තවද: දෙවිදත් “බුදුන් කෙසේ පිටි දකිම් දෝ හෝ” යි උත්සාහ කරනුයේ අනික් උපදෙසක් දැක එ දවස් අජාසත් රජහු කරා පලා ගොස් නිකට අත් තබා ශෝකාතුර ව සුසුම් ලලා මුහුණ බුමාගෙන සිටියේ ය. මේ කාරණ දුටු රජහු විසින් “ස්වාමීනි! නුඹට කුමන ශෝකයෙක් දැ”යි විචාළහ. දෙවිදත් කියනුයේ “මහරජ! තොප සිත ඇත්ත සෑදින, අප පින් මඳ හෙයින් අප සිත ඇත්ත නො සෑදෙයි, තොප ඇතත් නැත්තා හා සමවුව, බුදුන් මරවාපිය නො හෙන කළ තොපගෙන් අපට කම් කිම් දැ”යි කී ය. එ බසට “නුඹ කළ කළ දෙයින් බුදුන්ට වැඩ වන බවක් මුත් අවැඩක් වන්නා නැත. තවත් කීවක් කෙරෙමි”යි කී කල “යහපත උපදෙසෙක් ඇතැ”යි කී ය. එ බසට රජ්ජුරුවෝ සිනාසී “වහන්ස! නුඹගේ උපදෙසෙහි කෙළවරක් නැත, තවත් බුදුන්ගේ ම පින් මහිමයක් දක්වා පියන උපදෙසෙක් දැ”යි කීහ.
දෙවිදත් “මීට වඩනා උපදෙසෙක් නැත, තොපගේ නාලාගිරි නම් මතැත් චණ්ඩ ය, පරුෂ ය, කාරණාකාරණ නොදන්ති. බුදුන්ගේ රූ විභාග නො දන්ති, දහම්හි රස නො දන්ති. තිරිසනු හෙයින් බුදුහු ඔහු නිවන් දක්වාගත නො හෙති, ඔහු මට පාවා දුනු නම් බුදුන් මරවා ගනිමි”යි කීය. රජහු යහපතැයි ගිවිස ඇත් ගොව්වන් තමහට පාවා දුන් කල්හි එම විට ම ජ්‍යෙෂ්ඨ ඇතරුවා අත අල්ලාගෙන රජගෙන් පිටත්ව, “තෝ මා සිතුවා සාදා දීලී නම් අප රජහුගේ සේසත හැර තා කැමැති සැපතක් ඉල්වා දීලමි”යි කීය. “නුඹ කී යම් ම දෙයක් කෙරෙමි යි වදාළ මැනැවැ”යි ඔහු කී කල “එසේ වී නම්, මට සිත ඇත්තෙහි නම්, බුදුන් ගෙට සිඟා වීථියට එන වේලාවට තාගේ නාලාගිරි නම් මතැතු මෙ තෙක් දවස් පොවන රා අට කළයට දියුණු කොට සොළොස් කළයක් රා පොවා, ඇත්කොහොලින් ඇන කෝප උපදවා බුදුන් ඉදිරියට මෙහෙයා බුදුන් මරවාලය”යි කී ය. එ බසට ඇතරුවා හා පන්සියක් ඇත්ගොව්වෝ යහපතැයි ගිවිස “සෙට අපගේ බල බැලුව මැනැවැ”යි වාසි කීහ.
එබසට දෙවිදත් සමාධි ව ඔවුන්ම අත්ලස් දී මෙසේ සංවිධාන කොට ගියේ ය. මෙ බස් ක්‍රමක්‍රමයෙන් මුළු නුවර සැල ව ගියේ ය. මනුෂ්‍යයන් අතින් භූම්‍යස්ථ දෙවියන් කරා ගියේ ය. ඔවුන් කෙරෙන් ආකාශස්ථ දෙවියන් කරා ගියේ ය. ඔවුන් කෙරෙන් වරම් රජදරුවන් කරා ගියේ ය. මෙම ක්‍රමයෙන් සදෙවුලෝ වැසි දෙවියෝ ඇසූහ. පසළොස් බඹලොව බ්‍රහ්මයෝ ඇසූහ. මෙසේ තුන්ලෝ වැසි දෙවියෝ දෙවිදතුහු සෙට කරන සොරකම අද ම අසා “අප බුදුන්ගේ සෙට මහත් වූ බුද්ධ ශ්‍රී විභුතියක් පහළ වෙයි මනෝහර වූ දේශනාවකු දු වෙයි” යනාදීන් කිය කියා උත්සවයට පටන් ගත්හ. ඉක්බිත්තෙන් සැදැහැ ඇතියෝ පස්වරු බුදුන් කරා ගොස් වැඳ “ස්වාමිනි! දෙවිදත්හුගේ ප්‍රයෝගයෙන් සෙට නුඹ වහන්සේ සිඟා රාජවීථියට බට කල නාලාගිරි නම් මතැතු නුඹ කරා මෙහෙයෙති යි යන බසෙක් සැල විය. ගැත්තවුන්ට අනුග්‍රහ කොට සිඟා නොවැඩිය මැනව, වෙහෙරට ම දන් බාම්හ'යි ආරාධනා කළහ.
එ වේලෙහි ස්වාමිදරුවෝ “සෙට බොහෝ දෙනාට වැඩෙක් වන වනැ යි, බුදුන්ගේ මහත්වූ ආනුභාවයෙක් බොහෝ දෙනා දක්නා වනැ යි, පෙර මා සසර හස්ත්‍යාචාරී ව පසේ බුදුන් දැක කෙළි නිසා ඔබ කරා ඇතු මෙහෙයා භය ගන්වා කළා වූ ක්‍රීඩා පාපය ද සෙට විපාක දී නිමන දවසෙක් වනැ”යි සිතා වදාරා “ඊට නිහඬ අපි දන්නමෝ වේදැ”යි වදාරා “තෙපි යව”යි උපාසකවරුන් යවා තමන් වහන්සේගේ පඤ්ච මහා බුද්ධකෘත්‍යයෙන් ඒ දිනය අතික්‍රාන්ත කොට උදය කළමනා සියලු බුද්ධකෘත්‍යය සම්පාදනය කොට ගන්‍ධකුටියෙන් ප්‍රවිෂ්ට ව, රත්මෙරක් සඳවලාගබෙකින් වසන්නා සේ තමන් වහන්සේගේ අසාධාරණ පාංශුකූල චීවරය ධරා පාත්‍ර ධාතුව ශ්‍රීහස්තයෙන් ගෙන, මහ මේගබින් නිකුත් පුන්සඳුගේ ලීලාවට අපහාස කෙරෙමින් ගන්‍ධකුටියෙන් බාහ්‍යව ගඳකිළි පිරිවෙන්හි වැඩසිට, අනඳ මහතෙරුන් වහන්සේ කැඳවා “ආනන්‍දය! මාගේ මේ වෙළුවනාරාමය පිරිවරා සිටි අටළොස් මහ වෙහෙර සඟුන් රැස්කර, අද ශ්‍රාවකයන් හා සමඟ එකමඟ සිඟා යෙමි” යි වදාළ සේක. ඒ කෙනෙහි අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් වදාළ තෙපුල් මුදුනෙන් පිළිගෙන අටළොස් මහා විහාරයට ගොස් මෙ පවත් ශ්‍රාවක ගණයාට සැලකළ සේක.
එ කෙණෙහි පන්සියක් පන්සියක් සඟපිරිස් පිරිවරා අසූ මහ සවුවන් වහන්සේ ම අවුදින් රන්මෙරක් වටා සිටගත් හිරි මඬුලු අසූවක් සේ සඳමඬුලු අසූවක්සේ බුදුන්පිරිවරා සිටගෙන ස්වාමීනි ස්වාමිදරුවන්ගෙන් අදහසක් ලදුමෝ නම් අද මේ හස්ති දමනය අපි කරම්හ, අපි කරම්හ, නන්දෝපනන්‍ද දමනයෙහි මුගලන් මහ තෙරුන් නුඹ බල පෑවා සේ ම අපි අපි දු අද නුඹගේ බල දක්වා ඒ හස්තීහු දමා පෙළහර දක්වම්හ'යි මෙසේ අසූ මහ සව්වන් වහන්සේ ම වෙන වෙන ම වාසි කියා බුදුන් අතින් අවසර ඉල්වූ සේක. ස්වාමිදරුවෝ සිංහ මුළක් බලන සිංහරාජයකු සේ ශ්‍රාවකයන් මුහුණ බලා “මහණෙනි! අද බොහෝ බුද්ධ වෙනෙය්‍යයන්ගේ මඟුල් දිනයෙක, එසේ හෙයින් තෙපි තෙපි මා හා කැටි ව එව, ප්‍රාතිහාර්‍ය්‍ය පිළිවන් වේ දැ”යි වදාළ සේක.
එ කෙණෙහි නුවර වැසියෝ දෙභාගයක් ව බෙදී මිථ්‍යාදෘෂ්ටි ගතුවෝ “අද මහණ භවත් ගෞතමයන්ට මිහිරි කථා කියා බදා ගන්නට මිනිසෙක් නො වේ දෝ ය, රා මද නැඟි ඇතෙක් දෝ ය, ඌට දහමින් කම් නැද්දෝ ය, උන්ගේ සුරුකම් අද බලම්හ, දැන් දක් පර්වතයකට හසු වූ මැසිපිලාවකු සේ ඇත් පයින් මිරිකා දමයි. දළින් ඇන අහසට දමා අනුන් දැමීමට රිසි පලවයි, අද අපගේ සතුරා සිටි දක්නා මඟුල් දවසෙකැ” යි කිය කියා කුල්මත් වූහ. සම්‍යක් දෘෂ්ටි ගතුවෝ බුදු බල දන්නා හෙයින් “අපගේ ස්වාමිදරුවන්ට ඇතෙක් නම් කුමක් කෙරේ ද, ඔබ කෙළදහසක් ඇතුන්ගේ බල ඇති වුව. මරහුගේ ගිරිමෙවුලා නම් මතැතු පවා දණ බිම අන්වා ලුහුබඳවා පුව, අද අපගේ බුදුන්ගේ මඟුල් පෙළහර දිනයෙකැ”යි කිය කියා උත්සවයට පටන් ගත්හ.
එ කෙණෙහි ම එ නුවර සියලු සත්ත්‍වයෝ වැසි ගිගුම් ගත් මහ මුහුද සේ හැළළී සිට, මැසි පිට මැසි බැඳ නැඟී එ සේත් බිම් මද හෙයින්, පවුරු අටලු සඳලු මහරුක් ගේපලවල නැඟී පොළ පොළ ව උනුන් යත යතා ගැහැටි ගැහැටී මහ වේ සිස් කොට “වතුරු දිය නැඟු කල්හි අතුරු නැති ව අතුපතුවලට නැඟී පිරී හුන් කුහුඹු කැලසේ’ ගේපල බිඳ නමා පියන්නා සේ ගහන ව සිටියහ. එ කෙණෙහි ආකාශයෙහි සිතියම් කළ වියනක් සේ තුන් ලෙවුහි දිවු දිව්‍යසේනාව ද ගැහැටි ගැහැටී සිටගත්හ. ඒ සා රාජවීථියෙහි “ඇතු දැන්දක් අරිති, දැන්දක් අරිති”යි කීය කියා එක මනුෂ්‍ය කෙනකුත් නැති ව සිස් වි ය. එකෙණෙහි සමහරු “අද බුදුහු නො වඩිත් ම ය”යි කියති, සමහරු “දැන්දක් බුදුහු වඩිති”යි කියති, සමහරු බුදුන් පෙරමඟ බලති, සමහරු ඇතු පෙරමඟ බලති.
එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ කෙසරුබර සලා දී මතැතක්හු කරා දිවන කෙශර සිංහරාජයකු සේ සතලිස් දහස් පන්සිය එකාසූවක් පමණ සංඝ සමූහයා පිරිවරා සවනක් රසින් තුන්ලෝ රැළි දෙමින්, නැඟු නැඟු පියෙහි පියුම් දක්වමින්, බැලු බැලූ දෙසෙහි සාධුකාර දෙවමින්; ශ්‍රී මුඛයෙන් නිකුත් දසනගරසින් සියලු ජනයන් කිරිමුහුද ගල්වමින් බැණ නැඟි බසින් කන කන අමා පුරවමින්, මහපෙළහරින් වැඩ වාසල් දොරට පැමිණ දකුණු ශ්‍රී පාදය ඉන්ද්‍රඛිලයෙහි තබා වදාළ සේක. එකෙණෙහි පඞ්චාඞ්ගුලියෙන් දිවු බුදුරස් කඳු පසෙක් ඇතු බඳිනට දැමූ රිදීයොත් පසක් සේ දිව මුළුනුවර ව්‍යාප්ත ව සියලු සතුන්ට බුදුන් නුවරට වන් බව පහළ කෙළේ ය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ නඛරශ්මි ජාලයෙන් පරිශුද්ධ වූ රාජවීථියට බැස මහසවුවන් පිරිවරා ගෙපිළිවෙළින් සිඟන්නට පටන්ගත් සේක.
එ කෙණෙහි ඇත්ගොවුවෝ ඇතු සොළොස් කළයක් රා පොවා මත් කොට, නියපිට ගල් ගසා කොහොලින් ඇන කුප්වා, සක් සින්නම් ඩවුර බෙර ඩහර බෙර එකවිට අතෙව මහත් වූ අර්ගල කොට ගිනිපිට තෙල් නැමුවා සේ ඇතු ඉදවූහ, එ කෙණෙහි ඇත් කල්පාන්ත ගිනිකඳක් සේ කිපී මහහඬින් ගුගුරා එක පහරින් පා මැසු දම කඩා, ඇත්හල ඇන හෙළා සුණු විසුණු කරමින් යමුඟුරෙන් පොළොව අපොළන්නා සේ සොඬ බිම ගස ගසා, කඹය කඩා සොඬ හස්සෙන් හොසවා ගෙන, ගැසූ පයින් පස්කඳු කඩා පිටට දම දමා, දුටු දුටුවන් ලුහු බඳවා හසු හසුවූවන් දළඟින් ඇන දම දමා, පවුරු කණයම් බිත්ති පදනම් ඇන දම දමා, මහසෙණක් සේ වීථිමධ්‍යයට වැද ගිය. අබෞද්ධයෝ ඇතු දිවන වේගය දැක සතුටු වන්නට පටන් ගත්හ. ශ්‍රද්ධාවන්තයෝ කුමකින් කුමක් වේ දෝ හෝ යි සැක සිතන්නට පටන් ගත්හ. පෘථග්ජන වහන්දෑ “ස්වාමීනි! මදනැඟී ඇත් දිවන්නේ ය, ඒ නුඹවහන්සේගේ ගුණ නොදත්ති, මඳක් ඇළවෙලා වැඩ සිටියොත් යහපතැ”යි කියන සේක. ස්වාමි දරුවෝ සිනා පහළ කොට මුඛයෙන් නික්මුණු දසනගරසින් සියලු වීථිය සදමින් ඇතු ඉදිරියට සන්හුන් ගුණෙන් වඩනාසේක් ම ය.
එ කෙණෙහි අනඳ මහ තෙරුන් වහන්සේ දීර්ඝකාලයෙහි තමන් වහන්සේ බුදුන් කෙරෙහි අවිනෂ්ට ව කළා වූ මහ පෙම් වතුරු රඳවා ගත නොහී දෑස් පිරුණු කඳුළෙන් “මේ ඇත් මා පළමුව මරා මුත් මාගේ බුදුන් නො මරාව”යි කිය කියා ඇතුටත් බුදුන්ටත් මධ්‍යයෙහි ගොසින් සිටගත් සේක. බුදුහු “ආනන්‍දය! ඇළ ව යා, ඇළ ව යා, ඇතෙක් මට කුමක් කෙරේ ද, තා බොළඳ ඇයි ද, මා බල නුදුටු විරී දැ”යි වදාරන සේක. බුදුන් එසේ වදාරතුත් අනඳ මහ තෙරුන් වහන්සේ ඇළ නො වන සේක් ම ය. එකෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් පොළොව කුඹල් සකක් සේ පෙරළී උන්වහන්සේ පසුකොට බුදුන් වහන්සේ පළමු කෙළේය. නැවත අනඳ මහ තෙරුන් වහන්සේ බුදුන් පළමු වූ සේ දැක ඇතු ළං වන සේ දැක, ඉදිරියට දිව බුදුන් පසුකොට පියා ඇතු ඉදිරියෙහි සිටගත් සේක. එ විට ද පොළොව පෙරළී උන්වහන්සේ ම පසු කෙළේ ය. මෙසේ ම තුන් වාරයෙක්හි ම බුදුන් පසු කොට ඇතු පෙරට වූ සේක. තුන්වාරයෙහි ම පොළොව ම සිසෑරී උන්වහන්සේ පසු කොට බුදුන් වහන්සේ පළමු කෙළේ ය.
එ කෙණෙහි ප්‍රිය පුතකු වඩාගෙන “ඇත් කෙළි බලමි”යි වීථියට බට ස්ත්‍රියක් ඇතු දිවත් දිවත් ඇතු කෙරේ කළ භයින් වෙවුලා මරණ සංඥාවෙන් පුත්‍රසංඥාව සිහිකොට ගත නොහී, බුද්ධපූජාවට මල්දමක් දැමුවා.සේ, පුතු බුදුන් හා ඇතු මැදට දමා තොමෝ කෝවේයකට වැද ගියා ය. එ කෙණෙහි කුමරු අනික් ශරණක් නො දැක බුදුන් දිසාව බල බලා මහහඬින් හඬන්නට පටන් ගත. ඇත් ගිනි කඳක් සේ කිපි කිපී බුදුන් කරා දිවනුවේ කුමරහු දැක ඔහු කරා දිවී ය. එ කෙණෙහි ස්වාමිදරුවෝ මිණිරුවනකට තුඩ දිගු කරන නාරජකු සේ කුමරහු කරා අත දිගු කරන ඇත් රජු දැක “මා පැමිණියා වූ මේ වීථියෙහි මේ මද නැඟි ඇත් කිහිඹියක ගහටා මරාපී නමුත් මාගේ කවර නම් බුද්ධානුභාවයෙක් දැ”යි සිතා වදාරා තමන් වහන්සේගේ කරුණා නමැති අකුස්සෙන් පැහැර ඇතු රඳවාලා “නාලාගිරිය! තා මේ වීථීයට හළුයේ තෙල කුමාරයා නිසා නො වෙයි, අප නිසා ය, ඌ කරා නො ගොස් අප කරා වරැ”යි වදාළ සේක.
එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන්ගේ මධුරනාද නමැති හස්ති කාන්ත වීණා නාදය ඔහු කන වැටී යාම හා සමඟ ම ඔහුගේ රාමද සිඳී ගිය, එ තෙපුල් නමැති අමාහැල්ලෙන් කෝ ගිනිකඳ නිවී ගිය. එ කෙණෙහි කුමරහු හැර බුදුන් දිශාවට කර නමා බුදුන් බලනුයේ දෙතිස් අසූ ලකුණෙන් හා සිසාරා සිටි බැමමඬුල්ලෙකින් හා ආකාශයෙහි පිපී වැනී ගිය තරුකැලයක් සේ පිරිවරා සිටිනා රහත් පෙළකින් හා පුන් සඳු සේ දිලියෙන ස්වාමිදරුවන්ගේ ශ්‍රී විභූතිය දැක, සඳරස් දුටු කුමුදු කැලයක් සේ සියලඟ සන්තෝෂයෙන් පිනවමින් බුදුන් කරා දිව එකෙණෙහි ම හිරිඔතප් ලද නියාවට කාරණ පෑවා සේ වාලධිය අමුඩු හස්සෙහි ගන්වා ගෙන, වක ගස ගසා සොඬ හකුළ කටලා ශ්‍රී පාදය සොඬින් පිරිමැද මැද බුදුන් පාමුල්හි වැද හොත්තේය.
එ කෙණෙහි පාද නඛරශ්මින් අඳුන් කුලක් වන් ඇතු, රිදී කුළක් වැනි ව ගිය නියාව ඔබගේ ම තුන්ලෙව්හි ව්‍යාප්ත වූ යශස කිසි තෙනෙක්හි රඳාලිය නො හී නැවත ඔබ කරා ම අවුදින් ඔබ පාමුල්හි ම හස්තිරූප ව්‍යාජයෙන් පතිත වූවාක් වැන්නැ යි සිතමි. එ කෙණෙහි දෙවිමිනිසුන් දුන් සාධුනාද පූජාවට තුන්ලෝ කුඩා ව ගියේය යි සිතමි. සියලු ජනයන් හන් පලන් වස්ත්‍රාභරණ දමන්ට පටන්ගත් නියාව දෙවියන් වස්වන රුවන් වර්ෂාව වැන්නැ යි සිතමි. නාරිලතා වෙනෙහි පවන් වේගයෙන් පත් සැලෙන කලක් සේ, රන්ලිය වන් ලියෝ, රුවන් පලඳනා කඩා දමන්නට පටන් ගත්හ. දහස් ගණන් සිවුමැදිරිවල දොර හැර මුව පියුම් පිටත් කොට බලන්නා වූ උත්තමාඞ්ගනාවන්ගේ කොඳ කැකුළුවන් දන්ත පංක්තීන් පෙනෙන නියාව බුදුන්ගේ යසරැස් කට දක්වා උකා බීපු වේලෙහි මුඛයෙන් ඉතිර ඉතිර වැගිරෙන්නාක් වැන්නැ යි සිතමි. දහස් ගණන් යෞවන ස්ත්‍රීන් උපන් සන්තෝෂයෙන් උතුරුසළුදමා පයෝධර භාරයෙන් ඇතු පිරිවරා සිටිනා නියාව මල්සළුහෙළා මල් සුවඳින් පුදා ගහන ව සිටිනා රන්පෝරුවින්නක් වැන්නැ යි කියාත් සිතමි.
පෙර ඒ ඇතු දුටු කල හඬ ගසා ඒ ඒ දිග්හි දිවන කුඩා කෙලි කොල්ලන් දිව අවුදින් ඇතු කෙරේ භය නැති ව අත්සුං ඇතුපිට ඔබ ඔබා ඇතු ඇඟ වැතිර සිටිනා කෙළනා නියාව හස්ති නමැති මහාජඹුවෘක්‍ෂය සිසාරා පැන නැගී ස්වර්ණාඞ්කුර සමූහයකැ යි කියාත් සිතමි. රිදී කුළුවල හංස පැටවුන් කෙළිනා සේ භය නැති ව දළ වැළඳ ගෙන කෙළනා බාල දරුවෝ කෙතෙක් දෙන ද; තුඹසක් පිටට නැඟී අවු තපිනා නයින් දහස් ගණන් සේ ප්‍රිතීන් පිනා ඇතු පිටට කඩා දමාපු ඒ ඒ තැන්හි රැළි දී තිබෙන මුක්තාහාර කෙතෙකැ යි කියම් ද; එ දවස් සත්ත්‍වයන්ට උපන් සන්තෝෂ හා, කරන උත්සව හා, බුද්ධපූජා හා, ඔල්වරසන් හා, අත්පොළසන් හා, වෙන වෙන කියම් නම් මාගේ සියක් දහස් ලක්‍ෂ ගණන් මුඛ නැති හෙයින් එක මුඛයෙකින් කියා නිමවාගත නො හෙම් ම ය. එ නුවර අටළොස් කෙළක් මනුෂ්‍යයන් තුන් ගවුවක් දිග ඒ එක රාජ වීථී කෝවෙහි කෙසේ සැලසී සිටි බවත් නො දනිමි, තුන්ලෙව්හි දෙවියන් ඒ එක නගරාම්බරයෙහි කෙසේ සිටි බවත් නො දනිමි. මිථ්‍යාදෘෂ්ටි ගතුවන්ගේ මුහුණු හැඹුල් මැඩගත් දෙසිලෙලිසේ හැකිළ ගියේ ය, සම්‍යක් දෘෂ්ටි ගතුවන් මුහුණු හිරි රස් දුටු මහපියුම් සේ පිපී ගිය.
එ වේලෙහි ස්වාමිදරුවෝ කළු මලස්නෙක රත්පියුමක් තබන්නා සේ ඇත්කුඹ මතුයෙහි සුරක්තවූ ශ්‍රීහස්තය තබාලා “තව ද අද්භූත වූ පෙළහරක් ලෝකවාසීන්ට දක්වා මේ තිරිසන් වූ ඇතු කථා කරවා ඕහට පන්සිල් දෙමි”යි සිතාලා තමන්වහන්සේ දැන් බුදු වූ කල තබා පෙර සසර දී ගොම පැණියන් ලවා අස්සක රජු හා කථා කරවාපු මහත් වූ ආනුභාව ඇති හෙයින් “මේ ඇත් තමාගේ තිරිසන් භාෂාව හැරපියා මනුෂ්‍ය භාෂායෙන් හැමදෙනාට තේරෙන සේ පන්සිල් ගනීව”යි අධිෂ්ඨාන කොට ලා “දරුව නාලාගිරිනි! පන්සිල් ගනුව”යි වදාළ සේක. එ කෙණෙහි නාලාගිරි ඇත් මනුෂ්‍ය භාෂායෙන් හැම පිරිසට ඇසෙන සේ ‘“යහපත ස්වාමිනි”යි කී ය, එ බස හා සමග අටළොස් කෙළක් මනුෂ්‍යයෝ එක පැහැර ම සාධුකාර දුන්හ. දෙවනු ව “බුදුන් සරණ ගණැ”යි වදාළ සේක. ඇත් “බුදුන්සරණ ගතිමි ස්වාමිනි”යි කී ය. “දහම් සරණ ගණැ”යි වදාළ සේක. ඇත් “දහම් සරණ ගතිමි ස්වාමිනි” කීය. “සඟුන් සරණ ගණැ”යි වදාළ සේක. ඇත් “සඟුන් සරණ ගතිමි ස්වාමිනි”යි කී ය. “පණිවායෙන් විරමණය කරව’”යි වදාළ සේක. ඇත් “පණිවායෙන් විරමණය කෙළෙමි ස්වාමිනි”යි කීය. “අදත්තාදාන විරමණය කරව”යි වදාළ සේක. ඇත් “අදත්තාදාන විරමණය කෙළෙමි ස්වාමිනි” යි කී ය. “පරදාර විරමණය කරව”යි වදාළ සේක. ඇත් “පරදාර විරමණය කෙළෙමි ස්වාමිනි”යි කීය. “මුසාවාද විරමණය කරව”යි වදාළ සේක. ඇත් “මුසාවාද විරමණය කෙළෙමි ස්වාමිනි’”යි කී ය. “සුරාපාන විරමණය කරව”යි වදාළ සේක. ඇත් “සුරාපාන විරමණය කෙළෙමි ස්වාමිනි”යි කී ය. මෙසේ ඔහු ශරණශීල- පඤ්චශීලයෙහි පිහිටුවා ස්වාමිදරුවෝ දෙවිමිනිසුන්ගේ තව ද ධර්‍මලොභ ඇති සේ දැන මහ පිරිසට බණ වදාරා එ කෙණෙහි සුවාසූදහසක් ප්‍රාණීන් අමාමහ නිවන් දක්වා ලෝවැඩ කොට වේළුවනාරාමයට ම වැඩි සේක. නාලාගිරි ඇත් ද එ තැන් පටන් සැදැ ඇති ශික්‍ෂිත හුදියකු සේ රා බින්දුවකුත් නොබී, ප්‍රාණයකුත් නො නසා, පඤ්චශීලය-ශරණශීලය අඛණ්ඩකොටම රක්ෂා කෙළේ ය.
මෙසේ මාගේ ස්වාමිදරුවෝ මහත් වූ පෙළහරින් දෙවිමිනිසුන් විසින් කරන ලද පූජා ලබන පින් බල ඇති හෙයිනුත්, නාලාගිරිහු වැනි තිරිසනුන් පවා දමා ඔවුන් විසින් දිවි පමණින් කරන ලද ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ බුදුහු මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක.
ඉක්බිත්තෙන් ස්වාමිදරුවන්ගේ මේ අසාධාරණ වූ පෙළහර දුටු රජු කෙරෙහි වල්ලභ වූ අමාත්‍යයෝ එ දවස් රජු කරා ගොස් බුදුන්ගේ ගුණ වර්ණනා කොට, දෙවිදත්හුගේ නුගුණ වර්ණනාකොට, “දේවයෙනි! දුර්ජන වූ දෙවිදත්හුගේ බසින් තොප බුදුන්ට අනර්ථ කරන සේ නපුර, ඔහුගේ ම සමවායෙන් පිතෘඝාතක කර්‍මය කොට දැන් අවීචි මහ නරකයට නියැලී සිටියව. බුදුන්ට ද අනර්ථ සිතා ඊටත් වඩා පවු රැස් කරව, තොපි තොප නසන සතුරකු වැනියව. දෙවිදත් තොප නසමි යි ආ සතුරකු වැනියේය. දෙවිදත් නමැති කුඩා කොල්ලා සිත් සේ කෙළනා වූ තෙපි පෙතැලි රුවක් වැනියහ. දෙවිදත් නමැති ළදරුවා අතට පැමිණි තෙපි ලාලී වටක් වැනියව. කපුටුවන්ට කොසඹ පක් අමා වූවා සේ, දෙවිදත්හුගේ ගුණ තොපට ම මිහිරි වූ සේ මැනැවැ”යි නො එක් ප්‍රකාරයෙන් බැණ රජහු ලජ්ජා කැරවූහ. එකල අජාසත් රජ මහත් වූ ලජ්ජා ඇතිව දෙවිදත් හට කිපී ඕහට තමාගෙන් දවස්පතා දෙන පන්සියක් බත් වසුන් කඩවා පී ය. එතැන් පටන් දෙවිදත් ලාභයෙන් පිරිහිණ. ලාභය පිරිහුණු හෙයින් පන්සියක් පර්ෂද් ඒ ඒ දිග්හි ඔහු හැර ගියහ. එසේ හෙයින් පරිවාරයෙනු දු පිරිහිණ.
දෙවිදත් එ කල එකලා ව වසුන් සුන් දා සුසුම් ලලා නුවර සිඟා ගියේය. එ කල නුවර වැසියෝ මොහු දැක “සවත් මේ නුවර ඉඳ බත් කයි දැ”යි කිපී ගල් ගසා පාත්‍රය බිඳ පිටතට නෙරියහ. දෙවිදත් අනික් වදනා අතක් නැතිව “එතෙකින් බුදුන් මුත් මට අනික් රක්‍ෂාවෙක් නැත. පොළොව පැකිළ හුණුවන්ට එම පොළොව මුත් අනික් සරණක් නැත්තා සේ, බුදුන් මුත් අනික් සරණෙක් නැතැ”යි ඉස පණු හුණු ශුනකයකු ගස්ව ගස්වා වදනා සේ, අලජ්ජීව නැවත බුදුන් ම කරා ගොස් වාසය කරනුයේ-තව ද, තමා කළ කම් බොහෝ හෙයින් බුදුන්ට ආඝාතම කරනුයේ “සංඝයා භේද කෙරෙමි”යි සිතා කොකාලික ය, මොර තිස්සය, ඛණ්ඩදෙවි පුත්‍රය, සමුද්ද දත්තාය යි තමන්ගේ මන්ත්‍රීවරුන් සතරදෙනා එක්කොට ගෙන මන්ත්‍රණය කරනුයේ “බුදුන් මරා බුදුරජය ගත නොහෙන බැවින් සංඝයා භේද කොට ගෙන අපි හැම වෙන් ව පලා ගොස් බුදු වම්හ”යි කියා “තෙපි හැම මට සහාය වූ නම් තොප තොපට ද වෙන වෙන ම ස්ථානාන්තර දෙමි”යි කී ය. එ කල ඔහු සතර' දෙන “අපි තොප කීවක් කරම්හ, අප හැරගෙන සිත් සේ බුදු වව” යි කීහ.