එ කල විජයබාහු රජ නො බා ම රාජ්‍ය රක්ෂා භාරය පිළිගෙන පියරජහු කී ඔවා තෙපුල් නැමැති මස්තක මාලාවෙන් තමන් මස්තකය සරහා “මපියාණන් වහන්සේට, මා අතිජාත පුත්‍ර වන බවු ඔබ සමයෙහි ම ඔබ හා ලෝකවාසීන්ට දක්වා මුත් නො හරිම් ම ය”යි මහත් වූ රාජාභිමාන බැඳ:
ස්වාම්‍යමාත්‍යං ච රාෂ්ට්‍ර ච-දුගිං කොෂො බලං සුහෘත්,
එතත් ප්‍රකෘතයස්සප්ත-සප්තාඞ්ගං රාජ්‍යමුච්‍යතෙ-යි.
යන රාජ සප්තාඞ්ගය කල්පනා කොට ඊට මට ආත්ම සමාන වූ අදහස් නො වරදවන්නා වූ කොතුහල මන්ත්‍රී වූ සිත ඇත්තක් නො හඟවා කථා කොට පියන තරම් මිත්‍රාඞ්ගයට කවර කෙනෙක් සමර්ථයෝ දෝ හෝයි පරීක්ෂා කරන්නාහු, සහෝදරයන්ටත් වඩා පණ්ඩිත වීරබාහු රජහු වැලි කෙළියෙහි පටන් ස්වප්නයෙනුත් තමන් හා විශ්වාසයක් මුත් අවිශ්වාසයක් නැති නියාවත් ඔවුනොවුන් නො දැක නො වසන ප්‍රේම ඇති නියාවත්, තමන් සේ ම ලෝවැඩ සසුන් වැඩෙහි අති ලෝභ නියාවත්, පොළොව සමාන ඥාන බල මන්ත්‍රී බල ඇති නියාවත් පරීක්ෂා කොට සුහෘදඞ්ගයට ඔහු ම මට තරම්හු ය යි සිතා ඔවුනොවුන් හා සමඟ මන්ත්‍රණය කොට එතැන් පටන් දෙසුහුරු රජහු එක්ව ගෙන “පළමු කොට කෙබඳු වූ පිනක් කරමෝ දෝ හෝ”යි කල්පනා කොට “දළදා ස්වාමීන්ට පිය රජහු කැරවූ ජම්බු ද්‍රොණි පුරයට මස්තකයෙහි දළදා ගෙය බොහෝ කාලයක් වැඩහුන් හෙයින් ජරාවාස ය, මට පාවා දුන් ස්වාමීන් මා කැරවූ දළදා ගෙයෙක ම වැඩහුන මනා වේ දැ”යි සිතා පරණ දළදා ගෙය බිම් පිස කරවා පෙර කළ කර්මාන්තයට දිවුණ දිවුණා කර්‍මාන්ත කරවන්නාහු, සිය ගණන් මෙහෙකරුවන් රැස් කොට, නොබෝ දවසකින් දිව්‍ය විමානයක් මෙන් අසමාන වූ දළදා ගෙයක් නිමවා, නුවර මහ පූජාවෙන් එහි දළදා වඩා, පෙර කලටත් වඩා දවසින් දවස පූජා ව්‍යවස්ථා කරවා තමන්ගෙන් රකවල් ලවා ඒ පින ද පිය රජහු නමීන් ම දන්වා යවා,
එ තැන් පටන් ගඞ්ගෝදකයට යමුනෝදකය වැද ගියා සේ පිය රජහු තමන් කෙරෙහි ඇති මේ වතුරු දිවුණු කරවා ගෙන, පරාක්‍රමබාහු–ජයබාහු රජකුමරුවන් දෙදෙනා බාල හෙයින් පිය රජහට දරුශෝකයක් වැද්ද නො දෙන සේ සමීපයෙහි වසව යි රජහු ලඟ රඳවා. ත්‍රිභුවන මල්ල නම් මල් රජහු ජම්බුද්‍රෝණි නම් පුරයෙහි පටන් දකුණු පසෙහි සමුද්‍රාන්ත කොට පියරජහට අරක්ගන්නා සේ නියෝග කොට සිටුවා, ඕහට ද දකුණු පස පිරිස් පාවා දී භුවනෙකබාහු නම් සහෝදර මල් රජහු යෝධ බල හෙයිනුත්, යුද්ධ කාමී හෙයිනුත්, ද්‍රවිඩයන් බොහෝ සේ බස්නා කුඩවැලිගං ගසා උත්තරාපථයෙහි පියරජහට අරක් ගන්නා සේ නියෝග කොට, යාපවුගල පිහිටුවා ඒ දිග්හි බලපිරිස් ඕහට පාවාදී, වීරබාහු රජහු හා සමග තුමූ ලක්දිව ඒ ඒ තන්හි ඇවිද රාජ්‍යය තැන්පත් කොට පොළොන්නරු නුවර කරවම්හ යි කියා පියරජහු අතින් සමු ගෙන නික්මුණාහ.
එ කල පරාක්‍රමබාහු මහ රජාණෝ පුත් රජහු කෙරෙහි උපන් මහ පෙම් වතුරෙන් ඉපිල පැන නැංගා සේ, හුනස්නෙන් පැන නැඟී පුත් රජහට පසු ගමන් කොට “ම පුතුන් කෙරෙහි පෙම් ඇති සෙනඟෙක් ඔහු හා සමඟ යව”යි නියෝග කළහ. එතෙපුල් ඇසූ සියලු රාජ්‍යවාසීහු “අප බෝසත් විජයබාහු රජ රාජ්‍යය ලදහ, ඔවුන් හා සමග අපි යම්හ, අපි යම්හ”යි ඔවුනොවුන් පරයා ඌමිවේගයෙන් උද්දාම වූ සමුද්‍රයක් සේ නික්මුණාහ.