ලක්දිව ඇමැතියන් අඹුවොත් “මතු අප ඇම රකු නම් බෝසත් විජයබාහු රජහට දැන් පටන් සේවය කරව”යි තමන් තමන් පුරුෂයන් උගන්වත්ල, කිරිබොන දෙ තුන් හැවිරිදි බාල දරුවෝ මවුන් පියන් සුරතල් විඳුම්හ යි “මතු පුත කාට සේවය කරවු දැ”යි විචාළ කල්හි “අප බෝසත් විජයබාහු රජහට සේවය කරම්හ”යි කියති. මවුන් පියන් අතින් සනා පහර ලද කිරිබොන කුමරහු “විජයබාහු රජ දැක තමන් ගෙඩි කෑ පවත් කියා මවුන් පියන්ගේ දැඩිකම් රජහට පමුණත්ල, විජයබාහු රජ කුමරුවන්ගේ බස් අසා මවුන් පියන් ගෙන්වා ඔවුන්ට ප්‍රසාද දී කුමරුවන් නො මරන සේ කියා කුමරුවන්ට වැටුප් තබා, දෙත්ල. ලක්දිවවාසීන් ලවා බෝ සත් විජය බා රජ ය යි තුඬ තුඬ කියවා මේ ආදි ගුණයෙන් ජනානුරඤ්ජනයෙන් යෙදී වෙසෙති; දේවයෙනි! අහස් බලා සඳ කොයි දැ යි විචාරන්නා සේ ඔහුගේ ගුණ දැන දැන අප අතින් විචාරනු කිම් ද? ලඞ්කාද්වීපයට රාජ්‍යය තබා ජම්බුද්වීපයටත් රාජ්‍යය කරත් පින් බල ඇතියාහ, මතු තබා දැන් ම තොපට අතිජාත පුත්‍රභාවයෙන් යෙදිනැ” යි යනාදීන් තමන් තමන්ගේ මුඛ නො පොහොනා සේ ඔහු ගුණ වර්ණනා කළාහ.