එ වේලෙහි රජ්ජුරුවෝ සිහි එළවා ගෙන, ඉසකේ වැටිය රන් පෝරුවක් වන් පිටි ලමද හෙළා ගෙන, ප්‍රවාලාඞ්කුර වැනි දෙ අතින් සිය ලෙහි පැහැර, සිය පහර දී මතැතකු සේ මහහඬින් ගුගුරා, වියරු හුණු පුරුෂයකු සේ මහ වේ මැදට බැස, පළමු වෙළුවනාරාමයට ගොස් “මාගේ බුදුන් මීකත ගුගුරුවා පළමුව පිළිගත් වෙහෙර යැ” යි කිය කියා එ තෙන හිඳ හඬා, එයින් නැඟී, ජීවකාරාමයට ගොස් එහි තමන් පළමු ව බුදුන් දුටු පැන විචාළ ගඳකිළියට වැද, එතෙන හී හඬා එයින් නැඟී ධර්‍මශාලාවෙහි බුදුන් වැඩහුන් බුද්ධාසනය බල බලා හඬ හඬා, නො එක් විලාපයෙන් වැලප, එ තෙන හිඳ ගාථා සැටෙකින් බුදුගුණ කිය කියා වැලප නැවත සිහි එළවා ගෙන “දැන් මා හැඬීමෙන් කම් නැත, බුදුන්ගේ ධාතු ගෙනවුත් බුදුන් දුටු සේ පුදමි”යි සිතාලා “මාගේ බුදුහු කොයිදී පිරිනිවි සේක් දැ”යි විචාරා කුසිනාරා නුවර දී ය යි අසා “මාගේ බුදුන්ගේ ධාතු බලයෙන් ගෙනවුත් පුදමි” යි එ කෙණෙහි ම රජගෙට දෙවනු ව නො වැද අටළොස් කෙළක් පමණ මහ සෙනඟ ගෙන ලක්‍ෂගණන් ඇත් අති අස් ඇනි රථ ඇනි බල ඇනි ගෙන මහමුහුදින් දිවු මහරළ පෙළක්සේ දුරුමඟ ගෙවා දිව කුසිනාරා නුවර කඳවුරු බැඳ සිට ගත් හ.
තව ද: මෙ පවත් ඇසූ විශාලා මහනුවර සත්දාස් සත්සිය සත්දෙනකු පමණ ඇති ලිච්ඡවි රජදරුවෝ තමන් තමන්ගේ බල පිරිස් ගෙන එසෙයින් ම දිව ගොස් එම නුවර පිරිවරා හිඳගත්හ. මෙ සෙයින් ම කිඹුල්වත් පුරෙහි ශාක්‍ය රජදරුවන් හා මහසෙනග ය. තව ද: අල්ලකප්ප නුවර රජදරුවන් හා මහසෙනග ය. තව ද: රාම නම් නුවර කෝළිය රජදරුවන් හා මහසෙනගය. තව ද: වෙඨ නම් නුවර රජදරුවන් හා මහසෙනගය. තව ද: පාවෙය්‍යක නම් නුවර රජදරුවන් හා මහසෙනඟ ය යි මෙසේ සත් රජයෙක, සත් සෙනඟක් හා රජදරුවෝ දිව ගොස් නුවර සිසාරා හිඳගෙන “ධාතු අපට ම එවන්නේ ය” යි යුද්ධ හෝ කරන්නේ ය යි වෙන වෙනම වාසි කියා ඉල්වති.
එ බස් අසා මල්ලරජදරුවෝ “බුදුන් අපගේ නුවරදී පිරිනිවන් පෑව මැනවැ යි අප ආරධනා කෙළෙත් නැත, බුදුහු තමන් වහන්සේ ම අපගේ නුවරට වැඩ පිරිනිවි සේක. තමන් තමන්ගේ නුවර යම් යම් රුවනෙක් උපන් නම් තමන් තමන්ට හිමියා සේ ම අපගේ නුවර උපන්නාවූ ධාතුරත්නය අපට ම හිමි ය, තොප කිරි බොනදා අපි මෝරු නුපූම් හ, තොපගේ මතු නො වෙයි, අපගේත් ඇත් අස් රථ පාබල සෙන් ඇත, තොපගේ මතු නො වෙයි අපගේත් කඩු මුවහත් ඇතැ”යි යනාදීන් මන් වඩනා වාසී බස් කියා කලහ වැඩූ හ.
ඉදින් යුද්ධ වී නම් සත් නුවරක් තබා දඹදිව තෙසැට දහසක් රාජධානිවල රජසෙනඟ ආවත් ධාතු තුබු නුවර හෙයිනුත්, ලක්‍ෂගණන් රහතන්ගේ අධිෂ්ඨාන බළ ඇති හෙයිනුත්, සියලු දෙවතාවන්ගේ ආරක්ෂා බල ඇති හෙයිනුත් කුසිනාරා නුවර මල්ල රජදරුවෝ ජයගන්නාහු ම ය.
එ වේලෙහි දඹදිව සියලු රජුන්ට ශිල්ප දුන් රාජ ගුරු වූ ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ආචාරී කෙනෙක් හැම රජුන් සන්සිඳුවා එක තැනට රැස්කොට “දරුවෙනි! බුදුන් උදෙසා ඔවුනොවුන් හා යුද්ධ නො කරව, බුදුහු නම් ක්‍ෂාන්තිවාදී සේක, බුදුහු නම් සියලු සතුන්ට ම සාධාරණසේකැ”යි යනාදීන් නො එක් බණ කියා ගිවිස්වා ධාතු අට කොටසක් කොට මගධ නැළියෙන් දෙනැළිය බැගින් අට ද්‍රෝණයක් ධාතු රජදරුවන්ට බෙදා දෙනුයේ, දකුණු දළදා වහන්සේ රජදරුවන් කථා කර දී සොරා ඇරගෙන තමා හිස කෙස් යට සඟවා ගත. එ වේලෙහි සක්දෙව් රජ “සියලු සතුන්ට ධර්‍මදේශනා කළාවූ මුඛයෙහි ජාත දන්තධාතුවට උපකාර කිරීමට මේ බමුණු සුදුසු නො වේ ම යැ”යි සිතාලා සූක්‍ෂම වූ අතක් මවාලා දන්තධාතුව ඔහු හිසින් සොරා හැරගෙන රුවන් කරඬුවකට වඩා ශක්‍රපුරයට ගෙනගොස් සිළුමිණි සෑයට වඩා අද දක්වා පූජා කෙරෙයි. බමුණු ධාතු බෙදා අන්තයෙහි හිස අත ගා බලා දළදා නොදැක ශෝක කොට “මටත් වඩනා සොරෙක් ඇරගතැ”යි සිතා ලජ්ජාවෙන් කාටත් නොහඟවා ධාතු මිණූ ලාස්ස රජදරුවන්ට කියා ඉල්වා ගත.