පස්මහා කෝලාහල

star_outline

ලෝකයෙහි: කල්ප කොලාහල ය, චක්‍රවර්ති කොලාහල ය. බුද්ධ කොලාහල ය, මඞ්ගල කොලාහල ය, මොනෙය්‍ය කොලාහල ය යි පස් කොලාහලයෙක් ඇත. හේ කෙසේ ද? යත්;

කල්ප කොලාහල නම් කවර? යත්;

ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ කල්ප විනාශයට පූර්වභාගයෙහි ලක්‍ෂයක් හවුරුදු තිබිය දී ලොවට ඉෂ්ට වූ කාමාවචර දේවතා කෙනෙක් රතක් හැඳ රතක් එකාංශ කොට ලා එක් කණෙක පත් තබා, ඉසකේ විදා පිට හෙළා, කඳුළු වැගිරෙන ඇස් ඇති ව මෙසේ අවමගුල් වූ වෙසක් ගෙන කෙළ ලක්‍ෂයක් සක්වළ ඇවිද “පින්වත් වූ සත්ත්‍වයෙනි! හවුරුදු ලක්‍ෂයක් ගිය කල කප නස්සී, කෙළ ලක්‍ෂයක් සක්වළගල් නස්සී, කෙළ ලක්‍ෂයක් මහ පොළෝ නස්සී, කෙළලක්‍ෂයක් මෙරගල් නස්සී, කෙළලක්‍ෂයක් හිමවු කුළු නස්සී, සත් කෙළ ලක්‍ෂයක් කුලපව්වෝ නස්සී, ස කෙළ ලක්‍ෂයක් දෙව්ලෝ නස්සී, දෙ කෙළ ලක්‍ෂයක් හිර සඳ නස්සී, සමහර බඹලෝ පවා නස්සී. ඒ කල්පාන්ත විනාශයෙන් ගැලවෙනු කැමැතියා නම් මවුන්ට මෙහෙ කරව, පියන්ට කීකරු වව; කුලදෙටුවන් පුදව. පස් පව් නො කරව. පන්සිල් රකු ව” යනාදීන් ඔවා තෙපුලෙන් අනුශාසනා කොට ඇවිදිති.

එ කල කෙල ලක්‍ෂයක් සක්වළ වසන හැම සත්ත්‍වයෝ ම ලක්‍ෂයක් හවුරුද්දෙන් කප නසී ල යි භීතිමත් ව “අහො දුක්ඛං, අහො දුක්ඛං” යනාදීන් මහත් වූ කොලාහල කෙරෙති. මේ කොලාහලය කෙළ ලක්‍ෂයක් සක්වළ මුළුල්ලෙහි බඹලොව ගසා පැතිර සිටී. මේ කල්ප කොලාහල නම.

චක්‍රවර්ති කොලාහල නම් කවර? යත්;

චක්‍රවර්ති රජකු උපදනාට පූර්වභාගයෙහි හවුරුදු සියයක් තිබියදී කාමාවචර දේවතා කෙනෙක් රන්වන් වූ සළුවක් හැඳ, රන්වන් වූ සළුවක් එකාංශ කොට ලා, රන්වන් වූ සුවඳ විලෙවුන් ගෙන රන්වන් පලඳනා හා මිණි වොටුනු ධරා මෙසේ රජමගුල් වෙසක් ගෙන චක්‍රවර්තීන් උපදනා මේ මගුල් සක්වළ ම සතර මහාද්වීපය වටා ඇවිද “පින්වත් වූ ජනයෙනි, සියක් අවුරුදු ගිය කල සක්විති රජෙක් මේ සක්වළ උපද්දී; ඔහු උපන් කල රා පිය නො හැක්ක; බොරු කිය නො හැක්ක; සොරකම් කළ නො හැක්ක; සතුන් මැරිය නො හැක්ක; පරදාරයෙහි අනාචාර කළ නොහැක්ක; යමෙක් තමා රහසත් මේ පස් පවින් පවක් කෙළේ නම් ඔවුන් ඉස් පැලී යෙයි; මතු තොප පස් පව් නො කිරීමට දැන් පටන් අභ්‍යාස කරව, පන්සිල් රකුව” යනාදීන් ඔවා තෙපුල් කිය කියා මුළු සක්වළ වටා ඇවිදිති.

එ කල මේ මුළු සක්වළ වැසියෝ “සියක් හවුරුදු ගිය කල සක්විති රජෙක් උපදී ල; සක් රුවනෙක් නැගේ ල, චින්තාමාණික්‍ය රත්නය ද ආකාශයෙන් ඒ රජහුගේ දොරට තෙමේ ම ඒ ල; උපෝසථ කුලයෙන් ආකාශචාරී වූ මඞ්ගල හස්තිරාජයෙක් ඒ ල; වලාහක කුලයෙන් අස් රුවනකුත් ඒ ල; උතුරුකුරු දිවයිනින් අගබිසෝරුවනක් දෙවියෝ ගෙන දෙත් ල; දහසක් පුතුන් හා සමග ඒ රජ පුත්රුවනකුත් ලැබේ ල; ඒ පුත්‍රයා සතිස් යොදනෙක ගැවසී සිටි රජහුගේ මහා සේනාවෙහි හැමදෙනා රුචි රුචි වූ ඛාද්‍ය භෝජ්‍යාදි හැමදෙනා කැමති කැමැති වස්ත්‍ර හා ආභරණයන් දී මහ පිරිස සන්තෝෂ වඩාල; යොදනක් තැන නිධාන දක්නා දිවස් ඇති සිටු රුවනෙකුත් උපදී ල; ඒ සක්විති රජ හිරු සඳ සේ වූ ගමන් ඇත්තේ ල; සතර මහා සෘද්ධි ආදි වූ මහ පින් ඇත්තේ ල” යි මේ මුළු සක්වළ වැසියෝ සාධුකාර නාද පවත්වා මහත් වූ කෝලාහල කෙරෙති. මේ චක්‍රවර්ති කොලාහල නම.

බුද්ධ කොලාහල නම් කවර? යත්;

බුදු කෙනකුන් උපදනාට දහසක් හවුරුදු තිබියදී ශුද්ධාවාස වූ දේවතා කෙනෙක් සුදු පිළිසක් හැඳ සුදු පිළියක් එකාංශ කොට ලා සුදුමල් පැලඳ සුදු විලෙවුන් ගෙන ශුභ මඟුල් වෙසක් ගෙන “පින්වත් වූ සත්ත්‍වයෙනි! මෙ තැන් පටන් දහසක් හවුරුදු ගිය කල ලොවුතුරා බුදුකෙනෙක් ලොව ඉපැද දහම්වැසි වස්වා සසර ගිම් නිවා නිවන් පුරයෙහි දොර හරිති. ඒ බුදුන්ගේ බුදුරූ හා බුදු සිරි දක්නා සත්පුරුෂ කෙනෙක් පඤ්චානන්තර්ය කර්‍මයන් නො කරව; මවුපියන්ට ආක්‍රොශ පරිභව නො කරව; නියත මිථ්‍යා දෘෂ්ටි නො ගනුව; පඤ්චශීලය රක්‍ෂා කරව; අට මහ නරකයෙහි උපදනා පව් නො කරව; අරූතල අසංඥ තලයෙහි උපදනා ව්‍රතයන් නො ගනුව; මෙ කී තැන උපන්නාහු බුදුන් නො දකිති. පන්සිල් පුරව; අටසිල් පුරව; දසපින්කිරිය වත් පුරව; ත්‍රිවිධ වූ සුචරිත ධර්‍මයන් පුරව; ඒ බුදුන් දක්නා සේ පනව”යි යනාදීන් කණ මී ඕනා සේ ප්‍රිය වූ තෙපුල් කිය කියා දස දහසක් සක්වළ වටා ඇවිදිති.

එ කල දසදහසක් සක්වළ මනුෂ්‍යයෝ ද, දෙවියෝ ද, බඹහු ද, මේ තෙපුල් අසා “දහසක් හවුරුද්දෙන් බුද්ධදිවාකරයෙක් නැගේ ල; ලොව මොහාන්‍ධකාර දුරු වේ ල; බොහෝ කලක් එළි ව තුබූ අපාය මාර්ගයෙහි [1]අකුල් හේ ල; බුද්ධාන්තර කාලයක් මුළුල්ලෙහි වල් ව පියා තුබූ නිවන් මාර්ගය එකහෙළි වේ ල” යි කිය කියා සන්තෝෂ වූවාහු අත්පොළසන් දී, ඔල්වරසන් දී, අසුරුසන් දී සාධුනාද පවත්වා ඒ මාගේ ස්වාමිදරුවාණන් දහසක් හවුරුද්දෙන් උපදිති යි යන බස් අසා දස දහසක් සක්වළ පාතාලය පටන් බ්‍රහ්මාණ්ඩය ගසා එකඝෝෂ කොට බුද්ධකොලාහල නම් වූ මහා පූජාවක් කෙරෙති. එසේ හෙයින් අර්හත් නම් වන සේක. මේ බුද්ධ කොලාහල නමි.

මඞ්ගල කොලාහල නම් කවර? යත්;

බුදුන් මඞ්ගල සූත්‍රය දේශනා කරන්නාට පූර්ව භාගයෙහි දොළොස් හවුරුද්දක් තිබියදී එසේ ම කාමාවචර දෙවි කෙනෙක් ශුභ මගුල් වෙසක් ගෙන මනුෂ්‍යපථයෙහි ඇවිද “පින්වත්නි! මෙයින් දොළොස් හවුරුද්දක් ගිය කල බුදුන් මගුල් වදාරති, එකල අසඞ්ඛ්‍යයක් ප්‍රාණීහු අමාමහ නිවන් දකිති; තෙපි තෙපි ද මගුල් අසා නිවන් දැක සසරින් ගැළවෙව”යි ප්‍රිය තෙපුල් කියති. එ කල සත්‍වයෝ “දොළොස් හවුරුද්දක් ගිය කල මගුල් අසා සසරින් ගැළවෙම්හ”යි සාධුනාදයෙන් කොලාහල කෙරෙති. මේ මඞ්ගල කොලාහල නමි.

මොනෙය්‍ය කොලාහල නම් කවර? යත්;

එසේ ම කාමාවචර දෙවි කෙනෙක් මනුෂ්‍යපථයෙහි ඇවිද “පින්වත්නි! මෙයින් සත් හවුරුද්දක් ගිය කල එක්තරා එක් මහණ කෙනෙක් බුදුන් කරා එක තැනට පැමිණ මොනෙය්‍ය පිළිවෙත් නම් වූ බුද්ධකාරක ධර්මයන් විචාරති. එ කල බුදුහු මොනෙය්‍ය පිළිවෙතින් ධර්මදේශනා කොට අසඞ්ඛ්‍යයක් ප්‍රාණීන් සසරින් ගළවති. තෙපි තෙපි ද එදා සසරින් ගැළවෙව”යි ඔවා තෙපුල් කියති. එකල සත්‍වයෝ සාධුනාදයෙන් කොලාහල කෙරෙති. මේ මොනෙය්‍ය කොලාහල නමි.

මේ පස් කොලාහලයන් අතුරෙන් බුද්ධ කොලාහලය පහළ වූ කල දස දහසක් සක්වළ දිව්‍යබ්‍රහ්මයෝ “බුදුවන්නා වූ වීරපුරුෂයාණෝ කවරෙක් දෝ හෝ”යි සොයන්නාහු පාරමිතා සාගරයෙන් [2]නැගී තුසී පුරෙහි ආයුඃශ්‍රී වළඳා සද්ධර්මශ්‍රීන් වැස පංච මහා පූර්ව නිමිත්තයන් පහළ වූ ලෝකමාතාවන් ඒ මාගේ බෝධිසත්ත්‍වයන් දැක දස දහසක් සක්වළ දස දහසක් ශක්‍රයෝ ය, දස දහසක් සුයාමයෝ ය, දස දහසක් සන්තුෂිත දිව්‍යයෝ ය, දස දහසක් සුනිර්මිත නම් දිව්‍යරාජයෝ ය, දස දහසක් පරනිර්මිත නම් දිව්‍යරාජයෝ ය, දස දහසක් සහම්පති මහා බ්‍රහ්මයෝ ය, සෙසු හැම බ්‍රහ්මරාජයෝ ය යි යනාදි මෙ කී දිව්‍යරාජයෝ තමන් තමන්ගේ දිව්‍ය පර්ෂද් හා සමග මේ මගුල් සක්වළ තුසී පුරයෙහි රැස්ව මාගේ ස්වාමිදරු වූ සන්තුෂිත නම් වූ බුද්ධාංකුරයාණන් වටා දොහොත් මුදුන් දී සිට;

ක ලොයං තෙ මහාවීර උප්පජ්ජ මාතුකුච්ඡියං

සදෙවකං තාරයන්තො බුජ්ඣස්සු අමතං පදං - යි.

යන මේ ගය කියා “ස්වාමීනි, බුද්ධාංකුරයාණෙනි! සමතිස් පැරුම් පුරා සාරාසඞ්ඛ්‍යය කප ලක්‍ෂයක් මුළුල්ලෙහි සංසාරයෙහි ඇවිද පින් රැස් කළා වූ තොප විසින් ශක්‍ර සම්පත්, මාර සම්පත්, බ්‍රහ්ම සම්පත්, චක්‍රවර්ති සම්පත් ප්‍රත්‍යෙක බෝධි සම්පත්, ශ්‍රාවක බෝධි සම්පත්, එක කලෙකත් ප්‍රාර්ථනා නො කරන ලද; ඉස්, ඇස්, මස්, ලේ, අඹුදරුවන් දන් දුන් නුඹ විසින් බුදුබව ම ප්‍රාර්ථනා කරන ලද; එසේ හෙයින් දැන් නුඹගේ පාරමිතාවෝ කුළුගත්හ. පස් බුදු කෙනෙකුන්ගෙන් උතුම් වන මේ මහා භද්‍ර කල්පයෙහි කකුසඳය, කෝණාගමන ය, කාශ්‍යප ය යි තුන් බුද්ධාන්තරයක් ගොසින් දැන් මේ නුඹ බුදුවන්නා වූ කාලය ය. බුදුන්ගේ චාරිත්‍ර වූ මවුකුසෙක පිළිසිඳ දෙව්මිනිසුන් සසරින් ගොඩනඟා ලොවුතුරා බුදු ව නිවන්පුර පුරව” යි මෙසේ ඒ දස දහසක් සක්වළ දෙවියෝ ආරාධනා කළහ. එ කල මාගේ බෝධිසත්ත්‍වයෝ දෙව්බඹුන්ගේ ආරාධනා නො පිළිගෙන ම කාලය, දීපය, දේශය, කුලය, ජනෙත්තීය, ආයුෂය යන මේ පංච මහා විලොකනයන් කළ සේක.

  1. අකුල්හෙලා.

  2. ගැළවී