මෙසේ නො එක් පෙළහරින් මුළුලෝ විස්මයපත් කරවා තමන් වහන්සේගේ නොයෙක් ඍද්ධිබල දක්වා, පූර්වෙනිවාසානුස්මෘතිඥාන ඍද්ධි දක්වා මහ පිරිසට දේශනාවක් කෙරෙමි යි සිතා ඒ දිව්‍යරූපය අන්තර්ධාන කොට දොළොස් යොදුන් මහබඹ වෙසක් මවා දෑත දසඟිල්ලෙන් දිවූ දසරස්කඳින් දසදහසක් සක්වළ ඒකාලෝක කරවමින් “මාගේ බුදුන් නාරද නම් බ්‍රහ්මරාජන් සමයෙහි නුදුටු කෙනෙක් දැන් මා දකුව”යි කියන්නා සේ මුළුලොවට පෙනි පෙනී ආකාශයෙහි පලග් බැඳ වැඩහිඳ එකෙණෙහි එක්ලක්‍ෂ පනස් දහසක් බ්‍රහ්මරාජයන් ආදීවූ සියලු දිව්‍ය මනුෂ්‍ය සේනාව අහෝ! සාධු අහෝ! සාධුයි එකපැහැර කියා, හිමි නුඹ කවර සක්වළෙකින් වැඩි බ්‍රහ්මරාජ කෙනෙක් ද, මේ දස දහසක් සක්වළ ම බ්‍රහ්මරාජයෝ නුඹ වඳින්නාහ, පුදන්නාහ, නුඹ සියලඟින් දිවන බඹරස්කඳින් සියලු දසදහසක් සක්වළ බ්‍රහ්මයෝ කදෝකිමියන් සේ නිෂ්ප්‍රභ වූහ. නුඹ කවුරුදැ”යි දැන දැන ම තමන් වහන්සේගේ සිංහනාද අසන නිසා විචාළ කල්හි “සත්ත්‍වයෙනි! මම දෙවියෙක් බඹෙක් නොවෙමි, ගෞතම නම් බුදුරජාණන්ට සංසාරයෙහි පක්‍ෂපාත ව ආ එක්තරා එක් කුලදුවකිමි, සෙසු කල් තබා ඔබ මහා සුදර්ශන නම් චක්‍රවර්ති රජව දොළොස් යොදුන් සත්රුවන්මය වූ නුවර අසංඛ්‍යයක් හවුරුදු රජසිරි වුන් සමයෙහි සුවාසූ දහසක් බිසෝවරුන්ට අධිපති වූ සුභද්‍රා නම් අගදේවී නමුදු මම් ම ය.
“මණිචෝර ජාතකයෙහි සත්‍යක්‍රියා බලයෙන් ඔබ දිවි රැක දී ඔබ ලවා ම මුළු දඹදිව අගරජය කරවාලු ශීලබල වික්‍රම ඇති සුජාතා නම් අගදේවී නමුදු මම් ම ය. සුරුචි ජාතකයෙහි ඔබගේ ප්‍රඥා පාරමිතාවට අනුබල ව ඔබ ශ්‍රීවන්ත කරවාලූ ස්වර්ණකාර ඨිතෘකාවෝ නමුදු මම් මය. කුම්මාසපිණ්ඩ ජාතකයෙහි ඔබ මුළු දඹදිව දශරාජ ධර්‍මයන් පිරූ සමයෙහි දානපාරමිතා ලතාව මල් ගන්වා දෙවාලූ මහිෂිකා දේවී නමු දු මම් ම ය. ආදිත්‍ය ජාතකයෙහි ඔබ භරත නම් රජ කල්හි සත්‍යක්‍රියා බලයෙන් තමන් දූතයන් උතුරු හිමාලයට යවා පසේ බුදුන් ගෙන්වා මහදන් දෙවා පින් රැස්කරවාලු සමුද්‍රවීජයා නම් දේවි නමුදු මම් ම ය. චුල්ලබොධී ජාතකයෙහි ඔබ බ්‍රාහ්මණ මහාසාර සැපත් හැර වල් ගොස් තපස් කළ සමයෙහි ඔබ හා සමඟ ම ගොස් සමඟ ම මහණ ව, දස හවුරුද්දක් එක පන්සලෙහි වැස දවසෙකත් බ්‍රහ්මචර්‍ය්‍යාවට අන්තරායක් නොසිතුවා වූ ශීලපාරමිතාව සාදා දුන් සම්මිල්ලභාසිනී නම් ඒ පරිබ්‍රාජිකාවෝ නමු දු මම් ම ය. විසය්හ ජාතකයෙහි ඔබ විසය්හ නම් ධනසිටු ව මහත් වූ දානප්‍රවාහ කළා වූ සමයෙහි දු නැතැ යි යන බසක් නො කියා දවසෙක් කුසීත නොව දානපාරමිතාව සාදා දුන් විසය්හ නම් සිටුදේවී නමු දු මම් ම ය.
“උදය භද්ද ජාතකයෙහි “ඔබ උභය භද්ද නම් රජ කල්හි සත්සියයක් හවුරුදු සැතපී එක යානෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවට අන්තරායක් නො කළා වූ තමන්ගේ ගුණධර්‍මයෙන් ශක්‍රදේවේන්‍ද්‍රයා ලවා සාධුකාර දෙවාපු මහපින්වත් ඒ උදයභද්‍රා දේවී නමුදු මම් ම ය. දශරථ ජාතකයෙහි ස්වාමිදරුවන් රාම නම් රජව සොළොස් දහසක් හවුරුදු දශවිධ වූ රාජධර්‍මයන් පිරූ සමයෙහි ඔබට ම පතිනීව විසූ “ලෝකයෙහි ගුණවත් ස්ත්‍රී නම් ශීතා දේවී ම යැ”යි තුඩ තුඩ කියවාපු ඒ ශීතා දේවි නමුදු මම්මය. චන්‍දකින්නර ජාතකයෙහි ශීලබලයෙන් සක්දෙව් රජහු ගෙන්වා ඔහු ලවා ඔබ දිවි රැකදෙවාලූ සඳ නම් ඒ කින්නරාඞ්ගනාවෝ නමු දු මම් මය. චම්පෙය්‍ය ජාතකයෙහි ඔබ චම්පෙය්‍ය නම් නාගරාජ කල්හි අහිතුණ්ඩිකයා අතින් ගළවා ස්වකීය වූ නාගසම්පත්තියෙහි ම පිහිටුවාලූ සුමනා දේවී නමුදු මම් මය. ජයද්දිස ජාතකයෙහි ඔබ ජයද්දීස නම් රජව යක්‍ෂයක් හට බත් වූ දවස් ශීලානුභාවයෙන් ඔබ දිවි රැක දී බොහෝ දවසක් එක්ව රාජ්‍යශ්‍රී අනුභව කළාවූ රාජමහීෂිකාවෝ නමුදු මම් ම ය. චුල්ලසුතසෝම ජාතකයෙහි ඔබ සුතසොම නම් රජ ව සුවාසූදහසක් හවුරුදු රාජ්‍යය කොට පළමු වන නරකෙස දැක රජය හැර තපසට යන දා සොළොස් දහස් සත්සියයක් බිසෝවරුන් හා සමග එක්ව ම ගොස් තපස් කළාවූ චන්‍දාදේවී නමුදු මම් ම ය.
“මහාජනක ජාතකයෙහි ඔබ මහාජනක නම් රජ කල්හි ඔබ හා සමඟ ම රජය හැර ගොස් තපස් කළාවූ සීවලී නම් අගදේවී නමු දු මම් ම ය. ඛණ්ඩහාල ජාතකයෙහි ඔබ සඳ නම් රාජකුමාරව යාග නිසා මරණ ප්‍රාප්ත වූ සමයෙහි සත්‍යක්‍රියා බලයෙන් ඔබ දිවි රැක දී බොහෝ දවසක් එක්ව ම රාජ්‍යශ්‍රී අනුභව කළා වූ සඳ නම් දේවී නමු දු මම් මය. විධුර ජාතකයෙහි ඔබ විධුර නම් මහ පඬිව මහත් වූ නුවණබල වික්‍රම දැක්වූ සමයෙහි දහසක් ස්ත්‍රීන්ට නායක වූ ප්‍රජාපතී දේවී නමුදු මම් ම ය. අනනුසොචිය ජාතකයෙහි උපෙක්ෂා පාරමිතාව සාදා දුන් සම්මිල්ලභාසිනී නම් පරිබ්‍රාජිකාවෝ නමු දු මම් මය. ඔබ මහෞෂධ නම් පඬි කල ඒ සා මහත් සැපතක් උපදවා ගැන්මෙහි අනුබල වූ බොහෝ දවසක් ප්‍රේමනීය ව විසූ අමරාදේවී නමුදු මම් ම ය. මහා වෙස්සන්තර ජාතකයෙහි සත් වාරයක් මහ පොළොව ගුගුරුවා දෙවි බඹුන් ලවා සාධුකාර දෙවා දානපාරමිතාව කුළුගන්වා දෙවාලු මද්‍රිදේවී නමුදු මම් ම ය.
“තව ද: මනොජ ජාතක-ලක්ඛණ ජාතක-සුපත්ත ජාතක- චක්කවාක ජාතක යනාදී වූ ජාති සහස්‍රයෙහි ඔබ හා සමඟ ම වැස ඔබගේ පාරමිතාවන්ට මා අනුබල වූ කල් මෙතෙකැයි පමණ නැත. නො එක් ජාතියෙහි ස්වාමිදරුවෝ මට උපකාරීම වූ සේක. මම ද ස්වාමිදරුවන්ට පක්‍ෂපාත ම වීමි. කල්‍යාණ වූ පුරුෂයන් විසින් ස්ත්‍රීන්ට ආදර සහිත වූ තෙපුල් කීම ය, අනාදර මිශ්‍ර වූ තෙපුල් නොකීමය, ස්වදාරාවන් හැර පරදාවන් කෙරෙහි සක්ත නොවීම ය, භෝජන සංවිධානයෙහි ස්ත්‍රීන් ම නායක කොට තිබීම ය, කලින් කලට තරම් වූ වස්ත්‍රාභරණ සපයා දීම ය යන මේ පඤ්චස්ථාන සංග්‍රහයෙන් මට සංග්‍රහ කළ සේක් ම ය.
“මම ද කල්‍යාණ වූ ස්ත්‍රීන් විසින් පුරුෂයන්ට කළ මනා වූ මනාව කරනලද කර්‍මාන්ත විද්ධානය, මනාකොට ආශ්‍රිත ජනයන් සිත් ගැන්මය, ස්වාමීහු හැර පරපුරුෂයන් කෙරෙහි සක්ත නොවීම ය, රැස්කළ සම්පත් රක්‍ෂාකිරීම ය, සියලු කාර්‍ය්‍යාකාර්‍ය්‍යෙයහි අලස නොවී දක්‍ෂ වීම ය යි යන මේ පඤ්චස්ථානයෙන් ඔබට විශේෂයෙන් සංග්‍රහ කෙළෙම් ම ය. එසේ හෙයින් මේ සංසාරයෙහි ඔබ ද මා පඤ්චස්ථාන සංග්‍රහයෙන් පිදූසේක. මම ද ඔබ පඤ්චස්ථාන සංග්‍රහයෙන් පිදීමි.
“තව ද; පින්වත් ස්ත්‍රී පුරුෂයෙනි! දිව්‍ය දිව්‍යාංගනාවෙනි! මේ ලෝකයෙහි ස්ත්‍රී-පුරුෂයෝ නම් චක්‍රයන් දෙදෙනාගේ සම වූ යෝගයෙන් සම ව ගමන් යන්නාවූ රථයන් වැනියහ, එසේ හෙයින් සම සම වූ අදහස් ලැබ්බ යුත්තාහ, කල්‍යාණ ස්ත්‍රීන් විසින් වල්ලභයෝ නම් ආදර කටයුත්තාහ, දෙවියන් සේ, ගුරුන් සේ මවුන් සේ පියන් සේ සිතිය යුත්තාහ. පුරුෂයන්ට අනාදර කළාවූ ස්ත්‍රීහු එ පවින් ගොස් අපයාගත වන්නාහ, පුරුෂයන්ට ආදර කළාවූ ස්ත්‍රීහු එ පිනින් සුගතියෙහි උපදනාහ.