මේ නිෂද්‍යදෝෂ අට නම් බුදුන්ට මතු නො වෙයි, සියලු උත්තමයන් සමීපයෙහි හිඳ කථා කරන්නක්හු විසින් දුරුකළ යුත්තේම ය. එ දා මෙසේ ඒ අජාසත් රජ්ජුරුවෝ ද බුදුන් සමීපයෙහි එකත් පස් ව හිඳ පැන විචාරන්නට අවසර ඉල්වූවාහුය. එ කල “මහරජ තා සිතට වැටහුණු යම් පැනයක් විචාර, මම ඒ තට කියමි”යි සර්‍වඥප්‍රචාරණයෙන් පැවරූ සේක.
එ කල රජ්ජුරුවෝ බුදුන් අතින් අවසර ලදින් කියන්නාහු ස්වාමිනි! මේ ලෝකයෙහි සත්වයෝ හස්තිශිල්ප අශ්වශිල්ප රථ ශිල්පාදි නො එක් ශිල්ප නිමවා දැනගෙන, ඒ ශිල්ප බලයෙන් රජ යුව රජ මහ ඇමතියන් පහදාගෙන ධන උපදවා ගෙන, ඒ ධනයෙන් අඹුදරුවන් රකිති, නෑයන් මිත්‍රයන් රකිති, තුමූත් සුව විඳ රැකෙති, එම ධනයෙන් පින් කොටගෙන පරලොවත් සුව විඳිනාහු ය: එසේ හෙයින් ශිල්ප දත්තාහට මෙ ලොවත් සුව ම ඇත; පරලොවත් සුව ම ඇත, නුඹ වහන්සේගේ ශාසනයෙහි ශීල නමැති ශිල්පය හදාරා, මහණධම් පුරන්නා වූ භික්ෂූන්ට පරලොව දිව්‍ය සම්පත් බ්‍රහ්මසම්පත් මොක්‍ෂසම්පත් ලැබේ ම ය; මෙ ලොව එක් වේලේ සයින් හොවිති, දොරින් දොර පිඬු සිඟති, රුක්මුල් සුසානා දියෙහි ශීත සුළං මැසි මදුරු ආදීන් පීඩා විඳිති, හුණු කැමැති කල සිහිල් ලැබෙති, සිහිල් කැමැති කල හුණු ලැබෙයි, අඹුවන් නැතියහ, දරුවන් නැතියහ. දිවිහිමියෙන් එකලා ව වෙසෙති, මෙසේ මහණධර්‍ම පුරන්නාහු මෙලොව මහත් වූ දුක්ම ගනිති, පරලොව සුව විඳිති, එසේ හෙයින් නුඹ වහන්සේගේ ශාසන ශිල්පය ඉගෙන වසන්නවුන් මෙ ලොව දී ලබන්නාවූ සුවයෙක් ඇද්දැ” යි විචාළෝය.
ඉක්බිත්තෙන් බුදුහු “මේ රජු හා සමඟ මෙ තෙනට ආ මිථ්‍යා දෘෂ්ටි ගතුවෝ බෙහෙව, පළමුකොට උන්ගේ මානය බිඳ සන්හිඳුවාලා පසුව මෝහට මේ පැනය කියමි”යි සිතාලා “මහරජ! තා විචාළේ පැනයෙක් ම ය, පෙරත් මේ පැනය මහණබමුණන් අතින් විචාළවිරී දැ”යි වදාළ සේක. රජ්ජුරුවෝ කියන්නාහු “ස්වාමීනි! නුඹවහන්සේ අතින් නො විචාළ බව මුත් අපි බුදුම්හ, අපි බුදුම්හයි කියා ඇවිදිනා පූරණකාශ්‍යපාදි නිවටුන් සදෙනා අතින් ම විචාළෙමි, ඔහු මේ පැනය මා විචාළ කල අස් කාගේ දැ යි විචාළ කල, ගොන් වන්නක් කාගේ යයි කියන්නා සේ, සඳ නැංගේ දැ යි විචාළ කල මා ආයේ පිටි මඟ යයි කියන්නාසේ “අම්බං පුට්ඨො - ලබුජං බ්‍යාකරොති” යනු හෙයින් මා විචාළ දෙය හැර පියා අනික් තමන් සිතු සිතූ දෙයක් ම කියන්නාහු ය, එ වේලෙහි මම කිපී මේ කොල්ලන් මරවමි”යි සිතා අසුවල් රජ තමාගේ නුවරට ගියා වූ මහණ බමුණන්ට අනාදර කෙරෙයි කියා නුගුණ සැල වේ දෝ හෝ යි යන භයින් නො මරා හැරපීමි”යි කීවාහුය. එ කෙණෙහි නො එක් ලබ්ධි ගත්තාවූ මිථ්‍යාදෘෂ්ටි ‘නයින්ට විෂමුල් පෑවා සේ’ භයගෙන නිශ්ශබ්දවූහ. ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ “ස්වාමීනි! මහණම් ඵල මට වදාළ මැනැවැ”යි කීහ.
බුදුහු වදාරණසේක් “මහරජ, තා අතින් ම විචාරමි; තාගේ එක් කීකරු වූ ගැත්තෙක් තට මෙහෙ කොට විඩා ව පියා, ‘මේ රජත් මිනිස, මමත් මිනිසිමි, මේ රජ දිව්‍යයකු වැනියේ ය, මහපිරිස් ඇතියේ ය, මහ රට ඇතියේ ය, පඤ්චකාමගුණයෙනුත් මෙම අග්‍ර ය, මාත් දන් පින් කොට මේ රජු හා සම වුව මැනැව, ඉදින් දිවි හිමියෙන් දන් දෙම් නම් මොහු එක දවසක් දුන් දන් සියක් වන කොට්ඨාසයකුත් දීලිය නො හෙමි, එසේ හෙයින් දන් දී මොහු ජය ගත නො හෙමි, මොහු දිවිහිමියෙන් දුන් දානඵලයට එක දවසක් රක්‍ෂා කළාවූ ශීල ඵල මහත එසේ හෙයින් සිල් රක්‍ෂා කොට මෝ හට වඩා පින් රැස් කෙරෙමි’යි සිතාලා මාගේ සසුන් වැඳ මහණ ව, ශීල නමැති ශිල්පය නිමවා දැනගෙන අපිස් සතොස්ව, ගුණධර්‍ම පුරනුයේ වී නම් එ කල තෝ වනාහි “මාගේ අසුවල් කොලු අවුදින් මට මෙහෙ කරන්නේ ය”යි කිය යි ද, නොකිය යි දැ” යි විචාළසේක. රජ්ජුරුවෝ කියන්නාහු “ස්වාමිනි! ඕහට මේ කියන්නා තබා ඔහු උස ඉඳුවාලා වඳුම්හ, පුදම්හ, සිවුපසයෙන් දන් දෙම්හ””යි කීහ. මහරජ! තෝ තාගේ කොල්ලාට ඒ සා සත්කාරයක් ශීල ශිල්පයාගේ බලයෙන්කෙරෙයි නම් මෙම ජාතියෙහි ඔහු සුව විඳිනේ වේ දැ යි වදාළ සේක.
.
රජ්ජුරුවෝ “ස්වාමිනි! මෙම ජාතියෙහි ඔහු විඳිනා සුවම යැ”යි කියා තුන්යලක් සාධුකාරදී “ස්වාමිනි! මෙම ජන්මයෙහි අනික් සුවයක් ම හා දැක්විය හෙද්දැ”යි විචාළහ. බුදුහු “මහරජ! ඒ පැනයත් තා ම විචාරමි. තාගේ කිරියක් සානා ගොවියෙක් තට උපයා විඩා ව පියා එසේම තා කෙරෙහි අභිමානකොට මාගේ සසුනයෙහි මහණව සිල්වත් ව ගුණ පුරා නම් එකල තෝ “මාගේ අසුවල් ගොවියා අසු වල් කිරය සානේ, කිරිය සා මට වී දෙන්නේ’ යයි කියා එලවයි ද, නො එලවයිදැ”යි විචාළසේක. රජ්ජුරුවෝ කියන්නාහු “ස්වාමිනි ඔහු අතින් වී එලවන්නා තබා ඕහට අපගේ වීත් දැන් දෙම්හ, වඳුම්හ, පුදම්හ, සත්කාර කරම්හ”යි කීහ. මහරජ! මාගේ සසුන් වන්නවුන් මෙම ජාතියෙහි විඳිනා මෙයිත් එක් සුවයෙක් වේ දැ යි වදාළ සේක.
රජ්ජුරුවෝ “ඒකාන්තයෙන් මීට වඩනා සුව විඳීමෙක් නැතැ”යි සන්තුෂ්ටව තුන් යලක් සාධුකාර දී “තව ද: ස්වාමීනි” පැවිදි වූවන් මෙම ජාතියෙහි විඳිනා සුව ඇද්දැ” යි විචාළහ. ඉක්බිත්තෙන් බුදුරජාණෝ “ඉධ තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධො” යි යනාදීන් ක්‍රමයෙන් බුද්ධෝත්පාදයෙහි පටන්ගෙන අර්හත්ඵලය කෙළවර කොට ආකාශගඩ්ගාව ගෙනහැර දක්වන්නා සේ ධර්‍ම දෙශනා කොට “මහරජ! මෙම ජාතියෙහි විඳිනා ශ්‍රාමණ්‍යඵලයට වඩනා අනික් උතුම් ඵලයක් මේ ලෝකයෙහි නැතැ”යි වදාළ සේක. ඒ අජාසත් රජ්ජුරුවන් පැන විචාළ පරිදිත් බුදුන් විසඳු පරිදිත්, දික්සඟියෙහි ශ්‍රාමාණ්‍යඵලසූත්‍රදේශනාව කළ පරිද්දෙන් බලා දතයුතු.
එ දා රජ්ජුරුවෝ නැවත නැවත සාධූකාර පූජා කොට කොට ආදි මධ්‍යාවසානය සකස් කොට බණ අසා “ස්වාමිදරුවාණෙනි! මෙතෙක් දවස් බොහෝ මහණ බමුණන් දැක දවසෙක පෑර සාලැටක් නො ලබන්නා සේ සාරත්‍වයක් නො ලද්දෙමි, නුඹවහන්සේගේ ගුණ සම්පත්තිය ඉතා මහත, පහන් දහසක් ආලෝක දුන්නා සේ මාගේ නුවණ පහන ඉතා ප්‍රසන්න කොට වදාළ සේක. අද වනාහි අමා පිරූ කළයක් සේ නුඹවහන්සේගේ ගුණ පිරුණා වූ ශරීර ඇතියෙමි, බොහෝ දවසක් සැඟවී තුබු නිධානවස්තුවක් මට පෑවා වැනි සේක, අඳුරු ගෙයෙක ප්‍රදීප සහස්‍රයක් දැල්වූවා වැනි සේක, මුණින් නමා තුබූ වස්තුවක් මතු බලා තුබුවා වැනි සේක, අද පටන් ජීවිතය හරිම් නමුත් තුනුරුවන් සරණ නො හරිමි. ඉදින් යමෙක් සියුම් වූ කඩුවකින් හිස කපා නමුත් බුදුන් නො බුදුනැයි නො කියමි. දහම් නො දහමැයි නො කියමි, දැන් ම මා නුඹවහන්සේගේ සරණ ගිය බවත්, අද පටන් උපාසක වූ බවත් නුඹවහන්සේට මා කප්පියකාර වූ බවත්, දැන වදාළ මැනව. අද පටන් මාගේ මේ තුන්සියක් යොදුන් අඟුමගධ දෙරට හා රජගහා නුවර මෙ හැම රජ සැපත තුනුරුවන් විෂයෙහි දානපරිත්‍යාගයට පූජාකෙළෙමි” යනාදීන් කිය කියා මා කළ වරද ක්‍ෂමා කළ මැනැවැ යි දොහොත මුදුනෙහි බැඳගෙන බුද්ධදර්ශනයට විෂය තාක් තැන් බුදුන්ට පිටි නොපෑ පසු බැස බැස ගොස් දර්ශනාවසානයෙහි සිට තුන් යලක් පසඟ පිහිටුවා වැඳලා ස්තුති කොට රජගෙට ගියෝ ය.