මෙසේ මල්ල රජුන් ධාතුවට රකවල් ගන්වා උත්සව කෙළි කෙළ පූජාවට පටන් ගත්හ. එකල රජගහානුවර අජාසත් රජ්ජුරුවෝ මෙ පවත් ඇසූ හ. කෙසේ ඇසූ ද යත්? ඔවුන් ගේ අමාත්‍යයෝ බුදුන් පිරිනිවි බවු අසා “පෘථග්ජන වූ ශ්‍රද්ධාවන්තයන්ගෙන් අපගේ රජ්ජුරුවන්ට වඩා බුදුන් කෙරෙහි ප්‍රේම ඇති රජෙක් නැත, මෙ පවත් රජහට සෙසු වේලක කීමෝ නම් ශෝකාග්නියෙන් රජ දා මියෙයි” සිතා ඔරු තුනක් ගෙන්වාගෙන චතුමධුරයෙන් පුරා රජ්ජුරුවන් කරා ගොස් “දේවයන් වහන්ස! රාත්‍රිභාගයෙහි නුඹවහන්සේට නපුරු වූ කාරණයක් දුටුම්හ, ඒ නපුර දෙසා පියන පරිද්දෙන් සුදු කඩක් හැඳ නාසය හා කන් සිදුරු නො ගැලෙන සේ තෙල ඔරුවෙහි ගැලී හොත මැනැවැ”යි බොරුවක් කියා රජ්ජුරුවන් පළමුවන ඔරුවෙහි ගැලී හොත් කල එම ඇමැති හිසකේ විදා පිට හෙළා අවමඟුල් වෙසක් ගෙන රජ්ජුරුවන් පෙරට ව සිට ඇඳිලි බැඳ “රජ්ජුරුවන් වහන්ස! කුසිනාරා නුවර දී ලෝකනායක වූ අප මහා ගෞතම බුදුහු පිරිනිවන් පෑවාහු වේ දැ”යි කීහ.
රජ්ජුරුවෝ එ බස කන හුනු වේලෙහිම දෙකන ගැසූ යවුල් දෙකක් සේ වෙවුලා ගොස් බුදුන් කෙරෙහි පැනනැඟි ශෝකගින්නෙන් මූර්ඡා වූ හ. රජ්ජුරුවන්ගේ සර්වාඞ්ගය රත්කොටපු යකඳක් සේ කකියවා ඔරුව පිරූ සිහිල් වූ චතුමධුර කකියවාපු ලෝදිය සේ සුරු සුරු යන අනුකරණ දක්වා හුණුසුම් නැංග. එ වේලෙහි අමාත්‍යයෝ අත දව දවා රජ්ජුරුවන් ඒ ඔරුවෙන් ඔසවා ගෙන අනික් ඔරුවේ ලූහ. එ වේලෙහි රජ්ජුරුවෝ සිහිලසයෙහි ගැලී සිහි එළවා ගෙන “තොප කීයේ කුමක් දැ”යි විචාළ හ. නැවත ඇමැතියෝ “හිමි තොප බුදුහු පිරිනිවියහ”යි කීහ. නැවත රජ විසංඥ ව ඒ ඔරුව ද හුණු කෙළේ ය. නැවත ඇමතියෝ රජ්ජුරුවන් තුන්වන ඔරුයෙහි ලා, එහි ද ආශ්වාස ලදින් “තොප කීයේ කුමක් දැ” යි විචාළ කළ “හිමි තොප බුදුහු පිරිනිවන් පෑහ” යි කීහ. තව ද: රජ්ජුරුවෝ විසංඥ වූහ. එ වේලෙහි අමාත්‍යයෝ රජ්ජුරුවන් ඔසවා ගෙන සොළොස් කළයක් ඇල්පැන් ඇඟ සලා සිංහාසන මස්තකයෙහි හිඳුවා සමහරු ඔල්බවා ගෙන සිටියහ.