ත්‍රිවිධ පරිනිර්වාණ

star_outline

මේ කීයේ බුදුන්ගේ ස්කන්ධ පරිනිර්‍වාණ පූජා කථා ය. ධාතු පරිනිර්වාණ පූජා නම් කවර? යත්; ක්ලේශ පරිනිර්‍වාණය - ස්කන්ධ පරිනිර්‍වාණය - ධාතු පරිනිර්‍වාණය යි බුදුන්ගේ පරිනිර්‍වාණයෝ තුන්දෙනෙක් වන්නා හ. එයින් ක්ලේශ පරිනිර්‍වාණය බෝධිමණ්ඩලයෙහිදී සවාසනා සකලක්ලේශයන් නසා බුදු වූ වේලෙහිම වි ය, ස්කන්ධ පරිනිර්‍වාණය මෙකී ක්‍රමයෙන් කුසිනාරා නුවර මල්ල රජුන් ගේ උයන යමක ශාලාභ්‍යන්තරයෙහි දී ම විය, ධාතු පරිනිර්‍වාණය පන්දහසක් හවුරුදු අතික්‍රාන්ත ව ප්‍රතිවෙධ ප්‍රතිපත්ති පර්‍ය්‍යාප්ති සංඛ්‍යාත වූ ත්‍රිවිධ ශාසනයාගේ අන්තර්ධානයෙහි ම වෙයි, එයි දු බෝ මැඩදීම වන්නේ ය යි දතයුතු, එ කෙසේ ද යත්?

එහි පිළිවෙළ කථාව සත්පුරුෂ වූ කල්‍යාණ පෘථග්ජනයන් විසින් සාවධානව අසා බුද්ධෝත්පාදයෙහි අරුම දැන, අබුද්ධෝත්පාදයෙහි ඵල නැති බැව් දැන බුද්ධෝත්පාද නැමැති රත්නාකරයෙහි ම උපන්නා වූ සත්ත්‍වයන් ශ්‍රීවන්ත බව දැන අබුද්ධෝත්පාද නමැති ශුන්‍ය ගෘහයෙහි උපනුවන් අශ්‍රීක බවු දැන, තමන් තමන් ලදුවා වූ දුර්ලභ වූ, උතුම් වූ මනුෂ්‍යාත්මය සඵල කොට, මත්තට නිර්වාණ ප්‍රතිෂ්ඨාව සාදා ගතයුතු.

මාගේ ශ්‍රීවන්ත වූ, මුදුන් මල්කඩක් වැනි වූ, සද්ධර්‍මධ්වජයක් වැනි වූ, තුන්ලෝ තිලකයක් වැනි වූ, නිවන් පිඬක් වැනි වූ, ගෞතම ගෝත්‍රයෙහි උපන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම බෝධියෙහි පටන් සම්පූර්ණ වූ, පන්සියක් හවුරුදු ධ්‍යානාංග සම්පූර්ණ වූ, සිවු පිළිසිඹියා පත් ක්ෂිණාශ්‍රව ස්ථවිරයෝ චන්ද්‍ර සූර්‍ය්‍ය දිව්‍යපුත්‍රයන් සේ එකශ්‍රැති ඥාන ලදින් බුදුසසුන් හොබවන්නාහු ය. ඔවුන්ගේ විභාගය: උපාලි ය, දාසකය, සොනකය, සිග්ගවය, මොග්ගලිපුත්තය, මහින්‍දය, නාගසෙන ය, යනාදි වූ මහාස්ථවිරයන්ගේ කථාවෙන් වෙන වෙන ම බලා දතයුතු. එතැන් පටන් ඒ මහා ක්ෂීණාශ්‍රවයන් පිරිහී ගිය පසු සිවුපිළිසිඹියා උපදවා ගත නොහෙන ෂඅභිඥාලාභී වූ මධ්‍යම ක්‍ෂීණාශ්‍රව ස්ථවිරයෝ පන්සියයක් හවුරුදු ශාසනය පවත්වති. එයින් මත්තෙහි ඒ අභිඥාත් උපදවා ගත නොහෙන්නා වූ ත්‍රිවිද්‍යාවට පැමිණි සර්‍ව කනිෂ්ඨ ක්‍ෂීණාශ්‍රව ස්ථවිරයෝ බුද්ධශාසනය පන්සියක් හවුරුදු පවත්වා සසුන් බබුළුවති. මෙසේ එහි විශේෂ වූ විභාග සතර මහා සඟියෙහි වෙන වෙන දැක්වූ පරිද්දෙන් දතයුතු.

මෙසේ යෙළ දහසක් හවුරුදු ත්‍රිවිධ වූ මහ රහතන් වහන්සේගේ වසයෙන් ශාසනය පැවැති කල්හි, එයින් මත්තෙහි කාල නිශ්චයක් නැති ව, ක්‍රම ක්‍රමයෙන් ධර්මශාසනය පිරිහෙනුයේ ඒ ත්‍රිවිද්‍යාත් උපදවාගත නොහෙන්නා වූ ආශ්‍රවයන් විතරක් ක්‍ෂය කළා වූ සෘද්ධි නැති රහතන් වහන්සේ කිසි කාලයක් පවත්වති. එයින් මත්තෙහි ඒ ආශ්‍රවයන් නිමවා ක්‍ෂය කොටගත නො හෙන්නා වූ අනාගාමී මාර්‍ග ප්‍රාප්ත වූ ස්ථවිරයෝ ශාසනය පවත්වති. එයින් මත්තෙහි සෙදගැමිමඟ ලද මහාස්ථවිරයෝ ධර්‍මශාසනය පවත්වති. එයින් මත්තෙහි සෝවාන් මඟ ලද බුද්ධපුත්‍රයෝ අඩුවක් නැතිවම ශාසනය රක්‍ෂා කෙරෙති. එයින් මත්තෙහි කාලය හානිව ගෙන යත් යත් ක්ලෙශයන් උත්සන්න ව ගෙන යත් යත් එක මාර්‍ගඵලයකුත් උපදවා ගත නොහී එබඳු වූ රහතන්ගේ ගුණ සේම හෙයින් රහත් බවු නො රහත් බවු දැනගත නො හැක්කා වූ, ක්ලේශයන් සමනකොට වසන්නා වූ, වජ්‍රඥාන ඇති මහාස්ථවිරයෝ ලක්‍ෂ සුවහස් ගණන් පැනනැඟී අප බුදුන්ගේ ශාසනය පවත්වති. එහි කිසියම් උදාහරණ කථාවක් මෙතැන්හි දක්වම්හ:

ශ්‍රී ලඞ්කාධිපති වූ එක්තරා එක් රජ්ජුරු කෙනෙක් මහ තෙර කෙනෙකුන් හා අතිවිශ්වාසව වසන්නාහු ය, මහ තෙරුන් නො රහත් වුවත්, මහතෙරුන්ගේ ගුණ මහිමයෙන් රහතැ යි කියති. රජ්ජුරුවෝ මහතෙරුන් බොහෝ කාලයක් මුළුල්ලෙහි රහත් බවත්, නො රහත් බවත් දැනගත නො හෙන්නාහු, දවසෙක සඞ්ඝයා උදෙසා එක්තරා එක් ඵලජාතියක් ගෙන්වා මහතෙරුන් අභිමුඛයෙහි තුමූ හිඳගෙන, තමන් ස්වහස්තයෙන් ඒ ඵලජාති ඇඹුල් හා කුළුබඩුයෙන් යොදා අතින් මැඩ මැඩ මහතෙරුන්ගේ මුහුණ බැලූහ, එ කෙණෙහි මහ තෙරුන් මුඛයට කෙළ උනා නැංග. එ දවස් පටන් රජ්ජුරුවෝ මහතෙරහු නො රහත් බවු දත්හ.

තවද මහතෙරහු දෙදෙනෙක් එක්ව මහණ ව ඔවුනොවුන් හා අතිවිශ්වාසව බොහෝ කලක් එක ගෙයි වෙසෙති, දෙදෙන ම නො රහත් හ; දෙදෙන ම ඔවුනොවුන් රහතැ යි සිතති. එයින් එක් මහතෙර කෙනෙක් අනික් මහතෙරුන් “රහත් බවු නො රහත් බවු පරීක්‍ෂා කෙරෙමි” යි සිතා දවසෙක ඔවුන් ගඞ්ගාවකට බැස ජල ස්නානය කරන කල්හි අතවැස්සකු උගන්වා “තෝ දිය කිමිද ගෙන නො පෙනී ගොස් මහතෙරුන් කකුල අල්ව”යි යවූ හ. එ තෙම එසේ ම ගොස් මහතෙරුන් කකුල ගත; මහතෙරහු “කිඹුලෙක් මා පය ගතැ” යි කියා හඬ ගැසූ හ. අතවැසි “කිඹුලෙක් නො වෙමි ස්වාමිනි මම ය, නුඹ පරීක්‍ෂා කරනු නිසා අයිමි. මට ක්‍ෂමා කරන්නැ”යි ක්‍ෂමා කරවා ගිය. එ දවස පටන් මහතෙරුන් නො රහත් බවු අනික් මහතෙරහු දත්හ. බුදුන් ගුණ ගෙන වසන කළ්‍යාන පෘථග්ජන වූ මා ඇතුළු වූ සියලු බුදුන් දරුවන්ට ම මෙසේ මෙසේ වූ ගුණ මහිම වාසනා ම වේව යි. එක් ව ම මහණ වූ ල. එකගෙයි වෙසෙත් ල. ඌ උන් රහතැ යි සිතත් ල. මෙ බඳු වූ ගුණ මහතුන් සිහි කළා වූ මා ඇතුළු වූ සියලු සතුන්ට ම සතර අපාය නො වේ ම ය; සගමොක් සුව ඒකාන්ත වේ ම ය.

එසේ එසේ වූ ක්ලේශයන් සමිත කොට වසන්නා වූ වජ්‍රඥාන ඇති මහාස්ථවිරයෝ ලක්‍ෂ සුවහස් ගණන් පැනනැඟී “අප බුදුන්ගේ ශාසනයෙහි මාර්‍ගඵල ලදුවෝ පිරිහී ගියහ. එසේ හෙයින් ඇවැත්නි, යම් යම් කාංක්‍ෂාවෙක් ඉපැද ගියේ නම් රහතන් නැති හෙයින් ඒ දුරු කොට ලනුවෝ නැත, මෙයින් මත්තෙහි සද්ධර්‍මය නිධාන සේ අප්‍රමාද ව රක්‍ෂා කළ මනා ම ය, ධර්‍මශ්‍රැත පරම්පරාව පිරිහී ගියේ නම් නපුර, පොත් සඞ්ගායනා කරම්හ” යි සුවාසූ දහසක් ධර්‍මස්කන්ධය බුදුන්ගේ මුඛපාළි පමණක් පොත්වල ලියා, එයින් පදයක් පිල්ලක් නො වරදවා, තුන්පිටකය ම පොත් බලා වනපොත් කොට සිත හා පොත හා සම බල බලා ධර්‍මශාසනය නිර්‍මල කොට රක්‍ෂාකොට ලෝවැඩ සසුන්වැඩ කරන්නාහු ම ය.

එසේ කාලයක් ගිය කල පොතෙහි ලියා තුබූ පාළි ධර්‍මයන් ඒ ඒ තැන් සැක බහුල ව පුච්ඡා ප්‍රතිපුච්ඡා බහුල වෙයි, එ කල මහා ප්‍රඥාවන්ත වූ බුද්ධශාසන රක්‍ෂාවෙහි අතිලෝභී වූ අර්ථකථාචාර්‍ය්‍යවරයෝ නො එක් අර්ථකථා උපදවා ධර්‍මය නිර්‍මල කොට තබන්නාහු ය. එතැන් පටන් පාළි වසයෙන්, අර්ථ වසයෙන් ටීකාවසයෙන් බලා ඉගෙන බොහෝ දවසක් ධර්‍මශාසනය පවත්වන කල්හි නැවත කාලයෙකින් අර්ථ කථාව ද එක් ව ටීකාර්ථ කථා උපදවා තබන්නාහු ය. එතැන් පටන් පාළි වසයෙන් - අර්ථ වසයෙන් - ටීකා වසයෙන් බලා ඉගෙන බොහෝ ධර්‍මධර මහා ස්ථවිරයෝ ධර්‍මශාස්ත්‍රය කාලයක් ශාසනය පවත්වන්නාහු ය.

එසේ ශාසනය පැවත පැවත යන කල්හි කලියුගයෙහි උපදනා රජදරුවෝ ආඥාවෙන්, පිනින්, සම්පත්තියෙන්, පරිවාරයෙන් ක්‍රම ක්‍රමයෙන් අඩුව යන්නාහු ය. රජුන්ගේ සම්පත් අඩුවීමෙන් පූර්ව රජුන්ගේ චරිත බලා “අපි ද එසේ එසේ ම සුඛිත වම්හ. ආඥා පතුරුවම්හ. සම්පත් උපදවම්හ. ධන ධාන්‍ය උපදවම්හ. ගව මහිෂයන් උපදවම්හ. මහපිරිස් සිටුවම්හ”යි උත්සාහ කිරීමෙන් ජනයන්ට පීඩා කරන්නාහ; නො මඳ අය ගන්නාහ. අධර්‍මයෙන් දඬ – මුඬ – ඉස්රන් – මස්රන් ආදීන් ලෝකවාසීන් පෙළන්නාහ. රජහු නම් ලෝකවාසීන්ට මවුපියන්ගේ තනතුරෙහි පිහිටියහ. මවුන් පියන් දරුවන්ට දැඩිකම් කරන කල, නො කවන කල, නො පො වන කල, දායාද නො දෙන කල, අවවාද නො කියන කල, පාපයෙන් නො වළකන කල, මවුන් පියන්ට ද, දරුවන්ට ද, වැඩක් නොවන්නා සේ; රජුන් ලොවට අධර්‍ම පීඩා කිරීමෙන් රජුන් ලෝවැසියෝ රක්‍ෂා නො කෙරෙති; ලෝවැසියන් රජහු රක්‍ෂා නො කෙරෙති.

මෙසේ රජදරුවන් අධර්‍මසමාදාන වූ කල යුවරජ මහ ඇමතියෝ ද අධර්මිෂ්ඨ වන්නාහ. රජුන්ගෙන් ඇමැතියන්ගෙන් පීඩා ලබන්නා වූ දනවු වැසි සත්ත්‍වයෝ ද අධර්මිෂ්ඨ වන්නාහ. එ කල මේ හානිය දුටු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අවවාද කළාහු වූ නම් එයිදු නොගිවිස්නාහ. එ කල බුද්ධපුත්‍රයෝ ලෝකවාසීන්ගේ අධර්ම සමාදානය බලා, මතු ලෝකශාසනයට වන පරිහානිය බලා, රජුන් කරා ගොස් අවවාද කියති. රජහු ඇමැතියන් ඇඟ වරද ලා තුමූ නිවරදයා සේ ධර්මයට අවඥා කෙරෙති. ඇමැතියන් කරා ගොස් එපවත් කියා අවවාද කළ කල ඔහු රජුන් කෙරෙහි හෝ රාජ්‍යවාසීන් කෙරෙහි හෝ වරද පිහිටුවා තුමූ නිවරදයා සේ හඟවති. නැවත රාජ්‍යවාසීන් කරා ගොස් අවවාද දී දැහැමින් වසව යි කී කල, ඔහු රජුන් ඇමැතියන් කෙරෙහි වරද පිහිටුවා තුමූ නිවරදයා සේ අවවාද නො පිළිගෙන “රජුන් ධර්මයෙහි පිහිටුවා ගත මැනැව, එ කල අපි දු ධර්‍මයෙහි පිහිටන්නමෝ වේ ද”යි කියා කියා අවවාද කළ උත්තමයන් කී බස් නො ගිවිස්නාහු ය. වදාළේ මැනෝ බුදුන් විසින් රාජොවාද ජාකතයෙහි:

ගවං චෙ තරමානානං – උජුං ගච්ඡති පුඞ්ගවො,

සබ්බා තා උජුං ගච්ඡන්ති – නෙත්තෙ උජු ගතෙ සති.

.

එවමෙවං මනුස්සෙසු – යො හොති සෙට්ඨ සම්මතො,

සො වෙ‘පි ධම්මං චරති - පගෙව ඉතරා පජා;

සබ්බං රට්ඨං සුඛං සෙති - රාජා චෙ හොති ධම්මිකො-යි.

එසේ හෙයින් රජුන්ගේ ධර්‍මසමාදානයෙන් ලොවට වැඩ වන හෙයිනුත්, අධර්‍මසමාදානයෙන් ලොවට අවැඩ වන හෙයිනුත්, දේවතාවෝ කලකිරී කලට වැසි නො වස්සති. වැසි වස්වත් නම්: සය නැත්තවුන්ට බත් දෙන්නා සේ, සය ඇත්තවුන්ට බත් නො ලන්නාසේ, බත් කැමැතියන්ට පැන් ඕනා සේ, පැන් කැමැතියන්ට බත් ලන්නා සේ, ප්‍රයෝජන ඇති ඇති කාලයෙහි වැසි නො වස්වා නිෂ්ප්‍රයෝජන කාලයෙහි විෂම වර්ෂා වස්වන්නාහු ය. පූදිනා කිරි වදිනා කරල් නඟනා කාලයෙහි නියං කරවාත් නසාලති, ඝනවැසි වැස්වීමෙනුත් දාගත මැඩගත නො දී ශස්‍යයන් නසාලති. එසේ හෙයින් සස්‍යයෝ සිත් සේ පල නො දෙන්නාහු ය, ශස්‍යයන් පල නො දීමෙන් ලෝකයෙහි ආහාර විපත්තිය වෙයි.

සුඛිත වූ කාලයෙක ම සත්ත්‍වයන් කුසල් කිරීමෙහි වීර්‍ය්‍ය ඇතිබවු මුත් දුඃඛිත වූ කාලයෙහි අකුසල් කිරීමෙහි වීර්‍ය්‍යවත් වන බැවින් “කුසල් කරන්නා තබා අපි අප කෙසේ රක්‍ෂා කරමෝ දෝ හෝ යි අපි අපගේ පුත්‍ර කලත්‍රමිත්‍රයන් පමණ කෙසේ පෝෂ්‍යය කරමෝ දෝ හෝ”යි ශාසන රක්‍ෂාවෙහි ලෝභ නැති ව ආත්ම රක්‍ෂාවෙහි ම ලෝභ වඩන්නාහු ය. මේ මේ කාරණයෙන් එකල ශාසනයට ප්‍රත්‍යය දායකයෝ ඉතා දුර්ලභ වන්නාහු ය; සුලභ නො වන්නාහු ය.

එකල භික්ෂූහු ගිය ගිය තැන්හි ප්‍රත්‍යය නොලදින් සිවුපස දානයෙන් ක්ලාන්ත වන්නාහු “ශාසනරක්ෂාව භාරයකැ”යි සිතා අන්තෙවාසිකයන් සද්ධිවිහාරිකයන් සමඟ ව රක්ෂා කොටලිය නො හී එකලා ව වසන ගන්‍ධ හස්තිරාජයන් සේ, ත්‍රිපිටකධාරී වූ මහා ස්ථවිරයෝ එක් දෙ අතවැස්සන් ගෙන, ඒ ඒ තැන්හි එකලා එකලා ව වසන්නාහු ය. මෙසේ මහාස්ථවිරයන් එකලා ව විසීමෙන්, අන්තෙවාසිකයන් ඵ් ඒ තැන්හි ස්වච්ඡන්‍දික ව විසීමෙන්, පෘච්ඡා ප්‍රතිපෘච්ඡා කොට සිතු සිතූ සැක හැරගෙන සජ්ඣායනා කොට ගෙනා සද්ධර්‍මය රක්ෂා කරනුවෝ බාහුලික නො වන්නාහු ය. භික්ෂුන්ට සැක මුදාලන ගුරුවරයන් විද්‍යමාන වූ ස්ථානයෙහි ප්‍රත්‍යය දායකයෝ අවිද්‍ය මානයහ. ප්‍රත්‍යය දායකයන් විද්‍යමාන වූ ස්ථානයෙහි ශඞ්කා දූරීකරණය කරන ධර්‍මදායක වූ ගුරුවරයෝ අවිද්‍යමානයහ.

රජ දරුවෝ නම් බුදුන් රජකුලයෙහි උපන් හෙයිනුත් රජුන් ශාසනරක්‍ෂාවෙහි යෙදී වසන හෙයිනුත්, ලොවට අධිපතිව වසන හෙයිනුත්, ශාසනයට මාතෘස්ථානයෙහි පිහිටා, සර්‍වස්ථානයෙහි සම කාන්ති පතුරුවන්නා වූ චන්ද්‍රදිව්‍යපුත්‍රයා සේ, සර්‍වශාසනය ම සම වූ ශ්‍රද්ධාවෙන් රක්‍ෂාකටයුතු වූ ප්‍රවේණි ධර්‍මයන් ඇතියහ. එසේ වූ රජදරුවෝ එ කල තමන් තමන් ගේ සම්පත අඩු හෙයිනුත්, සම වූ ශ්‍රද්ධාව අඩු හෙයිනුත්, පන්ව පන්වාලා වස්නා මණ්ඩල වර්ෂාවක් සේ, තමන් තමන් කෙරෙහි කුලුපග භික්ෂූන් පමණකට සංග්‍රහ කොට රක්ෂා කරන්නාහු ය. කුශලසංග්‍රහයෙන් දුරු ව, විවේකාභිරාම ව, ඒ ඒ තැන්හිම වසන්නා වූ මහා ලජ්ජි පුද්ගලයන් කෙරෙහි උපේක්‍ෂා ව වසන්නාහු ය. මේ මේ කාරණයෙන් රජුන්ගේ ම ගුණ මූලික ව පළමු කොට ආඥාචක්‍රය පිරිහුණු කල, ආඥාචක්‍රය නිසා පවත්නාවූ ධර්‍මචක්‍රය ද පරිහානියට පටන් ගන්ති.

මෙසේ දුක් ගන්නා භික්ෂූහු ධර්‍මය මේ මේ කාරණයෙන් සියල්ල ම දරා ගත නොහී කලෙකින් ටීකා කථා හැර අර්ථ පාළි වසයෙන් පවත්වන්නාහු ය. කලෙකින් අර්ථකථාව ද පවත්වා ගත නොහී ඒ හැර පාළි කථා වසයෙන් ධර්‍මය රක්ෂා කරන්නාහු ය. කලෙකින් පාළි පමණකුත් නිමවා දරාගත නො හී දැඩි දැඩි තැන් හැර සුගම සුගම තැන් පවත්වන්නාහු ය. හේ කෙසේ ද යත්?

තුන් පිටකයෙන් පළමු කොට අභිධර්ම පිටකය පිරිහෙයි, එයි දු පිරිහෙන කල එකවිට ම නො පිරිහී පළමු කොට මහා ප්‍රකරණය අග පටන් මුල දක්වා ක්‍රමයෙන් පිරිහී, දෙවනු ව යමකය පිරිහී තුන්වනු ව කථා වස්තු පිරිහෙයි, සතර වනු ව පුද්ගල ප්‍රඥප්ති පිරිහෙයි, පස් වනු ව ධාතුකථා පිරිහෙයි, සවනු ව විභඞ්ගය පිරිහෙයි, සත් වනුව ධම්සඟුණු පිරිහී මෙසේ පිරිහී සප්තප්‍රකරණය ම අග පටන් මුල දක්වා ක්‍රමයෙන් පිරිහී විජම් පිටකය අන්තර්ධාන වෙයි.

එ තැන් පටන් භික්ෂූහු විනය පිටකය හා සූත්‍ර පිටකය රක්‍ෂාකොට කාලයක් ශාසනය රක්‍ෂා කෙරෙති. දෙවනුව සූත්‍ර පිටකය ද එසේ ම පරිහානියට පටන් ගනිති. එයි දු පිරිහෙන කල අංගොත්තර නිකායෙහි කෙළවර එකාදස නිපාතයෙහි පටන් මුල එකක නිපාතය දක්වා, නවදහස් පන්සිය සත්පනසක් පමණ ඇති සූත්‍ර සමූහයෝ අන්තර්ධාන වෙති. පසු ව සංයුත් සඟියෙහි මහා වර්‍ගය, සළායතන වර්‍ගය, ස්කන්ධ වර්‍ගය, නිදාන වර්‍ගය, සගාථා වර්‍ගය යි පඤ්ච මහා වර්‍ගයෝ මෙසේ අග පටන් පිරිහී සත්දහස් සත්සිය දෙසැටක් ප්‍රමාණ ඇති විසිතුරු වූ සූත්‍ර සමූහයෝ අන්තර්ධානවෙති. නැවත මජ්ඣිම නිකායෙහි උපරි පණ්ණාසකය, මජ්ඣිම පණ්ණාසකය, මූලපණ්ණාසකයයි තුන්පණ්ණාසකය ද එසෙයින් ම පිරිහී එක්සිය දෙපනසක් ප්‍රමාණ ඇති මහා සූත්‍ර සමූහයෝ අන්තර්ධාන වෙති. ඉක්බිත්තෙන් දීර්ඝ නිකායෙහි දු අග පටන් පාඨියවර්‍ග, මහාවර්‍ග, ශීලස්කන්ධ වර්‍ග දක්වා සිටි සූතිසක් ප්‍රමාණ වූ මහා සූත්‍ර සමූහයෝ ද බ්‍රහ්මජාල සූත්‍රාන්ත කොට අන්තර්ධාන වෙති. නැවත කුදුගත් සඟියෙහි ඛුද්දක පාඨ ය, ධර්‍මපදය, උදානය, ඉතිවුත්තකය, සූත්‍රනිපාතය, විමානවස්තුය, ප්‍රෙතවස්තුය, ථෙරගාථාය, ථෙරිගාථාය, නිර්දේශය, ප්‍රතිසම්භිදාය, අපාදානය, බුද්ධවංශය, චරියා පිටක යයි අග පටන් ක්‍රමයෙන් පිරිහී පන්සිය පනස් ජාතකය විනය පිටකය හා කාලයක් රක්‍ෂා කොට භික්ෂුහු ශාසනය රක්‍ෂා කෙරෙති.

එ කල මෙසේ කාලයක් ගිය කල පන්සිය පනස් ජාතකය ද ක්‍රමයෙන් අග පටන් ම පිරිහෙනුයේ පළමු කොට වෙස්සන්තර ජාතකයෙහි වන වර්ණනාව දැඩි හෙයින් පිරිහෙයි, ධර්‍මකථිකයෝ වනයක් සේ ඒ වනයට නො වැද පන්වාලා ජාතකය පමණක් බණ කියති, පසු ව ජාතකය ද පිරිහෙයි. මෙසේ ම පිළිලොමින් විධුර ජාතකය, නාරද කාශ්‍යප ජාතකය, භූරිදත්ත ජාකතය, ඛණ්ඩහාළ ජාතකය, මහා උම්මග්ග ජාතකය, නිමි ජාතකය, සාම ජාතකය, මහා ජනක ජාතකය, මුගපක්ඛ හෙවත් තේමිය ජාතක ය යි මෙසේ දස මහා ජාතක අන්තර්ධාන වෙයි. එයින් මත්තෙහිදු අශීති නිපාත, සත්තති නිපාත, සට්ඨි නිපාත, පණ්ණාස නිපාත, චත්තාළිස නිපාත, තිංස නිපාත, වීසති නිපාත, පකිණ්ණක නිපාත, තෙරස නිපාත, ද්වාදස–එකාදස නිපාත, දස-නව-අට්ඨ නිපාත, සත්ත නිපාත, ඡ–පඤ්ච නිපාත, චත්තාරි-තික-දුක-එක නිපාත යයි. මෙසේ ද්වාවීසති නිපාතයෙහි පන්සිය පනස් ජාතක සමූහයෝ ම අපණ්ණක ජාතකාවසාන කොට අන්තර්ධාන වන්නාහු ය.

එ කල විනය පිටකය පමණක් කලක් පවත්වා භික්‍ෂූහු ශාසනය රක්ෂා කෙරෙත් ම ය. එයි දු පිරිහෙනුයේ අග පටන් ම සොළොස් පරිවාරය, ද්වාවිංශති ප්‍රභේද වූ චූළ වර්ග-මහා වර්ගයෙහි කඳුවත් අන්තර්ධාන ව, පසු ව උභය විභංග සංඛ්‍යාත වූ පරිජි - පචිති අන්තර්ධාන ව සතර පාරාජිකා ධර්‍මයෝ කිසි කලක් පැවත, ඔහු ද අන්තර්ධාන වෙති. මෙසේ බුදුන්ගේ පිටකත්‍රයෙහි සුවාසූ දහසක් ධර්‍මස්කන්ධයන් අග පටන් මුල දක්වා ක්‍රමයෙන් පිරිහී හැමදෙනා ම අන්තර්ධාන වූ කල්හි, බුදුන්ගේ ත්‍රිවිධ වූ ශාසනයම අන්තර්ධාන වූවා නම් වෙයි. එ කලට බුදුන් පිරිනිවී පන් දහසක් හවුරුදු ද අතික්‍රාන්ත ව බුද්ධෝත්පාදක්‍ෂණ සම්පත්තිය ද සත්ත්‍වයාට අන්තර්ධාන වූවා නම් වෙයි.

ඒ කාලය නම්: සඳ නැති රාත්‍රියක් වැන්න, හිරු නැති දහවලක් වැන්න, සිත් නැති රුවක් වැන්න, ගුණ නැති ළයක් වැන්න, හස් නැති වෙලක් වැන්න, මස්නැති විලක් වැන්න, පියුම් නැති සරසියක් වැන්න, රජුන් නැති රටක් වැන්න, මනුෂ්‍යයන් නැති ජනපදයක් වැන්න, හර නැති ගසක් වැන්න, පහන් නැති ගබක් වැන්න. සත්ත්‍වයෝ තිරිසනුන් වැනියහ, මෙලෝ-පරලෝ නොදන්නාහ, සුගති දුගති නො දන්නාහ, අන්‍ධකාරයෙහි ගමන් යනුවන් සේ මෙලෝ-පරලෝ මේ ය යි නොදැන කල් යවන්නාහ. එ දවස් උපදනා රජදරුවෝ මෙ දවස් උපදනා රාසොඬුන් නො වටනාහ, දැන් රා සොඬු රා බී මත්ව නන් දොඩන්නාහු තිලකුණෙන් යෙදුණා වූ බස් කියන්නාහු ම ය, තුණුරුවන්ගේ නමුත් කියන්නාහු ම ය; එසේ හෙයින් දැන් උපන් සත්ත්‍වයෝ ම දිවි ලදුවාහු ම යයි සත්පුරුෂයන් විසින් දතයුතු.

මෙසේ සද්ධර්‍ම ශාසනය අන්තර්ධාන වූ කල්හි, එ කල උපන් රජදරුවෝ බුදුන්ගේ පවත් මුඛ පරම්පරාවෙන් අසා ඒ බුදුන්ගෙන් දහම් පදයක් දන්නෝ කවුරුදෝ හෝ යි විචාරා දන්නවුන් නො දැක මඟුලැක් හු සරහා ඇතුන් පිට ඝන රන් දහසින් බැඳ පියලි තබා, සේසත් කරවා, බෙර-සක්-තිඹිලි ආදීන් මහත් වූ තූර්‍ය්‍යනාද කරවමින්, ඒ ඒ දිග්හි ඇවිදුවා “බුදුන්ගෙන් චතුෂ්පදික වූ එක ගාථාවකුත් දන්නා කෙනෙක් ඒ අප රජහට කියා මේ ඝන රන් දහසින් බඳ පියලි ගන්ව” යි කියා ඇවිදුවති. එ කල අමාත්‍යයෝ මෙසේ ම තුන් වාරයක් ඒ ඒ දිග්හි ඇවිද එක ගාථාවකුත් දන්නවුන් නො දැක, නැවත රජුන් කරා අවුදින් “දේවයිනි! දහමැ යි යන දෙයක් දන්නෝ නැත, ලෝකය ධර්‍මයෙන් ශූන්‍ය වී ය, ශූන්‍ය විය” කියා ඒ ඝනරන් පියලි භාණ්ඩාගාරයට ම නංවති. එ කල බුදුන්ගේ පර්‍ය්‍යාප්තිය පිරිහුණුවා නම් වෙයි.

එ කල ධාතු පරිනිර්‍වාණය ද වෙයි. හේ කෙසේ ද යත්? වෙසඟ මැදි පොහෝ ලද වෛශාඛ යෝගය යෙදුණු දවස් මේ සියලු ශ්‍රී ලඞ්කාද්වීපයෙහි මහියංගන, දීඝනක, කැළණි, තිස්ස මහ වෙහෙර, ගිරිහඬු, මැඩිලිගිරි, දඹුළු, මහසෙන්ගමු, මිහින්තලා, දෙනානක, බගිරිනක, තුඹුරුපා ආදි වූ සුවහස් ගණන් මහසෑ කුස්වල පිහිටි නො එක් ධාතූන් වහන්සේ ඒ ක්‍ෂණයෙහි ම ඒ ඒ දාකුස් හැර ආකාශයට පැන නැඟී ගමන් ගත් නකක් තරු පෙළක් සේ, අනුරාධපුර නුවර රුවන්වැලි මහ සෑ කුස දුටුගැමුණු රජ්ජුරුවන් කැරවූ අසූ රියන් මහාධාතු ගර්භයෙහි මැද පිහිටියා වූ කෙළක් අගනා රිදී යහනෙහි පස්පෑලක් පමණ ධාතූන් වහන්සේ හා එක තෙනට පැමිණෙන සේක. එ කල් දක්වා එ දාකුස නැඟු සිංහතෙල පහන් නො නිවි තිබී, එ දවස් එපානද නිවී යයි, එ වේලෙහි සියලු ලක්දිව සියලු ධාතූන් වහන්සේ එ තැනින් අහස් කුසට පැනනැඟී එක හුයක අවුලු මුතුවැල පෙළක් සේ ඔවුනොවුන් පසු පසුයෙහි නික්ම මණිනාග දිවයින එ දවස් දෙමයිල් නාරජුන්ගෙන් පිළිගෙන අප බුදුන් වැඩ හිඳ බණ දෙසු මිණිපලඟ මතුයෙහි රැස්වන සේක. එයින් නො එක් කෙළගණන් දිව්‍ය නාගරාජයන්ගෙන් පූජා ලදින් ඒ මිණිපලඟ හා සමග ආකාශයට පැනනැඟී ගොස් බෝමැඬ අප බුදුන් මරසෙන් බිඳ බුදුවූ අපරාජිත භූමියට බස්නා සේක.

එ කෙණෙහි දිව්‍යලෝක-බ්‍රහ්මලෝක-නාගලෝකාදි ඒ ඒ තැන්හි පිහිටි ධාතූන් වහන්සේ ද, අවශේෂ වූ ඒ ඒ කොදෙවුවල පිහිටි ධාතූන් වහන්සේ ද, දඹදිව දසථූපාදී ඒ ඒ රාජධානිවල පිහිටි ධාතූන් වහන්සේ ද, ඒ ඒ තැනින් පැනනැඟී පියුම් විළක් කරා දිවන රාජහංස සමූහයක් සේ, බුදුන්ගේ පශ්චිම දර්ශන නමැති මේඝ කාලයෙහි ගුවන්කුස් පැනනැඟී දිවන බලාකා පන්ති සේ, ආකාශයෙන් වැඩ බෝමැඩ එම ධාතූන් වහන්සේ හා එක් වන සේක. එ කල බුදු වූ දවස් සේ ම පොළොව පළා ගෙන තුදුස්රියන් වජ්‍රාසනයෙක් පැන නැඟී ඒ ධාතු පිළිගන්නී ය.

එ වේලෙහි ඒ සියලු ධාතූන් වහන්සේ ම ජීවමාන වූ බුදුන් ගේ රූපය මවා ලලාට ධාතූන් වහන්සේ ලලාටයෙහි ම පිහිටන සේක. ඒ මතුයෙහි උර්‍ණලොම ධාතුන්වහන්සේ පිහිටන සේක, අකුයෙහි අකුධාතුන් වහන්සේ පිහිටන සේක, සතර දළදා වහන්සේ සතර දන්ත ස්ථානයෙහි ම පිහිටන සේක, ග්‍රීවධාතුන් වහන්සේ ග්‍රීවයෙහි ම පිහිටන සේක, දෙකෙළ පනස් ලක්‍ෂයක් පමණ කේශධාතුන් වහන්සේ ඒ ඒ ස්ථාන නො වරදවා ම පිහිටන සේක. නවානූදහසක් ලෝමකූප ධාතුන් වහන්සේ ද ඒ ඒ ලෝම කූප නොවරදවා ම පිහිටන සේක. අවශේෂ වූ තුන් තරමෙහි විසුරුණා වූ බුදුන්ගේ සොළොස් නැළියක් පමණ ධාතුන් වහන්සේ ද තමන් තමන් වහන්සේ පෙර පිහිටි පිහිටියා වූ ස්ථානයෙහි නො වරදවා ම පිහිටන සේක. ඉක්බිත්තෙන් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණ හා පෙර සේ ම නිර්මිත වෙයි. එ කල බුදු වූ දවස් සේ ම සියලඟින් සවනක් රස් හැර සියලු ලෝකධාතු ඒකාලෝක කරන සේක. එ වේලෙහි දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්මයෝ බුදුරස් දැක “අද අප බුදුන්ගේ ධාතු පරිනිර්‍වාණ දිනය වන, කෙළවර පානා පෙළහර බලම්හ”යි නො එක් පූජාභාණ්ඩ ගෙන අවුදින් බෝමැඬ සිසාරා තුන්ලොව පුරා සිටගන්නාහු ය.

එ වේලෙහි ධාතු බුදුහු ආකාශයට පැනනැඟී ගණ්ඩම්බ නම් වෘක්‍ෂමූලයෙහි දී පෑ යමක ප්‍රාතිහාර්‍ය්‍ය සේම, මහ පෙළහර දක්වා, නැවත ආකාශයෙන් බැස බෝමඬ විදුරසුන් නැඟී වැඩහිඳිනා සේක. එ වේලෙහි ඒ ධාතු ස්කන්‍ධයෙන් තේජොස්කන්‍ධයෙක් පැනනැඟී බෝමඬ පටන් බ්‍රහ්මලෝකයට ඇවිළ සිටගෙන ධාතු ආදාහන වන්ට පටන් ගනිති. එ වේලෙහි දසදහසක් සක්වළින් රැස්වූ දෙවියෝ “අප බුදුන්ගේ මේ පශ්චිම දර්ශනය ය, අද තුන්වනු වූ ධාතුපරිනිර්‍වාණය ය, බුදුකෙනෙකුන්ගේ නමක් කප් අසංඛ්‍යෙයකිනුත් ඇසිය නො හැක්ක, දැක්ක නො හැක්ක, එසේ වූ බුදුහු අද අන්තර්ධාන වෙති, අහෝ ඛේදය, අහෝ ඛේදය, ලෝකය ශූන්‍ය වි ය, ශුන්‍ය වී ය”යි කිය කියා අහස්කුස් පුරා සිටි දෙවියෝ මිහිමඬලෙහි කඳුළුධාරා නමැති මහවැසි වස්වති, එ කල අබබීජක් සා ධාතුවකුත් නො තිබී සැම ධාතු ම ආදාහන වූ කල් ගිනිකඳ තෙමේ ම අන්තර්ධාන වෙයි. එ කෙණෙහි ඒ ඒ තන්හි පිහිටියාවූ දිව්‍ය නිර්මිතාදී ප්‍රතිමාද, ශිලාරූප – කාෂ්ඨරූප− ලොහරූප-රජතරූප-ස්වර්ණරූපාදි සියලු බුද්ධප්‍රතිමා ද අන්තර්ධාන වෙයි. එ කල දසදහසක් සක්වළ ආකාශයෙහි සහ පිරිවරින් සිටියාවූ එක්ලක්‍ෂ පනස්දහසක් මහා බ්‍රහ්මරාජයන් හා අනූදහසක් කාමාවචර දිව්‍යරාජයන් හා බොධි මණ්ඩලයට බැස තමන් තමන්ගේ භෝග පමණින් මහත් වූ දිව්‍ය පූජා කරන්නාහු පරිනිර්‍වාණ පූජාව සේ ම අප්‍රමාණ වූ පූජා කොට යන්නාහ.[1]

මෙසේ මාගේ බුදුහු තමන් වහන්සේගේ ධාතු පරිනිර්‍වාණ දිනයෙහි පවා මේ සා මහත් වූ දිව්‍යපූජාවන් ලබන හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ බුදුහු අර්හත් නම් වන සේකැ යි දතයුතු.

ධාතු පරිනිර්වාණ පූජා කථා මෙසේ දතයුතු.

  1. අමුණක්.