එ තැන් පටන් අජාසත් රජ්ජුරුවෝ මහසුප් ස්වාමීන්ගේ විධාන වූ පරිද්දෙන් ඒ ඒ නුවරවල තුබු ධාතු රහතන් ලවා තමන්ගේ රජගහා නුවර මහා ධාතු නිධානයක් කරවා, ශාසනයට උපකාර ව බොහෝ කලක් එම නුවර වාසය කොට, පසුව පසල් දනව්වෙහි වැදි කෙනකුන් නිසා වැස්සන්ට භය මහත් හෙයින්, ඒ දනවුවට ගොස් ගංගා නම් ගංගාවෙහි ගොතම නම් තොටට නුදුරු තෙන පාටලී නම් නියම් ගම පාටලීපුත්‍ර නම් වූ මහ රජ නගරයක් කරවා එහි වැස දානාදී පින්කම් කොට රට රැක රාජ්‍යය කළාහු ය.
පසු ව ඔවුන් ගේ දරු උභයහද්ද නම් රජ පිය රජහු මරා එ නුවර හිඳ රාජ්‍යය කළේ ය. පසුව ඔහු පිත් අනුරුද්ධ නම් රජෙක් ද එම නුවර හිඳ රාජ්‍යය කෙළේ ය. පසුව ඔහු පිත් මහාමුණ්ඩ නම් රජෙක් ද එම නුවර හිඳ රාජ්‍යය කෙළේ ය. පසුව ඔහු පිත් නාගදාසක නම් රජෙක් ද එම නුවර හිඳ රාජ්‍යය කෙළේ ය. පසුව ඔහු පිත් සුසුනාග නම් රජෙක් ද එම නුවර හිඳ රාජ්‍යය කෙළේ ය. පියන් මරා රජ කළා වූ මේ මගධ රජුන් සදෙනා අයාමෙහි සත්වනු ව කාලාශෝක නම් රජෙක් විය. ඕහට දසවන්නට අප බුදුන් පිරිනිවී හවුරුදු සියයෙක් පලා ගිය. එ කලට බුදුන් කෙරේ මහණ වූ භික්ෂු කෙනෙකුන් වහන්සේ ද නොම ඇත. අනඳ මහ තෙරුන් වහන්සේ කෙරෙහි මහණ වූ බුදුන් පිරිනිවන් පානා වකට ඉතා ලදරු වූ බුදුන්ගේ රූපය පමණක් දුටු විරූ සබ්බකාමි නම් මහ තෙර කෙනෙකුන් වහන්සේ එක්සිය විසි හැවිරිදි වයස් ඇති ව “බුදුන්ගේ රූප සම්පත්තිය මම බාලකල දුටු විරීමි” යි වදාරන සේක.
දඹදිවු වැසි බොහෝ සත්ත්‍වයෝ “උන්වහන්සේ බුදුන් හඳුනති”“යි අසා ගඳ දුම් මල් පහන් ගෙන, සිංහල ද්වීපවාසී සත්ත්‍වයන් සමනොළ දක්නට යන්නා සේ ම වැල නො කැඩී යෙයි. එ කලට දසදහසක් පමණ වැදී මහණහු විශාලා මහනුවරට එක් ව ධර්‍මය පෙරළා ගෙන දස වස්තුවක් උපදවා ශාසනය භේද කළාහු ය. එ කල යස නම් මහතෙර කෙනෙකුන් වහන්සේ දොළොස් දහසක් භික්ෂූන් අතුරෙන් සබ්බකාමී නම් මහතෙරුන් වහන්සේ ඇතුළු වූ සත්සියයක් පමණ රහතන් තෝරා ගෙන එම විශාලා මහනුවර වාලුකාරාමයෙහි දී කාලාශෝක නම් රජහුගෙන් ආරක්‍ෂා ඇතිව, අටමසෙකින් ධර්‍මසංගායනා කොට දසදහසක් අලජ්ජීන් දුරු කොට ශාසනය පරිශුද්ධ කොට වදාළ සේක. එකල ඒ කාලාශෝක රජ්ජුරුවෝ ද, ඒ අටමස මුලුල්ලෙහි දවස දවස අප්‍රමාණ වූ පූජා කළා හ.