ප්‍රථම සඞ්ගායනා

star_outline

තව ද: ත්‍රිවිධ වූ සංගායනා පූජා කථා නම් කවර යත්? යට කී ක්‍රමයෙන් බුදුන් යමහල දී පිරිනිවි කල්හි මහසුප් මහ තෙරුන් වහන්සේ බුදුන්ගේ ආදාහන පූජාව කරවා, සුගත් මහ පවුල හා බුද්ධරාජ්‍යය ලදින්, අනුබුද්ධවූ සේක්, එ දවස් ආදාහනයට රැස් වූ සත් ලක්‍ෂයක් මහාස්ථවිරයන් හා ප්‍රමාණාතික්‍රාන්ත භික්‍ෂූන් අතුරෙන් බුදුන් කෙරේ මහණ ව ඒහි භික්ෂු පාලියට නැඟී තුන් පිටකධර වූ, උනු පන්සියක් මහ රහතන් තෝරා ගෙන රජගහා නුවර වැඩ අජාසත් රජ්ජුරුවන් ගෙන්වා, “මහරජ! බුදුන් විසින් දෙසුවාවූ ධර්‍මය නො එක් ජාතියෙහි, මල් එක මලස්නෙක සැළුවා සේ ඒ ඒ සත්ත්‍වයන් උදෙසා දෙසාපු හෙයින් පිළිවෙළක් නැති ව අනාගතයෙහි නො පවත්නා ලෙස තුබුයේ ය, එසේ හෙයින් දැන් මම ධර්‍ම සංගායනාව කරනු කැමැතියෙමි, ඒ සංගායනාවට මිථ්‍යාදෘෂ්ටි ආදීන්ගෙන් වන්නා වූ අන්තරාය ඇත. රජකුගේ පිටු බලයක් නැති ව කළ නො හැක්ක, එසේ හෙයින් මහරජ මට සහාය වව”යි වදාළ සේක.

එ වේලෙහි අජාසත් රජ්ජුරුවෝ “මැනව ස්වාමීනි” යි ගිවිස තමන් කරන ධාතුපූජාව නොකඩ කොට කරනසේ අමාත්‍යයන්ට නියෝග කොට තුමූ එනුවර පිරිවරා සිටි අටළොස් මහාවිහාරය ම නවකර්මාන්ත නිමවා, එ නුවරට දකුණුදිග වේහාර නම් පර්‍වතද්වාරයෙහි විශ්වකර්‍ම නිර්මිතයක්සේ අසාධාරණ වූ රුවන් මණ්ඩපයක් නිමවා කනක-රජත-මණිතාරකාවෙන් විසිතුරු වූ වියන් බඳවා ලක්‍ෂයක් වටනා බුමුතුරුණු අතුරුවා, සිසාරා අනැඟි තිර අද්දා, පන්සියක් ආසන පනවා, මධ්‍යයෙහි කෙළක් අගනා ධර්‍මාසනයක් පනවා නිමවා, එහි දන්තමය වූ වීජනියක් තබා, සිසාරා රකවල් ලවා, මහසුප් ස්වාමීන් කරා ගොස්, “ස්වාමීනි! යම් දවසෙක ධර්‍ම සංගායනා නිමා ද, එ දවස් දක්වා රැස් වූ යම් පමණ භික්ෂුන්ට සිවු පස දානය ද සද්ධර්‍ම පූජා ද, මට ම භාර ය, ධර්‍ම සංගායනා කළ මැනැවැ”යි ආරාධනා කළහ.

එ කල මහසුප් මහ තෙරුන් වහන්සේ අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා “ආනන්‍දයෙනි! ධර්‍මසංගායනාව තොප නැතිවත් කළ නො හැක්ක, තොප අධිගමය නො කළ හෙයින් ඇතිවත් කළ නො හැක්ක, ධර්‍මභාණ්ඩාගාරය බුදුහු තොප අත තබා වදාළ සේක, එසේ හෙයින් ඇවැත්නි! වීර්‍ය්‍ය කරව”යි වදාරා උනු පන්සියයක් රහතන් ගෙන අනඳ මහ තෙරුන් වහන්සේට අවකාශ තබා තමන් තමන් වහන්සේට පැන වූ ආසනවල වැඩහුන් සේක.

එ කල අනඳ මහ තෙරුන් වහන්සේ තුන්යම් රාත්‍රියෙහි සක්මන් කොට, භාවනා කොට, අධිගමයක් නො ලදින් “අලුයම් වේලෙහි මඳක් කය සතපා වීර්‍ය්‍ය කෙරෙමි”යි සිතාලා ශයනස්ථානයට වැඩ ශ්‍රී හස්තය ඇඳ පිට තබාලීමත්, දෙපය ඔසවාලීමත්, අමා මහ නිවන් දැකීමත්, මේ තුන ඒකක්‍ෂණයෙහිම විය. මේ බුදුසස්නෙහි නො හිඳ, නො හෙව, නො සිට, නො ඇවිද, රහත් වූ අනඳ මහතෙර ස්වාමීන් හැර අනික් නැත්තාහු ම ය. මෙසේ රහත්වලා “මා අධිගමය ලත් නියාව දිව්‍ය–මනුෂ්‍යයන්ට සැක හරිමි”යි එ තෙකින් පොළොව කිමිද තමන් වහන්සේගේ ආසනයෙන් බාලාර්ක මණ්ඩලය සේ පැන නැඟි සේක.

එ කෙනෙහි මහසුප් මහතෙරුන් වහන්සේ “අද බුදුහු ඇත් නම් ආනන්‍ද ස්ථවිරයන්ට සාධුකාර දෙන සේක් ම ය” යි සන්තුෂ්ටව තුන් යලක් සාධුකාර දුන් සේක. එ කෙණෙහි දිව්‍ය මනුෂ්‍යයෝ ද සාධුකාර දුන්හ. ඉක්බිත්තෙන් මහසුප් මහ තෙරුන් වහන්සේ බුදුන් පිරිනිවී සාරමසක් ගිය කල නිකින්නිය අව දියවක ඒ රජගහා නුවර වේහාර නම් පර්‍වතද්වාරයෙහි දී මෙසේ පන්සියයක් රහතන් හා සමග සත් මසෙකින් පළමු වන ධර්‍මසංගායනාව කොට නිමවා වදාළ සේක. අජාසත් රජ්ජුරුවෝ ඒ සත් මස මුළුල්ලෙහි අප්‍රමාද ව දවසින් දවස ධර්‍මපූජා කළාහු ම ය.