“මතු අරාජිතයෙක පරසතුරන්ගෙන් පීඩාවක් නො වන සේ දළදා ස්වාමීන්ට ක්‍ෂේමස්ථානයක් කරවමි”යි සිතා බෙලිගල සිසාරා පවුරුපදනම් වාසලින් සුරක්ෂිතකොට ආකාශයෙන් විනා මනුෂ්‍යකෙනකුන් වැද්ද නොහැකි සේ ඉතා ක්‍ෂේම කොට, පර්වත මුදුනෙහි දෙව්ලොවින් බට වීමානයක් සේ අසමානවූ දළදාගෙයක් නංවා සිසාරා රත්පත්, සුළුපා, මහපා, චංක්‍රමණ, මණ්ඩප, පැන් පොකුණු ආදි වූ සංඝාරාමයන් කරවා, මහත් වූ මඞ්ගල්‍යයෙන් දළදා ස්වාමීන් එ ගෙට වඩා, දන්තධාතු ආරක්‍ෂාවෙහි නියුක්ත වූ ස්ථවිරගණයාට සංඝාරාමය පිළිගන්වා, දානවෘත්ති නංවා දවස් පතා පූජා පෙරහර කරන සේ ව්‍යවස්ථා කොට රජගෙන්- බුදුන්ගෙන් සම සමයෙහි රකවල් ලවා, අප්‍රමාණ වූ පූජා කළහ.
දෙවනුව ශාසනෝපකාරයට පටන් ගෙන, ලක්දිව පොත්පත් දෙමළුන් නැසූ හෙයින්, සංඝයාගේ අකුරු පමා පමා සේ අසා බුදුන්ගේ සුවාසූදහසක් ධර්‍මස්කන්ධයට සුවාසූදහසක් මසුරන් පුදා, ගම ගම කුලියට පොත් ලියන සේ නියෝග කොට, ලක්දිව මහාසංඝයා රැස්කොට බොහෝ දවසක් අසමඟ වූ සංඝයා සමඟකොට, මලුකම් කරවා, මහත් වූ පූජා කොට තුන් රජයෙහි සියලු සංඝයාට නො වරදවා අටපිරිකර දී, සද්දවසක් මලුකම් පූජා කොට, තව ද, තමන්ගේ නමින් විජයසුන්‍දරාරාම නම් වූ ආරාමයක් කරවා, සාංඝික කොට පිළිගන්වා, මහත්වූ පූජා කොට, “අකුරු කරන සංඝයා ප්‍රත්‍යයක් නිසා දුක් නො ගන්නේ ය, මා ගෙදොරට ම සිඟා වඩනේය” යි ආරාධනා කරමින් වැඩි වැඩි දහස් ගණන් සංඝයාට දවස් පතා දොර දන් දී, ස්ථවිරාදි මහා ස්ථවිරාදි ස්ථානාන්තරප්‍රාප්තතෙනට දවස් පතා දන් වසුන් තබා දී, බොහෝ සංඝයා අකුරු කරවා ශාසන සංග්‍රහයෙන් තුණුරුවන් පිදූහ.
තව ද: වත්තල තමන් නමින් විජයබාහු නම් රජ මහා විහාරයක් කරවා පිළිගන්වා, කැළණි වෙහෙර දෙමළුන් විසින් නට මහසෑය බඳවා, කොත් පලඳවා, එහි ම වූ පූර්‍ව වාසල මුල්පිස කරවා, සෙසු ජරාවාස කටුකොහොල් පෙරළවා, එසේ ම මායා රජයෙහි සියලු ජරා අවස් පෙර තිබූ පනතින්ම නව කර්‍මාන්ත කරනසේ නියෝග කොට; තව ද; තමන් ලෝකශාසන ප්‍රතිෂ්ඨාවෙහි මහත් වූ අභිලාෂ ඇත ද, ගිය යොවුන් කාලයෙහි රජය ලත් හෙයින් ද්‍රවිඩ යුද්ධ කොට, ලඞ්කාව තනා, නටබුන් වෙහෙර කරවා ලෝවැඩ කිරීමට කල් මඳ සේ දැන, තමන්ගේ අතිජාත පුත්‍ර වූ පරාක්‍රමබාහු-භුවනෙකබාහු නම් ඈපාවරුන් දෙදෙනාගේ ලක්‍ෂණ බලවා, පරාක්‍රම බාහු නම් මහලු පිත් කුමරහු මතු මුළු ලක්දිව පරසතුරන් මැඩ ලෝකශාසන පිහිටුවා, දඹදිව ද කීර්ති පතුරුවා, නො එක් දේශයෙන් බිසෝවරුන් ආදි අනැගි අනැගි පාක්කුඩම් ගෙන්වා, දීපච්චක්‍රවර්ති ව රජය කරන පින් ලකුණු ඇති සේ අසා;
රජපා සතුටු ව, සතුටු කඳුළෙන් නුවන් තෙමා, කුමරහු ඇකයෙහි හිඳුවා, සිඹ සනහා දෙදෙනා ම මතු ඔවුනොවුන්ට පෙම් සහිත ව වසන සේ, මල් රජහු බෑ රජහට සුවච ව වසන සේ, ද්‍රවිඩයන්ගේ බල මහත් හෙයින් ද්‍රවිඩ සංග්‍රාමයට උත්සාහ නොකරන සේ, සලගල කඳුරු පැන නොයන සේ, සම්පත් මදයෙන් මත් නොවන සේ, ක්‍රෝධයෙන් ජය නොගන්නා සේ, මෛත්‍රී බලයෙන් ම ජය ගන්නා සේ, අනර්ථයෙහි ප්‍රාණයක් නො නසන සේ කාවන් තිස් රජහු දුටුගැමුණු-සැදෑතිස් දෙදෙනාහට කී සෙයින් පෙම් සහිත වූ නො එක් ඔවා තෙපුල් දී, ධර්‍මනීති, ලොකනීති, රාජනීති, අක්‍ෂර ලිඛිතාදි නො එක් සිවුසැට කලා ශිල්පයෙහි දක්‍ෂ කරවා, පරාක්‍රම බාහු නම් ජ්‍යෙෂ්ඨ ඈපාණන් සංඝරක්ෂිත නම් මාහිමියන් ආදිවූ මහ සංඝයා කරා ගෙන ගොස්, ඔවුන් මහාසංඝයාට පාවාදී, මහසංඝයා හා දළදා-පාත්‍ර ධාතුව හා රාජ්‍ය වාසීන් ඔවුන්ට මතු ලෝකශාසන රක්‍ෂාවෙහි අප්‍රමාද වන සේ කියා මෙසේ ලඞ්කා නමැති කෙත්හි රජබිජු පිහිටුවා, ලෝක-ශාසනයට තමන් බලානුරූපයෙන් වැඩ කොට සතර හවුරුද්දක් රාජ්‍යය කොට කීර්ති පුඤ්ජාවස්ථානය කළහ.
ඉක්බිත්තෙන් පියරජහු අයාමෙන් පරාක්‍රම බාහු රජ පැන නැඟී සියලු සිංහල සෙන් රැස් කොට නුවර දෙව්පුරයක් සේ සරහා පළමු වන අභිෂේක මඞ්ගල්‍යය කොට, මල් රජහට යුවරජ–මහාපා තනතුරු දී පියරජහු තුබූ ලෙස ම දානවෘත්තිය පවත්වන සේ නියොග කොට, ලක්දිව හුන් පර සතුරන් සාදා ලුහුබැඳ ලඞ්කා නමැති අඞ්ගනාව අනිකක්හට නො හරිම් ම ය, මට ම පතිනි කරවම් ම යයි මහත් වූ රාජාභිමාන කොට, “පළමු ව දළදා ස්වාමීන්ට සත්කාරයක් කොට, පසු ව ද්‍රවිඩ යුද්ධ කරමි”යි සිතා දළදා ස්වාමින් මහත් වූ උත්සවයෙන් ජඹුද්‍රොණි නම් පුරයට ගෙන්වා, එහි තමන්ගේ රජගෙට නුදුරු තැන සිතු සිතු විට ගොස් තුන් වේලෙහි වඳිනා සේ අනැඟි වූ දළදා ගෙයක් නංවා ඒ මධ්‍යයෙහි අනැඟි වූ ආස්තරයෙන් ආසනයක් තනවා, දළදා ස්වාමීන් වැඩහිඳිනා මිණිරුවන වසා සිටිනා සේ අනැඟි වූ රුවනින් අතුරු නැති විසිතුරු වූ රුවන් කරඬුවක් කරවා, ඒ වසා සිටිනා සේ පන්දහසක් ඝනරන් ගෙන පස්දිසි ලක්‍ෂයක් අගනා ඝනරන් කරඬුවක් කරවා, ඒ වසා සිටිනා සේ පස්විසි දහසක් රිදීයෙන් පස් ලක්‍ෂයක් ම අගනා රිදී කරඬුවක් කරවා, දළදා ගෙය පටන් මුළුනුවර අලංකෘත කොට සරහා නිමවා, දළදා ස්වාමින්ට මහත් වූ උත්සවයෙන් පූජා කොට මහසඟ මැද දළදා ස්වාමින් තමන් අත්ලට වඩාගෙන සත්‍යක්‍රියා කරන්නාහු;
අප බුදුහු තුන් වාරයක් ලක්දිව් වැඩ තුදුස් තෙනක් පාරිභෝගික කොට අරක් දී වැඩියාහු ය, එසේ හෙයින් මේ ලක්දිව නම් මිථ්‍යා දෘෂ්ටි ගත් රජුන්ට ම නො සීහෙනු එකාන්ත ධර්මයෙක සම්‍යක් දෘෂ්ටිගත් රජුන්ට ම සීහෙනු ද එකාන්ත ධර්මයෙක එසේ හෙයින් පෙර මහා වංශයෙහි පළමු වන වාරයෙහි බැස ලෝ සසුන් නසා දෙවිසි හවුරුද්දක් රාජ්‍යය කළා වූ ආශ්වාචාරී දෙමළුන් අසේල නම් සිංහලාධිපති රජෙක් ම සාදා ලෝක ශාසනයට වැඩ කෙළේ ය. දෙවන වාරයෙහි බැස සුසාලිස් හවුරුද්දක් රජය කළා වූ එළාල දෙමලුන්, දුෂ්ටගාමිනී නම් සිංහලාධිපති රජෙක් ම සාදා ලෝ වැඩ කෙළේ ය. තව ද: තුන්වන වාරයෙහි බැස තුදුස් හවුරුදු සත් මසක් වාසය කළා වූ පඤ්ච ද්‍රවිඩයන්, වළගම් අබා නම් ශ්‍රීලංකාධිපතියෙක් ම සාදා ලක්දිවට වැඩ කෙළේ ය.
සුළු වංශයෙහි සතර වන වාරයෙහි බැස සත් විසි හවුරුද්දක් රජය කළා වූ සරජ ද්‍රවිඩයන්, දාසෙන් කැලි නම් ශ්‍රී ලංකාධිපති රජෙක් ම සාධා ලෝ වැඩ කෙළේ ය. තව ද පස් වන වාරයෙහි බැස සයාසු හවුරුද්දක් වාසය කළා වූ සයානූදහසක් පමණ මහ සොළී දෙමළුන්, මහලු විජය බාහු නම් ලංකාධිපති රජෙක්ම සාදා ලෝ සසුන් රක්‍ෂා කෙළේය. දැන් මේ සවන වාරයෙහි බැස වෙහෙර සසුන් නසා පිහිටි රජය මුළුල්ලෙහි බලාත්කාරයෙන් ගෙන හිඳිනා මාඝරාජ ය, ජයබාහුය යන ද්‍රවිඩ රාජයන් දෙදෙනාගේ දෙමළුන් මම ද සාදා ලක්දිව ලෝක ශාසන දෙකට වැඩක් කරනු කැමැත්තෙමි, එයිදු සබා ම ය.
තව ද කොසොල් රජ්ජුරුවන්-බිම්සාර රජ්ජුරුවන් තමන් ජීවමාන බුදුන් සමයෙහි උපන් හෙයින් බුදුන්ගේ නො එක් පෙළහර හා දේශනාවන් අසා දැක තමන් තමන්ගේ ජීවිතවල ඵල ලදහ. ධර්මාශෝක දෙවන පෑතිස් දුෂ්ට ගාමීනී ආදී වූ බුදුන් අජීවමාන කාලයෙහි උපන් රජදරුවෝ ද, තමනු දු මහ පින්බල ඇති හෙයින් නිර්මිත බුද්ධරූප හා පෙළහර දැක නො එක් පින් රැස් කළහ. බුදුන්ගේ අජීවමාන පෙළහරෙක් නම් අධිෂ්ඨානයක් ඇතිව ම වන බවක් මිස, නිකම් වන පෙළහරෙක් නැත; අප බුදුන් පරිනිර්‍වාණ මඤ්චකයෙහි වැදහෙව පඤ්ච මහා අධිෂ්ඨානයක් කළ සේක. මේ ලෝකයෙහි මහා ශබ්දයෙක් නම් එ බඳු වූ කුඩා වස්තුවක් නො හඟවා ම ය; මහා අධිෂ්ඨාන ශබ්දයෙන් උපන් සූක්‍ෂම වූ අධිෂ්ඨානත් ඇතිවනු එකාන්ත ම ය. මේ ආදී කාරණයෙන් පන්දහසක් හවුරුදු පවත්නා තමන් වහන්සේගේ ශාසනයෙහි මතුවන ශ්‍රද්ධාවන්තයන් බලන්නා වූ බුදුහු මාත් නුදුටු සේක් දෝ හෝයි නොසිතමි. බුදුහු මාත් දැක වදාළසේක් වී නම් බුදුන් කළ සූක්‍ෂම වූ අධිෂ්ඨානත් ඇත් නම්, මම ද පෙර ලක්දිව වැඩ කළ වීරරජුන් කෙරෙහි ඇතුළත්වීම් නම්, පරසතුරන් සාදා ලක්දිව හෙලි කෙරෙම් නම්, මා නිසා ලෝක-ශාසනයට වැඩෙක් වේ නම් දැන් මට ද කිසියම් පෙළහරක් පෑ වදාළසේක් වී නම් යෙහෙකැ”යි සිත සිතා බලබලා සිටියාහ.
එ කෙණෙහි පියුම් ගබ පල රාජහංස ලීලාවෙන් රජහුගේ කර තලාමල පද්මයෙහි ලීලොපෙත ව වැඩහුන් දළදා ස්වාමි, රජු හෙළූ ඇසපිය ඔසවා නො ලන ඇසිල්ලෙහි ආකාශයට පැන නැඟී ජීවමාන බුද්ධරූපය මවා, සියලඟින් සවනක් රස් විහිදා, මුළු නුවර ඒකාලෝක කොට, කිසි යම් පෙළහරකින් රජහු සන්තෝෂ කරවා ආකාශයෙන් බැස නැවත හස්ත තලයෙහි පෙනී ගිය සේක.
ඒ පෙළහර දුටු මහ සඟ පිරිස දුන් සාධුකාරයෙන් හා මහ පිරිස දුන් ස්තුති ඝෝෂාවෙන් මුළු නුවර එක කෝලාහල විය. එ වේලෙහි රජ්ජුරුවෝ “මම ද ජීවිතයෙහි ඵල ලදිම් ම ය. මහපින් රජුන් කෙරෙහි ඇතුළත් වීම් ම ය”යි පස්වනක් ප්‍රීතින් පිනා එම මොහොත ම දළදා ස්වාමින් තුන් කරඬුයෙන් දළදා ගෙට වඩා සක් රුවනක් ලද සක්විති රජකු සේ පින පිනා නො එක් රත්නාභරණයෙනු දු පුදා, තව ද: වඩ වඩා සද්දවසක් මහ පූජා කළාහ. එයින් කීහ.
ලඞ්කාධිනාථකරපඞ්කජරාජහංසී
නිම්මාය සා දසනධාතු මුනින්‍දරූපං
නෙකෙහි රංසිවිසරෙහි සමුල්ලසන්තී
සබ්බා දිසා ච විදිසා සමලඞ්කරිත්‍ථ
දිස්වා තමමහත මතීව පසන්නචිත්තො
සම්පත්තයක්කරතනො විය චක්කවත්ති,
සෙට්ඨෙ හි නෙක රතනාභරණාදිකෙහි
පූජෙසි ධාතුමස්මිං මනුජාධිනාථො–යි.
එ තැන් පටන් රජහුගේ මහත් වූ පින් බෙලෙන් හා ශ්‍රද්ධා බෙලෙන් හා තුනුරුවන් බෙලෙන් සියලු ලංකාවාසීහු රජහු කෙරෙහි හය ගෙන වසන්නාහු ආඥාචක්‍ර මඩනට අසමර්ථය හ. නා නා දේශවාසී රජදරුවෝ ද ඒ රජහට නො එක් පඬුරු එවන්නාහ. එ කල තමන්ගේ ආඥා පින් බෙලෙන් හා මල් යුව රජහුගේ මන්ත්‍රී බෙලෙන් ලංකාවෙහි පරසතුරන් සාදන්නාහු දිවි නැසුව මනා වරදෙහි දඟගෙයි ලවමින්, දඟගෙයි ලුව මනා වරදෙහි කිසියම් නිග්‍රහයක් කරවමින්, රටින් නෙරපුව මනා වරදෙහි දඩ ගනිමින්, දහස් ගණන් දඩගත මනා වරදෙහි උදහස් පමණෙකින් හරිමින්, නො එක් යුද්ධ කරන්නාහු පියරජහු දවස සාදා ගත නුහුණු සිංහල මහවන්නීන් තමන් හුන් පොළ හිද ම සාදා, නො එක් රටවල් ගෙන, ලක්දිව සිංහල බලයෙන් තමන් කරා ම රැස්කොට, දෙවනු ව ද්‍රවිඩ යුද්ධයට පටන්ගෙන, ඒ ඒ දිගින් සිංහල මහසෙන් මෙහෙයා දෙමළුන්ට නො එක් ගැහැටුම් කරන්නට පටන් ගත්හ.
එ කල පොළොන්නරු, කොටසර, ගඟතලා, කවුඩාලු, කුරුඳු පදී, මාන මතු, මාවටු, මන්නාරා, පුලච්චේරි, ගෝනා, දෙබ, පටන්, හූරාතොට, වැලිගමු, ගොවුසු, මීපාතොට ආදි තැන්හී කඳවුරු බැඳහුන් අතුරු නොදී සතුරුව, සතලිස් හවුරුද්දක් බලාත්කාරයෙන් වාසය කළා වූ මාඝරාජ–ජයබාහු නම් දෙමළු රජුන් දෙදෙනාගේ සතළිස් දහසක් පමණ ඇති දෙමළ මළල මහ සෙනඟ ඒ ඒ තැන්හි රඳාලිය නොහී පොළොන්නරු නුවර ම රැස්ව ඔවුනොවුන් හා මන්ත්‍රණය කරන්නාහු “පරාක්‍රම බාහු රජහුගේ ආඥා පින් බල මහත. පරදේශයෙහි රජදරුවෝ ද ඕ හට ම වසඟයහ, සිංහලයෝ හැම දෙන ම ඔහු කරා ම රැස්වූහ, අපගේ ද්‍රවිඩයෝ ද සම භාගයෙක් ඕහට ම වසඟයහ, ඔහු ගේ අභිෂේකයෙහි පටන් හිරු දුටු කදෝකිමියන් සේ නිෂ්ප්‍රභා වූම්හ, එන දවස සිංහලයෙහි රඳාලීමක් බැරි ය, මෙහි නො රඳා රට යම්හ”යි කියා ඇත්, අස්, මුතු, මැණික්, රජ වොටුනු, බිසෝවරුන් ආදී වූ සිංහලයට හිමි අනැඟි අනැඟි වූ කෙළගණන් රුවන්ගෙන “රට යම්හ”යි නික්ම රජහුගේ මහ පින් බලයෙන් සිතූ අත යා නොහී “මාසෙන් ගමුයෙහි සුංගම් බැලූහ”යි යන ව්‍යවහාරය සේ කඳවුරෙහි පූර්‍ව වාසල යයි, පශ්චිම වාසලින් නික්ම ගොස් රටමැද වැද මහකැලෑවල දී රජහුගෙන් ගිය සිංහල මහ සෙනඟට හසු ව, ඉතා මහත් වූ විපත්තියට පැමිණ සම්පත්තිය ද පාවාදී, ජීවිතය ද දී, මූලොච්ඡින්න ව හිස දී, රජහු ගේ චිත්තාර්ථය ද සාදා දුන්හ. උමංදායෙහි එක් සියක් රජුන් හැර ගිය සම්පත් නිසා මියුළු නුවර වාසීන් සුඛිත වූවා සේ එ තැන්හි ලද සැපතෙහි පටන් සිංහලයෝ ධනේශ්වර වූහ.
මෙසේ ලක්දිව පරසතුරන් සාදා රට සමෘද්ධ කරවමින් සිටි කල්හි නැවත තමන්ට එකොළොස් වන්නෙහි බෞද්ධයම්හ යි මායම් කියා ලක්‍ෂ ගණන් නච්චම්බු නම් වූ විෂ කොහොල් ගෙන සර්පසෙනාවක් සේ ඒ ඒ තොටින් බැස ලක්දිව ගලා ගෙන “ගිනිසෙණ ගැසු මඟ දියසෙණ ගැසුවා සේ,” ලක්දිව නැවත නසන්ට පටන් ගත් චන්‍ද්‍රබානු නම් රජහු හා ජාවක මහ සෙනඟ ද, අසුර යුද්ධ කරන්නා සේ, නො එක් යුද්ධ කරවා මරා, ලුහුබැඳ, මෙසේ මළල යුද්ධය, ද්‍රවිඩ යුද්ධය, ජාවක යුද්ධ ය, යනාදි නොඑක් යුද්ධයෙහි, මෙසේ සිරිලක පරසතුරන් ජය ගෙන, එකාතපත්‍ර කොට, දෙමළුන් විසින් නැසූ ලක්දිව පමුණු පරපුරා ව්‍යවස්ථාවට තාපස ගණතැන්, පුගුල්තැන්, ආයතැන්, පිරිවෙන් තැන්, දස මේ තැන් පෙර සේ ම ව්‍යවස්ථා කරවා පළමු කොට රට බතින් සමෘද්ධ කරවා, දිළිඳු ව ගිය ලඞ්කාවාසීන් තමන් තමන්ගේ ධන ධාන්‍ය මෙතෙකැ යි නොදන්නා සේ ශ්‍රීවන්ත කරවා, දෙවනු ව ශාසනෝපකාරයට පටන් ගෙන, අරාජිතයෙහි බොහෝ කලක් ස්වච්ඡන්‍දචාරීව විසූ අලජ්ජි පුද්ගලයන් තෝරා ශාසනය පරිශුද්ධ කරවා, නැවත සොළී රජයට නො එක් පඬුරු පාක්කුඩම් යවා, එහි වසන භික්ෂූන් සිංහලයට ගෙන්වා උභය ශාසනය ම සමඟ කළහ.
තව ද තමලිංගමුයෙහි වසන දොළොස් දහසක් භික්‍ෂූන් අතුරෙන් ධර්‍මකීර්ති නම් මහාස්ථවිරයන් සිඟා යන පෙරමඟ පියුම් පැනනැංගහ යි අසා දළදා වැඩු ගඳ කලල් ආදි දහම් පඬුරු, රජ පඬුරු තමලිංගමු යවා ඔවුන් සිංහලයට වඩා ගෙන්වා බුදුන් රහතුන් දුටුවා සේ, මහත් වූ සත්කාර කොට, ඔවුන් දිවි පමණින් මහත් වූ ප්‍රත්‍යය දානය දී මහ පින් රැස් කළ හ.
මෙසේ තමන් සමඟ කැරවූ ශාසනය රක්‍ෂා කරන්නාහු අට ආයතන් මහාස්ථවිර ග්‍රාමවාස ආරණ්‍යවාසාදි සියලු ස්ථවිර ගණයාට පුරය සිසාරා, රත්වත් සූළුපා මහපා චංක්‍රමණ රාත්‍රිස්ථාන දිවාස්ථාන මණ්ඩප පැන් පොකුණු පුෂ්පාරාමඵලාරාමාදී නො එක් සඞ්ඝාරාම කරවා නො එක් සත්කාර කළ හ.
තව ද ගම වෙනහි මහා සඞ්ඝයා රැස්කරවා තෙරස ධුත ගුණාදී රූක්‍ෂ ප්‍රතිපත්ති පූරණයට ආත්මක්‍ෂම වූ ප්‍රතිපත්ති සාර භික්ෂුන් ගිවිස්වා තෝරාගෙන පලාබත්ගල් පායෙහි වල් වාසයක් කරවා, එහි වස්වා, සිරිලක තමන් සමයෙහි අරහන්තයන් පහළවූවා සේ, සිවුපස දානයන් දී අප්‍රමාණ වූ ප්‍රතිපත්ති පූජා කළහ.
තව ද: ලක්දිව ආගම ධර ස්ථවිරයන් එ වකට මඳ ව ගිය හෙයිනුත්, පත් පොත්, නිමවා නැති හෙයිනුත්, දඹදිවින් පොත් ගෙන්වා සියගණන් ස්ථවිරයන් ආගම ධර කරවා, බුදුන්ට පර්‍ය්‍යාප්ති පූජා කැරවූහ. තව ද: තමන්ගේ භුවනෙක බාහු නම් මල් යුවරජහු විනය ධර කරවා, ඔහු ලවා අසන තැන් කියවා, නො එක් භික්‍ෂූන්ට සම්මුති දෙවා, ස්ථවිර පූජා කැරවූහ.
තව ද: තමන් ජාත වූ ශ්‍රී වර්ධන නම් නුවර ප්‍රාසාද චංක්‍රමණ මණ්ඩප ප්‍රතිමා ගෘහ චෛත්‍යංගණ, බොද්ධ්‍යඞ්ගන, පවුරු වාසල් ආදී නානාවිධ කර්මාන්තයෙන් අලඞ්කෘත වූ, රජමහ විහාරයක් කරවා, තමන් වසන ජම්බුද්‍රොණි නම් පුරයෙහි පටන් ඒ පුරය දක්වා, දිගින් අඩයොදනක් හා පුළුලින් ඉස්බක් පමණ තැන් භෙරිතලයක් සේ සම කරවා, පස්රියනකට රජ තොරනක් හා දස රියනකට පිළී තොරණක් හා සියක් රියනකට තුන් මහල් පිළී මාලිගා බැගින් නිමවා, මඟ සුදු වැල්ලෙන් තවරා, දෙපස ධ්වඡ පුන්කලස් තනා, වෙහෙර පවුර සිසාරා, බුද්ධ පූජාවට ආ මේඝ රාජයාගේ ඉන්‍ද්‍රචාප සහස්‍රයන් බඳු වූ, විචිත්‍ර චිත්‍ර කර්මාන්තයෙන් හොබනා මහත් වූ තොරණ සහස්‍රයෙන් හා බුදුන් පුදම්හ යි නානා ලෝකයෙහි ඒ ඒ දිගින් දිවූ චන්‍ද්‍රවිමානයන් බඳු වූ, අසමාන වූ, ශ්වේතච්ඡත්‍ර සමූහයෙන් හා තරුපෙළ සේ දිලියෙන රන්කොත්, රිදී කොත් සහස්‍රයෙන් හා බුද්ධපූජාවට දිව අවුත් ආකාශයෙහි සිට නටන දිව්‍ය සමූහයන් සේ, ඒ ඒ දිගින් නඟන ලද පඤ්චවර්ණ ධ්වඡ මාලා සහස්‍රයෙන් හා පූජා ලෝභයෙන් දෙවියන් විමන් හා සමඟ ආකාශයෙන් බැස, වෙහෙර සිසාරා අතුරු නොදී සිටගත්තා සේ නානාලඞ්කාරයෙන් සදා වෙහෙර සිසාර පෙළ පෙළ දී තබන ලද රත්න මණ්ඩප පඞ්ක්තීන් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අජීවමාන වස්තූන් ජීවමාන වූ නියාවට කාරණ දක්වන්නාසේ සේසත් අතින් ගෙන, පෙළ පෙළ දී නටා යන බඹරු පෙළින් හා දොහොත් මුදුන් දිදී ඇවිදිනා නනා වර්ණ දිව්‍ය රූප පංක්තීන් හා,
එ දවස් මෙඝරාජයන් හස්තිරූප ව්‍යාජයෙන් බුදු මඟුලට බැස මිහි මඬලෙහි ඇවිදිනා සේ, ඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් ඇවිදිනා හස්තිරූප පඞ්ක්තීන් හා, පූජා ලොලින් දිවූ සමුද්‍ර රාජයාගේ මහ රළ පෙළ සේ, ඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්ව රූප පඞක්තීන් හා බුදුන්ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරහා සහස්-සුවහස් ගණන් සඞ්ඝයා හා, මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා, ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් සිටගත් මනුෂ්‍ය සේනාව ම අතුරු නො සිටිනා සේ, නියෝග කොට,
තුමු සර්වාභරණයෙන් සැරහී සිවුරඟ සෙන් ගෙන දළදා පාත්‍ර ධාතු රත්න කර්‍මාන්තයෙන් ම හෙබියා වූ අනැඟි වූ රථාලඞ්කාරයකට වඩා මඟුලැතුන් දෙදෙනෙක් හට යොදා, රන් ධ්වඡ–රිදී ධ්වඡ–රන් පැන-රිදී පැන-රන් කලස–රිදී කලස–රන් කරඬු-රිදී කරඬු-රන් විසිරි–රිදී විසිරි–රන් චාමර–රිදී චාමර–රන් පතැස් රිදී පතැස් යනාදී වූ රජ පෙරහරින් ඒ මාර්‍ගය අතුරු නොදී පෙළ පෙළ දී නික්මවා, තුමු පසු ව ඇත් අස් රථ පාබල පිරිසින් මග මේ ගිගුමෙන් උද්දාම වූ සමුද්‍රයක් සේ, පඤ්චාගික තූර්‍ය්‍ය නාදයෙන් මහ පූජා කරවමින්, ක්‍රමයෙන් ඒ පුරයට වඩා ගෙන ගොස් වෙහෙර මැද මහා මණ්ඩපයෙහි අනැගි වූ බුද්ධාසනයකට වඩා,
පෙරවරු ඒ මණ්ඩපය පුරා, පුදන ලද යාලගණන් සුගන්‍ධසාලී භෝජනය හා නා නා ජාතියෙහි පූජා පූප වර්‍ගයෙන් හා, පින් සොඬ වූ ජනයන් විසින් වස්වන ලද නාග චම්පකාදී සුවඳ මල් වර්ෂාවෙන් හා සියලු සංඝයාට දෙනලද දානප්‍රවාහයෙන් හා තුන්යම් රාත්‍රියෙහි වෙහෙර සිසාරා තරු කැලයෙන් සුප්‍රසන්න වූ ආකාශයක් සේ පුදනලද ප්‍රදීප සහස්‍රයෙන් හා ඒ ඒ තැන්හි රඟමඬුලු බැඳ නටන ලද නළු පිරිසින් හා, බුදුන්ගේ ස්තුති ගී කිය කියා ඒ ඒ දිග්හි සිට බුද්ධ පූජා ශාන්ති කරන බලි භෝජක මණ්ඩල පඞ්ක්තීන් හා, ඒ ඒ තැන්හි ධර්‍මාසන නංවා කියවා දෙවන ලද ධර්‍මදානයෙන් හා තුඩ තුඩ “අහෝ! බුද්ධෝ, අහෝ! බුද්ධෝ”යි කියන ලද සාධුනාද සහස්‍රයෙන් හා ඒ ඒ තැන්හි අතෝනා ලද පඤ්චාංගික තූර්‍ය්‍යනාදයෙන් හා, ශක්‍රයාගේ නඳුන් උයන් වන් දිව්‍ය උත්සවය මෙවැනි යයි මනුෂ්‍ය ලෝකයට ගෙනහැර දක්වන්නා සේ, පෙර ශ්‍රී ලංකාධිපති වූ සියලු රජුන් කළා වූ බුද්ධ පූජා ම මෙ වැනි ය යි දක්වන්නා සේ බුදුන්ගේ මහ පින්ලියය එ තැන්හි ම මල් ඵල දක්වන්නා සේ, සත් රෑ සත් දාවලක් මුළුල්ලෙහි එක මුඛයකින් කියා නිමවාගත නොහැකි අප්‍රමාණ වූ තුණුරුවන් පූජා කොට, එ වෙහෙර මහසඟනට සාංඝික කොට පිළිගන්වා, තමන්ගේ කීර්ති ශරීරය බුද්ධෝත්පාදයෙහි පවත්නා සේ, ස්ථාවර කළහ. තව ද: තමන් නමින් පරාක්‍රමබාහු නම් පිරිවෙනක් කරවා, නො එක් කප්පිය භාණ්ඩ දරුගම් වටනා පස එම වෙහෙර ලවා මහත් වූ පූජා කළහ.
තව ද භුවනෙක බාහු නම් මල් යුවරජ ලවා බෙලිගල් පායෙහි ඔහු නමින් ම පිරිවෙනක් හා රජමහා විහාරයක් කරවා, ශ්‍රී වර්ධනයෙහි කී පරිද්දෙන් ම සද්දවසක් මහත් වූ තුණුරුවන් පූජා කැරවූහ. තව ද: ඔවුන් ලවා ම කුරුණෑගල් පායෙහි එසේ ම රජමහ විහාරයක් කරවා, ඔහු නමින් ම මහෙන්‍ද්‍රබාහු පිරිවෙන කරවා, එසේම මහපූජා කැරවූහ. තව ද: කැළණි වෙහෙර යටාලතිස් රජ කැරවූ පස්මහල් මහපාය කටුකොහොල් පෙරළවා, එහි ම ඔත් පිළිම ගෙය කටු කොහොල් පෙරළවා, තව ද: එම වෙහෙර ත්‍රිවඞ්ක ගෙය කටුකොහොල් පෙරළවා, එහි ම මහවෙහෙර සිසාරා සලපතර අතුරුවා, එම වෙහෙර අභිමුඛයෙහි මහාමණ්ඩපයක් කරවා, වෙහෙර සිසාරා දහස් සුවහස් පහන් ඇගෑ බඳවා, නො එක් වාරයෙහි තුන් තුන් දවස් බැගින් බත් පූජා ය, මල් පූජාය, පහන් පූජා ය යි අප්‍රමාණ කොට පූජා කැරවූහ. තව ද: එම වෙහෙර බොහෝ කලක් තමන් නමින් පහන් පූජා පවත්නා සේ, වෙහෙරට නුදුරු තෙන නාළිකේර සහස්‍රෝද්‍යානයක් කරවා බුදුන්ට පිදුහ. තව ද: අත්තනගලු වෙහෙර දැහැමි සිරිසඟබෝ රජහු ඉස දන් දුන් තැන, ගෝඨාභය රජහු විසින් කැරවූ දෙමහල් වටදා ගෙය තුන්මහල් කොට කරවා, එම වෙහෙර තමන් පියරජහුගේ දේහ නිඃක්ෂෙප ස්ථානයෙහි මහසෑය බඳවා, එහිම අෂ්ටාංශ වූ ප්‍රතිමා ගෘහයක් කරවා එහි සල පිළිම වඩා නො එක් වාරයෙහි පූජා කළහ.
තව ද: අප බුදුන් අයාමෙහි බුදුරජය හිමි වූ, සුගත් මහ පවුලෙන් දායාද ලද අනුබුද්ධ වූ මහා කාශ්‍යප ස්ථවිරයන්ගේ දළදා ද, අනුක්‍රමයෙන් ලඞ්කාවෙහි ම පවතිති යි, බෙම්තොට දළදා ගෙයි වැඩ හිඳිති යි, අසා ඔබ කෙරෙහි උපන් මහත් වූ ශ්‍රද්ධාවෙන්, මහත් වූ මංගල්‍යයෙන්, සිවුරඟසෙන් සා සමඟ බෙම්තොටට ගොස් ඔබ දළදා දැක උපන් මහත් වූ ප්‍රීතීන් පිනා, ඒ සා දනවුව සිසාරා ඇවිරි බඳවා, තුන් දිවාරාත්‍රියක් බතින්-මලින්- සුවඳින් පුදා, මහත් වූ ප්‍රදීප පූජාවෙන් පින් රැස් කළහ. තව ද: දෙව්නුවර දෙවුරජාණන්ගේ රජගෙය ජරාවාස ව තුබූහ යි කරවූ කල් පමණ නැතැ යි අසා, ඒ ගෙය බිම්පිස කරවා, එ නුවර සියලු ජරාවාස කටුකොහොල් හරවා, හවුරුදු පතා ඇසළ පූජා කරවූහ. තවද: පියරජහු කැරවූ විජය සුන්‍දරාරාමය සිසාරා මහ පවුරු ලවා, එහි තුන් මහල් අලුත් දළදා ගෙය දිව්‍ය විමානයක් සේ කරවා, විචිත්‍ර වූ චිත්‍රකර්‍මාන්තයෙන් අසමාන කොට නිමවා, මහ පෙරහරින් දළදා වඩා, ශ්‍රීවර්ධන පුරයෙහි කළ පරිද්දෙන් ම මහ පූජා කළහ. තව ද: අප බුදුන්ගේ ජීවමාන බුද්ධ රූපය සිත් සේ දවස් පතා බලමි යි සිතා, එම ජීවමාන බුද්ධ රූපයෙන් රුවන් සක්මනෙහි වැඩසිටිනා භාවය, නොඑක් චිත්‍රකාරයන් ලවා පෙති කඩෙක සිතියම් කරවා, ලක්දිව බොහෝ සංඝයා හා මහ ජනයා රැස්කොට, සත් දිවාරාත්‍රියක් මහත් වූ බුදුමඟුලෙන් උත්සව පූජා කළහ.
තව ද: තමන් අෂ්ටාර්‍ය්‍ය මාර්‍ගයෙන් ගොඩනැඟීමට හේතුවන සේ තමන්ට තුන් වන්නෙහි ය, සවන්නෙහි ය, එකොළොස් වන්නෙහි ය, දොළොස් වන්නෙහිය, සතළොස් වන්නෙහිය, එක්විසි වන්නෙහි ය, සත්විසි වන්නෙහි ය, තිස් වන්නෙහි යයි අට වාරයක් ම අටමහ මලුකම් පූජාවක් සරහා ලඞ්කාද්වීපයෙහි දහස් ගණන් සංඝයා රැස් කරවා, සැටපා ගෙවල් නංවා, සිසාරා මහමඩු ලවා නානාවර්ණ වස්ත්‍රයෙන් අලංකාර කොට එහි මහ සංඝ ගණයා පෙළ පෙළ හිඳුවා, මහත් වූ දානපූජාවෙන් වළඳවා, තමන් නමින් මහණ මහලු පැවිදි කරවා, ස්ථවිර, මහා ස්ථවිර, ආයතන්, පරිවෙණාදි ස්ථානාන්තර දෙවා, පසුව දා මඟුලැතුන් උසට ගරු භාණ්ඩ හා සමඟ කප්පිය පරිෂ්කාර රැස්කරවා, මහා ස්ථවිර, ආයතන් ආදි මහා ස්ථානාන්තර ලදුවානට සළුපිඩගම් හා සමඟ සළුපිරිකර දී, අවශේෂ වූ ස්ථවිර නිශ්‍රයෙන් මුක්ත මහණ මහලු පැවිදි වූවානට අෂ්ට පරිෂ්කාර දී, මෙසේ ම සත් සත් දවස් බැගින් මහත්වූ රාජඍද්ධීන් මහ මලුකම් පූජාවක් අටවාරයෙකම කරවා, නො එක් වාරයෙහි අවශේෂ වූ මලුකම් පූජාවනු දු කළහ.
තව ද: කඨින දානයෙහි විපාක බොහෝ ය යි අසා අසූ අනූ ව්‍යඤ්ජන ලක්‍ෂණයෙන් යෙදී අශීති වර්ෂයක් ආයුඃ ශ්‍රී වළඳා සෙසු බුදුන් හා සම සමයේ ම ලෝවැඩ කළාවූ, අප මහා ගෞතම බුදුන් ගේ අශීති මහා ශ්‍රාවකයන් උදෙසා, අශීති මහා කඨින දානයෙකින් පෙර රජුන් නො කළාවූ ලෙසට අද්භූත වූ කඨින දානයක් දෙමි යි සිතා ලක්දිව බොහෝ ස්ත්‍රී පුරුෂයන් රැස් කරවා කපුයෙහි පටන් ඉවුම, රිකුරුම, පෙදකිරීම, කැටීම, වියවීම, ඇපිළී ම, කඩ කැපීම, ගෙත්තම් කිරීම, රඳනම යනාදි වූ සියලු කර්‍මාන්ත ම සුවහස් ගණන් සත්ත්‍වයන් ලවා එක දා ම නිමවා, කප්පිය වූ නො එක් ගරුභාණ්ඩ හා සමඟ ලක්දිව මහාස්ථවිර ගණයාට අශීති මහා කඨින දානයක් දී, එ දවස් ම අශීති මහා පූජාවක් කොට, සෙසු සියදහසක් ගණන් වාරයෙහි සියදහස් ගණන් කඨින දානයන් ද දී, භෝග පමණින් පින් රැස් කළහ.
තව ද: පෙර තමන් සිවුරඟසෙන් ගෙන ගොස් සමනොල වැඳ ශ්‍රී පාදයට ඒ ඒ දිගින් දස දස ගවුවෙහි මහවනය සිසාරා සිටි ජන පද මනුෂ්‍යයන් පුදා, නො එක් රත්නාභරණයෙනු දු පුදා, ආ සමයෙහි සිතන්නාහු “මා නො එක් රාජ්‍ය රක්ෂාවෙහි යෙදී වසන හෙයින් සිත් සේ ඒ ඒ තන්හි ඇවිද පින්රැස් කොට ලෝවැඩ කිරීම භාරකය. මාගේ ඒ අදහස් දැන ලෝවැඩෙහි බැඳෙන ඇමැතියෙක් කවරෙක් දෝ හෝ”යි සිතා එක නාළිකෙර ඵලයක් බුදු බවු පතා රෝපණය කොට, තුන් ඇස්සෙන් තුන් පැළයක් නංවා ගත්, දිළිඳුන් දැක අඹුදරුවන් පවා දන් දුන්, බුදු වෙම්වයි පතන තුණුරුවනෙහි පහන් දෙවප්‍රතිරාජ නම් අමාත්‍යයා කැඳවා “සමනොල යන මඟ ජලදුර්‍ග - පඞ්කදුර්‍ග - ගිරිදුර්‍ගයෙන් අතිදුර්‍ග ය, පින් ලෝභයෙන් හවුරුදු පතා යන අෂ්ටාදශ දේශවාසී සත්ත්‍වයෝ බොහෝ පීඩා විඳිනාහ, මා සමයෙහි සියලු සතුන් සුවයෙන් යන එන සේ ඒ මඟ ද හෙලි කරව, තව ද අත්තන ගල්ලෙහි පෙර මහ තෙරකෙනකුන් පින් බෙලෙන් අහස් පොළෝ ගුගුරුවා රහත් වූ තැන එ කල උපතිස්ස නම් රජහු කැරවූ පස්මල් රන් උළු මහපාය නැසී ටැම් පමණක් සිටියහ යි ඇසීමි, ජරාවාස හැරවීම නම් ආසිරි වඩනා පිනෙක, ඒ පින ද මා නමින් කරවාලව. තව ද බෙම්තොට නිස්සංක මහ පා උයන සේ මා නමිනුදු එහි උයනකු දු කරවා ලව”යි යනාදින් නො එක් විධාන කොට ඕහට සුදුසු වූ නොයෙක් සනුමාන දුන්හ.
හෙතෙම පළමුව ගම්පොළ නුවරගොස්, සමන් දෙව්රජාණන් ගේ රූපය කරවා, රන්රුවන් පළඳනාවෙන් ජීවමාන රූපයක් සේ සාදා, රුවන් මඩුයෙකින් ගෙන, පූජා පෙරහරින් සමනොලකුළ නික්ම, පළමු ව බෝතලයෙහි මුවදොර වඩු පන්තිස් රියන් මහ හෙයක් ද, කනමැදිරි හොය තිස් රියන් හෙයක් ද උලපනෙහි සතලිස් රියන් හෙයක් ක්ද, අඹගොමු හොය සූතිස් රියන් හෙයක් ද, හේ මතුයෙහි ගෙවල් හා සමඟ ඇත් අස් ගවමහිෂයනු දු යා හැකි සේ ස්ථාවර කොට කරවා, සිය ගණන් මහසඟ පවරා, ඒ ඒ තැන්හි නො එක් දාන පූජා කොට, ඒ ඒ තැන්හි අරම් අම්බලම් කරවා සෙසු තැන්හි දු සේතු බන්‍ධන පියවරපාණබැඳ, මහවනය මහවත් කොට ගොස්, සමනොල වැද, දෙව්රජාණන් මලුයෙහි පිහිටුවා, සිසාරා පවුරු බැඳ, ශ්‍රීපාදය වසා මණ්ඩපයක් කරවා, යදම් කඳෙක් බැඳ රඳවා, තුන් දවසක් මලුයෙහි ලැග, ශ්‍රී පාදය සිසාරා ඇවිද, තමා මස්තකයෙන් තම රජහු නමට රාත්‍රි පහනක් පුදා, සිසාරා සුවහස් ගණන් පහන් පූජා කොට, බොහෝ කලක් රජහුගේ කීර්ති ශරීරය පවත්නා සේ එහි ශිලාලේඛන සිඳුවා, එපවත් රජහට සැලකොට යවා,
නැවත එයින් අත්තන ගලු ගොස් ඒ පාය රජු කී පරිද්දෙන් ම නොඑක් ධන පරිත්‍යාගයෙන් තුන් මහල් කොට කරවා අනෝමදස්සී නම් මාහිමියන්ට පිළිගන්වා, රජහුගේ නියෝග වූ පරිද්දෙන් ම දානවෘත්තී ව්‍යවස්ථා කරවා, එයිදු රජහට සැලකොට යවා, එයින් බෙන්තොට ගොස් කළු හෝ මුවදොර සයාසූරියන් මහ හෙයක් ද, කෙහෙල් සේනාවෙහි පන්සියක් රියන් මහහෙයක් ද, සල්ගොමු හොය දෙසියක් රියන් මහ හෙයක් ද, සල්පා හොය යෙළ සියක් රියන් ගෙයක් දැ යි යනාදීන් දුර්‍ග දුර්‍ග ස්ථානයෙහි නො එක් ඒදඬු, අරම්, අම්බලම් කරවා නිමවා, නොඑක් දාන පූජා කොට, කළුතොට පටන් බෙම්තොට දක්වා යොදනක් මානයෙහි නිවී ගැවසී සිටිනා සේ පරාක්‍රමබාහු නම් නාළිකෙරොද්‍යානයක් කරවා, එයිදු රජහට කියා යවා, තව ද: ඒ ඒ රට දී කපුයෙහි පටන් එක දා කරවා නිමි සවිස්සක් කෙළින් සිවුරෙන් හා සමඟ සූසැටක් කඨින පූජා කොට, එයින් ගොස් මහදෙල්ගස් නම් වූ මහ වනය මුලිනුපුරා මහත් වූ ග්‍රාමයක් බිම්පිස උපදවා, ඒ වනය කොස් වනයක් කොට, එහි තුන්මහල් පිළිම ගෙයක් ආදි වූ ආරාමයක් කොට, රජහු නමින් මහත් වූ දාන පූජා කොට, නැවත රජහු කරා අවුත් තමන් රජහු නමින් කළ කළා වූ පූජා පින් දැන්වූහ.
එ කල රජ පා ඔහු කෙරෙහි උපන් මහත් වූ කරුණා ඇති ව, ඔහු කැරවූ මහදෙල්ගස් නම් ග්‍රාමය ආදී වූ නො එක් හිම් පමුණු දී මහසඟ මැද ඔහු දළදා ස්වාමීන් කරා ගෙන ගොස් “මෙ තෙම තුනුරුවන් කෙරෙහි දු පහන, මා කෙරෙහි දු පහන, එසේ හෙයින් බුදුන්ට ද රජුන්ට ද පක්‍ෂපාත ය, ඔහු මට ඉතා ප්‍රිය බැවින් ප්‍රිය වූ වස්තුව දළදා ස්වාමීන්ට පුදමි”යි ඔහු ගුණ මුඛ නො පොහොනා සේ කියා පුත්‍රදාරාවන් හා සමඟ ඔහු දළදා ස්වාමීන්ට ම පූජා කොට එතැන් පටන් ඔහු ලවා ද, තමන් නමින් ම තුණුරුවන්ට නො එක් සත්කාර කැරවූහ. තව ද: නො එක් වාරයෙහි “බුදුන් සතු ලක්දිවින් ඔබට ම පූජා කෙරෙමි”යි සිතා තමන්ගේ රජගෙය දිව්‍ය විමානයක් සේ සරහා දළදා ස්වාමින් එහි වඩා, නානා විධ භොජනයෙන් හා නානා ජාතියෙහි පූප වර්‍ගයෙන් හා නාග චම්පකාදී යහල ගණන් සුගන්‍ධ මාලායෙන් හා නුවර පුදන ලද සුවහස් ප්‍රදීප මාලායෙන් හා වස්ත්‍රාභරණාදී අනගි අනැගි වූ පූජා වස්තුයෙන් හා නො එක් වාරයෙහි සත් සත් දවස් බැගින් තමන් භෝග පමණින් බුදුන් පිදූහ. තව ද: නො එක් වාරයෙහි ලක්දිව වැසි නො වැස, ශස්‍යයන් මලානික වන කල්හි මුළු හෙළදිව උත්සව මඟුල් කරවා චෛත්‍යාඞ්ගණ-බොධ්‍යඞ්ගණවල නොඑක් පූජා කරවා, දළදා ස්වාමින්ට දහස් පිරිත් කරවා නුවර මහ පූජාවෙන් ප්‍රදක්ෂිණා කරවා නො එක් ආරධනා කොට, එ කෙණෙහි ම සිරිලක වැසි වස්වා, බුදුබල පෑ ලෝකවාසීන් ලවා නො එක් වාරයෙහි බුදුන්ට ස්තුති පූජා කරවූහ.
මෙසේ තමන් ලද ජීවිතයෙහි සාරය ලදින් ලෝසසුන් රක්‍ෂාවෙහි අප්‍රමාද වූ රාජවංශ නමැති මහ මිණිවැලයෙහි රුවනක් බඳු වූ, රජපා බොහෝ කලක් රජසිරි විඳිනාහු, තමන්ගේ සහජාත පුත්‍ර වූ විජය බාහු ය, භුවනෙක බාහු ය, ත්‍රිභුවන මල්ල ය, පරාක්‍රම බාහු ය, ජය බාහු ය යි යන පුත්‍රයන් පස්දෙනා හා වීරබාහු නම් බෑන රජු හා සදෙනා ළඟට කැඳවා, නො එක් අවවාද දෙන්නාහු, “දරුවෙනි! ලෝකයෙහි අවජාත ය, අනුජාත ය, අතිජාත ය යි පුත්‍රයෝ තුන් දෙනෙක් වන්නාහ., එයින් මවුන් පියන්ගේ කුල පර පුරැ සැපත් නසා, ඔවුන් ශ්‍රී වුන් ගම අශ්‍රී විඳ ඇවිදිනාහු අවජාත නම් වෙති, මවුන් පියන්ගේ කුල පරපුරැ සැපත් පමණක් ම රක්‍ෂා කොට ඔවුන් හා සම සම ව වසන්නාහු අනුජාත නම් වෙති, මවු පියන්ගේ කුල පරපුරැ සැපත් හා අවශේෂ වූ වස්තු වඩ වඩා ශ්‍රී සම්පත් උපදවා ගෙන එවුන්ට වඩා ශ්‍රී සම්පත් විඳිනාහු අතිජාත නම් වූ උත්තම පුත්‍ර නම් වෙති.
මම ද මපියාණන් වහන්සේ මට ගෙන දුන් එක මායා රජය ගෙන දැන් තුන් රජය ම එක්සත් කොට තබා ගත්මි, ඔබ සාදාගත නුහුණු ද්‍රවිඩයන් මරා ලුහුබැඳ, නො එක් මහවන්නීන් සදා ගෙන්වා, මා පාමුල්හි රැස්කරවාපීමි. දඹදිවින් බිසෝවරුන් ආදි වූ නානා රුවන් හා පාක්කුඩම් ගෙන්වා පරදේශයෙහි රජුනු දූ තොපට නෑකොට තබාලීමි. සොළී-පාඬි රජයෙහි රජුන්ගෙන් රජ වොටුනු හා අනැඟි මිණිපඬුරු මා කරා ගෙන්වා ගතිමි.
තොප හැම තබා මාගේ සත්මුනුබුරු පරම්පරාවෙකත් රජසිරි විඳිනා පමණ අපමණ වූ නවරුවන් රැස්කොට තබාලීමි. ලෝක ශාසනය ද සමඟ කොට තබාලීමි. මේ ආදිකාරණයෙන් මම මපියාණන් වහන්සේට අතිජාත පුත්‍ර වීමි. තෙපි තෙපි දු මට මෙසේ ම අතිජාත පුත්‍ර වව,යි පෙර සාගර නම් රජහුගේ සැට දහසක් පුත්‍රයෝ දඹදිව සැට දහසක් රජ නුවර මවා වෙන වෙන ම සමඟ ව ම රාජ්‍යය කළාහ. දසබෑ රජහු මුළු දඹදිව දශ භාගයක් කොට බෙදාගෙන සමඟ ව ම රාජ්‍යය කළාහ. තෙපි තෙපි දු මතු ඔවුනො’වුන්ට සුවච ව, සිරිලක බෙදාගෙන සමග ව, රජය කරවා පරසතුරන්ට අවසර නො දෙව, තෙපි තෙපි දු මට මෙසේ අතිජාත පුත්‍ර වව”යි යනාදීන් නො එක් ඔවා තෙපුල් දී මහසංඝයා හා රාජ්‍යවාසීන් රැස්කොට “මාගේ මේ පුත්‍රයන් පස්දෙනා හා වීරබාහු නම් භාගිනෙය්‍යයන් හා මේ රජ සදෙනා අතුරෙන් මතු රාජ්‍ය රක්ෂාවෙහි යෝග්‍යයෝ කවුරු දෝ හෝ”යි විචාළහ.
එ තෙපුල් අසා මහ සංඝයා කියන්නාහු “මහරජ! මොහු සදෙන ම වෙන වෙන ම ධෛර්‍ය්‍යය, වීර්‍ය්‍යය, ඥානබලය, කායබලය ඇතියාහ, එසේ ද වුවත් තොපගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර වූ විජයබා රජ බාල රජයෙහි පටන් තුනුරුවන් කෙරෙහි අතිප්‍රසන්නයහ, අතිශ්‍රද්ධා ඇතියහ, ජරා දුර්‍වලයන් කෙරෙහි අතිදයා ඇතියාහ, දවස් පතා ගිලන් භික්ෂූන් පිළිවිසිති, ගිලන්පස දෙන්නාහ, අරාජිතයෙහි ගැති දස් ව ගිය සංඝයාගේ බන්‍ධූන් හා දුඃඛිත ජනයන්ට සුවහස් ගණන් රන් රුවන් දී සිය ගණන් ගළවා අළහ. තොපගේ පුරුෂයෝ සත්ත්‍වයන් අතින් කරවූවර එලවන්නා දුටු කල පවා, තමන්ගෙන් රන් දී ඔහු දු ගොඩ නංවා මුත් දැක දැක නොයන්නාහ, තොපගේ රජගෙයි රාජද්‍රොහ කළාවූ සොරහු පවා ඔවුන් කරා භය නැති ව වැද ගැළවුණාහු පමණ නැත, තොප දක්නට භය ඇති ව තොපට නො සෑදෙන සිංහල මහවන්නීහු පළමු ව අවුත් ඔවුන් දැක ඔවුන්ගේ බලයෙන් තොප දක්නාහ.