යන මේ ගාථාවෙන් “යශෝධරා ස්ථවිරීනි! ජාම්බූනද ශෘංගී ස්වර්ණ චාමීකර ශතකුම්භ ය යි යන චතුර්ජාතියෙහි ඝනරන් මල දැවීමෙන් කම් නැත්තා සේ, චතුරාර්‍ය්‍යසත්‍යයන් අවබෝධය කළාවූ තොප වැනි අමා මහ නිවන් දුටුවන්ට ඔවුනොවුන් ලා ක්‍ෂමා කැරවීමෙහි ඵල නැත, තොප තබා මුළු ලෝ වාසීන් නිවන් පුරයටම මෙහෙයන්නාවූ මම දැන් එම පුරයට අවසර ඉල්වන්නාවූ තොපට කුමක් නම් කියම් ද, තොප සිතූයේ කාරණ ම ය, බුදුන් ගේ පරිනිර්‍වාණය තොප වැනියන් නුදුටු මනා ම ය. මෙයින් සූවිසි මසක් අතික්‍රාන්ත වූ කල බුදුහු ද එම පුරයට නික්මෙන්නාහ. තොප වැනියන් ක්‍ෂමා කැරවීමෙහි ඵල නැතත් ලෝක ව්‍යවහාර නිසා ක්‍ෂමා කළම්හ ක්‍ෂමා කළම්හ යි තුන් යලක් වදාරා ශ්‍රීමුඛයෙන් නිකුත් සුවඳගඳින් මුළුලොව සුවඳ කරඬුවක් සේ කරවමින් නික්මෙවයි අවසර දී වදාළ සේක.
එ වේලෙහි උන්වහන්සේ නැවත නැවත බුදුන් වැඳ තුන් වාරයක් බුදුන් ප්‍රදක්ෂිණා කොට දහසක් මෙහෙණිනි සෙනග හා සමඟ අවසරගෙන නික්ම බුදුන්ගේ දර්ශනයට විෂය තාක් තැන් බුදුන්ට අභිමුඛව පසුබැස ගොස් බුද්ධදර්ශනය මුවහ වන තැන්හි සිට නැවත පසඟ පිහිටුවා වැඳ බුදුන් වසන දෙස බල බලා උදාර වූ ආදරයෙන් තමන් වහන්සේගේ මෙහෙණවර බලා නික්මුණු සේක. එ වේලෙහි ශ්‍රාවකයන් වහන්සේ ද බුදුන්ගේ අදහස් දැන විහාරොපචාරය දක්වා ඔබට පසු ගමන් පූජා කළ සේක.