තව ද: තුසිත භවනයෙහි දී බුදුවන්ට දෙවියන් ආරාධනා කළ දා “මවුකුස ප්‍රතිසන්‍ධිය කෙරෙමි” යි ඉවසූ වේලෙහි බොහෝ ආයු ඇති වරවාරණ නම් දිව්‍යපුත්‍රයෙක් “උතුමාගේ ප්‍රසව මඞ්ගලයට මල්පූජාවක් කරම්හ” යි සිතා තමාගේ දිව්‍යසේනාව හැරගෙන මල් ගොතන්නට පටන් ගත, ඒ මල් ප්‍රසව පූජාවටත් ගොතා නො නිමිය. මහභිනික්මන් පූජාවටත් නො නිමිය, බෝධි මණ්ඩලයෙහි බුද්ධ පූජාවටත් නො නිමිය. දම්සක් පැවතුම් පූජාවටත් නො නිමිය. දේවෝරොහණ පූජාවටත් නො නිමිය. ආයුසංස්කාර හරනා දවසටත් නො නිමිය. බුදුන් පරිනිර්‍වාණය කරන මේ පූජාව දක්වාත් අසූ හවුරුද්දක් මුළුල්ලෙහි ගොතාත් එ මල් දැල නො නිමියේ මය. එ කල තෙසු දෙවියෝ ඔහු කරා දිව ගොස් “කොළ වරවාරණ නම් දිව්‍ය පුත්‍රය! තෝ තෙල මල් කාට පූජාවට ගොතයි ද; අද බුදුහු පිරිනිවන් පවිති, දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්ම සේනාව රැස්ව පරිනිර්‍වාණ පූජා කෙරෙමින් සිටියාහු වේ දැ”යි කීහ.
එ වේලෙහි දේවතාවා ලෙහි අත් ගසා ගොතන මල් අතින් හෙළා “කොල! ඒ කුමන විස්මයෙක් දැ” යි කිය කියා නැඟී සිට මහත් වූ පශ්චාත්තාපයට පැමිණ “බුදු කෙනෙක් ලක්‍ෂයක් අසඞ්ඛෙය්‍යක් කපිනුත් දුර්ලභයහ, එසේ වූ බුදුහු අද ම ඉපැද, අද ම මහභිනික්මන් කොට, අද ම බුදුව, අද ම දහම් දෙසා, අද ම සියලු සතුන් සසරින් මුදා අද ම පිරිනිවන් පවිද් ද, දෙ දවසක් ජීවත් වන්නා වූ පිනකුත් නො කළාහු ද, මල්ගෙතීමක් නිසා ඒ බුදුන් අතින් දහම් පදයක් අසා නො ගතිමි” යි මහහඬින් හඬ හඬා ගොතා නොනිමි මල්දැල ගෙන එක්ලක්‍ෂ අටසැට දහසක් යොදුන් මහමෙර මුදුනට නැඟිලා “දෙ දවසකුත් ජීවත් නොව, මේ සා ලෝවැඩක් කළා වූ ඒ උතුමාට මේ නොනිමි මල්දැල පූජා වේවා” යි කියාලා මල්දැල මුළු සක්වළට දමාලීය. එකෙණෙහි සතිස්ලක්‍ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් වට ඇති සක්වළගල වසාගෙන වට ගෙයක පලයක් සේ සිටගත.
මෙසේ දෙවියන් පූජාවට පටන් ගත් වේලෙහි “ස්වාමිදරුවාණන්ගේ පශ්චිම දර්ශන ය”යි කිය කියා මහත් වූ ධර්‍මසංවේගයට පැමිණ තුන්පිටකය ගෙවා දත් සත් ලක්‍ෂයක් පමණ මහතෙර පෙළක් අවුත් බුදුන් සිසාරා සිටගත්හ. සෙසු භික්ෂූන් වහන්සේ මෙ තෙකැ යි ගණන් නැත. එ වේලෙහි ස්වාමි දරුවෝ “මාගේ දහම් නමැති පහන පන් දහසක් හවුරුදු මුළුල්ලෙහි ලොව මා උන්නා සේ ම මොහඳුරු දුරු කෙරේව”යි අධිෂ්ඨාන කොටලා තව ද: “මාගේ ශරීරධාතු තුන්තරමෙක බෙදී මුළුලොව විසිර ඒ ඒ පූජාවෙහි ප්‍රාතිහාර්‍ය්‍ය දක්වා ලෝවැඩ කෙරේව”යි අධිෂ්ඨාන කොටලා-පඤ්ච මහා අධිෂ්ඨානය හා මහා ශබ්දයෙන් උපන්නා වූ සූක්‍ෂම වූ අධිෂ්ඨානය යි ශතසහස්‍ර සඞ්ඛ්‍යාත වූ අධිෂ්ඨානයන් කොට, ප්‍රථම යාමයෙහි මල්ලරජුන්ට බණ වදාරා, මධ්‍යම යාමයෙහි දෙවියන්ට බණ වදාරා, පශ්චිම යාමයෙහි ශ්‍රාවකයන්ට බණ වදාරා අවවාද දී, අලුයම් රාත්‍රියෙහි දසදහසක් සක්වළ මහපොළෝ එක්ලක්‍ෂ විසිදහසක් වාරයෙහි කම්පිත කරවා ඵලසමවතින් නැඟී නිරූපධිශෙෂ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවී සේක.
එ කෙණෙහි මල්ලරජදරුවෝ අනඳ මහ තෙරුන් වහන්සේ අතින් අසා දිව අවුදින් කල්පාන්තවාතයෙන් හුණු සල්වනයක් සේ හඬා හී මුසපත් ව, රහතන්ගේ අවවාදයෙන් නැඟි ස්වාමිදරුවාණන්ගේ ශ්‍රී ශරීරයටත් සත් දවසක් මුළුල්ලෙහි අප්‍රමාණ වූ පූජාකොට සත්වන දා අනඳ මහ තෙරුන් වහන්සේගේ විධාන වූ පරිද්දෙන් චක්‍රවර්තී රජුන්ට කළමනා චාරිත්‍ර කොට, පන් පන්සියක් සළුපට, පුලුන් පටින්, බුදුන්ගේ ශ්‍රී ශරීරය වෙළා, ඝන රන්මය වූ මහ දෙනකට වඩා, එක්සිය විසි රියන් සඳුන් දරසෑයක් බැඳ ආදාහන පූජාවට පටන් ගත්හ. එ කෙණෙහි දන පමණ කටී පමණ පරසතු මඳාරා මල් වැසපී ය, දසදහසක් සක්වළ දෙවියෝ රැස් ව අහස්කුස පුරා සිට ගත්හ.