එ කල පරාක්‍රම බාහු රජ පුත් රජහුගේ අපරිමිත ගුණ අසා සතුටු කඳුළෙන් නුවන් තෙමා, ඔහු ළඟට කැඳවා, සිඹ සනහා, සම ආසන ව හිඳුවා, සෙසු රජ පස් දෙනා ද, දළදා-පාත්‍රධාතු ද, මහ සංඝයාද, අමාත්‍ය මණ්ඩලයද, මුළු හෙළදිව රාජ්‍යය රක්ෂාවද ඕහට ම පාවා දී තමන් මායා රජයෙහි රාජ්‍යය කළ හෙයින්, අරාජීතයෙහි නැසී ගිය ලක්දිව ජන පීඩා වන හෙයිනුත්, බොහෝ සංග්‍රාමයෙහි නියුක්ත හෙයිනුත් රුවන්මැලි මහසෑය බඳවා කොත් පලඳවා ගත නුහුණු නියාවත්, දෙමළුන් නැසූ මූල රාජධානිය පොළොන්නරුව සමෘද්ධ කරවාගත නුහුණු නියාවත්, අරාජිතයෙහි මායා රජයට වැඩි වන දළදා ස්වාමින් කඳවුරු ගෙන ගොස් දළදා ගෙට නො වැඩු නියාවත්, දාස් තොටදී රජයෙහි ජනයන් හා මහා සඞ්ඝයා රැස්කොට මලුකම් කරවා ගත නුහුණු නියාවත්, තමන් කඳවුරු ගොස් අභිෂේක මඟුල් නොකළ නියාවත් යනාදි වූ ලෝ වැඩ සසුන් වැඩ කියා “පෝසත් වූ නම්, මේ ආදී රාජ්‍ය ක්‍රියාවෙහි යෙදී, මපියාණන් වහන්සේට මා සේම තෙපිදු මට අතිජාත පුත්‍ර වව”යි අනුශාසනා කොට රාජ්‍ය රක්ෂාව පාවා දුන්හ.