ධාතු බෙදූ ඉක්බිත්තෙන් අජාසත් රජ්ජුරුවෝ තමන්ගේ ධාතු කොටස ගෙන ඒ කුසිනාරා නුවර පටන් රජගහා නුවරට පස් විසි යොදුන් මාර්‍ගය පුළුල අට ඉස්බක් තෙන භෙරිතලයක් සේ තනා, අන්තරන්තරයෙහි වීථි සදා, බුදුන්ගේ ධාතු සත් රුවන් [1]මඬුවකට වඩා, තමන්ගේ ආඥාක්‍ෂෙත්‍රයෙහි මනුෂ්‍යයන් රැස්කොට, මෙසේ ධාතු පූජාකොට, රුවන් රථයේ පසු කෙළවර පෙරකඩට ගිය කළ සත් දවසක් බැගින් රඳ රඳා, මහා පූජාකොට සත් හවුරුදු සත් මස් සත් දවසෙකින් රජගහනුවරට වැද, මහත් වූ දාගබක් බඳවා ශක්ති පමණින් පූජා කළාහු ය. සෙසු රජදරුවෝ ද තමන් තමන්ගේ නුවරට ගෙනගොස් වෙන වෙන ම දාගැබ් බඳවා මහත් වූ පූජා කළාහු ය. ද්‍රෝණ නම් බමුණානෝද ධාතු මිණූ කුරුණිය ගෙන තමන්ගේ නුවර කුම්භ නම් දාගබක් බඳවා තමන්ගේ ධන පමණින් පූජා කළාහුය. පසුව ධාතු සොයා ආ පිප්පලී මොලිය නම් දෙනුවර රජ දරුවෝ ධාතු නො ලදින් “මේ අපට ධාතු ය” යි ආදාහන භූමියෙහි රැස් කොට තිබූ අඟුරු රන් කරඬුයෙන් වඩා මහපෙරහරින් ගෙන ගොස් අඞ්ගාර ථූප නම් දාගැබක් බඳවා තමන් ශක්ති පමණින් පූජා කළා හු ය. කීයේ මැනෝ :-
එකො ථූපො රාජගහෙ – එකො වෙසාලියා පුරෙ,
එකො කපිලවත්‍ථුස්මිං - එකො ච අල්ලකප්පකෙ.
එකො ථූපො රාමගාමෙ - එකො ච වෙඨදීපකෙ,
එතෙ සාරීරිකා ථූපා - ජම්බුදීපෙ පතිට්ඨිතා,
අඞ්ගාර කුම්භ ථූපෙන - දසථූපා භවන්ති තෙ−යි.
-
රථයක. ↑