“වධක භාර්‍ය්‍යා ය - චෞර භාර්‍ය්‍යා ය - ස්වාමි භාර්‍ය්‍යා ය - මාතෘ භාර්‍ය්‍යා ය - භගිනි භාර්‍ය්‍යා ය - සඛී භාර්‍ය්‍යා ය - දාසි භාර්‍ය්‍යා ය” යි ලෝකයෙහි පුරුෂයන්ට ස්ත්‍රීහු සත් දෙනෙක් වන්නාහ. ඔවුන් අතුරෙන් වධක භාර්යා නම් කවර යත්?
යම් ස්ත්‍රියක් ස්වාමිහු කෙරෙහි හැම වේලෙහිම දුෂ්ටවූ අදහස් ඇත්තී ද, සිතින් ප්‍රේමයක් නැති ව වඤ්චාමය වූ ප්‍රේම හඟවන්නී ද, ස්වාමීහු කෙරෙහි ඇලුම් නැති ව පරපුරුෂයන් කෙරෙහි සක්තව ඇවිදිනී ද, පරපුරුෂයන් ගරුකොට සිතන්නී ද, ස්වාමිපුරුෂයා ලඝුකොට සිතන්නීද, ගලින් පැන් උනවාගත නො හැක්කා සේ පුරුෂයා දුඃඛිත වූ අවස්ථාවෙහි ඕහට බැරි බැරි වූ සම්පත් එලවන්නී ද, ස්වාමීහු දැක්ක දී උස්පුටු ආදියෙහි ඉඳීමෙන් ආක්‍රොශපරිභව අනාදර කරන්නීද, එසේ වූ ස්ත්‍රී තොමෝ දිව්‍ය සමාන රූ ඇත්තී නමුත්, උතුම් වූ ජාති ඇත්තී නමුත්, අපමණ වූ දායාද සම්පත් හා දැසිදස් පරිවාර ජනයන් ඇත්තී නමුත්, ඕතොමෝ ඕහට භාර්‍ය්‍යාවක් නො වන්නී ය, ඔහුගේ අකුසල් නමැති වධකයා ඕහට වධ පිණිස මවාලූ අන්‍දුබන්‍ධනයක් වැන්නී ය. උරචක්‍රමාලාවක් වැන්නී ය. ඕහට හැම වේලෙහි ම අමෝරා ගෙන සිටිනා වධකා යුධයක් වැන්නී ය, කෙහෙලොමින් බැඳ සිරෝමුදුන් කළා වූ කඩු මුවහතක් වැන්නීය. මේ ආදි කාරණයෙන් ඕතොමෝ වධකභාර්‍ය්‍යා නම් වන්නී ය යි දතයුතු. එයින් වදාළහ:-
පදුට්ඨචිත්තා අභිතානුකම්පිනී
අඤ්ඤෙසු රත්තා අතිමඤ්ඤතෙ පතිං
ධනෙන කීතස්ස වධාය උස්සුකා
යා එවරූපා පුරිසස්ස භරියා
වධකා ච හරියා ති ච සා පවුච්චති-යි.
තවද: චෞර භාර්‍ය්‍යා නම් කවර යත්? යම් ස්ත්‍රියක් තොමෝ තමා සිත් සේ වසන්නී ස්වාමිහු ඇසිල්ලකුත් ගෙයි රඳාගත නො දී කෘෂි වණික් ආදි නොඑක් කර්‍මාන්තයෙහි යොදා ඒ ඒ තන්හි යවන්නී ද, නො එක් පාපක්‍රියාවෙහි යොදන්නී ද, ඔහු ගෙනා ගෙනා සැපත් සඟවන්නී ද, ඒ ඕහට නොපානී ද, පරපුරුෂයන්ට දක්වන්නී ද, ඔහු කී රහස් තමා හා විශ්වාසයන්ට කියා ඇවිදිනී ද, තමාට දීලු සැපතෙහි සරු නො කරන්නී ද, නුදුන් සැපතක් එලවන්නී ද, ස්වාමිහුගේ විශ්වාසයන් බන්‍ධුන්, ආශ්‍රිතයන්ට සංග්‍රහ නො කරන්නී ද, තමාගේ බන්‍ධුන් විශ්වාසයන්ට ම දෙන්නී ද, සත්පුරුෂ සංග්‍රහයෙහි ආදර නැත්තී ද, අසත්පුරුෂ සංග්‍රහයෙහි උත්සාහ ඇත්තීද එසේ වූ ස්ත්‍රී තොමෝ ඒ පුරුෂයාට භාර්‍ය්‍යා නම් නො වන්නී ය. ඔහුගේ ඇඟ නැඟී ගඬක් වැන්නි ය, පොළක් වැන්නී ය, අසාධ්‍ය වූ ව්‍යාධියක් වැන්නී ය, ඔහුගේ අකුසල් නමැති යමදූතයා ගෙනහැර ඔහු කෙරෙහි පිහිටුවාලූ චෞර ස්ත්‍රියක් වැන්නීය, ඔහුගේ සම්පත් නමැති වනයට පැමිණි ළැවුගිනි කඳක් වැන්නීය, කුසල් නමැති රුකට කෙටේරියක් වැන්නී ය, මේ ආදි කාරණයෙන් ඕතොමෝ චෞර භාර්යා නම් වෙයි දතයුතු. එයින් වදාළහ:-
යා ඉච්ඡතී වින්‍දති සාමිකො ධනං
බිප්පං වණිජ්ජංච කසිං අධිට්ඨහං,
.
අප්පම්පි තස්මා අපහාතුමිච්ඡති
චොරී ච භරියාති ච සා පවුච්චති-යි.
තව ද: ස්වාමිභාර්‍ය්‍යා නම් කවර යත්? යම් ස්ත්‍රියක් පුරුෂයා හට අනර්ථයක් කැමති වන්නී ද, අර්‍ථයක් නො කැමැති වන්නී ද, හැම වේලෙහි ම ගෙය හැර ඒ ඒ තන්හි ඇවිදීමෙන් - ගෙයි දොර සිත් නැති වීමෙන් - පරපුරුෂ සේවනාදියෙන් - අලස ව පවත්නි ද, බොහෝ කොට අනුභව කරන්නී ද, තමා උපන් ජාතියට නො තරම් වූ සම්පත් ප්‍රාර්‍ථනා කරන්නී ද, තමා සය මුත් අනුන් සය නො දන්නී ද, ස්වාමිහට අනාදර කොට ස්වාමිදුවක මෙන් පවත්නී ද, ස්වාමිහට අතිචණ්ඩ වූ අතිළාමක වූ දුරුක්ත වචනයන් කියන්නී ද, ඔයි දු ඕහට භාර්‍ය්‍යාවක් නොවන්නී ය. ඔහුගේ අභාග්‍ය නමැති යමරජහු ඕහට නිග්‍රහ කරව යි එවාලූ යමදූතියක වැන්නී ය, ස්වාමිදුවක වැන්නී ය, මේ ආදි කාරණයෙන් - ඕතොමෝ ස්වාමිභාර්යා නම් වෙයි දතයුතු. එයින් වදාළහ.
අනත්‍ථකාමා අලසා මහග්ඝසා
යා එවරූපා චණ්ඩදුරුත්තවාදිනි,
.
උපට්ඨකානං අභිභුය්‍යවත්තතී
අයිරා ච භරීයාති ච සා පවුච්චති-යි.
මේ වධක භාර්‍ය්‍යා ය, චෞර භාර්‍ය්‍යා ය, අයිරා භාර්‍ය්‍යා ය යි දැක්වූ පාප ස්ත්‍රී තුන් දෙන දුශ්ශීල ව වාක්පරුෂයෙන් යෙදී පුරුෂයන්ට අනාදර කළාවූ මිත්‍රද්‍රෝහ සංඛ්‍යාත වූ අකුසල් බෙලෙමින් මිය නරකයෙහි ඉපැද බොහෝ කලක් දුක් ගන්නාහ. එසේ හෙයින් සත්පුරුෂ වූ ස්ත්‍රීන් විසින් එබඳු වූ පාපගුණයන් අහසට පොළොව සේ දුරින් දුරුකොට පුරුෂයන් කෙරෙහි පක්‍ෂපාත ව විසිය යුතු. එයින් වදාළහ බුදුහු:-
යා සා ච භරියා වධකාති පවුච්චති
චොරී ච අයිරාති ච යා පවුච්චති,
.
දුස්සීලරූපා ඵරුසා අනාදරා
කායස්ස භෙදා නිරයං වජන්ති තා-යි.
තවද: මෙහි මාතෘභාර්‍ය්‍යා නම් කවර යත්? යම් ස්ත්‍රී කෙනෙක් රක්‍ෂාකළ ස්වාමීහු කෙරෙහි හැම වේලෙහි ම මවක බඳු වූ අනුකම්පා ඇතියාහු ද, දායාද සම්පත් රක්‍ෂා කරන මවුන් සේ ස්වාමිහු රැස්කළ ධනය රක්‍ෂා කෙරෙද් ද, වේලා නො වරදවා පුරුෂයන් කවන්නාහු ද, පොවන්නාහු ද, උලන්නාහු ද, නාවන්නාහු ද, හැම වේලෙහි ම පුරුෂයන්ගේ සුවදුක්හි ම යෙදී වෙසෙද්ද, ස්වාමිහු පාපයක් කරන වේලෙහි ද, විවාදයක් කරන වේලෙහි ද, එළු සොරකම් - මී සොරකම් - ගෙවද්නා සොරකම් - ආදිවූ
නොකටයුත්තකට නික්මුණු වේලෙහි, “මෙසේ මෙසේ වූ වරද කරා නම් තොප කෙරෙහි නො වසම්හ, අපි අපගේ කුලගෙට යම්හ”යි යනාදීන් තදින් - මොළොකින් නො එක් තෙපුල් කීමෙන් ඒ පාපයෙන් වළකද් ද “කෘෂි වණික් ආදි වූ නිරවද්‍ය කර්‍මාන්ත කරව, රජුන්ට පක්‍ෂපාතව වසව, පෙහෙ වව, බණ අසව, කුසල් කරව” යනාදීන් පුරුෂයන් කුශලධර්‍මයෙහි පිහිටුවා ලද්ද එසේ වූ ස්ත්‍රී නම් ඒ පුරුෂයන්ගේ කුශල් නමැති දෙවියන් ඔවුන්ට අරක්ගෙන සිටුවාලූ මවුන් වැනියහ. ශ්‍රී කාන්තාවන් වැනියහ. දෙවතා දූන් වැනියහ. ඔවුන්ට ශ්‍රී ගෙන දෙන දිව්‍ය මන්ත්‍රයක් වැනියහ. ඔවුන්ගේ අකුසල් නමැති ව්‍යාධීන් සංහිඳුවා දෙන දිව්‍යෞෂධයක් වැනියහ. ඔවුන්ට සැපත් ගෙන දෙන කල්පලතාවක් වැනියහ. මේ ආදි කාරණයෙන් ඒ ස්ත්‍රී මාතෘභාර්‍ය්‍යා හ යි දතයුතු. එයින් වදාළහ:-
යා සබ්බදා හොති හිතානුකම්පිනී
මාතා’ව පුත්තං අනුරක්ඛතෙ පතිං,
තතො ධනං සම්භතමස්ස රක්ඛති
මාතා ච භරියාති ච සා පවුච්චති-යි.
තව ද: මෙහි භගිනී භාර්‍ය්‍යා නම් කවර? යත්; යම් ස්ත්‍රී කෙනෙක් තමන් රක්‍ෂා කළ පුරුෂයන් කෙරෙහි මලුන් බෑයන් කොට සිතා නගුන් බුහුනුන් සේ මහත්වූ භය ලජ්ජාවෙන් හැකිළ හැකිළ උදාර වූ ආදරයෙන් පවත්නාහු ද, “සියලු පුරුෂයන්ගේ ස්ථානාන්තර හා ඵෙශ්චර්‍ය්‍ය හා සම්පත් තමන් පුරුෂයන්ට ම වේ ව”යි සිතන්නාහු ද, පතන්නාහු ද, පරපුරුෂයන් කෙරෙහි ලෝභ නො කරන්නාහු ද, ස්වාමිපුරුෂයන් කෙරෙහි ම ඇලුම් ඇත්තාහු ද, එසේ වූ ස්ත්‍රී නම් ඒ පුරුෂයන්ගේම පිනින් දෙවියන් ඔවුන් කරා එවාලූ නඟුන් බුහුනුන් වැනියහ, මේ ආදි කාරණයෙන් ඔහු භගිනි භාර්‍ය්‍යා නම් වන්නාහයි දතයුතු. එයින් වදාළහ:
යථා’පි ජෙට්ඨා භගිනි කනිට්ඨා
සගාරවා හොති සකම්හි සාමිකෙ,
හිරීමතා භත්තු වසානුවත්තිනී
භගිනී ච භරියාති ච සා පවුච්චති-යි.
තව ද: මෙහි සඛී භාර්‍ය්‍යා නම් කවර යත්? යම් කල්‍යාණ වූ ස්ත්‍රී කෙනෙක් තමන් රක්‍ෂා කළ පුරුෂයන් බැහැර ගිය කල්හිදූ එක්වන් සිහි කොට කොට හිඳිනාහුද, ඔවුන් එන මඟ එක්වන් බලන්නාහුද, හැම වේලෙහි ම ඔවුන්ට මමායනය කරන්නාහු ද, තමන් පුරුෂයන්ගේ සරුපයක් ඇසූකල්හි හිරුරැස් දුටු පියුමක් සේ අති සන්තෝෂ වන්නාහු ද, තමන් පුරුෂයන්ගේ දර්ශනයෙහි දූ ඉතා සන්තෝෂ වන්නාහු ද, තමන් පුරුෂයන්ගේ සතුරන් මිතුරු කොට නො වසන්නාහු ද, මිතුරන් සතුරු කොට නො වසන්නාහු ද, සතුරන් සතුරු කොට ම - මිතුරන් මිතුරු කොට ම වසන්නාහු ද, තමන් පුරුෂයන්ගේ නුගුණයක් ඇසූ කල නුගුණ සඟවා ගුණයෙහි ම පිහිටුවන්නාහු ද, පුරුෂයන්ට ආක්‍රොශ කරන්නවුන් නවතන්නාහු ද, ගුණ කියන්නවුන්ට ප්‍රශංසා කරන්නාහු ද, තමන් පුරුෂයන්ගේ ගුණ හා බල වික්‍රම අනුන්ට හඟවන්නාහු ද, තමන් ඇසූ රහස් තමන් තමන් පුරුෂයන්ට නො සඟවා කියන්නාහු ද, පුරුෂයන් කී රහස් ධන සේ රක්‍ෂා කරන්නාහු ද, අභවයෙහි ශෝක කරන්නාහු ද, විභවයෙහි සන්තෝෂ වන්නාහු ද, උතුම් වූ භෝජන පුරුෂයන් සිහිකොට කොට අනුභව කරන්නාහු ද, ඔවුන්ටත් මේ ලැබේවයි සිතන්නාහු ද, එසේ වූ ස්ත්‍රී නම් පුරුෂයන්ගේ කුසල් නමැති දෙවියන් පාවාදුන් යෙහෙළියන් වැනියහ, මේ ආදි කාරණයෙන් ඔහු සඛී භාර්‍ය්‍යා නම් වන්නාහ යි දතයුතු. එයින් වදාළහ:
යා’චීධ දිස්වාන පතිං පමොදිතා
සඛී සඛාරං ව විරස්සමාගතං,
කොනීධසා සීලවතී පතිබ්බතා
සඛී ච භරියාති ච සා පවුච්චති-යි.
දාසි භාර්‍ය්‍යා නමුදු කවර? යත්; යම් ස්ත්‍රී කෙනෙක් තමන් තමන්ගේ වල්ලභයන් කොසා නිග්‍රහයක් කළත්, වධ දණ්ඩනාදී පීඩා කරතත් පුරුෂයන් කෙරෙහි ද්වේෂ නො කරන්නාහුද ක්‍රෝධයෙන් නො බලන්නාහු ද, නොකිපී ම බලන්නාහු ද, සියලු කර්මාන්තයෙහි නො කුසී ව අප්‍රමාද වන්නාහු ද, අතිචාරාදි පාපයෙන් දුරු ව වසන්නාහු ද, පුරුෂයා පළමුව කවා පොවා ආශ්‍රිත ජනයනු දු සන්හිඳුවා, තුමූ පසුව අනුභව කිරීමෙන් සුචිපවිත්‍ර වූ කර්මාන්ත කිරීමෙන් ස්වාමිහු පළමු කොට සතපා සියලු සංවිධාන කොට, තුමූ පසුව සැතපීමෙන්, ස්වාමිහට පළමු කොට හොත් පොළින් පැනනැගීමෙන්, පුරුෂයන්ට වඤ්චා නො කිරීමෙන්, කී වියදමක් ම කිරීමෙන් ශුචි පවිත්‍ර වූ කර්මාන්ත කිරීමෙන්, ස්වාමිහු ගුණ පරජනයන්ට ප්‍රකාශ කිරීමෙන් නානා විධ වූ නිහතමාන ගුණයෙන් මුක්තයාහු ද, එසේ වූ ස්ත්‍රී නම් පුරුෂයන්ගේ පින්බලයෙන් පහළ වන හෙයින් කුසල් නමැති දෙවියන් පාවා දුන් දාසීන් ම වැනියහ, අකුසල් නමැති ශරනිවාරණයට ඕහට ඵලකා යුධයක් වැනියහ, මේ ආදි කාරණයෙන් ඔහු දාසි භාර්‍ය්‍යා නම් මේ වන්නා හයි දත යුතු එයින් වදාළහ:
අදුට්ඨියන්තා වධ දණ්ඩතජ්ජිතා
අදුට්ඨචිත්තා පතිනො තිතික්ඛති,
අක්කොධනා භත්තු වසානුවත්තිනී
දාසී ච භරියාති ච සා පවුච්චති-යි.
මෙ කී මාතෘ භාර්‍ය්‍යාවෝ ය, භගිනි භාර්‍ය්‍යාවෝ ය, සඛි භාර්‍ය්‍යාවෝ ය, දාසී භාර්‍ය්‍යාවෝ ය යි කල්‍යාණ වූ ස්ත්‍රීහු සතරදෙන අසාධාරණවූ ආචාරශීලයෙන් හා පතිපූජාවෙන් යෙදුනා වූ ගුණබලයෙන් මේ ජාතියෙන් මිය අපාය ඇසින් නො දක්නාහ, දෙව්ලොවම උපදනාහ, රූපයෙන් යශසෙන් අග්‍රව දිව්‍යරාජයන්ට ම අගමෙහෙසින් ව ශ්‍රීසම්පත් විඳිනාහ යි දැන කල්‍යාණ වූ ස්ත්‍රීලෝකයා විසින් එබඳු වූ ගුණගණාංගයෙන් යෙදී දිව්‍යලෝක මනුෂ්‍ය ලෝක සම්පත් හස්තප්‍රාප්ත කොට කෙළවර නිවන් සම්පත් සාක්ෂාත් කට යුතු. එයින් වදාළහ බුදුහු:
යා චී’ධ මාතා භගිනී සඛී ච
දාසී ච භරියාති ච යා පවුච්චති,
සීලෙ ඨිතත්තා චිරරත්තසංවුතා
කායස්ස භෙදා සුගතිං වජන්ති තා–යි.
පින්වත්වූ ස්ත්‍රී පුරුෂයෙනි! දිව්‍ය දිව්‍යාංගනාවෙනි! මම වනාහි මේ සංසාරයෙහි ඇවිදිනා කල මාගේ මේ ගෞතම නම් බුදුරජාණන්ට කලෙකත් වධක භාර්‍ය්‍යා නො වීමි. චෞර භාර්‍ය්‍යා නො වීමි. ස්වාමී භාර්‍ය්‍යා නො වීමි. කෝටිගණන් ජාතියෙහි මාතෘ භාර්‍ය්‍යා ව උපන්මි. භගිනි භාර්‍ය්‍යාව උපන්මි. සඛී භාර්‍ය්‍යා ව උපන්මි. දාසී භාර්‍ය්‍යා ව උපන්මි. ඔබගේ පාරමිතා ලිය දලු ලවා දිනිමි. ඒ පිනින් මම ද ඔබ සේ ම තේරස අභව්‍ය ස්ථානාදි අකුශලභූමියෙක නූපන්මි. දිව්‍යලෝක-මනුෂ්‍යලෝකයෙහි බොහෝ කලක් සුව විඳ ඇවිද්දෙමි. මෙ දෑතුරෙහි අනික් ස්වාමියකු ප්‍රාථිනාත් නො කෙළෙමි, ස්වාමිදරුවෝ ද මා විනා අන්‍ය ස්ත්‍රියක වල්ලභ නො කළ සේක. ඔබ හා සමඟ ම මද්‍රි නම් අගබිසෝ ව, පාරමිතා සාගරයෙන් නැඟී ගොස් තුසීපුරෙහි ඉපැද, එයින් ඔබ හා සමඟ ම අවුත් මිනිස්ලොව ඉපැද මහත් වූ ශ්‍රී සම්පත් විඳ, ඔබ කෙරේ ම මහණ ව අමාමහ නිවන් දිටිමි; සත්ත්‍වයෙනි! ආකාශයෙහි හිඳ බ්‍රහ්මරූපයෙන් මේ ධර්මදේශනා කළාවූ මම දෙවි බඹ කෙනෙක් නො වෙමි, ඔබ ගම වසන කල අගමෙහෙසිනි වූ බිම්බා දේවී නමුදු මම් ම ය යි හඬගා කියා, බුදුකෙනකුන් සේ ආකාශයෙහි ම වැඩහිඳ බණ වදාරා තමන් වහන්සේගේ දේශනා මහිම හා චිත්‍ර කථික චූ වාක් ලීලා දක්වා මුළුලොව විස්මය පත් කළ දෑ ය.
එ වේලෙහි සියලු දිව්‍ය මනුෂ්‍යයන්ට බුද්ධලීලායෙන් ඔබ කළ දේශනා හා සියලු සතුන්ට උපන් සන්තෝෂ හා තුඩ තුඩ දුන් සාධුකාර හා සියලු ස්ත්‍රී පුරුෂ ලෝකයාගේ මුඛ නමැති පද්මයන් ප්‍රබෝධ ව, ශ්‍රද්ධා නමැති පවනින් සාධුනාද නමැති මුවරද පෙළ පෙළ දිදී, තුන්ලොව පුරාගත් ලෙස් මා සිතට වැටහෙන්නා සේ, දහම් ඇසින් මට විශේෂයෙන් පෙනෙන්නා සේ සියලු සත්ත්‍වයන්ට ම දැනුදු විශේෂයෙන් පෙනී ගියේ වී නම්, සිතී ගියේ වී නම්, ඒ පිනින් අපායෙහි නම් දන්නෝ කවුරු ද, දෙව්ලොවට නො නැඟෙන්නෝ කවුරු ද, සංසාර සාගරයෙන් නො ගැළවෙන්නෝ කවුරුද-
දැන් අනාර්‍ය්‍යඥානයෙන් මාගේ බුදුන්ගේ ගුණ විශේෂයෙන් මට පෙනෙන්නා සේ ම, නො එක් ජාතිකෝටියෙහි සියලු සතුන්ට ද කුශලාකුශල ධර්‍මයන් විශේෂයෙන් දක්වාලන තරම් ලොකාර්‍ථචර්යායෙහි යෙදෙම් ව යි ඒකපදික ගාථාවක් අසා සියලු ධර්‍මයන් දන්නා තරම් බුද්ධිචර්යායෙහි මුදුන් පැමිණෙම් ව යි මට මේ සා වැඩක් කළා වූ මවුන් පියන් ගුරුන් වතුන් ආදි වූ සියලු සතුනු දු සංසාරසාගරයෙන් ගොඩනඟා ඥාත්‍යර්‍ථචර්යාව සාක්ෂාත් කොට ලොවුතුරා බුදු ව දම්සක් දෙසන දවස් දක්වා මේ තුණුරුවන් ප්‍රීතිය මා සිතින් නො මිදේ ව යි, නො හැරේ ව යි, ඖෂධයන් භාවිත කොට කකාරා ගත් කිරින් නැගු තෙලෙහි දු ඖෂධ ගුණය නො හැරෙන්නා සේ ම, මා සිතිනු දු නො එක් ජාතියෙහි ශ්‍රද්ධා ගුණ - ශීලගුණ - ප්‍රඥාගුණ - තුණුරුවන් ගුණ එක් කලෙකත් තොර නො වේව යි බුදුබව ම සාක්ෂාත් වේව යි. එයින් කීහ අපදානයෙහි:
සුත්‍වා තං මුනිනො වාචං - භික්ඛුනී සා යසොධරා,
වන්‍දිත්‍වා මුනිරාජං තං - ඉදං වචනමබ්‍රැවි.
.
යසොධරා අහං වීර - අගාරෙ තෙ පජාපති
සාකියම්භි කුලෙ ජාතා - ඉත්‍ථියංගෙ පතිට්ඨිතා.
.
ඉත්‍ථිනං සහස්ස්සානං - නවුතීනං ච ඡඋත්තරිං,
අගාරෙ තෙ අහං වීර - පාමොක්ඛා සබ්බඉස්සරා
.
රූපාචාරගුණූපෙතා - යොබ්බනට්ඨා පියං වදා,
සබ්බා මං අපචායන්ති - දෙවතා විය මානුසා.
.
කඤ්ඤාසහස්සප්පමුඛා - සක්‍යපුත්ත නිවෙසනෙ
සමානසුඛදුක්ඛා තා - දෙවතා විය නන්‍දෙන.
.
කාමධාතුමතික්කන්තා - සණ්ඨිතා රූපධාතුයා,
රූපෙන සදිසො නත්‍ථි - ඨපෙත්‍වා ලොකනායකං,
.
එවමාදීනි වත්‍වාන - උප්පතිත්‍වාන අම්බරං,
ඉද්ධි අනෙකා දස්සෙසි - බුද්ධානුඤ්ඤා යසොධරා.
.
චක්කවාළ සමං කායං - සීසං උත්තරතො කුරුං,
උභො පක්ඛා දුවෙ දීපා - ජම්බුදීපං සරීරතො.
.
දක්ඛීණානං සරං පිඤ්ජං - නානාසාඛා චුපත්තකා,
චන්‍දසුරියවීසාලක්ඛි - මෙරුපබ්බතතො සිඛං.
.
චක්කවාළ ගිරිතුණ්ඩා - ජම්බුරුක්ඛං සමූලකං,
වීජමානා උපාගම්ම - වන්‍දෙතෙ ලොකනායකං.
.
නත්‍ථිවණ්ණං තථෙවාස්සං - පබ්බතං ජලජං තථා,
චන්‍දසූරිය මහාමෙරු - සක්කවණ්ණං ච දස්සයි.
.
යසොධරා අහං වීර - පාදෙ වන්‍දාමි චක්ඛූම,
සහස්සලොකධාතුනං - ථුල්ලපාදෙන ඡාදයී.
.
බ්‍රහ්මවණ්ණඤ්ච මාපෙත්‍වා - ධම්මං දෙසෙසි සඤ්ඤතා,
යශොධරා අහං වීර - පාදෙවන්‍දාමි චක්ඛූමා-යි.
ඉක්බිත්තෙන් ඒ යශෝධරා මහාස්ථවිරීන් වහන්සේ ආකාශයට පැනනැඟී දක්‍ෂ වූ ස්වර්ණකාරයකු එක කසුන් පිඩක් ගෙන නානා ජාතියෙහි ආභරණ විශේෂයන් දක්වන්නා සේ, කුම්භකාරයකු එක මත්තිකා පිණ්ඩයෙන් නානා ජාතියෙහි භාජන විශේෂයන් දක්වන්නා සේ, බුදුමුඛයෙකින් මුත් කියා නිමවාගත නො හැකි යට කී සේ, නො එක් පෙළහර දක්වා බුද්ධලීලායෙන් බණ වදාරා තමන් වහන්සේ වූ පවත් මුළුලොවට අස්වා බුදුන්ට නො එක් ස්තුති පූජා කරවා, සක්විති රජකු කරා ආකාශයෙන් බස්නා සක් රුවනක් සේ, අස්තගිරියට බස්නා පුන් සඳක් සේ, මහපොළොවට බස්නා නකත් තරුවක් සේ, දිව්‍ය විමානයක් සේ, අසමාන වූ පෙළහරින් ආකාශයෙන් බුදුන් හා මහපිරිස් මැදට බැස බුදුන් වැඳ සූර්‍ය්‍යදේවතාවාට අවනත වූ මහපියුමක් සේ, බුදුන්ට අවනත ව දොහොත් මුදුන් දී සිට “ස්වාමීනි! ගෞතම නම් බුදුරජාණෙනි! තුන් ලෝ වාසින්ගේ පෙම්බර පියාණෙනි! මේ සා පෙළහරක් දැක්වූ මම අනික් දෙවිබඹ කෙනකුන්ගේ උපදෙසකින් නො කෙළෙමි, නුඹ වහන්සේගේ උපදෙස් වූ පරිද්දෙන් ම කෙළෙමි, යමකප්‍රාතිහාර්‍ය්‍ය ඥානයෙන් යුක්ත වූ ලොවුතුරා බුදුකෙනෙකුන් සිත් ගෙන පෙළහර කිරීම නම් ඉතා උගහට දෙයෙක: මා පෑවා වූ පෙළහරෙහි, කීවා වූ බණෙහි කිසියම් වරදෙක් වී නමුත් ඒ වරද ක්‍ෂමා කොට වදාළ මැනැව.
ස්වාමිදරුවන්ට සංසාරයෙහි පක්‍ෂපාතවම අවුත් මේ මාගේ අන්තිම වූ දර්ශනය ය; මේ ලෝකයෙහි මා බඳු වූ පින්වත් ස්ත්‍රී කෙනෙක් නැත්තාහ, නුඹ වැනි බුදුකෙනකුන්ට සංසාරයෙහි මා කළ පක්‍ෂපාතකම් පාරමිතාවන් සාදා දුන් ලෙස් මා වැනියන්ගේ දිවැසට පවා දැන් විශේෂයෙන් දැනෙන කල ස්වාමිදරුවන්ගේ බුද්ධ ඥානයට සකසා පෙනේ ම ය. එහි විශේෂ මට පෙනෙන හෙයින්, ස්වාමිදරුවන්ට ද පෙනෙන හෙයින්, ස්වාමිදරුවන් ද, මා ද, කෙලෙස් මුහුදු පිනා සසරින් ගොඩනැඟී සිටි හෙයින්, මෙ තැන්හි කීමෙහි ඵල නැත; එසේ ද වුවත් මෙ තැන්හි රැස්වූ සරාග වූ, පර්ෂදෙහි සැක හරනා නිසාත්, බොහෝ ස්ත්‍රී ලෝකයාට අවවාද නිසාත්, බුද්ධපතිව්‍රතාවන්ගේ ගුණමහිම දක්වනු නිසාත්, මා කෙළෙන් කිසියම් පක්‍ෂපාත කමක් දක්වමි. දැන් මෙ තැන්හි සිට ම සංසාරය බලන්නා වූ මම සසර නො එක් ජාතියෙහි මාගේ ජීවිතය පුදා ස්වාමිදරුවන්ගේ ජීවිතය රක්‍ෂා කරවා දීලු තැන් ම අසංඛ්‍ය ගණන් ජාති දක්මි. සසර නුඹවහන්සේ රජකල, මා අග බිසෝ කල ම මහා වෙස්සන්තර ජාතියෙහි සෙයින් ම, යාචකයන් අවුත් මා ම දන් ඉල්ලූ කල නුඹවහන්සේ මා මුහුණ බැලූ කල්හි කිසි දොම්නසක් නැති ව:
කොමාරිකස්සාහං භරියා - සාමිකො මම ඉස්සරො,
යස්සිච්ඡෙ තස්ස මං දජ්ජා – වික්කිණාතු හනාතු වා−යි.
යන මේ ගාථාවෙන් මා සිංහනාද කොට “ස්වාමිනි! කැමැත්තක්හට මා දන් දී වදාළ මැනවැ”යි කී කල්, එ කෙණෙහි මා අත අල්වා ගෙන මිහිකත හඬව හඬවා යාචකයන්ට දන් දුන්කල් භාර්‍ය්‍යා පරිත්‍යාගයෙහි මුදුන් පැමිණි කල්, දාන පාරමිතාව කුළු ගත් කල් අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: නො එක් ජාතියෙහි යක්‍ෂ රාක්‍ෂසාදින් වෙස් වළා අවුත් මා ම දන් ඉල්ලූ කල ඔවුන්ට මා`දන් දුන් කල්, ඔවුන් මා සල්ව සල්වා කෑ කල එකල්හි දු මා කිසි දොම්නසක් නො වූ කල්, නො එක් සතුන්ට ගොදුරු නිසා මා ම දුන් කල්, එබඳු තන්හි ද දන්ලියය මා ම මල් ගන්වා දීලු කල් අසංඛ්‍ය ගණන් ජාතී දකිමි. තව ද: නො එක් ජාතියෙහි නුඹවහන්සේ ජීවිත වෘත්තිය නිසා මා විකොට කෑ කල්, මා අනුන්ට දරමිටි පැන්කළ ඇදි කල්, මිඩිමෙහෙ කළ කල්, එබඳු තැන්හි දු නුඹවහන්සේ කෙරෙහි සිහිනෙනුත් මා දොම්නසක් නොවු කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: සසර නුඹවහන්සේ නොඑක් දණ්ඩනාදියෙහි හසුව මා ම උකස් කොට පාවාදී ගැළවී ගිය කල් අසංඛ්‍ය ගණන් ජාති දක්මි. තව ද: සසර නුඹවහන්සේ උදාර වූ අදහස් ඇති බැවින් ත්‍යාග සඳහා උපකාර සඳහා මා ම පාවාදුන් කල් අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: සසර නො එක් ජාති ජාතියෙහි නුඹවහන්සේ හා මා හා එක මඟ යන කල්හි සිංහයන් ව්‍යාඝ්‍රයන් දිවියන් වලසුන් කිඹුලන් යක්‍ෂ රාක්‍ෂසයන් ගුගුර ගුගුරා නුඹවහන්සේ කරා දිවු කල්හි දිව ගොස් නුඹවහන්සේ පසු කොට ඔවුන් මුඛයට පැන මා ඔවුන්ට බත් වූ කල්, නුඹවහන්සේ ගේ දිවි රැක දුන් කල්, මාගේ ජීවිතයට නො සිතා නුඹවහන්සේගේ ජීවිතයට දිවි රැකම සිතු කල්, අසංඛ්‍ය ගණන් ජාති දක්මි.
එ කල “ස්ත්‍රියකගේ ජීවිතය දීලා මා වැනියෝත් දිවි රකිද්දැ”යි නුඹවහන්සේ ද මා ම නිසා දිවි දුන් කල් අසංඛ්‍ය ගණන් ජාති දක්මි. තවද සංසාරයෙහි යක්‍ෂ-රාක්‍ෂසාදින් නුඹවහන්සේ අල්වා ගෙන නො එක් පීඩා කරන කල්හි මාගේ ජීවිතය ඔවුන්ට බිලියම් කොට දී නුඹවහන්සේගේ ජීවිතය රක්‍ෂා කළ කල්, නො එක් ආබාධයෙන් මිදූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දක්මි. තවද: බුදුරජාණෙනි! නුඹවහන්සේ සංසාර දෝෂයෙන් ඒ ඒ අන්‍දුබන්‍ධනාදියට පැමිණි කල්හි එහි මා උකස් ව උන් කල්, ඒ ඒ දුකින් නුඹවහන්සේ ගැළවූහු කල්, මා ම ඒ දුක් වූන් කල්, අසංඛ්‍ය ගණන් ජාති දක්මි. තවද: සසර නුඹවහන්සේ නොඑක් වධයට පැමිණි කල්හි ඒ වධ මට පමුණුවා ගත් කල්, නුඹවහන්සේ ගොඩනැඟූ කල්, එම පක්‍ෂපාතකමෙහි ප්‍රසන්නවූ වධකයන් ලවා මා ද ගැලවී මාගේ ගුණ බෙලෙන්ම අප දෙදෙනා ම සුවපත් වූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි.
තව ද: සසර නුඹවහන්සේ මා හැර ගොස් පරස්ත්‍රීන් කෙරෙහි හසුව නො එක් වධයට පැමිණි කල්හි එබවු අසා කාමක්‍රෝධයක් නැතිව පුත්‍රයක්හුගේ ආපදායෙක්හි කම්පිත වන මවක සේ, මහ හඬින් හඬ හඬා එ තෙනට ගොස් මා පලන් වස්ත්‍රාභරණ ඔවුන්ට අත්ලස් කොට දී නුඹවහන්සේ ගලවා ගත් කල්, මාතෘ භාර්‍ය්‍යා වූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: සසර නුඹවහන්සේ මාරුයෙහි මා විකුණුම් කා දෑස් වූ කල්, නුඹවහන්සේ නිදහස් වූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: සසර නුඹවහන්සේ ම නිසා, නුඹවහන්සේ ම පතා, හන් පලන් වසත්‍රාභරණ දක්වා පරිත්‍යාග කළ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද: සසර කෝටිගණන් සම්පත් හැර කුල නෑයන්ට සොරා එකලාව ම නුඹ වහන්සේ පසු පස්සෙහි පලාගිය කල්, සිය අතින් මෙහෙ කොට කෑ කල්, බැලමෙහෙ කොට නුඹවහන්සේට ගෙනා කල්, නුඹවහන්සේ ද බැල මෙහෙ කොට මා රක්‍ෂා කළ කල්, අසංඛ්‍ය ගණන් ජාති දක්මි. තවද: සසර නුඹවහන්සේ දන් පැරුම් පුරන කල, ගේ පිරුණු සම්පත් අසඞ්ඛ්‍ය ගණන් ජාතියෙහි දින්මි, ගම් පිරුණු පිරිවර හා ගව මහිෂාදීන් අසංඛ්‍ය ගණන් ජාතියෙහි දිනිමි. වී පිරුණු බද්ධසල් දිනිමි. රාජ්‍ය දිනිමි. හස්ති-අශ්ව-රථ-වාහන අසංඛ්‍ය ගණන් ජාතියෙහි දිනිමි.
තවද: සසර මා ම කුසින් වැදූ දරුවන් නුඹවහන්සේ යාචකයන්ට බැඳ පාවාදුන් කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. එ දරුවන් දන් දෙන කල ඒ ඒ දිග්හි දිව පියන් අතට හසුනොවන කල්හි කිරි පොවන නළවන පසාරයෙන් දරුවන් අල්වාගෙන නුඹවහන්සේට දරුවන් පාවා දීලූ කල්, එ දරුවන්ට මා දැඩිකම් කළ කල්, නුඹවහන්සේට මා කීකරු වූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. එ දරුවන් දන් දුන් කල නැවත දරුවන් වදා දුන් කල්, නුඹවහන්සේ දන්සොඬව එ දරුවනු දු නැවත නැවත යාචකයන්ට දෙන කල මා කිසි දොම්නසක් නොවූ කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තව ද: සසර නුඹවහන්සේ සියලු සැපත් යාචකයන්ට දන් දී තව ද: දන්සොඬ ව මා පලන් පලඳනා පවා ගලවා දෙන කල මා දොම්නසක් නොවු කල්, සොම්නසින් ම පින පිනා සිටි කල්, අසංඛ්‍ය ගණන් ජාති දකිමි. තවද; සසර සක්විති රාජ්‍යය හැර, තපසට වල යන කල්හි මා ද එක්ව ම ගොස් තපස් කළ කල්, නුඹවහන්සේ පන්සලින් බැහැරට යා නො දී වන මුල් වන පලාපල පැස් පුරා මා හිසින් ම ඇදිකල්, සීල පාරමිතාව මා ම කුළු ගන්වා දෙවාලු කල් අසංඛ්‍ය ගණන් ජාති දකිමි.
මේ ආදී කාරණයෙන් මා කළා වූ පක්‍ෂපාතකම් හා ගත් දුක් හා පාරමිතාවන් සාදා දුන් ලෙස් මා වැනියන්ගේ දිවැසට පවා පෙනෙන කල ස්වාමිදරුවන්ගේ බුද්ධඥානයට විශේෂයෙන් පෙනෙන්නේ ම ය. බුදු ඇසිනු දු බලා වදාළ මැනැවැ යි යනාදීන් සසර තමන් වහන්සේගේ පුරුදුකම් දක්වා, නොඑක් ජාති දක්නා නුවණ මහපිරිසට හඟවා සිංහරාජයක්හු පෙරටව සිටි අභීත සිංහ ධේනුවක් සේ බුදුන් පෙරටව වැඩසිට අභීත සිංහනාද කළසේක. එයින් කීහ අපදානයෙහි:
යාමය්හං පුරිමං කම්මා - කුසලං සරසෙ මුනෙ,
තුය්හත්‍ථාය මහාවීර - පුඤ්ඤං උපචිතං මයා.
.
අභබ්බට්ඨානෙ වජ්ජිත්‍වා - පාචයන්තං අනාවරං,
තුය්හත්‍ථාය මහාවීර - සඤ්චත්තං ජීවිතං මයා.
.
නෙකකොටි සහස්සානි - භරියත්‍ථාය‘දාසි මං,
න තත්‍ථ විමනා හොමි - තුය්හත්‍ථාය මහාමුනෙ.
.
නෙකකොටි සහස්සානි - භොජනත්‍ථාය‘දාසි මං,
න තත්‍ථ විමනා හොමි - තුය්හත්‍ථාය මහාමුනෙ.
.
නෙක කොටි සහස්සානි - උපකාරය‘දාසි මං,
න තත්‍ථ විමනා හොමි - තුය්හත්‍ථාය මහාමුනෙ.
.
නෙක කොටි සහස්සානි - ජීවිතානි පරිච්චජිං,
භයමොක්ඛං කරිස්සන්ති - චජාම මම ජීවිතා.
.
අඞ්ගගුත්තෙ අලංකාරෙ - වත්‍ථෙ නානාවිධෙ බහු,
ඉත්‍ථිභණ්ඩෙ න ගුය්හාමි - තුය්හත්‍ථාය මහාමුනෙ.
.
ධනධඤ්ඤපරිච්චාගං - ගාමානි නිගමානි ච,
ඛෙත්තා පුත්තා ච ධීතා තෙ - පරිච්චත්තා මහාමුනෙ.
.
හත්‍ථි අස්සා ගවා චාපි - දාසියො පරිචාරිකා,
තුය්හත්‍ථාය මහාවීර - පරිච්චත්තා අසංඛියා.
.
යං මය්හං පතිමන්තෙසි - දානං දස්සාමි යාචකෙ,
විමනං මෙ නපස්සාමි - දදතො දානමුත්තමං.
.
නානාවිධං බහුදුක්ඛං - සංසාරෙ ච බහුබ්බිධෙ,
තුය්හත්‍ථාය මහාවීර - අනුභුත්තං අසංඛියං.
.
සුඛප්පත්තා න මොදාමි - න ච දුක්ඛෙ ච දුම්මනා,
සබ්බත්‍ථ තුලිතා හොමි - තුය්හත්‍ථාය මහාමුනෙ-යි.
මෙසේ උන්වහන්සේ තමන්වහන්සේගේ සසර පක්‍ෂපාතකම් හා පුරුදුකමින් සිංහනාද කළකල්හි, මහපිරිස සාධුකාර දී මහත් වූ උත්සව කොට “කිමෙක් දෝ හෝ මුන්වහන්සේ සසර මෙසේම බුදුන්ට පක්‍ෂපාතව දැනුදු සෘද්ධි සම්පත්-නිර්‍වාණ සම්පත් මෙසේ ම උදාර ව ලැබීමට පූර්වයෙහි කෙසේ වූ කුශලයක් කළසේක් දෝ හෝ”යි ශඞ්කා ඉපැදවූහ. එ වේලෙහි ස්වාමි දරුවෝ මහපිරිස සිතූ සිත් දැන “යශෝධරා ස්ථවිරීනි, තොප බුදුන්ට පක්‍ෂපාත වීමට පූර්‍ව ප්‍රණිධිය දක්වා තොපගේ පර්ෂදට උපන් කාංක්‍ෂාවන් තොපි ම දුරුකරව”යි වදාළසේක. එ වේලෙහි උන්වහන්සේ “ස්වාමිදරුවෝ මාගේ පූර්‍වප්‍රනිධිය ද මා ම ලවා කියවන අභිප්‍රාය ඇති සේක් වනැ”යි සිතා බුදුන් වැඳ සිට මහ පිරිස දිසාව බලා “සත්වයෙනි! මා ස්වල්ප වූ පින් කළ ස්ත්‍රියක් ය යි නො සිතව, මා බඳු වූ හේතු සම්පත් ඇති කෙනෙක් මේ බුද්ධෝත්පාදයෙහි නැත. කාරණ කිම යත්? අසූමහ සවුවෝ කප්ලක්‍ෂයක් පැරුම් පුරා ආහ, අගසවුවෝ එකාසංඛ්‍යය කප්ලක්‍ෂයක් පැරුම් පුරා ආහ, මම වනාහි දුරෙ නිදානයෙහි පටන් මේ සාරාසංඛ්‍යය කප්ලක්‍ෂයක් මුළුල්ලෙහි ස්වාමිදරුවන් හා සමඟ ම පාරමිතා පුරා අයිමි. ඊට පළමු බ්‍රහ්මදෙව නම් ගෞතම බුදුන් දැක ඔබ මනොප්‍රණිධි ලබන සමයෙහි දු ඔබ හා එක්ව ම අයිමි.