මල්ල රජහු අට දෙනෙක්-සොළොස්දෙනෙක්-දෙතිස්දෙනෙක් බැගින් සැරහි සිට රන් තල්වැට සලාත් ගිනි දල්වාගත නුහුණුවහ. කාරණ කිම යත්? “මහසුප් මහ තෙරුන් වහන්සේ අවුත් බුදුන් වැඳි කල මුත් ගිනි නො ගනීව” යි බුදුන්ගෙනුත් අධිෂ්ඨාන ය; ඔබට මිත්‍ර වූ දෙවියන් ගෙනුත් අධිෂ්ඨාන ය. එකල රජදරුවෝ අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අතින් මෙ පවත් අසා “සෘද්ධිවන්ත වූ මහ තෙරකෙනෙක් තව මෙ තෙනට නො ආවෝ ල, උන් මෙ තෙනට නො ආ හෙයින් දරසෑයෙහි ගිනි නො ගනී ල, එවැනි ඍද්ධිවන්තයන් ඇති පසු බුදුන් නැතත් ලොවට හානි කිම දැ”යි සන්තුෂ්ට ව “එ තෙරෙහු කෙබඳු වූ රූපවිලාස ඇතියෝ දෝ හෝ උන් බලම්හ” යි සුවඳමල්-ධ්වජ-පතාක ගෙන පෙරමඟට දිවුවාහු ය.
ඒ මහසුප් මහ තෙරුන් වහන්සේ කොයි වැඩ බුදුන්ගේ ආදාහනයට පසු වූ සේක් ද යත්? පෙර සැවැත් නුවර ජෙතවනාරාමයෙහි බුදුන් හා සමඟ මුන්වහන්සේ වසන කල එ නුවර එක්තරා එක් උපාසිකාවක් මහසුප් මහතෙරුන් වහන්සේ දැක තමා පූර්ව ජාතියෙහි උන්වහන්සේට මවු ව උපන් හෙයින් පුත්‍රප්‍රේම බැඳ එතැන් පටන් ඔබට දවස දවස බත්පැන්දක් තබා දෙයි. ඒ මහසුප් මහතෙරුන් වහන්සේ නම් බුදුන්ට සතරඟලකට මිටි බව මුත් බුදුන් හා එක්වැනි වූ රූ ඇති සේක. එසේ හෙයින් ඔබ දුටු කල බොහෝ සේ සත්ත්‍වයෝ “බුදුහු වැඩිසේකැ”යි කියති.
එක් දවසක් ස්වාමිදරුවෝ එකචාරි සිංහපොවුවකු සේ අප්‍රසිද්ධ දෙතිස් අසූ ලකුණු සඟවා ගෙන වෛනෙය පුද්ගලයන් උදෙසා එනුවර සිඟා ඇවිදිනා සේක. එ වේලෙහි ඒ ස්ත්‍රී බුදුන් දැක මහසුප් මහතෙරුන් වහන්සේ ය යි සිතා ඔබට තමා ලන්නා වූ බත් සැන්ද බුදුන්ගේ පාත්‍රයට පිළිගන්වා පුව.
බුදුන් එ දොර පියවා වැඩපී කල මහසුප් මහතෙරුන් සිඟා වැඩි සේක. එ වේලෙහි ඒ ස්ත්‍රී “ම පුතණුවන් වහන්සේ ය යි අනික් මහණක්හට මාගේ බත් සැන්ද නො හැඳින ලා පීමි”යි කිය කියා “මා හිස හුනු සෙණක් බලව”යි කිය කියා තොමෝ තමාට ම අව අවා, බුදුන් හඹාගෙන ගොස් “මඳක් සිටින වහන්සේ ය”යි කිය කියා බුදුන්ගේ පාත්‍රයට අත ලාලා එ බත් සැන්ද දෙවනු ව උදුරා ගෙන ගියා ය.
එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ “මේ කිමෙක් දෝ හෝ යි දිව්‍ය-බ්‍රහ්ම නරේන්‍ද්‍රයෝ තමන් තමන්ගේ දිව්‍යභෝජනයන් මාගේ පාත්‍රයට කෙසේ ලා පියමෝ දෝ හෝ යි ප්‍රාර්ථනා කෙරෙති; මේ ස්ත්‍රී එසේ වූ මට බත් සැන්දක් ලාලා දෙවනු ව ඇරගෙන ගියා ය. මේ ලෝකයෙහි සත්ත්‍වයෝ පූර්වයෙහි උපකාරයක් කළ කෙනෙකුන්ට මුත් උපකාරයක් නො කෙරෙත් ම ය; මෝ තොමෝ පෙර මාගෙන් සංග්‍රහයක් ලද්දෝ හෝ නො ලද් දෝ හෝ” යි පූර්ව චරිත බලා සාරාසඞ්ඛ්‍යෙය කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි තමන් වහන්සේ දානපාරමිතා නැමති මහමුහුද හළලා තුන්ලෝ වෙවුල්වා සත්තසතකාදි මහදන් දෙන සමයෙහිත් මෝ තොමෝ මාගෙන් බත්උළක් පමණ සංග්‍රහයකුත් නො ලද්දී ම ය, පරසක්වළ ම ඇවිද්දී ම ය” යි දැක ඈ කෙරෙහි උපන් මහා කරුණාවෙන් වැඩ වදාළ සේක.
එ වේලෙහි මහසුප් මහතෙරුන් වහන්සේ බුදුන්ට මෑ කළාවූ අනාදරය දැක “මාගේ නිවන් මෑණියන් හා මා හා එක නුවර සිඟන හෙයින් වේ ද මේ සා පරිභවයක් වූයේ ය” යි මහත් වූ සංවේග උපදවා “අද පටන් ජීවිතාන්තය දක්වා බුදුන් හා එක ගමෙක නො සිඟමි”යි අධිෂ්ඨාන බැඳ එම දා ම හිමාලය වනයට වැඩ එක්තරා එක් පබ්භාරයෙක වසන සේක් “ඉදින් බුදුහු මා නොමැදයෙකත් පිරිනිවි සේක් වී නම් මේ ලෙනදොර සිටි මේ වෘක්‍ෂයෙහි මේ මල් එ දා පර ව බිම වැගිරේව යි මේ සලකුණෙන් බුදුහු පිරිනිවිය හ යි දන්මි”යි අධිෂ්ඨාන කොට බොහෝ දවසක් එහි වාසය කරන සේක් බුදුන්ගේ පරිනිර්‍වාණය හා සමඟ ම ගස මල් පර වූ සේ දැක “මාගේ තුන්ලෝ පහන අද පිරිනිවනැ”යි දැන උපන් මහත් සංවේග ඇති ව, එකෙණෙහි පන්සියක් පමණ රහතන් පිරිවරා දෙවන බුදුකෙනකුන් උපන්නා සේ මහත් වූ පූජාවෙන් වැඩ, දරසෑය සිසාරා තුන්යලක් ඇවිද ශ්‍රීපාදය දිසාවෙන් ආකාශයට පැන නැඟී බුදුන් වැඳ හොත් සේක.
එකෙණෙහි දිය පළා පැනනැඟි මහ පියුම් දෙකක් සේ ස්වාමි දරුවන්ගේ ශ්‍රීපාද දෙක පන්සියක් පුළුන්පට පන්සියක් සළුපට රන්දෙණ දරසෑය දෙබේ කොට ගෙන, වලාගබින් පෙනීගිය පුන්සඳමඬලක් සේ පිටත් ව දිව්‍ය-මනුෂ්‍යයන් බල බලා සිටිය දී මහතෙරුන් වහන්සේගේ නළල් මැදෙහි පෙනී ගියහ. එ වේලෙහි දිව්‍ය මනුෂ්‍යයන්ට බුදුන් පිරිනිවන් පෑ කලටත් වඩා ශෝක බොහෝ විය. එ කල මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ රත් පියුම් පෙති සඟලක් වන් අතුල් දෙකින් බුදුන්ගේ පතුල් දෙක අල්වාගෙන වැඳ ධර්‍මසංවේගයට පැමිණි සේක. මහතෙරුන්වහන්සේ වැඳි පසු ශ්‍රීපාද දෙක වලාගබෙකින් සැඟවුණු පුන්සඳක් සේ රන්දෙණ තුළට වන. එකෙණෙහි දරසෑය තෙමේ ම ගිනි ගත. ඒ ආශ්චර්යය දුටු මනුෂ්‍යයෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද ශෝක තුනී කළහ. ආයු බොහෝ සර්‍වඥවරයන්ගේ ආදාහනයෙහි දී ශාරීරිධාතු නො විසිර එක රන්පිළිමයක් සේ තිබෙයි. ආයු මඳ සර්‍වඥවරයන්ගේ දන්ත ධාතු ය. අකු ධාතු දෙකය, ලලාට ධාතු ය යන මේ ධාතු සත තිබිය දී අවශේෂ ධාතු මුංබියලි සා ය, කඩ සාලැට සා ය, අබ ඇට සා ය, යන තුන් තරමෙක විසිර මුතු දෙණක් සේ වි ය.
ඉක්බිත්තෙන් ගිනි සන්හුන් කල ආකාශයෙන් හා පොළොවින් හා ජලධාරාවෝ දෙදෙනෙක් දිව අවුදින් ගිනි නිවුවාහු ය. එ කල මල්ල රජදරුවෝ මහත් වූ පූජාවෙන් ආදාහන කෘත්‍යය කොට තමන්ගේ නුවර මැද සන්‍ථාගාරය සිවුදෑ ගඳින් පිරිබඩ ගෙන ලද පස්මල් ඉස, රන්තරු රිදීතරුයෙන් විචිත්‍ර වූ වියන් බැඳ මල්දම් රන්දම් රුවන්දම් එල්වා, වටතිර ඇද, සන්ථාගාරයෙහි පටන් බුදුන් ආදාහන කළ ඒ මකුට බන්‍ධන චෛත්‍යය දක්වා දෙපෙළ තිර ඇද අහස්වියන් බැඳ ධ්වජ පතාක නංවා, දෙපෙළ රන්කළස තනා, මිණිදඬු වැට පහන් නඟා, අලඞ්කෘත වූ ඇතකු පිට රන්දෙණ වඩා, මලින් සුවඳින් පුද පුදා, මහා උත්සව කෙළියෙන් ඇතුළු නුවරට වැද, සන්‍ථාගාර මධ්‍යයෙහි සප්තරත්න පර්‍ය්‍යඞ්කයක් කරවා ඒ මතුයෙහි රන්දෙණින් ධාතු වඩා, සේසත් නඟා, කඩුගත් යෝධයන් පදනම වටා, උරෙන් උර ගසා සිටුවා, එයින් පිටත කුඹින් කුඹ ගසා, ඇත්පොළක් සිටුවා, එයින් වටා කණින් කණ ගසා අස්පෙළක් සිටුවා, එයින් පිටත සකින් සක ගසා රථසෙනඟක් සිටුවා, එයින් පිටත උරින් උර ගසා යෝධසෙනඟක් සිටුවා, එයින් පිටත පිළින් පිළ ගසා දුනු ගත් සෙනගක් සිටුවා, මෙසේ වට යොදනක් මානයෙහි සන්නාහයෙකින් වැසුවා සේ අතුරක් නො දී සතුරන් නිසා රකවල් ගත්හ.