නැවත ඒ ශක්‍රරූපය අන්තර්ධාන කොට සක්වළ දහසක් වසා සිටිනා තරම් මහත් වූ දිව්‍යරූපයක් මවාගෙන, එක් පත්ලක් ඔසවාගෙන, දහසක් සක්වළ වසා තබමින් අනික් පත්ලෙන් අනික් දහසක් සක්වළ වසමින්, මෙසේ දහසක් සක්වළට පියවරක් පියවරක් බැගින් ඔබමින් මොහොතක් කලින් අනන්තාපරියන්ත වූ සක්වළ ඇවිද බුදුහු යයි යන නාම මාත්‍රාවක් නො ඇසු විරූ සත්ත්‍වයන්ට මේ මඟුල් සක්වළ බුදුන් උපන් බවු අස්ව අස්වා, බුදුන්ගේ නාමය ද අස්ව අස්වා තුණුරුවනේ නම් කිය කියා ඇසිල්ලෙකින් මේ සක්වළට පැමිණ “මම ය, යශෝධරා දේවිමි”යි හඬගා කී දෑ ය. ඒ ශබ්දය නො එක් සක්වළට ඇසිණ. එ කෙණෙහි දු තුන්ලොව පුරා සිටි දිව්‍ය මනුෂ්‍ය සේනාව අප්‍රමාණ වූ සාධුනාද පූජාවෙන් තුන්ලොව පිරූහ. එවේලෙහි උන්වහන්සේ විසින් දැක්වූ නො එක් පෙළහර පූජා හා සත්ත්‍වයන් කළඅද්භූත පූජාවන් වෙන වෙනම විශේෂයෙන් ගෙනහැර දක්වම් නම් මාගේ එක මුඛයකින් තබා සියක් දහසක් ලක්‍ෂයක් මුඛයෙනුත් කියා නිමවාගත නො හැක්කේ ම ය.