි වස්වා වටසතිස් යොදනක් මානයෙහි දන පමණ කටි පමණ රුවන් ගොඩවල් පුරන්නාහුය. ඒ රජ මෙසේ මිනිස්ලොව බොහෝ සුව විඳ එම ආත්මභාවයෙන් දෙව්ලොව නැඟී සතිස් ශක්‍ර කෙනකුන්ගේ ආයු පමණින් එක්සිය විසිනවකෙළ සැටලක්‍ෂයක් හවුරුදු දිව්‍යසම්පත් විඳ නැවත එම ආත්මභාවයෙන් මිනිස්ලොවට බැස ඒ ඇතුළු අසඞ්ඛෙය්‍යක් හවුරුදුම රාජ්‍යය කෙළේය.
ඔහු පිත් වරමන්‍ධාතු නම් රජ ද, අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඒ රජහු ඇමැතියන්ට කැමැති වව ප්‍රසාද දෙමියි පාද ඝර්ෂණය කළ කල කැමැති කැමැති සම්පත් පයින් වැගිරෙයි. ඔහු පිත් වර නම් රජ ද, අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් උපචර නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඔහු පිත් චෙතිය නම් රජ ද, අසඞ්ඛ්‍යයක් අවුරුදු ම රාජ්‍යය කෙළේ ය. එ රජ පෙර තමා හා කැටි ව එක ගුරුන් කෙරෙහි ශිල්ප උගත් කොරකළම්බක නම් බමුණාන්නට අග්‍ර පුරෝහිත ස්ථානාන්තර දෙමියි ඔවුන් බෑ කපිල නම් පුරෝහිතයන් බොරුවක් කියා බාල කොට කොරකළම්බකයන් මහලු කොට ස්ථානාන්තර දෙමි යි නුවර සැලකළ කල ඒ ඇසූ රාජ්‍යවාසීන් “බොරු නම් සුදු දෝ හෝ, කළු දෝ හෝ, රත් දෝ හෝ, නිල් දෝ හෝ, අද ඒ බලම්හ”යි රැස් වූ කල්හි කපිල නම් මහාසෘෂීන් වළක්ව වළක්වා නො වැලක ලොවට බොරු උපදවා එ කෙණෙහි ම මහපොළොව ගැල ඡන්‍දයෙන් දුගතියට ගියේ ය.
වදාළේ මැනෝ:
ස රාජා [1]ඉද්ධිනා සන්තෙඃ - අන්තලික්ඛෙ වරො පුරෙ,
පාවෙක්ඛි පඨවිං චණ්ඩො - හීනන්තො පත්තපරියායං - යි.
බොරු ඉපැද වූ රජ දනට. ඔහු විසූ නුවර ද නට. ඔහුගේ පුත්‍රයෝ පස් දෙනෙක් වූහ. ඔහු කපිල නම් සෘෂීන්ගේ අනුශාසනා වූ පරිද්දෙන් එක්කෙනෙක් බරණැසට පූර්වභාගයෙහි හස්තිපුරය කරවා විසූහ. එක්කෙනෙක් දක්‍ෂිණ දිග්භාගයෙහි අශ්වපුරය කරවා විසූහ. එක්කෙනෙක් පශ්චිම දිග්භාගයෙහි සිංහ පුරය කරවා විසූහ. එක්කෙනෙක් පශ්චිමෝත්තර දිග්භාගයෙහි දද්දර පුරය කරවා විසූහ. එක්කෙනෙක් උත්තර දිග්භාගයෙහි පඤ්චාල නුවර කරවා විසූහ. එහි විභාග චේතිය ජාතකය බලා දතයුතු.
එ කල පළමුව සියලු දුශ්චරිතයෙන් මෙසේ මුසාවාදය ලොව පහළ වී යයි දතයුතු. එතැන් පටන් දෙවියෝ රජුන්ට අරක්ගෙන නො සිටිනාහ. එ කල ඇමැතියෝ උත්පත්ති දෙවියන් නො ලදින්, සංවෘති දෙවියන් අරක් ගන්වම්හ යි මල් රජකුමරුවන් සතර දෙනකු කඩු දී අරක්ගෙන සිටුවා මුචලයන් අභිෂේක කළහ. ඔවුන් සතර දෙනාගේ දරුමුනුබුරෝ සුවහස් ගණන් ඇතිව මහා ගනි ව වැස උපනුපන් රජුන්ට ආත්මාරක්‍ෂාවෙහි නියුක්ත ව දැන් දක්වා ගණවාසි රජහ යි පැවැත්තැ යි දතයුතු.
ඒ චේතිය රජු මහලු පිත් මුචල නම් පිය රජහු පොළොව ගිලූ භයින් රාජ ධර්මයන් නො වරදවා අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් මුචලින්‍ද නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් සගර නම් රජ ද අසඞ්ඛෙය්‍යක් හවුරුදු රාජ්‍යය කෙළේ ය. ඔහුගේ සැටදහසක් පමණ පුත්‍රයෝ මුළු දඹදිව වෙන වෙන ම සැටදහසක් රාජධානි උපදවා වෙන වෙන ම චක්‍රවර්ති ප්‍රතිරූපයෙන් රාජ්‍යය කොට මහාසම්මත වංශ නමැති මහලියයෙහි මල් පිපී වැනී ගියා සේ රාජවංශය අසඞ්ඛ්‍යය ගණන් වර්ග කළහ. ඔවුන්ගේ වෙන් වෙන් වර්ග පරම්පරායෙහි දරුමුනුබුරු රජහු කාලයක් ගිය කල ඔවුනොවුන්ගේ වර්ග විභාග නො දැන වෙන වෙන රාජවංශ ව්‍යවහාර කළහ. මුලින් වූ කලී සියලු රජහු ම මහාසම්මත වංශයෝ යයි දතයුතු.
ඒ සැටදහසක් රජුන් අතුරෙන් සාගර නම් මහලු පිත් අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඔහු පිත් භරත නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් භගීරථ නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් රුචි නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් සුරුචි නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් ප්‍රතාප නම් රජ ද අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඒ රජ තමා බිසොව තමා දැක්ක දී සත්මැසි දම්පල් නම් පුත් කුමරහු වඩාගෙන උස උන්හයි කිපී කුමරහට අසිමාලක නම් වධ කරවා ලොවට ප්‍රාණඝාත ඉපැදවීය. එකෙණෙහි ඔහු ද මහ පොළොව ගැල අවීචි මහනරකයෙහි හෙළීය. එ කල ප්‍රාණඝාතය ලෝකයෙහි පහළ වී යයි දතයුතු.
උපන් උපන් අකුශල ධර්මයන් නැවත නැවත අන්තර්ධාන වන හෙයින් නැවත නැවත රජුන් ධර්මයෙන් ම වසන හෙයින් රජුන්ගේ ආයු වූ කලී අඩු නොවේම ය. ක්‍රමක්‍රමයෙන් රජහු වර්ණයෙන් අඩු වූවාහු යයි දතයුතු.
ඒ මහා ප්‍රතාප නම් රජහු පිත් පනාද නම් රජ ද, අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් මහාපනාද නම් රජ ද සක්දෙව් රජහුගේ නියෝගයෙන් අවුත් මිනිස්ලොව ඉපැද සත්රුවන්මය පායෙක සදහසක් නළුවන් හා සමග අසඞ්ඛ්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. වදාළේ මැනෝ.
පනාදො නාම සො රාජා - යස්සයූපො සුවණ්ණයො,
තිරියං සොළස උබ්බෙධො - උච්චමාහු සහස්සධා.
සහස්සඛණ්ඩො සතභෙදො - ධජාලූ හරිතා යුතො,
අනච්චුං තත්‍ථ ගන්‍ධබ්බා - ඡ සහස්සානි සත්තධා - යි.
ඒ මහාපනාද නම් රජහු පිත් සුදර්ශන නම් රජ ද. අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේය. ඔහු පිත් මහා සුදර්ශන නම් චක්‍රවර්ති රජ ද. සත්රුවන්මය වූ දොළොස් යොදුන් මහ නුවර කදී අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත්නෙරු නම් රජ ද අසඞ්ඛෙය්‍යක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් මහානෙරු නම් රජ ද අසඞ්ඛෙය්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය. ඔහු පිත් අච්චීමන්ත නම් රජ ද අසඞ්ඛෙය්‍යයක් හවුරුදු ම රාජ්‍යය කෙළේ ය.
මෙසේ මහාසම්මතය, රොජය, වර රොජය, කල්‍යාණය, වර කල්‍යාණය, උපොසථය, මන්‍ධාතු ය, වර මන්‍ධාතු ය, චර ය, උපචරය, චෙතිය ය, මුචල ය, මුචලින්‍ද ය, සගරය, සාගරය, භරතය. භගීරථ ය, රුචිය, සුරුචිය, ප්‍රතාපය, මහා ප්‍රතාපය, පනාදය, මහාපනාදය. සුදර්ශනය, මහාසුදර්ශනය. නෙරුය, මහානෙරුය, අච්චීමන්තයයි අසඞ්ඛෙය්‍යයක් අසඞ්ඛෙය්‍යයක් හවුරුදු ම රාජ්‍යය කළා වූ මේ රජහු අටවිසි දෙන ම කුසාවතී නුවරය. රජගහ නුවරය. මියුලු නුවරය යි මේ උතුම් තුන් නුවර ම රාජ්‍යය කළහ. කීයේ මැනෝ:
අසංඛියායුකා එතෙ - අට්ඨවීසති ඛත්තියා
කුසාවතිං රාජගහං - මිථිලඤ්චාපි ආවසුං - යි.
එතැන් පටන් රජහු වර්ණයෙන් ද ආයුෂයෙන් ද අඩුවූහ යි දතයුතු.
කෙළවර කී අච්චිමන්ත රජහුගේ දරුමුනුබුරෝ අසංඛෙය්‍යායු නො ලදින් කෙළගණන් හවුරුදු ආයු වළඳා ලක්‍ෂයක් රජහු ම පරම්පරාවෙන් රාජ්‍යය කළහ. ඔවුන් කෙළවර සගර නම් රජහු පිත් මඛාදෙව නම් රජෙක් වි ය. එ රජ දෙ ලක්‍ෂ දෙපනස් දහසක් හවුරුදු ආයු වළඳා මියුලු නුවර හිඳ රාජ්‍යය කරන කළ පළමුවන නරකෙස ඕහට පහළ විය. එ රජ නරකෙස දැක අනිත් ලකුණු උපදවා නරකෙස පෑ කපුවාට ගම්වර දී, තමා ගේ මඛාදේව නම් පුතුට රාජ්‍යය දී, මහණ ව මඛාදේව නම් උයනදී සුවාසූදහසක් හවුරුදු තපස් කොට බ්‍රහ්මලෝකයෙහි උපන, වදාළේ මැනෝ:
උත්තමංගරුහා මය්හං - ඉමෙජාතා වයොහරා,
පාතුභූතා දෙවදූතා - පබ්බජ්ජා සමයො මම - යි.
එ රජහු පටන් මහාසම්මතවංශ නම් පෙරළී මඛාදේව වංශ නම් විය. ඒ වංශයෙහි දරුමුනුබුරු පරම්පරාවෙහි සුවාසූදහසක් මඛාදේවරජහු ම පළමුවන නරකෙස දැක පෙර රජුන් කළ සිරිත් නො වරදවා ම රාජ්‍යය හැර ගොස් තපස් කොට බ්‍රහ්මලෝකයෙහි උපන්හ. තුන්ලක්‍ෂ සතිස් දහසක් හවුරුදු බැගින් ආයුත් වැළඳූහ. පසුව රජහු ජරා විළි පිළි බොහෝ සේ දැක්මෙන් තපසට නො ගියහ. එසේ හෙයින් ඒ මඛාදේව වංශ නම් පෙරළී කෙළවර කාලාර ජනක රජහු පිත් අශෝක නම් රජෙක් වී ය. ඔහු පිත් ප්‍රථම ඔක්කාත නම් රජෙක් වී ය. එතැන් පටන් මඛාදේව වංශ නම් පෙරළී ඔක්කාක වංශ නම් විය. ඒ වංශයෙහි කුස රජය, දිලීපය. රඝුය, අජය, දශරථය, රාමය, යනාදී ලක්‍ෂයක් ඔක්කාක රජදරුවෝ ම පනස් දහසක් හවුරුදු ය, සමහරු සතළිස් දහසක් හවුරුදු ය, සමහරු තිස් දහසක් හවුරුදු ය, සමහරු විසි දහසක්, සමහරු සොළොස් දහසක්, පසළොස් දහසක්, දස දහසක්, පන් දහසක් යනාදි වශයෙන් බැස බැස ආයු වැළඳූහ. දශරථ ජාතකයෙහි වදාළේ මැනෝ:
දසවස්ස සහස්සානි - සට්ඨිංවස්සසතානි ච,
කම්බුගීවො මහාබාහු - රාමො රජ්ජමකාරයි-යි
තවද ඒ ලක්‍ෂයක් රජුන්ගෙන් කෙළවර ද්විතීය ඔක්කාක නම් රජෙක් වීය. ඔහුගේ පරම්පරාවෙහි උදය, භද්දය, ධනඤ්ජය, කොරව්‍ය ය, වෙදෙහ ය, සඤ්ජ ය ය, වෙස්සන්තර ය, ජාලිය ය. සිංහ වාහන ය, යනාදි වූ ලක්‍ෂයක් රජහු රාජ්‍යය කරන්නාහු දස දහසක් හවුරුදු පටන් මෑත කනිෂ්ඨ වූ ආයු වළඳා රාජ්‍යය කළහ. ඒ වංශයට කෙළවර සුජාතා නම් රජහු පිත් අම්බට්ඨ නම් වූ තෘතීය ඔක්කාක නම් රජෙක් විය. එ රජහුගේ හස්තා ය, චිත්‍රා ය. ජන්තු ය. ජාලිනී ය, විශාඛා යයි යන පන්සිය පුරස්ත්‍රීන්ට නායක වූ අගමෙහෙසුන් බිසෝවරු පස් දෙනෙක් වූහ. උන් පස්දෙනා කෙරෙන් හස්තා නම් බිසොවු උල්කාමුඛ ය, කලණ්ඩුක ය, හස්තිනීක ය, සිරිනිපුර ය යන පුතුන් සතරදෙනෙකු හා ප්‍රියා ය, සුප්‍රියා ය. නන්‍දා ය, විජිතා ය, විජිත සෙනා යයි දූන් පස් දෙනෙකු හා සමග රජු හා එක්වැනි වූ දරුවන් නවදෙනෙකු වදා මෙසේ ඒ හස්තා නම් බිසොවු කලෙකින් පරලොව ගියහ. එ කල රජ අනික් යෞවන ස්ත්‍රියක අගමෙහෙසින් කෙළේ ය.
ඒ බිසෝ ද රජුට ජන්තු නම් පුතකු වදා එ කුමර උපන් පස් දවසින් නාවා මලින් සරහා මල්දමක් සේ කුමරු දෑතින් ගෙන “හිමි! තොප පුතු රූසිරි බලව”යි රජු අතට වඩාලුව. රජ තමා ගිය යොවුන් කල ලත් පුත්‍රයා හෙයින් මහත් වූ ප්‍රේමයෙන් පුතු සිඹ සනසා පෙම්වතුරු රඳවාගත නොහෙනුයේ බිසොවුන් මූණ බලා “මෙ වැනි පුත්රුවනක් වදා දුන් තිට සිත්කලු වූ වරයක් දෙමි; දැන් ම හැරගණැ”යි කී ය. එකෙනෙහි බිසෝ සතුටු ව “මා කැමති විටෙක ඉල්වා ගන්මි”යි එ විට නොගෙන පසුව පුතු වැඩුනු කල්හි “හිමි මට අන් වරයෙකින් කම් නැත, තොප මට නුදුන් රුවනෙක් නැත; මවුතුට රජය දෙව”යි කිව. එ බසට රජ කිපී “කෙල්ල, චණ්ඩාල දුව! කප්රුක් සේ මපුතුන් සතර දෙනකු දිලියෙමින් සිටියදී තී පුතුට රජය ඉල්වයි ද මපුතුන් මරනු කැමැතියෙහි දැ”යි බනිනුයේ සිරියහන් ගෙට වන.
තවද: මෙයින් කීප දවසක් ගිය කල රජු හා සමග ප්‍රියකථා කරන වේලෙහි “රජදරුවන් නම් බොරු කිය නො හැක්ක, පෙර බොරු කී රජකු පොළොව ගිලී යයි නො ඇසූ විරූ ද. තොප වැනි ධර්මිෂ්ඨ වූ රජුන් බොරුබස් කියනු ඉතා නො යෙදෙයි. කැමැති වරයක් දෙමි යි පළමු කියාලා දැන් මා කැමැති ව ඉල්වූ වරය නොදෙති”යි රජහට නො එක් වර නින්දා බැණ රජය ඉල්වයි. එකල බොරු කීවයි යන බසට පිළිකුල් කරනුයේ තමාගේ මාලු පුතුන් සතර බෑයන් ගෙන්වා “දරුවෙනි! තොපගේ මේ ජන්තු නම් මල් කුමරුවාට නො සලකා රජය දිනීමි. මා ඇති සමයේ ඒ ජන්තුවා ම රජය කෙරෙයි. මා නැති කල තොපගේ රජය තොපට ම දිනිමි. ස්ත්‍රී නම් මායම් දනිති. තෙපි මෙ නුවර නො රඳා මාගේ වල්විදුනාව හා නළල්පට හා මගුල් කඩුව හා රන් මරවැඩි හා දළපුඩු සේසත හා මේ පඤ්ච කකුධ භාණ්ඩයන් පමණක් තිබියදී තොප කැමැති කැමැති සෙනග හා කැමැති කැමැති පමණ රුවන් ගෙන මෙයින් ගොස් අනික් තෙනෙක වසව”යි කියා පුතුන් සතරදෙනා සිඹ සනහා වැලප රජු සමු දින.
එකල ඒ රජකුමරුවෝ සතරදෙන පියරජහු වැඳ සමුගෙන කැමැති කැමැති පමණ රුවන් ගෙන, කැමැති කැමැති පිරිස් ගෙන නුවරින් නික්මුණාහ. රජහුගේ දූ පස්දෙන ද එ පවත් අසා “අප මල් කුමරුවන් රටින් යන කල අපි කවුරුන් බලා රඳමෝදැ”යි තමන් තමන් කැමැති පිරිවර හා සැපත් ගෙන නික්මුණාහ. එකල මුළු නුවර අසුරයන් වන් ශක්‍රපුරය සේ ඇළලී ගි ය. අපගේ රජහුගේ දරුවෝ රටින් යෙත් ල. මතු අවුදින් රජය ගණිත් ල. උන් හා කැටිව දැන් අපි නො ගියමෝ නම් මතු රාජවල්ලභ විය නො හැක්කැ යි සුවහස් ගණන් මහ ඇමැතියෝ නික්මුණාහ. බ්‍රාහ්මණ සාරයන් හා ධන සිටුවරු සියගණන් නික්මුණාහ. මහ වෙළෙඳනා වරුන් හා මාලේනාවරුන් දහස් ගණන් නික්මුණාහ. පළමුවන දවසට සතර ගව්වක් තැන් පිරී සිට ගත්හ. දෙවන දවසට අට ගව්වක් තැන් ගලා ගත්හ. තුන්වන දවසට දොළොස් ගව්වක් තැන් අවකාශ නැති ව පිරී සිට ගත්තා වූ මහ පිරිස් විය.
ඉක්බිත්තෙන් රජකුමරුවෝ මේ සා මහත් පිරිස් හා සමග නුවරින් නික්ම බරණැසට අග්නි දිග්භාගයෙහි යොදුන් ගණනක් ගොස් ඔවුනොවුන් හා සමග කතා කරන්නාහු: “අපගේ බල සෙනග මහත, මේ දඹදිවින් කැමැති රජයක් උදුරාගෙන එහි රජ කරමෝ නම් ඉතා බැරි නොවෙයි. අනික් රජකු අනුභව කළ රාජ්‍යයෙක් නම් අපට ඉසවත් භෝජනයක් සේ පිළිකුල. අපගේ ඔක්කාක වංශයට සුදුසු නො වෙයි. අනුන් සතු දෙය උදුරා ගැන්මත් රාජධර්මයෙක් නො වෙයි. මිනිසුන් නැති මහා වන මධ්‍යයෙක නුවරක් කරවා වැවු අමුණු බඳවා කෙත්වත් තනවා ධර්මිෂ්ට වූ යෙම් වාසය කරම්හ”යි මෙසේ වූ මන්ත්‍රණය කොට එක් බිමෙක මහ සෙනඟ රඳවා ඇමැතියන් හා සමග නුවරකට සුදුසු බිමක් බලන්නාහු ය.[2]
එ කල මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයෝ කපිල නම් තාපස ව එක් විලකට නුදුරු තැන බොහෝ ශාඛද්‍රැමයෙන් යුක්ත වූ වන මධ්‍යයෙක පන්සලක් කරවා ඝෝර වූ [3]තපස් කොට වාසය කරන දෑ ය. වල ඇවිදුනා රාජකුමාරයෝ බෝධිසත්ත්‍වයන් දැක වැඳ එකත්පස් ව සිටියාහු ය. එ කල බෝසතාණෝ මොහු ඔක්කාක රජ දරුවෝ යයි හැඳිනගෙන “දරුවෙනි! මේ කෙසේ වූ අසරණ ගමනෙක් ද; කුමක් සොයා වල ඇවිදුදැ”යි විචාළ දෑ ය. රජ කුමරුවෝ තමන් රටින් ආ පවතුත් නුවරක් කරවාගන්ට සුදුසු බිමක් බලන පරිදි ත් බෝසතුන්ට කීහ.
ඒ ජාතියෙහි බෝධිසත්ත්‍වයෝ භූමිවිජය නම් ශිල්පයක් දැන ආකාශයෙන් අසූ රියනෙක හා පොළොවෙන් අසූ රියනෙක හා ලක්‍ෂණ දන්නා දෑ ය. ඒ වෙනෙහි එක් බිමෙක තෘණලතාවෝ දක්‍ෂිණාවතී ව නැමී සිටිනාහු ය. [4]කැණහීලන්ට බා දිවන්නා වූ සාවුන් හා මීවින්නෝ එ බිමට අවුත් වැද පෙරළී නැමී කැණහිලුන් ලුහුබඳවා ගනිති. නයින් දැක දිවන්නා වූ මීයන් හා මැඩියෝ එ තැනට වැද භය නැති ව ගොස් පෙරළි නයින් ලුහුබඳවා ගනිති. දිවියන් දැක දිවන මුවපොල්ලෝ එ තැනට වැද පෙරළා දිවියන් ලුහුබඳවා ගනිති. බෝධිසත්ත්‍වයෝ මේ කාරණ දැක “මේ ජයභූමියෙක. චක්‍රවර්ති රජුන් හෝ ලොවුතුරා බුදුන් හෝ උපදනා බිමෙක. මතු අපවත් නුවුව මැනවැ”යි සිතා එ බිම පන්සලක් කොට වාසය කරන සේක. එ දා ඒ රජකුමරුවන් කී බස් අසා “දරුවෙනි! නුවරක් කැමැතියා නම් මාගේ මේ පන්සල් භූමිය ගනුව. මෙ බිම වසන චණ්ඩාලයෙක් වී නමුත් චක්‍රවර්ති පිරිසක් පරදවා පියන ආඥා ඇත්තේ ය. මතු මේ භූමියෙහි උපදනා වූ පුරුෂයෙක් මුළු ලෝ වැසියන් විසින් සත්කාර ලබයි”යි කියා භූමිය වර්ණනා කොට පන්සල්බිම දීලා ‘තොප මට කරන උපකාර නම් මේ නුවර නිමි කල මාගේ කපිල නම් තබව”යි කි දෑ ය.
ඉක්බිත්තෙන් රජකුමරුවෝ එ තැනට නුදුරු තෙන පන්සලක් නිමවා බෝසුතන්ට පිළිගන්වා ඒ මහවනය මුල්සිඳුවා ඒ පන්සල් බිම මහත් වූ මාලිගාවක් කරවා පවුරු පදනම් දොරටු වීථි අටලු ආදියෙන් එ නුවර නිමවා කපිලවස්තු නමැයි තාපසයන් නමින් නුවරට නම් තබා ඔවුනොවුන් හා සමග කථා කරන්නාහු: “අපි ඉදින් කියා යවුමෝ නම් මෙ දඹදිව් තෙලෙහි අපට සරණක් නො එවන රඩෙක් නැත. එසේ ජාතිසම්භේදයෙක් වි නම් අපගේ ඔක්කාක වංශයට කිළිටු ය. අපගේ නඟුන් පාවා දෙන්ට සුදුසු අනික් රජෙකුත් නැත. ඥාතිසම්භේදයට වඩා ජාතිසම්භේදයක් නොවීම ම උත්තම යැ”යි හැමදෙනාට වැඩිමාලු වූ ප්‍රියා නම් බහුනැනියන් මව් තනතුරෙහි තබා සතර බෑයෝ තමන් තමන්ට කුඩා නගුන් අගමෙහෙසියන් කොට රක්‍ෂා කළහ. ඒ බිසෝවරු සතරදෙන ම දුන් අට අට දෙනා හා පුතුන් අට අට දෙනා හා බැගින් සූසැටක් දරුවන් වැදූහ. එ කල පිය මහරජ්ජුරුවෝ මෙ පවත් අසා “ම දරුවෝ රටින් ගොසිනුත් ජාතිසම්භේදයක් නො කළාහුයැ”යි සාධුනාද පවත්වා “සක්‍යා වත භො රාජ කුමාරා; පරම සක්‍යා වත භො රාජ කුමාරා”යි ප්‍රීතීන් තුන්යලක් උද්දාන ගායනා කළහ.
අම්බට්ඨ නම් ඔක්කාක රජු කළා වූ ප්‍රීති උද්දානය හේතුකොට ගෙන එ තැන් පටන් ඔක්කාක වංශය නම් පෙරළී අම්බට්ඨ ශාක්‍ය වංශ යයි මෙ නමින් ප්‍රසිද්ධ විය.
මෙසේ ඒ ශාක්‍යවංශයෙහි රජුන් එම කිඹුල්වත් නුවර දෙලක්‍ෂ තෙවිසි දහස් සත්සිය එකුන් සැත්තෑවක් රාජපරම්පරා ගිය කල කෙළවර බුදුකෙනකුන්ට මුතුන් වන පින් ඇති ජයශේන නම් රජහු පිත් සිංහහනු නම් රජෙක් විය. ඔහුගේ කසයින් නම් අගමෙසෙුන් බිසොවුන් වැදූ දරුවෝ ශුද්ධෝදන ය, අමිතෝදන ය, ධෝතෝදන ය, සුක්කෝදන ය, ඝටිතෝදන යයි පුතුන් පස්දෙනෙකු හා අමිතාවෝ ය, පාරලී යයි යන දූන් දෙදෙනෙකු හා මෙසේ දරුවෝ සත් දෙනෙක් වූහ. එයින් ශුද්ධෝදන නම් කුමරු වැඩී පියරජහු අයාමෙන් කපිලවස්තු පුරයෙහි දශරාජ ධර්මයෙන් රාජ්‍යය කෙරෙයි.
එකල මාගේ බෝධිසත්ත්‍වයෝ තුසීපුරයෙහි වැඩහිඳ දෙවියන් කළ ආරාධනාවෙන් මිනිස්ලොව බලා මහාසම්මත රජහු පටන් ශුද්ධෝදන රජහු දක්වා ක්‍රමයෙන් රාජ්‍යය කලා වූ සත්ලක්‍ෂ සත්දහස් සත්සිය සතානූවක් මහාසම්මත වංශයෙහි වූ හිරු ගොත් රජුන් දැක “මේ රාජවංශය මාගේ උත්පත්තියට උතුම් වෙයි. කාරණ කිම? යත්:- මේ රාජවංශයෙහි පාරමිතා පුරා සංසාරයෙහි ඇවිදුනා වූ මම් ම පළමුවන මහාසම්මත නම් රජ ව [5]උපන්මි; මහාමන්‍ධාතු නම් චක්‍රවර්ති රජ ව උපන්මි; මහා සුදර්ශන නම් චක්‍රවර්ති රජ ව උපන්මි; මඛාදේව නම් රජ ව උපන්මි; නිමි රජ ව උපන්මි; කුස රජ ව උපන්මි; රාම නම් රජ ව උපන්මි; උදය භද්ද නම් රජ ව උපන්මි; මහිංසක නම් රජ ව උපන්මි; කට්ඨාරි නම් රජ ව උපන්මි; මහාසීලව නම් රජ ව උපන්මි; චූල ජනක නම් රජව උපන්මි; මහා ජනක නම් රජව උපන්මි; චුල්ලපදුම නම් රජ ව උපන්මි; මහාපදුම නම් රජ ව උපන්මි; චුල්ලසුතසෝම නම් රජ ව උපන්මි; මහා සුතසෝම නම් රජ ව උපන්මි; පඤ්චායුධ නම් රජ ව උපන්මි; ධර්ම නම් රජ ව උපන්මි; සතභාතුක නම් රජ ව උපන්මි; සහස්සභාතුක නම් රජ ව උපන්මි; ධර්මිෂ්ඨ නම් රජ ව උපන්මි; භාගිනෙය්‍ය නම් රජ ව උපන්මි; රාජෝවාද නම් රජ ව උපන්මි; අලීනචිත්ත නම් රජ ව උපන්මි; වේදේහ නම් රජ ව උපන්මි; අසදෘශ නම් රජ ව උපන්මි; සක්ක දත්තිය නම් රජ ව උපන්මි;
තව ද ගන්‍ධාර නම් රජ ව උපන්මි; මහාගන්‍ධාර නම් රජ ව උපන්මි; ආදාසමුඛ නම් රජ ව උපන්මි; සුද්ධභෝජන නම් රජ ව උපන්මි; අනිත්‍ථිගන්‍ධ නම් රජ ව උපන්මි; තව ද කුරුධර්ම නම් රජ ව උපන්මි; ඝත නම් රජ ව උපන්මි; ධර්මපාල නම් රජව උපන්මි; දීඝායු නම් රජ ව උපන්මි; මහාදීඝායු නම් රජ ව උපන්මි; තව ද සුසීම නම් රජ ව උපන්මි; කුම්මාසපිණ්ඩ නම් රජ ව උපන්මි; පරන්තප නම් රජ ව උපන්මි; උදය නම් රජ ව උපන්මි; භරත නම් රජ ව උපන්මි; තව ද සාධීන නම් රජ ව උපන්මි; සිවි නම් රජ ව උපන්මි; මහාසිවි නම් රජ ව උපන්මි; සොමනස්ස නම් රජ ව උපන්මි; අයොඝර නම් රජ ව උපන්මි; තව ද අලීනසන්තු නම් රජ ව උපන්මි; අරින්‍දම නම් රජ ව උපන්මි; තේමිය නම් රජ ව උපන්මි; චන්‍ද්‍ර නම් රජ ව උපන්මි; එකුන්විසි වාරයක් බරණැස් රජ ව උපන්මි; කෙළවර මහා වෙස්සන්තර නම් රජ ව ඉපැද සත්වාරයක් මහපොළොව ගුගුරුවා, මහදන් වතුරු කොට පැරුම් කුළුගෙන අවුත් මේ තුසිත පුරයෙහි සන්තුෂිත නම් දිව්‍යරාජන් ව උපන්මි. මේ මේ කාරණයෙන් මාගෙන් ම අලඞ්කෘත වූ, මාගෙන් ම ශ්‍රීමත් වූ, මාගේ ම මේ මහා සම්මත වංශයෙහි කෙළවර උපන්නා වූ යට කී උභය කුල පරිශුද්ධ ශුද්ධෝදන නම් රජතෙම බුදුකෙනකුන්ට පිතෘස්ථානයෙහි සිටිමි යි පින්කොට කප් ලක්‍ෂයක් පිරූ පාරමිතා ඇත්තේ ය යි බලා සනිටුහන් කළ සේක. මේ සතරවන කුල විලොකන නම.
තව ද: බුදුකෙනෙකුන් වදන මවක නම් කප් ලක්‍ෂයක් පැරුම් පුරා කරන ලද ප්‍රාර්ථනා ඇත මැනව. උභය කුල පරිශුද්ධ වුව මැනව. උපන් තැන් පටන් පස්පව් නොකළ මැනව. එක රජක් හට ම පතිව්‍රතා ධර්මයන් රක්‍ෂා කළ මැනව. මේ ආදී ගුණ ගණාඞ්ගයෙන් පිරුණා වූ මට මවුවන්ට සුදුසු වූ උත්තම ස්ත්‍රියක් කවරක් දෝ හෝ යි මිනිස් ලොව බලා පරීක්‍ෂා කරන්නා වූ මාගේ බෝධිසත්ත්‍වයෝ කෝළිය නම් නුවර මහා සුප්‍රබුද්ධ නම් අනුශාක්‍ය රජුට දූ ව. එම සුද්ධෝදන නම් රාජෝත්තමයාට අගමෙසෙින් වූ මහාමායා නම් දේවී බුදුකෙනෙකුන් වදමි යි ප්‍රාර්ථනා කොට අව. ඕ තොමෝ මට දැන් මවු වන්නීය යි දුටුසේක.
ඒ මහාමායා දේවීන් උභය කුල පරිශුද්ධ වූ පරිදි කෙසේද? යත්; යට කී මහාසම්මතය. මඛාදේව ය, ඔක්කාක ය, යන තුන් පරම්පරාව ගොස් ශාක්‍යවංශයට උත්පත්තිස්ථාන වූ කපිල නම් පුරෙහි තුන්වන ඔක්කාක රජුගේ දරු වූ සිවුබෑ රජුන් නගුන් රක්‍ෂා කොට ජාතිසම්භේදයක් නො කොට රජය කරන කල හැමදෙනාටම බූන් වූ ප්‍රියා නම් බිසොවුන්ට ශ්වේතකුෂ්ඨ නම් රෝගයක් ඇති ව සකල ශරීරය සුදුව කොබලීල මල්පෙත්තක් සේ විය. එ කල මල් රජ දරුවෝ ඔවුනොවුන් හා සමග මන්ත්‍ර ණය කරන්නා හු “මොවුන්ට ඇතිවූයේ පාපරෝගයෙක. මේ රෝගය නම් කැටි ව කෑවන් කරා යෙයි දුටුවන් කරාත් යෙයි එක ගෙයි වසනුවන් කරාත් යෙයි. මතු අප ඇමදෙනාටත් මේ රෝග ය බෙදී යෙයි” කියා තමන් තමන් කෙරේ භය ඇති ව දවසක් උයන් කෙළියට යම්හ යි කියා බූනැනියන් රථයකට නංවා කඩතුරාවකින් වසා ගඟ ඔස්සේ ගොසින් එක් වන මධ්‍යයක මහත් කොට වළක් බිඳුවා, වළ යට යානක් අතුරුවා, දිය දර ලුණු ඇමුල් වළන් සාල් ගිනි ආදිය වළ යට පටවා, බූනැනියන් ඒ යානේ ලවා, වළ මතුයෙහි පුවරු අතුරුවා පස්මේ කරවා කඳුළු මුසු මුහුණින් ගියහ. එකල දේවී වළ යට දීම පිස කා ජීවිතය රකියි. මෙසේ වසන කල දඹදිව රාම නම් රජකුට ද ඒ කුෂ්ඨරෝගය ඇතිවිය. බිසෝවරු ද නාටකස්ත්‍රීහු ද ඔහු ළඟට පිළිකුල් ඇතිව නො වදිති. ඒ රජ මහත් වූ ලජ්ජා ඇතිව තිලකුණු මෙනෙහි කොට පුත් කුමරුවාට රජය දී තෙමේ “වළ හෙව එ කලාව මියෙමි”යි සිතා ඒ වලට වැද ඒ ඒ තැන්හි ඇවිදුනේ ක්‍ෂුධාව ඉවසා ගත නොහී දුටු යම් ම ගසෙක පොතු ය, මුල් ය, මල් ය, කොළ ය, ඵල ය යනාදීන් අනුභව කෙළේ ය. එ කල ඒ ඖෂධ බලයෙන් කුෂ්ඨ රෝගය සන්හිඳී රජුගේ සර්වාඞ්ගය ම රන් කඳක් සේ විය.[6]
ඉක්බිත්තෙන් ඒ රජ වාසයට සුදුසු තැනක් බලනුයේ එක් තෙනෙක මහ සිදුරු ඇති කොළොම් ගසක් දැක මෙහි යට වෙසෙන්නන්ට වගුන්ගෙන් භය නැතයි සිතා ඉනක් ලාගෙන ගස උඩට සොළොස් රියනක් නැගී කවුළුදොරක් කපාගෙන එ තැන උඩ මැස්සක් බැඳ ගිනි කබලක් තබාගෙන ඒ ගස්බිලයේ වාසය කොට නො එක් සතුන් කෑ තැනින් මස් ගෙනවුත් පලහා කා ජීවත් ව රාත්‍රියෙහි සිංහ ව්‍යාඝ්‍රාදීන්ගේ නාද ද, සෙසු සතුන්ගේ රැව් පිළිරැවු ද අස අසා වාසය කෙරෙයි. එ කල එක් දවසක්[7]පාන්දර ව්‍යාඝ්‍රයෙක් ගොදුරු සොයා ඇවිදුනේ එ බිසොවුන් වසන වළ මුදුනට පැමිණ මනුෂ්‍යගන්‍ධයෙකැයි ආඝ්‍රාණය කොට දෙ පයින් පස් පීරා පුවරු ඔසවා ඒ බිසොවුන් දැක භයඞ්කාර කොට නාද කෙළේ ය. එ සඳ බිසොවු උඩ බලා ව්‍යාඝ්‍රයා දැක භයින් වෙවුලා බැගෑපත් ව මහත් කොට හඬක් ගැසුව. මනුෂ්‍ය ශබ්දයෙහි, සියලු සතුන් ම භය ගන්නා හෙයින් ව්‍යාඝ්‍රයා බා දිව පීය. ඉරු නැගිකල ඒ රාම රජ්ජුරුවෝ සිතන්නාහු “අසුවල් දිග ව්‍යාඝ්‍රෙයක් හැඬීය. ස්ත්‍රියකත් හැඬූ හඬෙක. කාරණ කිම්දෝ හො”යි ගසින් බැස ගොසින් බලන්නාහු ව්‍යාඝ්‍රයා ඔසවාපු පෝරු දැක වළයට බලා බිසොවුන් දැක තෙපි කවුරුදැයි විචාළේ ය. බිසොවු මම ගැහැණියෙකිමි යි කීහ. තෙපි ගැහැණියක් වූ නම් මම පිරිමියෙක්මි ගොඩ නැගෙවයි කීහ. එ බසට බිසොවු “ඔක්කාක රජ්ජුරුවන්ගේ මහලු දූ වූ ප්‍රියාවෝ නම් මම ය. ජීවිතයට හානි වේ නමුත් රාජ වංශයට කිලුටක් නො කෙරෙමි”යි කිවු ය.
එ බසට රජ කියනුයේ “බරණැස රාම රජ නම් මම ය. වැසිදිය හා ගංදිය හා සමවූවා වැන්න. වහා ගොඩනැඟෙව”යි කී ය. බිසොවු කියන්නාහු “ස්වාමිනි! මිනිසුන් බැලිය නො හැක්කා වූ ශ්වේතකුෂ්ඨ රෝගයෙක් මාගේ සර්වාඞ්ගයෙහි ඇත. එසේ හෙයින් ගොඩ නොනැඟෙමි”යි කීහ. එ බසට රජ කියනුයේ “මම ද එ බඳු වූ පාප රෝගයක් ඇති ව රජය හැර වල ඇවිද ඖෂධ බලයෙන් දැන් සන්හිඳුවා ගතිමි. එම බෙහෙදින් තොපගේ රෝගයත් කලකින් යපාපියමි. වහා ගොඩ නැගෙව යි කියා හිණක් බැඳ වළට බා බිසොවුන් ගොඩනගාගෙන තමන්ගේ වාසස්ථානයෙහි ම ගෙන ගොස් ලාලා තමන් ඇඟට කළ බෙහෙත් බිසොවුන්ට කොට කීප දවසකින් කුෂ්ඨ රෝගය සන්සිඳුවා පී ය. බිසොවුන්ගේ ද සියළඟ කිණිහිරි මල් පෙත්තක් සේ ඉතා රන්වන් වී ය. එ කල දෙදෙන ප්‍රියවාසයෙන් ලෝකාස්වාදය කළාහු ය. ප්‍රථම වාසයෙහි ම දරුගබක් පිළිසිඳ දසමසක් ගිය කල රන්රූ දෙකක් සේ පුත්රූ දෙකක් එකවිට ම වැදූහ. මෙසේ ම හවුරුදු පතා සම වූ පුතුන් දෙදෙනා බැගින් සොළොස් හවුරුද්දක් ඇතුළත පුතුන් දෙතිසක් වැදූහ. එකල රාමරජ්ජුරුවෝ දරුවන් වඩා නො එක් ශිල්ප ඉගැන්වූහ.
මෙසේ වසන කල ඒ රාමරජ්ජුරුවන්ගේ බරණැස වසන දනවුවැසි පුරුෂයෙක් දඩසොයා වෙනෙහි ඇවිදුනේ රජහු දැක ඇඳින වැඳ සිට “ස්වාමීනි! මා හඳුනා දැ”යි විචාළේ ය. රජහු “තා මම නො හඳුනෙමි”යි කී කල “නුඹගේ රාජ්‍යෙයහි අසුවල් ගම අසුවලා නම් මම යැ”යි කීය. එ කල පුතනුවන්ගේ පවත් හා තමන්ගේ රාජ්‍යයෙහි ප්‍රවෘත්ති ඒ පුරුෂයා අතින් විචාරමින් සිටිය දී පුත්තු දෙතිස ම අවුත් පියරජහු පිරිවරා සිටගත්හ. ඒ පුරුෂයා විස්මය පත්ව රජකුමරුවන් බලා “මූ කාගේ දරුවෝ දැ”යි විචාළේය. රාම රජ්ජුරුවෝ මදරුවෝ යැයි කීහ. මෙතෙක් දරුසිරි ඇති ව හිමි නුඹ වල වසනු නො යෙදෙයි, රජයට වැඩිය මැනවැ යි කී ය. එබස් අසා “රජු රජය මට නො කැමැත්තේ යැ”යි කී කල ඒ පුරුෂයා එ කෙණෙහි අවසර ඉල්වාගෙන බරණැස් නුවරට දිව පියරජු දුටු පවත් පුත් රජහට කී ය. පුත් රජ එ පවත් අසා සිවුරගසෙන් ගෙන පිය රජහු වසන මහ වනයට වැද පියාණන් දැක වැඳ රජයට මා හා කැටිව වැඩිය මැනවැ යි ආරාධනා කොට පියරජහු නො ගිවිස්නෙන් තමාගේ යෝධයන් ලවා ඒ මහවනය මුල්සිඳුවා නුවරක් කරවා පවුරු ආදීන් සුරක්‍ෂිත කොට පියරජහු විස කොළොම් ගස මුලින් උදුරවා එ බිම මහ පායක් කරවා වැවු අමුණු බඳවා, සරක් බත් බිජුවට සී වැස්සන් ලවා, අපමණ රුවන්දී, පියරජහු ඒ නුවර පිහිටුවා, තැන තැන නුවර වටා රකවල් ලවා, බරණැස් නුවර ම ගියේ ය.
නුවර, කොළොම් වෘක්‍ෂය පිහිටි තැන කළ හෙයින් කෝළිය නුවර නම් විය. ව්‍යාඝ්‍රයා විසින් දක්නා ලද බිසොවුන්ගේ පරම්පරාගත නුවර හෙයින් ද ව්‍යාඝ්‍රපථයෙහි ජාත හෙයින් ද, ව්‍යාඝ්‍රපුර ය යි කියාත් කියනු ලැබෙයි. දෙවුදෑ නුවර නමුත් විය. කොළොම් ගසදී උපන් රජදරුවන්ගේ වංශය හෙයින් ඒ රාජවංශය [8]කෝළිය වංශ නම් විය.
මෙසේ එ නුවර වසන කල ඒ ප්‍රියා නම් බිසොවු පුතුන් දෙතිස් බෑයන් කැඳවා; “දරුවෙනි! කපිලපුරයෙහි රජකරන සිවුබෑ රජහු මාගේ මල්බෑයෝ ය. ඒ කාරණයෙන් තොප මයිලෝ ය. උන් සතරදෙනාගේ දූ දෙතිස් දෙනෙක් ඇත. ඌ තොපගේ බැදැවුය. තෙපි හැම සුරු වූ නම් තොප බැදැවුන් රක්‍ෂාකරවයි කිවුය. රජකුමරුවෝ මෑණියන් කී බස් අසා මයිලන් කරා පඬුරු දී අපට සරණක් එවන්නේ යැයි වෙන වෙනම දූතයන් යවති. මයිලෝ එබස් අසා “ඒ කොල්ලන්ගේ පියවංශය අනිකෙක, උපන්නේ කොළොම්ගස් බිලයෙක දී ය. කුමන නෑකම් ද උන්ලා”යයි කුලඝට්ටනයෙන් බැණ දූන් පාවා නොදෙති. රජකුමරුවෝ බැදැවුන්ට සොර පත් යවා සොර පඬුරු දෙවා පෙම් වඩාගෙන අසුවල්දා අසුවල් වේලෙහි අසුවල් තෙන අසුවල් ගංතොටට ගොස් සිටිමි යි, එ තැනට එන්නේ ය යි අවධි කොට [9]යවාලති. රජකුමරියෝ එ දවස් ගඟදිය කෙළියට යම්හයි පිය රජුන්ට කියා අවසර ගෙන තමන් තමන් පිරිවර ගෙන හස්තසාර වූ රුවන් හා පළඳනා ගෙන ගංතොටට යෙති. රජකුමරුවෝ පෙර මන්ත්‍රණය කළ කළ බැදැවුන් අත් අල්වාගෙන “මම ය බරණැස් රජුට දා කොළොම් සිදුරෙන් උපන් කෝළියා” යයි වෙන වෙන තමන් තමන් නම් හඬ ගා කියා “දිවි කැමැති කෙනකුන් අප අඹා නො එන්නේ ය”යි වාසි කියා කෝළිය නුවර යෙති.
මයිල් රජහු එ පවත් අසා සිනා පහළකොට “අප බෑනෝ සූරය. නිර්භීත යහ. තමන් බැදැවුන් තුමූ ම හැරගෙන ගියහ. ඉන් අපට ජාති සම්භේදයෙක් නැතැ”යි සතුටුව පසුපස්සෙහි පිරිස් නො යවා දායාද සම්පත් දී යවති. මෙසේ දෙතිස් බෑයෝ දෙතිස් බැදෑකුමරියන් බලයෙන් ගෙන ගොස් රක්‍ෂා කළහ. එ තැන් පටන් කපිලවස්තු පුරය හා කෝළිය නුවර හා දෙනුවර රජදරුවන්ගේ ආවාහ විවාහ සම්බන්ධය නො නැසී පැවැත්ත.
මෙසේ දෙතිස් බෑයෝ දෙතිස් පායක් නංවා, දෙතිස් පවුරු, දෙතිස් දොරටු දෙතිස් උයන්, දෙතිස් පොකුණු නිමවා කෝළිය නුවර සමෘද්ධ කොට වාසය කරන්නාහු එකී එකී දෙන දෙතිස් දෙතිස් ම දරුවන් වැදූහ. එතැන් පටන් කෝළිය වංශයෙහි නො එක් දහස් ගණන් රාජපරම්පරා ගිය කල කෙළවර බුදුකෙනෙකුන්ට මුතුන් වන පින් ඇති දෙවුදහ රජහු පිත් අනුශාක්‍ය නම් නරේන්ද්‍රෙයක් විය. සිංහ හනු රජහු නං මහා යසෝධරා දේවී ඒ අනුශාක්‍ය රජහට අගමෙහෙසින් ව සුප්‍රබුද්ධ ය, දණ්ඩපාණී ය යි යන රජකුමරුවන් දෙදෙනා හා මහාමායා දේවිය, මහා ප්‍රජාපතී යයි යන දූන් දෙදෙනා හා දරුවන් සතරදෙනකු වැදුව. ඔවුන් අතුරෙන් මහාමායා ප්‍රජාපතී නම් ඒ දූ දෙදෙන ම දෙවඟනන් බඳු වූ රූ ඇතියහ. උපන් හිමින් රා බොන්නවුනුත් නො දකිති. කෙළි පිණිසත් බොරු නො කියති. අනුන් සතු වස්තුවක් ලෝභයෙන් නො බලති. ලේඬිත්තකගෙත් ප්‍රාණයෙක් නො නසති. අපට තරම් ස්වාමි පුරුෂයකු දක්නා තුරු පර පුරුෂයකු නො දකුම්හ යි කියති. එ කල නකත් දන්නා බමුණෝ මේ කුමරියන් දෙදෙනාගේ උතුම් වූ ස්ත්‍රී ලක්‍ෂණ දැක “මේ කුමරියෝ දෙදෙන මතු පුතුන් දෙදෙනකු ලබති. එකෙක් චක්‍රවර්ති රජ වෙයි. එකෙක් බුදු වෙයි” කීහ.
එ බස් අසා දඹදිව තෙ සැට දහසක් රාජධානියෙහි රජුන්ගෙන් වෙන වෙන එවන රුවනින් අතුරු නො වී ය. ශුද්ධෝදන රජ්ජුරුවෝ එ පවත් අසා “බැදෑ රජ දූන් දෙදෙනා ම අනික් රජක් හට නො හරිමි”යි මඟුල් කොට දෙ බිහින්නන් ගෙන ගොස් අගමෙහෙසින් කළහ. එ කල මහාමායා නම් ඒ බිසොවු අඛණ්ඩ කොට පඤ්චශීලය රක්‍ෂා කෙරෙති. රජහට පතිව්‍රතා ධර්මය රක්‍ෂා කෙරෙති. උතුම් වූ ආචාර ගුණයෙන් යුක්තයහ. පෙර මහා විපස්සී නම් බුදුන් සමයෙහි අනර්ඝ වූ රත් සඳුණක් සුනු කොට බුදුන්ට පුදා “මම ද නුඹ සේ ම බුදුකෙනකුන්ට මවු වෙම්ව”යි කරන ලද ප්‍රාර්ථනා ඇත්තීය.
එ කල මාගේ ශ්‍රී මහා බෝධිසත්ත්‍වයන් වහන්සේ ඒ තුෂිත පුරයෙහිදී දස දහසක් සක්වළ දෙවියන් කළ ආරාධනායෙන් සිටිය දී ම මිනිස්ලොව බලා මේ මහා මායාදේවී නම් වූ ශුද්ධෝදන රජ්ජුරුවන් අගමෙහෙසින් කළා වූ උත්තමාඞ්ගනාවන් දැක “ඕ මට මවු වන්ට පින් ඇත්තී ය. ඇගේ පාරිශුද්ධ වූ කුසයෙහි ප්‍රතිසන්‍ධිය කෙරෙමි”යි බලා සනිටුහන් කළ සේක.
තව ද බුදුන් උපන් කුස නම් ධාතුකරඬුවක් සෙයින් අනික් සත්ත්‍ව කෙනෙකුන්ට වාසස්ථාන නො වෙයි. මළමුත්‍රයන් අටගත නො හැක්ක. කෙලෙස් මළ ද නූපදනේ ය. බුදුන් මවුකුස පිළිසිඳි දා පටන් ඒ ආත්මභාවයෙහි මෑණියන්ගේ මෛථූන සංවාසයක් නො ම ඇත මැනව. මේ මේ කාරණයෙන් බුදුකෙනෙකුන් වැදූ මෑණිකෙනෙකුන් ඔබ උපන් සත් දවසින් මිය දෙවුලොව ගිය මැනව. එසේ හෙයින් ඒ මහාමායා දේවීන්ගේ ආයු කෙතෙක් කල් දෝ හෝ යි පරීක්‍ෂා කොට තුන්සිය සත් දවසකට ආයු දැක මවුකුස පිළිසිඳිනා කාලය මේ යයි දුටුසේක. මේ පස් වන මාතු විලොකන නමි.
මෙසේ මාගේ බෝධිසත්ත්‍වයෝ මහ බැලුම් පසක් හා මහ ශබ්දයෙන් උපන් සූක්‍ෂ්ම බැලුම් ලක්‍ෂගණන් බලා “මිනිස්ලොව ඉපැද මා බුදුවීමට ඒකාන්ත කාලයැ”යි දැන එ තැනට රැස් ව ආරාධනා කළ දසදහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මසේනාවට “බුදුවන්ට මනුෂ්‍ය ලෝකයට යෙමි”යි ප්‍රතිඥා දී “තෙපි හැම තොප තොපගේ දෙව්ලෝ යව” යි සමුදුන් සේක.
එකල දිව්‍යබ්‍රහ්මරාජයෝ “සාධු සාධු බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මොහාන්‍ධකාරයෙන් එකාන්‍ධකාරව තුබූ නිවන් පුරයෙහි මේ වීරපුරුෂයා අගුලු නැති කෙරෙයි. දේශනා රශ්මීන් ඒකාලෝක කෙරෙයි” කියා බුදුන් බුදුවූ දා සේම බුදු වෙමි යි කීබස් අසා සතුටු වූ දස දහසක් සක්වළ මුළුල්ලෙහි දිව්‍යබ්‍රහ්මරාජයෝ දොහොත් මුදුන් දී දෙලක්‍ෂ සතළිස් දහසක් සාධුකාර පූජා කොට ගියහ.
මෙසේ බුදු නොව බුදු වෙමි යි දුන් ප්‍රතිඥාවෙන් දිව්‍යබ්‍රහ්මයන් සන්තෝෂ කරවා බොහෝ වූ සාධුකාර පූජා ලත් හෙයිනුත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත් සමන්තභද්‍ර වූ; පරදුඃඛ දුඃඛිත වූ, කරුණානිධානා වූ, ලෝක දිවාකර වූ, ත්‍රෛෙලාක්‍ය චූඩා මාණික්‍ය වූ, මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියනලදුයේ මැයි;
පූජා විසේසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලෝකනාථො,
අත්‍ථානුරූපං “අරහං”ති ලෝකෙ
තස්මා ජිනො අරහති නාමමෙතං - යි.
මේ පූජාවලියෙහි අප බුදුන් පඤ්ච මහා විලොකනාවසානයෙහි දී ලද
සාධුනාද පූජා කථා නම් වූ සත්වන පරිච්ඡේදය නිමි.