යශෝධරා මෙහෙණ

star_outline

එ කල යශෝධරා ස්ථවිරීන් වහන්සේ දහස් ගණන් භික්‍ෂුණී පිරිසක් පිරිවරා ගොස් බුදුන් දැක වැඳ එකත්පස්ව හිඳ බණ අසා ගොස් තමන් වහන්සේගේ මෙහෙණවර වැද පසුව දා පශ්චාද් භක්තයෙහි අර්ධ පර්‍ය්‍යංකයෙන් රහෝගත ව වැඩහිඳ මෙසේ සිතන සේක. නන්ද-රාහුල දෙදෙන ද, අගසවුවෝ දෙදෙන ද, අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙන ද, ශුද්ධොදන - මහාප්‍රජාපති දෙදෙන ද, අඤ්ඤා කොණ්ඩඤ්ඥා දී ප්‍රසිද්ධ වූ ස්ථවිරයෝ ද මෙවකට පිරිනිවන් පෑ නිවන් පුර ගියහ, මම වනාහි බුදුන් හා එක් වේලෙහි උපන්මි, ඔබ හා සම වූ වයස් ලදිමි, සම වූ මඟුල් ලදිමි. සම වූ අදහස් ලදිමි, සම වූ මහණ දම් ලදිමි. සම වූ නිවන් අමා ලදිමි. අනු වූ රූපශ්‍රී හා ඍද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය ලදිමි. මේ මේ කාරණ හෙයින් බුදුන්ගේ පරිනිර්‍වාණය හා මාගේ පරිනිර්‍වාණය එක දවස් වන කාරණ ම ය. එසේ වූ කල ලෝකවාසීහු එක වේලෙහි ලොවට හානි දෙකක් දරාලිය නො හෙන්නාහු ය.

එසේ හෙයින් ඒ පරිනිර්‍වාණයන් දෙදෙනාගේ පසු පළමු භාවයක් වුවමනා ය. කල්පද්‍රැමයාගේ වියෝගයෙහි කල්ප ලතාවගේ විද්‍යාමානභාවය නොහොබනා සේ, කල්පලතාවගේ වියෝගයෙහි කල්පද්‍රැමයාගේ විද්‍යාමාන වීමෙහි තව ද අශෝභාවක් නැත්තා සේ, බුදුන්ගේ පරිනිර්‍වාණය මා වැනියන් දැකීම සුදුස්සෙක් නොවෙයි, තව ද මාගේ පරිනිර්‍වාණය බුදුන් දැකීම හොබනේ ම ය. පූර්‍වකාලයෙහි වූ අනන්තාපරින්ත වූ බුද්ධපතිව්‍රතාවරු ද ඒ ඒ බුදුන්ට පළමු ම පිරිනිවන් පෑහ, එසේ හෙයින් මා විසිනුත් පළමුව නිවන් පුර ගියමනා ම ය”යි සිතා “මෙවකට බුදුන්ට ද මට ද අට සැත්තෑවක් වයස් සම්පූර්ණ විය, මෙයින් දෑවුරුද්දක් ගිය කල අශීති වර්‍ෂයෙහි දී බුදුන්ගේ පරිනිර්‍වාණය වෙ”යි දැක මම ද දැන් ම ගොස් බුදුන් අතින් අවසර ඉල්වා ගෙන අද රෑ ම ශාන්ති පුරයට නික්මෙමි”යි මෙසේ සිතූ දෑ ය. එ කෙණෙහි මහිකත් ගුගුරා පැන නැඟී ය, ආකාශය මේඝනාදයෙන් කම්පිත විය, මහ මෙර කිළි පොළාපීය, සක්වලගල සක්වළල්ලක් සේ බමා ගිය.

මේ අද්භූතයෙහි මෙ කුමක් දෝ හෝ යි කම්පිත වූ සිත් ඇති ඔබගේ දහසක් පමණ මෙහෙණින්නෝ ඔබ කරා දිව අවුත් “ආර්‍ය්‍යාවෙනි! මේ කුමන පෙළහරෙක් ද”යි විචාළහ. එකල ඔබ වදාරන සේක් “භවත්නි! මා සිතූ සිතිවිල්ලක් නිසා ම වූ පෙළහරෙක, අද රෑ පිරිනිවන් පවීමි”යි සිතීමි. මා හා කැටිව එව, දැන් ම ගොස් බුදුන් දැක වැඳ අවසර ඉල්වා යෙමි, පාසිවුරු ගන්ව”යි කියා ඒ දහසක් මෙහෙණින්නන් පිරිවරා ගෙන තමන් වහන්සේ ද පාත්‍ර සිවුරු දරාගෙන වෙහෙරට අරක් ගත් දෙවියන්ට පින් දී ගෙන එ තෙපුල් අසා අවුත් පෙරමඟට රැස්වූ නො එක් ශ්‍රද්ධාවන්ත ස්ත්‍රී පුරුෂයන්ට ඔවා තෙපුල් දී ගෙන මහමුහුදට නිකුත් අමා ගඞ්ගාවක් සේ ගොස් බුදුන් වසන වෙහෙරට වැඩ බුදුන් දැක මෙර සිසාරා නිකුත් තරු පිරිවර සඳක් සේ තුන් යලක් පැදකුණු කොට බුදුන් පසඟ පිහිටුවා වැඳ සදත් රජුට අනු වූ සුභද්‍රා නම් කණෙරුකා ධෙනුව සේ බුදුන්ට එකත්පස් ව ඇඳිලි බැඳ හිඳ මෙසේ දන්වන සේක.

“ස්වාමීනි! සත්දවසෙකින් ලැබෙන සක්විති රාජ්‍යයක් හා, උනු නොවන සැපත් ඇති සතර මහානිධානයක් හා, කිඹුල්වත් නුවර වැනි දිව්‍ය සමාන පුරයක් හා සුදොවුන් රජාණන් වැනි පෙම්බර පියාණ කෙනෙකුන් හා, සතළිස් දහසක් ක්‍ෂත්‍රිය නාටක ජනයන් හා සයානූලක්‍ෂයක් ක්‍ෂත්‍රිය කන්‍යාවන්ට අධිපති වූ මා වැනි ක්‍ෂත්‍රිය කන්‍යාවක් හා, එක්වැනි රහල් තෙරුන් වැනි රූබර පුතණු කෙනකුන් හා, මේ සා සැපතෙහි තෘෂ්ණාවක් නැති ව නැඟු දළපුඩු සේසත් කෙළ පිඬු කොටත් නොබලා, එකලාවම ගොස් මහණ ව සාහවුරුද්දක් දුෂ්කරින් දවස් යවා, මහත් වූ වික්‍රමයෙන් පස්මරුන් බිඳ බුදු ව දැන් මේ සා නිවන් අමාවක් මුළු ලොවට බෙදා දී, මා ඇතුළු වූ සියලු සතුන් එක ආර්‍ය්‍ය කුසින් වදා, මුළු ලෝ වාසීන් නො වරදවා දරු කොට ගත් නිවන් හිමියාණෙනි! මා විසින් දන්වන තෙපුලක් අසා වදාළ මැනැව, දැන් මට අට සැත්තෑවක් වයස් ගිය, එසේ හෙයින් පබ්භාර දසකයට පැමිණියෙමි, ස්වාමිදරුවන්ට පළමු කොට ජරා - විලි - පිලි නොදැක නිවන් පුර යනු කැමැත්තෙමි, ඉනුදු අද රෑ ම සෙත්පුරයට පැමිණෙමි. ස්වාමිදරුවන් විසින් මට කළමනා වූ සංසාර රක්‍ෂාව කොට වදාරන ලද, මා විසිනුදු පිළිගන්නා ලද, එසේ හෙයින් මම ද සංසාර සාගරයෙන් ගොඩනැඟී සිත් සේ නිවන් මහ මියරට පැමිණියෙමි, එසේ ද වුවත් සියලු ආර්‍ය්‍යාවන් ම පරිනිර්‍වාණ දිනයෙහි අවුත් බුදුන් අතින් සමු ගැන්ම ද බුදුන් ක්‍ෂමා, කරගැන්ම ද, සාධාරණ ධර්‍ම වන බැවින් මම ද ස්වාමිදරුවන් ක්‍ෂමා කරවා ගෙන අවසර ලබනු කැමැත්තෙමි, සසර බොහෝ දවසක් ස්වාමිදරුවන්ට ඡායාවක්සේ සහවාසව අයිමි. ඒ ඒ තන්හි මා විසිනු දු පක්‍ෂපාත ව ම එකලද, එසේ ද වුවත් ස්ත්‍රී ජාතීහු නම් ඉතා ළාමක වූ ස්වල්ප වූ සිත් ඇතියහ, කිසියම් තෙනක අපරාධයක් පෙනෙයි; ඒ ඒ වරද ද නුවණැසින් බැලූ කල ස්වාමිදරුවන්ගේ පාරමිතාවට අනුබල වූ තැනෙක් ම ය, මා විසින් කළ දැඩිකමක් නිසාත් වැඩක් ම සාධා දින්මි.

“සෙසු කල් හැර මා දැඩිකම් කළැ යි යන කුසජාතකයෙහි ස්වාමිදරුවන් කුසරජ කල මා ප්‍රභාවති නම් ව, රූමදයෙන් මත් වූ සමයෙහි වෙස් වළා මා ඇඟට ඇත්බෙටි අස්බෙට් ගැසූ දවස් ඇතුපිට හිඳ හස්තවිකාර-මුඛ විකාරයෙන් මට උසුළු ගැන්වූ දවස් පවා නො එක් පරුෂවාක් බස් කියනුයෙම් නො හැඳින ම කීමි, අචේතන වූ කර්‍මයක් නැති හෙයින් එහි දු මා වරදක් නො දක්මි. මඟුල් පොකුණෙහි සැඟවී සිට “මම කුසරජ” ය යි පෙනී මා අත ගත් දවස් මෙ බඳු පුන්සඳකට නින්දා කරන ප්‍රසන්න වූ ශ්‍රී මුඛය පසේ බුදුන්ට ආක්‍රෝශයෙන් බැලූ නුඹවහන්සේගේ ම කිසියම් පාපයක් නිසා, අතිරස පූවක් සේ ඉතා අප්‍රසාද වූ හෙයින් බැලුවන්ට භයඞ්කර හෙයින් “රජක්හුගේ මෙ බඳු වූ මුඛයෙක් ඇද්දැයි එකාන්තයෙන් යක්‍ෂයෙක් ම යැ” යි සිතා එ දවසු දු යක්‍ෂයකුහට ම නින්දා කෙළෙමි, එසේ හෙයින් එ තැන්හි දු මා වරද නැත. එ දවස් මාගේ පිරිවර ගෙන කුසරජ්ජුරුවන් හැර ස්වේච්ඡාපර ව මාගේ සියනුවරට ගිය ගමන පෙර කළ ප්‍රාර්ථනාවක් නිසා ම වූ හෙයින් එ තැන්හි දු මා වරද නැත.

“තව ද: ඒ සත්මස මුළුල්ලෙහි ස්වාමිදරුවන් මාගේ නුවරට වන් දවස් පටන් මම ද යානෙක නො සැතපී බිම ම සැතපිනිමි. ස්වාමිදරුවන්ගේ ම අකුසල බෙලෙන් ඒ සා දුකකට පැමිණි බවක් මිස මා විසින් සැබවින් කළා වූ නිස්නෙහයක් නො වන නියාවට දවසින් දවස ගන්නා දුක් බල බලා අනුන්ට නො හඟවා ම මා අතුරෙහි හැඬු හඬ, එ දවස් මාගේ ගුණ පරීක්ෂා කරනු නිසා වසුන් කද කර තබාගෙන හිණිපාමුල හුණු හඬ අසා ලෙහි බඩැ අත් සපමින්, කඳුළු ධාරා වගුරමින් යහන් ගබඩාවෙන් මා දිවු දවස ම පක්‍ෂපාත කමට ම දෙස් කියා සිටීම ය. තවද: එ සත් මසෙහි ස්වාමීන් පිසූ බත් මා අනුභව කළෑ යි ස්ත්‍රීධර්‍මය වරදවා පීයැ යි සිතත් නමුත් දවසෙකත් ඔබ පිසූ බත් දිවගත් නො ගෑයෙම් ම ය, එ බත් කුදට දී කුදගේ වැටුප් සාලෙන් පිසූ නිවුඩුසාලේ දාසි භෝජනය ම අනුභව කෙළෙමි. එ කල මා අනුභව කළ භෝජනය සිතූ කල කුසරජ්ජුරුවන් අනුභව කළ වසුන් පල්ලෙහි දඹුකඩ භෝජනය තවත් රසවත් දෝ හෝ යි සිතමි. එසේ රූමදයෙන් මත් වූයෙම් පවා ස්වාමිදරුවන්ට මද අනාදරයක් නො කෙළෙමි, ඒ ඒ ජාතියෙහි ම විසින් කළාවූ කිසියම් අපරාධයක් ම නිසා මා පතන්නා වූ ස්වාමිදරුවන්ට මෑණියන් වහන්සේට පාවා දුන් රාජ්‍යදානාදියෙන් දාන පාරමිතාව සිද්ධ විය.

“ඒ ජාතියෙහි මාගේ පහස් ලත් තැන් පටන් මා කෙරෙහි කළ ප්‍රේමයෙන් අන්‍යස්ත්‍රියක ප්‍රාර්ථනා නොකොට රැකි පඤ්චශීලාදියෙන් ශීල පාරමිතාව සිද්ධ විය. මා ම පතා ඒ සා රාජ්‍යය හැර එකලාව ගිය ගමනින් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සිද්ධ විය. නො එක් කර්‍මාන්ත විශේෂයෙන් මා ම උදෙසා නිර්මිත කිරීමෙන් ප්‍රඥා පාරමිතාව සිද්ධ විය. රජසුඛුමාලව මා ම පතා එක දවස් සාරසියක් ගවු වැඩවදාළ ගමනින් හා සත්මස මුළුල්ලෙහි දිය දර ඇදීමෙන්, බඳුන් සේදීමෙන්, රෑ නිඳි මැරීමෙන්, තුන් වේලෙහි වසුන් පිසීමෙන්, වසුන් කත් ඇදීමෙන්, ගත් දුක් සමූහයෙන් ම වීර්‍ය්‍ය පාරමිතාව සිද්ධ විය. තවද: මුළු දඹදිවට අග රජ ව “බලාත්කාරයෙන් මෑ ගෙන්වා ගනිමි” යි නො සිතා මා කෙරෙහි ක්‍රෝධයක් නො කොට මා කී කළ රූක්‍ෂ වූ තෙපුල් ඉවසීමෙන් ක්ෂාන්ති පාරමිතාව සිද්ධ විය. “කුසරජ්ජුරුවෙනි! බොහෝ නිමිති දන්නෝ මා තොපට අඹු නො වෙති යි කීහ, මා පතා නම් ගලින් පැන් උණුවන්නා වැන්න, සුළං බදන්නා වැන්න, සඳට අත දිගු කරන්නා වැන්න, මා නො පතා තෙපි තොපගේ සිය නුවරට යව”යි එ දවස් මා සිතින් සිතීහස ඇති ව ද මායම් තෙපුල් කී කල “පුරුෂවීර්‍ය්‍යයක් ඇතියෙම් නම් තී මා අගමෙහෙසිනි කෙරෙමි යි තී හැර සියනුවර නොයම් ම ය”යි කීවාවූ සාහසික වචනය ම පසුව සබා කිරීමෙන් සත්‍ය පාරමිතාව සිද්ධ විය. එකවිට දැමු සක පසළොස් පැයක් භ්‍රමණය කිරීමෙන් අධිෂ්ඨාන බලයෙන් නො එක් විරහ කර්‍මාන්ත රූපයන් මට විනා සෙසු සත්ත්‍වයන්ට නොදැක්වීමෙන් ශක්‍රභවනය කම්පාකිරීමෙන් අධිෂ්ඨාන පාරමිතාව සිද්ධ විය. තමන් නො තරම් බවු නොදැන, බල නො දැන, මුළු දඹදිවට අගරජුන්ගේ අගබිසොවුන් පතා ආවා වූ සතුරු රජුන් සද්දෙනා උතුරුසළුවෙන් පිටිතල හයා බැඳ ගෙනවුත් දක්වාලු වේලෙහි ඔවුන්ට කෝපයක් නො කොට ජීවිතදානය දීමෙන්, ස්ත්‍රී ය දානදීමෙන් කළා වූ කරුණාවෙන් ම මෛත්‍රී පාරමිතාව සිද්ධ විය. ඒ සියලු තැන්හි ම අකම්පිත ව, මහමෙර සේ නිශ්චල ව, කොටගත්තාවූ අර්ථ සිද්ධියෙන් ම උපේක්ෂා පාරමිතාව සිද්ධ විය. තව ද: මා ම නිසා සතුරන් ජයගනිමි යි “අහංකුසො”යි කීවා වූ සිංහනාද වික්‍රමය දැන් තුන්ලෝවාසීන් තුඩ තුඩ විය.

“එ දවස් මා ම නිසා ජයගත් යුද්ධයෙහි සන්තෝෂ වූ ශක්‍රදේවේන්‍ද්‍රයා අෂ්ටවංක වෛරොවන මාණික්‍යරත්නය ශක්‍රපුරයෙන් ගෙනවුත් ග්‍රීවාභරණ කොට පලඳවා ලී ය, ඒ දිව්‍යරත්නලාභය ද මා ම නිසා විය. එසේ හෙයින් ස්වාමීනි! අඥාන වූ ලෝකවාසීහු මා ප්‍රභාවතී නම් ව ස්වාමිදරුවන්ට දැඩිකම් කළැ යි යෙති, මම වනාහි සිතින් දැඩිකමක් නොකෙළෙමි, සිතින් සෙනෙහස ම කෙළෙමි, සෙසු ජාතිභේදවලැ එකි එකී පාරමිතාවන් ම පිරූ සේක. මා දැඩිකම් කළ ජාතියෙහි පාරමිතාවන් දසදෙන ම වෙන වෙන ම සාදා දෙවාලීමි, තුඩ තුඩ වික්‍රම කියවාපීමි, කුශලා කුශල ධර්‍මයන්ගේ විභාගය ද ලෝකවාසීන්ට හඟවා ලොකාර්ථය ද කෙළෙමි, එසේ හෙයින් ඒ ජාතියෙහි මා වරදක් නොදක්මි, කිසියම් වරදක් ඇතියේ වී නමුත් එ දවස් ම කලල් පිට වැදහෙව:-

“යා ඉමා රත්ති අතික්කන්තා - තා ඉමා දෙව තයා විනා,

වන්දෙ තෙ සිරසා පාදෙ - මා මෙ කුජ්ඣ රථෙසහ” -යි.

යන මේ ගාථාව කියා කුස රජ්ජුරුවන් ක්‍ෂමා කරවා ගත්මි, එ වේලෙහි කුසරජ්ජුරුවෝ:

“එවං තෙ යාචමානාය - කිං න කාහාමි තෙ වචො,

විකුද්ධෝ ත්‍යස්මි කල්‍යාණි - මා ත්‍වං භායි පභාවති”-යි.

“යන මේ ගාථාව කියා ක්‍ෂමා කළහ. එසේ හෙයින් ඒ ජාතියෙහි මා කළ වරදෙක් ඇත්නම් මේ ජාතියට නො තිබුයෙමි, තව ද: පසේබුදුන්ගේ පාත්‍රයට මා පිළිගැන් වූ අතිරස කැවුම් සපත්නිරෝෂයෙන් පාත්‍රයට අත ලාලා හැරගත් දවස් පසේබුදුහු සුන්බත් වූ සේක් වී නම් සතියෙන් ධ්‍යානයෙන් නැගි දවස හෙයින් පිරිනිවන් පානා සේක, එ දවස් ස්වාමිදරුවන්ට ආනන්තරීය කර්‍මය සිද්ධ වන දවස ය, එ කෙණෙහි මම කලකිරිගිතෙල් පිළිගන්වා නුඹවහන්සේ කළාවූ අපරාධය සාපරාධ ම හෙයින් දුෂ්ට වූ ප්‍රාර්ථනාවක් කොට ලජ්ජා කරවා එම කැවුම් ඔබ ම අතින් පිළිගන්වා එ සා පාපයෙකින් ගොඩනංවා පිටිවහල් වීමි, ඒ ජාතියෙහි දු මා වරදෙක් නැත.

“තව ද: බන්ධනාගාර ජාතකයෙහි ස්වාමිදරුවන්ට මා හැර තපසට නික්මුණු කල මා දැරි ඇති බවු කියා ඒ දරුවන් වැදූ කල ගිය මැනව, හිරු වැන්දවූ කල ගිය මැනව, බත් කැවූ කල ගිය මැනව, කෙස් බෑ කල ගිය මැනවැයි යනාදීන් මා රැඳවූ රැඳවූ කලු දු, ස්වාමි දරුවනු දු, මාගේ බසින් ම තපසට නො ගොස් රඳ රඳා ගිය කල පසුව මටත් සොරා තපසට ගිය කල මා එකලාව දරුමලෙහි බැඳී බොහෝ දුග් ගත් කලු දු ඇත, තපසට මා කළ බාධා ඇත. එයි දු සංසාර දෝෂ බව මිස මා වරද ය යි නො සිතමි, සියලු ස්ත්‍රී - පුරුෂයන්ගේ සාධාරණ ධර්‍මයෙක.

“තව ද ස්වාමිදරුවන් හා මා හා කුම්භකාර කර්‍මාන්තයෙන් නිරවද්‍ය ජීවිකා කල සමයෙහි, පසේබුදුන් දැක දන් දී බණ අසා ස්වාමි දරුවෝ මට පළමුව මහණ වෙමි යි සිතූසේක. මම ස්වාමිදරුවන්ට පළමු ව මහණ වෙමි යි සිතීමි, එ කල රාහුල නම් මෙම පුතණුවන් පස්මැසි කල එ දරුවන් හා මා හා ගම හැර ස්වාමිදරුවාණන් තපසට නික්මුණු කල රඳවාගත නොහී එ දරුවන් ස්වාමිදරුවන් අතට වඩා “මා පැන් කළයක් ගෙනා කල ගිය මැනවැ”යි මායමක් කියා කළය ගෙන පැන් යන පසාරයෙන් වඤ්චාවෙන් වලට ගොස් මහණ වීමි, මහණදම් පිරීම් නම්, සසර සයුරෙන් ගොඩ නැඟීම් නම්, සියලු සතුන්ටම මිහිරිවන දෙයක් හෙයින් තපස් නිසා කී කළ මායමෙහි දු, සොරා ගිය ගමනෙහි දු, අපරාධයක් නො දක්මි.

“එ කල පුතණුවන් සතර පස් හැවිරිදි වන තුරු නුඹ වහන්සේ එකලාව, පිරිමි ව සිට, දමින් බැඳි ඇතකු සේ දරුමලෙහි බැඳී එක් වේලෙක බැල මෙහෙ කොට කිරි සොයා ගෙනෙමින්, අඳුන්තෙල් ගෙනෙමින්, එක් වේලෙක දරුවන් නහවමින්, නිඳි ගන්වමින්, බඩ දීගෙන සැතපෙමින් “ ගැහැණී අද ඒ දෝ, සෙට ඒ දෝ හෝ”යි මා ගිය. මඟ බලමින් “ගැහැණි මා වෙහෙසාලුව”යි කියමින් එක් අතෙකින් සක දම දමා වළන් උකමින්, එකලාව ඒ වළන් තළමින්, වියලමින්, පළහමින්, විකුණමින්, දවසින් දවස දෙපුතුපියන් බඩ පදිමින්, ගත්තාවූ පුත්‍ර ව්‍යසනය හා ස්ත්‍රියක සේ කළාවූ දරුසනාවට ඒ පුතණුවන් වහන්සේ ම වෙස්සන්තර ජාතියෙහි බමුණාට දන් දෙන වේලෙහි උපන් භයින් වල් වැද සිවුරැස් පොකුණෙහි නෙළුම් පත් පීරා සැඟවී සිට නුඹවහන්සේ “පුතණ්ඩ! ජාලිය කුමාරයෙනි”යි අඬ ගැසූ අඬ අසා දෑතින් නෙළුම්පත් පීරාගෙන “බමුණා මැ ගැති කෙරේව යි මපියාණන් වහන්සේට මා වැනි ශික්‍ෂිත දරුවෝත් ජීවිතයක් නිසා සැඟවෙද්දැ”යි දිව දිව අවුත් “මපියාණෙනි! මම මෙ තැන සිටියෙමි, කැමැත්තක්හට මා දන් දුන මැනැවැ”යි කිය කියා අත් සුං දිගුකළ වේලෙහි ම ප්‍රත්‍යුපකාර කොට නිමවාලු සේක. එ කල මවුන් නැති ව ඔබට කළ දරුසනාවට ඔබ ම සසර සයුරට අත් දුන් සේක.

තව ද මේ ජාතියෙහි දායාද සම්පත් සොයා එවාලු දවස් “රාහුලයා ඉසකේ කපා මහණ කරව”යි වදාළ වේලෙහි සත් හැවිරිදි වයසැ මවුන් සඳහන් නො කොට කර බාගෙන උත්තරයක් නො කියා, මුත්තණුවන් වහන්සේටත් මටත් කියා නො එවා, ස්වාමි දරුවන්ට ම කීකරු ව, ඉසකේ කපන්ට ඉස නමා පෑලූ ශික්‍ෂිත කමින් ම, එ දවස් ගත් මහත් දුකට මේ දවස් ප්‍රත්‍යුපකාර කළ සේක් දෝ හෝ යි සිතමි. එසේ හෙයින් එ සමයෙහි ස්වාමිදරුවන් මා නිසා කළාවූ පුත්‍රව්‍යසනය ස්වාමි දරුවන්ට ම පිටිවහල් වීය. එසේ හෙයින් එ තැන්හි දු මා වරදක් නො දක්මි.

තව ද: ඒක් ජාතියෙක ස්වාමිදරුවන් රජ කල, මා අගබිසෝ කල ස්වාමිදරුවන් සග හෙයින් මා මැළි හෙයින් “සමවයස් පෑ පෙම් වඩා ගන්මි”යි සිතා ඉස බලන පාසාරයෙන් මා හිසින් නරයක් කඩා පෑ “හිමි! තොප ඉස නර බලව”යි ස්නෙහෙ දෝෂයෙන් එක බොරුවක් කීමි, එ කෙණෙහි ඒ නරය දැක “ජරාවට පැමිණියෙමි” යි අනිත් ලකුණු උපදවා මා හා සියලු රාජ්‍යාවාසීන් හඬ හඬා සිටිය දී ඇමැතියන් වළක්ව වළක්වා රාජ්‍යය හැර ගොස් ජීවිතාන්තය දක්වා තපස් කොට ගොස් බඹලොව උපන් හෙයින් මා කීවාවූ ඒ ජාතියෙහි එක බොරුව ස්වාමිදරුවන්ට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව හා ශීල පාරමිතාව හා පාරමිතාවන් දෙදෙනකු සාධා දී ලී ය. එසේ හෙයින් ඒ මෘෂා වාදයෙහි දු මා වරදක් නො දක්මි.

තව ද: කුරුධර්‍ම ජාතකයෙහි ස්වාමිදරුවන් රජ කල මා අගබිසෝ කල යුවරජහු මුහුණ දවසෙක සානුරාගයෙන් බලාපූ වරදෙක් ඇත, ඒ වරද නො සඟවා “මාගේ ශීලාන්තරාය වී දෝ හෝයි මෙසේ වූ වරදක් සිතිමි”යි මා කී හෙයින් වරද නො සැඟවූ හෙයින් එතැන්හි දු මා වරදක් නො දක්මි.

තව ද: අභ්‍යන්තර ජාතක-සුසීම ජාතකාදි කිසියම් තෙනෙක අවශෙෂ වූ රජුන්ට මා අගමෙහෙසින් වූ තැනුදු පෙනෙයි, සංසාර ය නම් අග් මුල් නැති හෙයින් එසේ එසේ වූ වරද නිවරද ම ය. තව ද: අභ්‍යන්තර නම් අඹයට මා දොළන කල මට අඹ සොයා ඇවිදිනා ඒ රජුගේ සේවකයෝ ස්වාමිදරුවන් හා පන්සියක් තවුසන් සිත් සේ ධ්‍යාන සුව විඳිනා අතිරම්‍ය වූ මඟුල් උයනින් නෙරියහ. එ තැන්හි දු සක්දෙවු රජහුගේ මුත් මා වරදක් නොදක්මි. එසේ ද වුවත් මේ ආදි තැන්හි මා විසින් කළාවූ කිසියම් අපරාධයෙක් ඇත් නම් මේ අන්තිම වූ ක්‍ෂමාවය, අන්තිම වූ දර්ශනය ය, අන්තිම වූ ජාතියය, මට නිඃශෙෂයෙන් ම ක්‍ෂමා කොට වදාරා ශාන්තිපුරයට අවසර දුන මැනවැයි දැන්වූ දෑ ය. එයින් කීහ. අපදානයෙහි:-

එකස්මිං සමයෙ රම්මෙ-ඉද්ධෙ රාජගහෙ පුරෙ,

පබ්භාරම්හි වරෙකම්හි-වසන්තෙ නරනායකෙ.

.

වසන්තියා නම්හි නගරෙ-රම්මෙ භික්ඛුනුපස්සයෙ,

යසොධරා භික්ඛුනියා-එවං ආසි විතක්කිතං.

.

නන්දො රාහුලභද්දො ච-සාවකග්ගා තථෙව ච,

සුද්ධෝදනො මහාරාජා-ගොතමී ච පජාපතී

.

අභිඤ්ඤාතා මහාථෙරා-ථෙරීයො ච මහිද්ධිකා,

සත්තිං ගතාව ආසුං තෙ-දීපච්චීව නිරාසවා.

.

ලොකනාථෙ ධරන්තෙව-අහම්පි ච සිවං පදං,

ගමිස්සාමීති චින්තෙත්‍වා- පස්සන්තී ආයුමත්තනො.

.

පස්සිත්‍වා ආයුසංඛාරං-තදහෙව ඛයං ගතං,

පත්තචීවරමාදාය-නික්ඛමිත්‍වා සකස්සමා.

.

පුරක්ඛතා භික්ඛුනීනං-සහස්සෙහි තහිං තහිං,

ඛණෙ මහිද්ධිකා පඤ්ඤා-සම්බුද්ධං උපසංකමි.

.

සම්බුද්ධං අභිවාදෙත්‍වා-සත්‍ථුනො චක්කලක්ඛිනො,

නිසින්නා එකමන්තම්හි-ඉදං වචනම‘බ්‍රැවී.

.

අට්ඨසත්තති වස්සාහං-පච්ඡිමො වත්තතී වයො,

පබ්භාරම්හි අනුප්පත්තා- ආරොචෙමි මහාමුනෙ.

.

පරිපක්කො වයො මය්හං-පරිත්තං මම ජීවිතං,

පහාය වො ගමිස්සාමි-කතං මෙ සරණමත්තනො.

.

වයො ච පච්ඡිමෙ කාලෙ-මරණං උපරුජ්ඣති,

අජ්ජ රත්තිං මහාවීර-පාපුණිස්සාමි නිබ්බුතිං,

.

නත්ථි ජාති ජරා ව්‍යාධි-මරණඤ්ච මහාමුනෙ,

තත්‍ථ ගච්ඡාමහං වීර-ගතො යත්‍ථ න දිස්සති.

.

යාවතා පරිසා එත්‍ථ-සමුපාසන්ති සත්‍ථුනො,

අපරාධං පජාතං මෙ-ඛමන්තු සම්මුඛා මුනෙ.

.

සංසරන්තා ච සංසාරෙ-ඛලිතඤ්චෙ මමං තයි,

ආරොචෙමි මහාවීර-අපරාධං ඛමස්සු මෙ-යි.

මෙසේ ඒ යශෝධරා ස්ථවිරීන් වහන්සේ අනෙකප්‍රකාරවූ කථාවෙන් සසර තමන් වහන්සේගේ පූර්‍ව විශ්වාස හඟවා බුදුන් අතින් අවසර ඉල්වූ වේලෙහි ස්වාමිදරුවෝ උන්වහන්සේ තමන් වහන්සේට සංසාරයෙහි කළාවූ බොහෝ උපකාර හා අපරිමිතවූ ගුණ දැක “මේ යශෝධරාව වැනි පින්වත් ස්ත්‍රියක් මාගේ බුද්ධෝත්පාදයෙහි නැත, දැන් මෝ තොමෝ අසංඛ්‍ය ගණන් කප්වලැ ජාති දක්නා නුවණ ඇත්තී ය, අසාධාරණ වූ දිවස් ඇත්තී ය, විශේෂ වූ දිවකන් ඇත්තී ය, නසන ලද ආශ්‍රවයන් ඇත්තී ය, ත්‍රිවිද්‍යායෙහි මුදුන් පැමිණියා ය, බුදුන්ට අනු වූ ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍ය ඇත්තී ය, තමා රහත් වූ දවස් පටන් බුදුන් කෙරෙහි කළ මහත් වූ ආදර හා බහු මානයෙන් පෘථග්ජන මෙහෙණින්නක් සේ නිහතමාන ගුණයෙන් තමන්ගේ ඍද්ධිබලයක් නො දක්වා විසුව, එසේ හෙයින් මෑගේ පෙළහර බල දුටුවෝ නැත, මතු ලෝකවාසීහු රාහුලමාතාවෝ නම් කෙසේ වූ කෙනෙක් දෝ හෝ, රහත් වූ දෝ හෝ, නොවූ දෝ හෝ, පෙළහර ඇතියෝ දෝ හෝ, නැතියෝ දෝ හෝ යි ශංකා උපදවන්නාහු ය, මතු සත්ත්‍වයන්ට උපදනා ඒ ශංකා දුරු කරවා මැගේ ඍද්ධිබල වික්‍රම හා පූර්‍වචරිතය මෑ ලවා ම දක්වා, මෑගේ ගුණ මතු මාගේ ශාසනයෙහි ප්‍රසිද්ධ කරවමි”යි සිතා “යශෝධරා ස්ථවිරීනි! තොප වැනි පින්වතුන් ලෝකවාසීන්ට ආනුභාවයක් නො දක්වා අප්‍රසිද්ධ ව නිවන් පුරයෙහි සැඟවෙනු නො යෙදෙයි, දැන් තොපගෙන් කිසියම් පෙළහරක් මා මැදයෙහි දක්වා බලගැ”යි වදාළ සේක. එයින් කීහ අපදානයෙහි:

සුත්‍වාන වචනං තස්සා-මුනින්‍දො ඉදම්බ්‍රැවී,

කිමුත්තරං තෙ වක්ඛාමි-නිබ්බාණාය වජන්තියා.

.

ඉද්ධීඤ්චාපි නිදස්සෙහි-මම සාසනකාරියො,

පරිසානඤ්ච සබ්බාසං-කඞ්ඛං ජින්‍දස්සු සාසනෙ-යි.

එ වේලෙහි “යශෝධරා ස්ථවිරීන් වහන්සේ අද රෑ පිරිනිවන් පානා සේක් ල, දැන් අවුත් බුදුන් වැඳ ක්‍ෂමා කරවමින් සිටිසේක්ලැ”යි මෙ තෙපුල් සියලු භික්‍ෂුගණයා කෙරෙහි සැලව ගිය. එ කල “රාහුල මාතාවන්ගේ පරිනිර්‍වාණය වනුයේ නම්, අප බුදුන්ගේ ද පරිනිර්‍වාණය ආසන්න වන හෙයින් ම යැ”යි කිය කියා ක්‍ෂීණාශ්‍රවයෝ සංවේග උපදවමින්, පෘථග්ජන භික්ෂූහු! කඳුළු ධාරා වගුරමින්, දහස්ගණන් ශ්‍රාවකයෝ අවුත් බුදුන් පිරිවරා සිට ගත්හ. එ තෙපුල් ඇසූ ඒ රජගහා නුවර කෝටි ගණන් සත්ත්‍වයෝ ද, ඔවුනොවුන් පරයා දිව දිව අවුත් රැස්වූහ. එ කල යශෝධරා මහා ස්ථවිරීන් වහන්සේ “අද බුදුහු මා හා පෙළහරක් කරවා මා හා සිංහනාද කරවනු කැමැතිසේක් වන. පෙර නො එක් ජාතියෙහි ඔබට කීකරුවම අවුත් කෙළවර ජාතියෙහි වදාළක් කළමනා ම ය.

.

“බුදුන් අදහස් වු පරිද්දෙන්ම මාගේ සෘද්ධිබල දක්වා පෙළහරක් කෙරෙමියි, බල එකෙක් ඇත; මේ පර්‍ෂදෙහි සරාගී සත්ත්‍වයෝ බෙහෙව, ඔහු ස්ත්‍රීභාවයෙහි සිට මා දක්වන්නාවූ පෙළහර බලා මා වූ පවත් නො දැන මා කෙරෙහි ලෝභ සිත් ඉපැදවූ නම් එ පවින් ගොස් අපායගත වන්නාහ. පළමුකොට ඔවුන්ට මා වූ පවත් හඟවා ඔවුන්ගේ විතර්ක සිත් දුරු කොට පෙළහරක් දක්වමි”යි සිතා බුදුන් වන දෙස වැඳ සිට, “සෙසු බෝසත්වරුන් අටාසංඛ්‍යෙය කප්ලක්‍ෂයෙකින්, සොළොසාසංඛෙය්‍ය කප් ලක්‍ෂයෙකින් කරන්නාවූ වීර්‍ය්‍ය සාරාසංඛ්‍යය කප්ලක්‍ෂයක් ඇතුළත සාක්ෂාත් කොට මා වැනි ස්ත්‍රියකගේ අනුබලයෙන් පුරා නිමවා ගත් අධික වූ වීර්‍ය්‍ය ඇති බුදු රජාණෙනි! නුඹ වැනි බුදු කෙනකුන් ඉදිරියෙහි පෙළහර පානාවූ මම දෙවි-බඹ කෙනකුන්ගෙන් උපදෙස් ලත් අනික් ඍද්ධිවන්ත කෙනෙක් නො වෙමි, නුඹ වහන්සේ පෙර සිද්ධාර්ථකුමාරයෝ ය යි දඹදිව ප්‍රසිද්ධ ව, ශක්‍ර දේවේන්‍ද්‍ර ලීලාවෙන් රාජ්‍යය කරන කල, සයානූලක්‍ෂයක් පුරස්ත්‍රීන්ට නායක ව අග්‍ර මහිෂිකා වූ යශෝධරා දේවී නම් මම ය.

එ කල: රූපයෙන්-යෞවනයෙන්-කුලයෙන්-යශසින්-ආචාරයෙන් අග්‍ර වූත් ස්ත්‍රීසමූහයා දිව්‍යාඞ්ගනාවක දුටුවා සේ මා ම වඳිති, පුදති, සත්කාර කෙරෙති. මේ ලෝකයෙහි බුදුන් විනා රූපයෙන්-යශසින් මට වඩනා සත්ත්‍ව කෙනෙක් නැත, එසේවූ සැපත් හැර මමද ස්වාමිදරුවන් සමීපයෙහි මහණ ව උපදෙස් වූ පරිද්දෙන් විදර්ශනා වඩා අමාමහ නිවන් දුටිමි. රහත්වීමි. කෙලෙසුන් ගෙවීමි, කෙලෙස් මුහුදු පිනීමි, කෙලෙස් සතුරන් දුරුකෙළෙමි, සංසාර සාගරයෙන් ගොඩ නැංගෙමි, මතු ජාතියෙක නො උපදිමී, අනිත් පුරුෂයක්හට භාර්යා නො වෙමි. අසාධාරණ වූ ඍද්ධි ලදිමි, විශේෂ වූ දිවකන් ලදිමි, විශේෂ වූ දිව ඇස් ලදිමි, අසංඛ්‍යගණන් ජාති දන්නා නුවණ ලදිමි. වැළි දැන් මා විසින් දක්වනලද නුඹවහන්සේගෙන් දෙවා වදාළ කිසියම් ඍද්ධිබලයක් බලා වදාළ මැනවැ”යි සිංහනාද කොට තමන් වහන්සේ වූ පවත් මහපිරිසට හඟවාලා බුදුන්ගේ ශ්‍රී පාද පද්මයට බස්නා රාජහංසධේනුවක සේ නොහොත් ශ්‍රී පාද පද්මයට බස්නා ශ්‍රී කාන්තාව සේ, බුදුන්ගේ ශ්‍රීපාද වැඳ අවසර ඉල්වාගෙන ධ්‍යානයෙන් ධ්‍යානයට සමවැද වැද ආකාශයට තලක් නැඟී බැස බුදුන් වැඳ, එසේ ම දෙ තලෙක, තුන් තලෙක, සතර තලෙක, පස් තලෙක, ස තලෙක, සත් තලෙකැ යි සත්‍වාරයක් ආකාශයට නැඟී බැස සත් වාරයක් බුදුන් වැඳ වාරයෙන් වාරයෙහි:-

යසොධරා අහං වීර-අගාරෙ තෙ පජාපති,

සාකියම්හි කුලෙ ජාතා-ඉත්‍ථියඞ්ගෙ පතිට්ඨිතා-යි.

යන මේ ගාථාවෙන් සත් වාරයක් සිංහනාද කොට, නැවත සියක් තල, දහසක් තලෙක, සුවහස් තලෙකැ යි යනාදීන් නැඟි නැඟී බැස බැස, නැවත නැවත බුදුන් වැඳ වැඳ; තව ද: ආකාශයට නේ සුවහස් තල පමණ නැඟී පුන්සඳක් සේ සියලු සතුන්ට පෙනි පෙනී සිට සියලු සත්හු ම මා දකිත්ව යි අධිෂ්ඨාන කොට “දෙවියනි! බඹුනි! යශෝධරා ස්ථවිරී නම් මම ය, අද බුදුන්ට මා විසින් කරන ප්‍රාතිහාර්‍ය්‍ය පූජා දක්නට එව”යි දසදහසක් සක්වළ දෙවියන් ඇසෙන සේ අඬගෑ දෑ ය. එ තෙපුල් දස දහසක් සක්වළ මුළුල්ලෙහි සැටදහසක් කාමාවචර දිව්‍යලෝකවල දෙවියන්ට ඇසී ගිය, එක් ලක්‍ෂ පනස් දහසක් බඹලොවට ද ඇසී ගිය. එ වේලෙහි දසදහසක් සක්වළ දිව්‍ය බ්‍රහ්ම සෙනාව මොහොතක් කලින් දිව අවුත් නළෙක තුඹු සුණු පිරුවා සේ අහස්කුස් පුරා බඹලොව දක්වා ගැහැටි ගැහැටී සිටියහ. ඒ මධුර වූ නාදය කන හුණු මුළු දඹදිව සියලු ස්ත්‍රී පුරුෂයෝම අහස් බලා පුන්සඳක් සේ වැඩසිටි උන්වහන්සේ විශේෂයෙන් දැක දොහොත් මුදුන් දෙමින්. සාධුකාර දෙමින්, ඒ ඒ ගම් නියම් ගම් රාජධානි ප්‍රත්‍යන්ත දේශවල ද තමන් තමන්ගේ දොර දොරවල ම සිට බලති.

එ වේලෙහි උන්වහන්සේ ආකාශයෙහි පෙනි පෙනී සිට තේජොකසිණ සමාපත්තියට සමවැද-සියලඟින් දුම් කඳු හැර මුළුලෝ දුමවා, සියලඟින් ගිනිකඳු හැර මුළුලෝ ගිනි පුලිඟුයෙන් පුරා “මම ය, අනිකෙකිම් නොවෙමි, බුදුන් ගිහිගෙයි වසන කල ප්‍රජාපතී වූ රහල් තෙරුන් මවු වූ, යශෝධරා නම් ස්ථවිරීමි”යි හඬගා කියා මුළුලෝ සාධුනාදයෙන් පුරවමින් නැවත කලක් පෙනි පෙනී සිට කලක් අන්තර්ධාන වන දෑ ය. නැවත එක මෙහෙණිනි රූපයෙන් විකුර්‍වර්ණ වූ සෘද්ධි දක්ව දක්වා එක කොපුයෙන් සුවහස් කඩුපත් හයා පානා සේ, නේසුවහස් එක්වැනි වූ මෙහෙණිනි වෙස් මවා මුළු සක්වළ පුරා සිටුවා ඒ සා මහත් භික්ෂුණී පිරිසක් ලවා “මමය, බුදුන්ට පාරමිතා සාදා දුන් යශෝධරා ස්ථවිරීමි”යි තුඩ තුඩ කියවා තුන්ලොව එක කොලාහළ කළ සේක. එ කෙණෙහි සියලු දෙවි මිනිසුන් දුන් සාධුකාරයෙනුදු මුළු ලොව එක කොලාහල වී ය.

නැවත “මාගේ බුදුන්ට ගරුඬ විතානයෙකින් පූජාවක් කෙරෙමි”යි සිතා මෙරගල සා ශිඛාවෙකින් හා සඳමඬුලු සා ඇස්සඟළෙකින් හා සක්වළ ගල සා මුඛ තුඩකින් හා පූර්‍වවිදෙහි දිවයින සා දකුණු පියා පතකින් හා අපරගොයාන දිවයින සා වම් පියාපතකින් හා ජම්බුද්වීපය සා ශරීරයෙකින් හා උතුරුකුරු දිවයින සසා ඉසකින් හා මහ ගුරුළු වෙසක් මවා දෙපියායෙන් මේ සා මුළු සක්වළ සිතියම් වියනකින් වැසුවාසේ අතුරු නොදී වසා සිට, සියක් යොදුන් මහ දඹගස මුලිනුපුරා හයාගෙන වල්විදුනාවක්සේ බුදුන් ඇඟට සල සලා මොහොතක් කල් සුවඳ මඳ පවනින් බුදුන් ඇඟට සුව පහස් දෙවමින් මහත් වූ ගරුඬ නාදයෙන් තුන්ලොව වෙවුල්වා “මම ය, සත්‍වයෙනි! දිව්‍යනාගරාජයෙනි! ගරුඩරාජයෙක් නො වෙමි, භය නො ගන්ව, යශෝධරා මහාස්ථවිරීමි”යි හඬගා කී දෑ ය. එ කෙණෙහි දු මහ පිරිස සාධුකාර දුන්හ.

එ පෙළහර හැර නැවත දහස් සුවහස් යොදුන් අහස්කුස වසා සිටිනා තරම් දිව්‍යහස්ති රූපයක් මවා මුළුලොවට පෙනි පෙනී සිට ශක්‍රපුරයට අත දිගු කරලා පරසතු මඳාරා ගස හයාගෙන බුදුන් සිරසට මල් සේසතක් සේ කෙරෙමින් මොහොතක් කල් සිට, නැවත බුදුන් ඇඟට මලත්තක් සේ සලා මල් සුවඳින් බුදුන් පුද පුදා එ කෙණෙහි මහපිරිස අහෝ! සාධු අහෝ! සාධුයි එකපැහැර සාධුකාරදී හිමි නුඹ කවුරුදැයි විචාළ කල “මමය, අනිකෙකිම් නොවෙමි, ගෞතම නම් බුදුරජාණන් ගිහිගෙයි වසන කල ප්‍රජාපතී වූ එක්තරා කුලස්ත්‍රියකිමි, බුදුන්ගෙන් මා ලද කිසියම් ගුණ ලවයක් බලව”යි කියා තුන්ලොවට ඇසෙන සේ මහත් වූ කුඤ්චනාද කොට, තුන්ලොව වෙවුල්වා හස්තිමාන නම් වූ පූජාවක් කළ දෑය. එ කෙණෙහි දු මහත් වූ සාධුකාර පූජා විය.

නැවත එ පෙළහර හැර එසේ ම මහත් වූ දිව්‍ය අශ්ව රූපයක් මවා සක්වළගල සිසාරා ය, යුගන්‍ධරාදි සත්කුලපව්වන් සිසාරා යයි සුවහස් වාරයෙහි ආවර්තනය කරවා නැවත ක්‍ෂණක්‍ෂණයෙහි මුළු සක්වළ කුස එක අශ්වරූපයෙන් බැලු බැලු දිග්හි අපමණ වූ අශ්ව සේනාව දක්ව දක්වා, නැවත එකරූපයෙන් සිට මුළු ලොවට ඇසෙනසේ හෙෂාරව කෙරෙමින් “මම ය, දෙවියෙක් බඹෙ‍ක් නො වෙමි, යශෝධරා ස්ථවිරීමි”යි හඬගා කියා දිව්‍ය මනුෂ්‍යයන් ලවා සාධුකාර දෙවු දෑ ය.

ඒ පෙළහර හැර එම මෙහෙණිනි වෙසින් පෙනී “සත්ත්‍වයෙනි! කල්පාන්ත වාතයෙහි මහා පර්‍වත රාජයන් ආකාශයට නැඟෙන ලෙස්, ඉන් ඊ ගැසී සුණු විසුණු වන ලෙස්, පුලුන් පෙද සේ බමන ලෙස්, මාගේ බුදුහු සද්ධර්මයෙන් තොපට දක්වා වදාළ සේක. මම ඍඬිබලයෙන් දැන් එ ගෙන හැර පාමි, සිත් සේ බලව යි කියන්නාක්හු මෙන් අහස්කුස කල්පාන්තවාතය සේ මහාවාතමණ්ඩලයක් මවා මහා පර්‍වතරාජයන් පොළොවින් නැඟී, ඉන් ඊ ගැසි ගැසී සුළං වේගයෙන් ඒ ඒ දිග්හි ඇවිදිනා ලෙස්, පෙයාපත් සේ පුලුන් පෙද පෙද සේ බමන ලෙස්, දක්වා මහපෙළහරක් පෑ බුදුන් පිදු සේක. එවේලෙහි දු මුළු ලෝ විස්මයපත් විය.

නැවත ඒ පර්‍වතයන් අන්තර්ධාන කොට අහස්කුස මහා සමුද්‍රයක් මවා, සුවහස් රළපතර මවා, දහස් සුවහස් යොදුන් දිව්‍ය මත්ස්‍ය රූපයක් මවා, ඔහු කන්පත් වරල්පත් ලෙළවමින්, මහමුහුද ඇවිදිනා ලෙස් දක්වා, ඔහු ක්‍ෂණක්‍ෂණයෙහි ඇවිදවීමෙන් මහ මස් රළ සේ දක්ව දක්වා, ජලරාජ නම් වූ ඍද්ධි පූජාවක් කළදෑ ය. එ වේලෙහිදු මුළු ලෝ විස්මය පත් විය.

නැවත “සත්ත්‍වයෙනි! දහවල් තරු පිරිවර සඳක් දුටු විරූදැ”යි කියාලා උනුපනස් යොදුන් සඳමඬල මවා, සිසාරා මඬුලු මවා, රාජ ග්‍රහතරු අට හා නක්‍ෂත්‍ර තාරකාවන් සත්විසිදෙනා හා පාදයන් අටතුරාසියක් දෙනා හා රාසිග්‍රහයන් දොළොස් දෙනා හා යනාදි වූ සුවහස් ගණන් තරු මවා, අසමාන වූ චන්‍ද්‍රන්ද්‍රවිමාන නම් ඍද්ධි පූජාවෙකින් බුදුන් පුදා “ස්වාමීනි! මේ පෙළහර කරන නුඹ කවුරු දැ”යි දැන දැන ම තමන් වහන්සේගේ සිංහනාද අසන පිණිස දිව්‍ය මනුෂ්‍යයන් හඬගා විචාළ වේලෙහි “සත්ත්‍වයෙනි! මම ය, සඳදෙවියෙක් නො වෙමි, ගෞතම නම් බුදුරජාණන්ගේ පාරමිතා නමැති කෞමදයන් පුබුදු කරවා දීලු යශෝධරා චන්‍ද්‍රිකාවෝ නම් මමය”යි තුන්ලොවට ඇසෙන සේ හඬ ගා කී සේක. එවේලෙහි උපන් සන්තෝෂයෙන් තුන්ලෝ පුරා සිටි දිව්‍ය මනුෂ්‍ය ස්ත්‍රී සෙනගෙන් “මම ද බුදුවන මහතක්හට ම පාදපරිචාරිකා වෙම්ව යි මෙ බඳු වූ ශ්‍රීයෙක්, මෙබඳු වූ පෙළහරෙක්, මටත් වේවා” යි කිය කියා ප්‍රාර්ථනා නො කොට සිටි එක ද ස්ත්‍රියක් නැතැ යි සිතමි, සියල්ලෝ ම එක පැහැර පතමින් සාධුකාර දුන්හ.

නැවත ඒ පෙළහර ද හැර පනස් යොදුන් හිරිමඬල මවා, දහසක් රසකඳු දසදිග විහිදුවා “සත්වයෙනි! මම ය සූර්‍ය්‍ය දේවතාවා නොවෙමි, යශෝධරා ස්ථවිරීමි”යි හඬ ගා කියා සියලු සත්‍වයන්ගේ මුඛපද්මයන් ප්‍රබෝධ කරවා බුදුන්ට සූර්‍ය්‍යවිමාන නම් වූ අසමාන වූ ඍද්ධිපූජාවක් කළසේක.

නැවත එක්ලක්‍ෂ අටසැටදහසක් යොදුන් උදුන් උස මහමෙර මවා මෝරුමතක් පෙරලන්නා සේ එ පිටින් මෙ පිට පෙරළ පෙරළා සතර දිග සතර වර්ණය වෙන වෙන ම දක්වා සිසාරා සිටි සත්සයුරු සත් කුලපව්වන් වෙන වෙන ම දක්වා මහත් වූ ඍද්ධි පූජාවක් කළ සේක.

නැවත එ පෙළහර හැර “සත්‍වයෙනි! මාගේ බුදුහු ශක්‍රයාගේ සම්පත් තොපට සද්ධර්‍මයෙන් දැක්වූ සේක, දැන් මම ද තොපට ඍද්ධිබලයෙන් දක්වම්, බලව”යි කියන්නාක් මෙන් මොහොතක් කලින් ඔහුගේ ශක්‍රපුරයෙහි දහසක් රුවන් දොරටු ය, දෙසිය පනසක් රුවන් පවුරු ය, නොයෙක් උයන් පොකුණු ය, වෛජයන්ත ප්‍රාසාද ය, සුධර්මා නම් දිව්‍යසභාව ය, යනාදී වූ නොඑක් කර්මාන්ත විශේෂයෙන් විශේෂ වූ ශක්‍රපුරය දූත ඵලකයෙක සදා තුබු දු ඉත්තන් පානා සේ නිර්‍මල කොට දක්වා, නැවත ඔහු දෙවඟනන් පිරිවරා පාණ්ඩුකම්බල ශෛලාසන පැනනැඟී හුන් ලීලා ය, දිවපිරිස් පිරිවරා සුදර්ශන නම් රන්වීථියෙහි නිකුත් ශ්‍රී විභූතිය, තෙතිස්කුඹෙහි වෙන වෙන මැවු දළින් හා දළෙහි මැවු දිව පොකුණෙන් හා පොකුණෙහි මැවූ පියුම් ගසින් හා ගසෙහි මැවූ පියුමෙන් හා පියුමෙහි පියුමෙහි මැවු පෙති පෙත්තෙන් හා පෙත්තෙහි පෙත්තෙහි බැස නටන දිව්‍යාඞ්ගනා පෙළින් හා සැදුම් ලද ඵෙරාවණ නම් දිව ඇත් රජහු පැන නැඟී දෙදෙව්ලොව දෙවියන් ගෙන ඔහු නඳුනුයන් නිකුත් දිව්‍යශ්‍රීදැයි යනාදි වශයෙන් ශක්‍රයාගේ රූපය මවා පෑ සේක. එකෙනෙහි එතැනට රැස්වූ දසදහසක් සක්වළ දසදහසක් ශක්‍රදේවේන්‍ද්‍රයෝ “කොල! මූ කොයි ශක්‍රයෙක් දැ” යි අපටත් වඩනා ශක්‍රෙයකැ යි කිය කියා දොහොත් මුදුන් දී වැඳ සාධුනාද පූජා කළහ.

එවේලෙහි “සත්වයෙනි! මම ය, ශක්‍රයෙකිම් නොවෙමි, තමන් මවු කුසින් උපන් වේලෙහි පවා දසදහසක් ශක්‍රදේවේන්‍ද්‍රයන් අතින් වැඳුම් ගත්තා වූ ගෞතම නම් බුදුරජාණන් ගම වසන කල අග මෙහෙසීන් වූ යශෝධරා දේවිමි”යි හඬගා කී සේක. එ වේලෙහි මුළු ලොව සාධුනාදයෙන් ඒක නින්නාද වීය, මම ද බුදුවෙම්ව යි ප්‍රාර්ථනා නො කළ එක ද පුරුෂයෙක් නැතැයි සිතමි, මම ද බුදුකෙනෙකුන්ට සසර ප්‍රජාපතී වෙම්වයි නොපතා සිටි එක ද ස්ත්‍රියක් නැතැ යි සිතමි, ඒ සන්තෝෂයෙහි නුවන් නො තෙමු එක ද පෘථග්ජන කෙනෙක් නැතැ යි සිතමි.