දෙවිදත් ඉල්ලූ පස් මහ වරය

star_outline

එ වේලෙහි දෙවිදත් “නිකම් අප ඇම ගිය කල කාරණ නොවෙයි, බුදුන් කෙරෙහි වරදක් පිහිටුවා යම්හ. අනික් වරදක් යොදා ගත නො හැක්ක, ගලින් පැන් උනවා ගත නො හැක්කා සේ බුදුන්ගෙන් ලැබගත නො හැක්කාවූ පස්මහ වරයක් ඉල්වම්හ. එකල බුදුහු ඒ වර නො දෙති, ඒ ව්‍යාජයෙන් බුදුන් හැර යම්හ”යි මන්ත්‍රණය කොට එ දවස් බුදුන් කරා ගොස් බුදුන් වැඳ එකත්පස්ව හිඳ දෙවිදත් මහතෙර බුදුන්ට මෙසේ දැන්වූහ: “ස්වාමිනි! බුදුරජාණෙනි! මුරයෙන් මුරයෙහි ම නුඹවහන්සේ මා ඉල්වූ වරයක් ම නො දෙන සේක, සුදොවුන් රජාණන් බෑනණුයෙමි, බුදුන්ගෙන් වර ලැබීමට අයෝග්‍යයෙකිම් නො වෙමි, පස්වරයක් ඉල්වා ආයිමි ඒ පස් වරය මට දී වදාළ මැනැවැ”යි කීහ.

ස්වාමිදරුවෝ ඔවුන් තබා මුළු සක්වල සත්ත්‍වයන් සිතූ සිත් තමන් වහන්සේ දැන ගන්නා හෙයින් ම ඔහු කී බස හා සමඟ ම ඔහු සිතූ සොරකම් දැන වදාරා මඳක් සිනා පහළ කොට “කියා බල ගැ”යි වදාළ සේක. එ වේලෙහි දෙවිදත් මහතෙර “ස්වාමිනි! මේ ලෝකවාසීහු රූක්‍ෂ වූ ප්‍රතිපත්ති පුරන භික්ෂූන් කෙරෙහි ඉතා ප්‍රසන්නයහ. එසේ හෙයින් ලෝවැස්සන් බුදුන්ගේ ශාසනයෙහි ප්‍රසාද කරන්නාවූ වරපසක් ඉල්ලමි, කෙසේද? යත්; ශාසනය පවතිනා යම් කාලයක් දක්වා හැම භික්ෂූන් ම ආරණ්‍යකාඞ්ගය ම පුරා වල් වාසයෙහි ම වාසය කරන පරිද්දෙනුත්, ග්‍රාම්‍යවාසයෙහි වාසය නො කරන පරිද්දෙනුත් ශික්ෂාපදයෙකින් මට වරයක් දී වදාළ මැනැවැ”යි කීහ.

එ වේලෙහි ස්වාමිදරුවෝ අතීතයෙහි බුදුවූ අනන්තාපර්‍ය්‍යන්තවූ බුදුනුදු නො පැනවූවා වූ ශික්ෂාපදයක් ම හෙයින් පෙම්බර මවක සේ තමන් වහන්සේගේ සියලු සංඝයා කෙරෙහි උපන් මහ කුළුණු ඇති ව ‘දෙවදත්තය! තා ඉල්ලූ වරය මිරිඟු සොයා ඇවිදිනා වූ මෘගයකු සේ බුදුන්ගෙන් නො ලබන්නාවූ වරයක් මය, මාගේ ශාසනය බොහෝ කලක් නො පවත්නා වූ සසුන් නමැති දිව්‍යදාමයට කෙටේරියක් බඳු වූ අවැඩ කරු වූ වරයෙක් ම ය. කාරණ කිම? යත්; මාගේ ශාසනයෙහි දහම් අමා උකා බී උමතුව, තමන් සුඛුමාල බවු නොදැන මහණ ව, මහණ ධර්‍ම පුරන්නා වූ රජ, බමුණු වෙළඳාදී සුඛුමාලයෝ පමණ නැතියහ. ඔහු මතුමාලෙන් යටිමාල නො හැඳින පියුම් සේ වැඩියාහු වල කෙසේ වැස සිත් අලවා ගනිද්ද. තව ද: මාගේ දහම් අමායෙහි මත් ව ඔවුන්ගේ තන වලින් තුඩුහැර මවුන් පියන් හඬව හඬවා මාගේ සසුන් වැද මහණ ව වසන්නා වූ සුඛුමාල වූ කුමරුවන් හා කුමරියෝ වල් වැද මැසි මදුරු පීඩාවෙන් කෙසේ නම් සිත් එකඟ කෙරෙද්ද?

තවද: ජනසඤ්චාරයෙන් දුරු ව වැසලිය නොහෙන අති ගිලන් භික්ෂූහු ජනශුන්‍යස්ථානයෙහි වැස කෙසේ දවස් යවද්ද. හස්තිකාන්ත වීණාවෙහි ප්‍රලුබ්ධ වූ හස්තීන් සේ, මාගේ ශ්‍රාවකයන්ගේ ධර්‍මසාකච්ඡාවෙහි ඉතා ප්‍රලුබ්ධ වූ අති ශ්‍රද්ධාවන්ත වූ රජබිසෝවරුන් ආදී ශ්‍රීවන්ත ස්ත්‍රීපුරුෂයෝ තමන් තමන් කැමැති විට ඔවුන් කරා ගොස් තමන් සිත් සේ පෘච්ඡා ප්‍රති පෘච්ඡාවෙන් පින් රැස් කරන්නාහු ආරණ්‍යයට ම සිතු සිතූ විට කෙසේ නම් ගොසින් පින් රැස් කෙරෙද්ද. මේ මේ කාරණයෙන් තා ඉල්ලූ පළමු වන වරයම ලෝක ශාසන නමැති මහා ශාලික්‍ෂෙත්‍රයෙහි දරහඬ බඳනා සේ ය. වීර්‍ය්‍ය ඇති කෙනෙක්, නිරෝග ඇති කෙනෙක්, ළදරු නො වන කෙනෙක්, කැමැතියෝ නම් ආරණ්‍යයෙහිත් වෙසෙති, අවශේෂ වූ සුඛුමාල මාගේ ශ්‍රාවකයෝ ග්‍රාමාන්ත සෙනාසනයෙහි ම වෙසෙති, යමෙක් ගම වේව යි, වල වේව යි, සෙල වේව යි, ගල්දුදුලෙක වේව යි, මට ම පක්‍ෂපාතව, මටම කීකරුව, මාගේ ශික්‍ෂාපදයන් පුරා, පාපයෙන් දුරු ව, වෙසෙත් නම් ඔහු මදරුවෝ ම ය, ඔවුන් වසන තැන් ම රාමණෙය්‍ය භූමිය”යි වදාරන සේක්:—

ගාමෙ වා යදිවා රඤ්ඤෙ - නින්නෙ වා යදි වා ථලෙ,

යත්‍ථ අරහන්තො විහරන්ති - තං භූමිං රාමණෙය්‍යකං-යි.

වදාරා “තට ඒ වරය නො දෙමි”යි ප්‍රතික්‍ෂේප කළ සේක.

එ වේලෙහි දෙවිදත් මහතෙර සිතින් සමාධිව දෙවන වරය ඉල්වන්නාහු “එ බැවින් ස්වාමීනි! ලොකවාසීහු පිණ්ඩපාතිකාංගය පුරන්නවුන් කෙරෙහි අති ප්‍රසන්නයහ, සියලු භික්ෂූන්ට පිණ්ඩපාතිකාංගයෙහි උත්කෘෂ්ටය, පුරා දවසින් දවස සිඟා ගොස් ලද භෝජනයක් අනුභව කරන පරිද්දෙනුත්, වෙහෙරට ගෙනා ගෘහපති භෝජනයක් නො වළඳන පරිද්දෙනුත් ශික්ෂාපදයක් පනවා වදාළ මැනැවැ”යි කීහ.

එ වේලෙහිදු මාගේ ස්වාමිදරුවෝ පූර්වබුද්ධචරිත බලා අප්‍රඥප්ත වූ වරයක් බවු දැන “තා ඉල්වූ ඒ වරයත් සඳට අත දිගු කළා සේ බුදුකෙනෙකුන්ගෙන් ලැබිය යුතු වරයෙක් නො වෙයි, මෝඝ පුරුෂය! ගිලන් භික්ෂූහු දවසින් දවස කෙසේ සිඟා ඇවිදිද් ද; පාත්‍රය දරාගත නො හෙන ඉතා ළදරු වූ හෙරණයෝ ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් හැර බැහැර යා නොහෙන්නාහු කෙසේ භික්‍ෂාටනය කොට ජීවත් වෙත් ද, ආගන්තුක ගමිකාදි නොඑක් දානයෙන් පින් රැස් කරන්නාවූ නො එක් කුලපුත්‍රයෝ ඒ බත් කවුරුන්ට දන් දී පින් පුරා ගනිද් ද, ඔහු කෙසේ නම් ගැළවෙද් ද, මේ මේ කාරණයෙන් ඒ වරයත් ලෝක-ශාසන නමැති රස උක් වනයට මාඤ්ජෙෂ්ටිකා නම් වූ රෝගය සේ ශාසනය නො පවත්නා වූ වරයෙක, එයි දු තට නො දෙමි”යි වදාළ සේක.

තව ද: දෙවිදත් සිතින් සමාධි ව අනික් වරයක් ඉල්වන්නාහු “ස්වාමිනි! පාංශුකූල චීවර ධාරි වූ ශ්‍රාවකයන් කෙරෙහි සත්ත්‍වයෝ අතිප්‍රසන්තයහ. එසේ හෙයින් හැම භික්ෂූන් ම සොහොන් කඩින් ම සිවුර කොට වැළඳ පාංශුකූල චීවරයන් දරණ පරිද්දෙනුත් අවශේෂ වූ වස්ත්‍රයෙන් කළ ගෘහපති චීවරය පිළි නොගන්නා පරිද්දෙනුත් අනුදත මැනැවැ “යි කීහ.

එ වේලෙහි දු ස්වාමිදරුවෝ පූර්ව බුද්ධවරයන් එ බඳු වූ ශික්‍ෂාපදයක් නො පැන වූ බවු දැන තා ඉල්වන්නාවූ වර නම් ගලින් පැන් උනවාගත නො හැක්කා සේ බුදුන්ගෙන් නො ලැබෙන්නාවූ වරයෙක මාගේ සසුන් වන් මළ මිනියකුත් නුදුටු විරූ කුලපුත්‍රයන්ට මිනී දුටුකළ ප්‍රතික්කුල වෙයි, සොහොන්කඩ ද එසේම සමහරුන්ට ප්‍රතික්කුල වෙයි, ඒ නිසා සමහරුන්ට ව්‍යාධි වෙයි, එසේ කල ඔවුන්ගේ ධ්‍යානභාවනාවට බාධක වෙයි, යම් කෙනෙක් එ බඳු වූ චරිත ඇතිව වීර්‍ය්‍ය ඇතියාහු නම් එයිත් පුරත් ම ය අශක්ති කෙනෙක් ගෘහපති චීවරත් පිළිගනිත් ම ය, තව ද එසේ ම භික්ෂූහු පාංශුකූල ම ගනිත් නම් ශ්‍රද්ධාවන්තයෝ මාගේ ශ්‍රාවකයන්ට උතුම් උතුම් වූ වස්ත්‍රදානයන් දී අප්‍රමාණ වූ දිව්‍යලොක මනුෂ්‍යලොක සම්පත් කෙසේ ලැබ ගනිද්ද, මේ මේ කාරණයෙන් තා ඉල්වූ ඒ වරයත් ලෝක ශාසන නමැති මහ ඇල්කෙතට ශ්වේතාස්ථිකා නම් රෝගය වැන්න, එයි දු තට නො දෙමි”යි වදාළ සේක.

එ වේලෙහි දු දෙවිදත්තෙර සොරසිතින් සමාධි ව සතර වන වරය ඉල්වන්නාහු “එසේ වී නම් ස්වාමිනි! හැම භික්ෂූන් ම හැම කාලයෙහි ම රුක්මුල්වල හිඳ ධ්‍යාන භාවනා කොට වෘක්‍ෂමූලිකාඞ්ගය ම පුරණ පරිද්දෙනුත්, තණින් සෙවූ ගෙයකට නො වදිනා පරිද්දෙනුත් ශික්ෂාපදයක් පනවා වදාළ මැනැවැ”යි කීය.

එ වේලෙහි ද ස්වාමිදරුවෝ පූර්වබුද්ධවරයන් කෙරෙහි නො පැවැත්තාවූ වරයක් බව් දැන “තා ඉල්වන්නාවූ වර නම් සුළඟට දැල් බඳිනා සේ ලැබ ගත නො හැක්කාවූ වරයෙක් ම ය, මාගේ ශ්‍රාවකයෝ වර්ෂාකාලයෙහි රුක්මුල්වල කෙසේ දවස යවද්ද, මැසි මදුරු අවු සුළං ඛාන සුඛුමාල වූ භික්‍ෂූහු කෙසේ මහණධර්‍ම පුරද්ද, මාගේ සද්ධර්මය මතු කොතැන්හි තබා රක්‍ෂා කෙරෙද් ද, ආවාස දන් දී බොහෝ පින් රැස්කරන සත්පුරුෂයෝ කෙසේ ඒ පින් ලැබගනිද්ද, එබඳු වූ වීර්‍ය්‍යවන්ත වූ ශ්‍රාවක කෙනෙක් වර්ෂා සාරමස හැර නියං අටමස වෘක්‍ෂමූලිකාඞ්ගයත් පුරත් ම ය, එසේ පුරාගත නො හෙන කෙනෙක් තෘණ කුටියෙහිත් වෙසෙත් ම ය, ප්‍රාසාදාදියෙහිත් වෙසෙත් ම ය, මේ මේ කාරණයෙන් තා ඉල්වූ ඒ වරය ද ලෝක ශාසන නමැති මහ සඳුන් රුකට නරාවක් සේ ශාසනස්ථිතියට ප්‍රතිපක්‍ෂ වූ වරයෙක, එයි දු නොදෙමි”යි වදාළ සේක.

එ වේලෙහි දු දෙවිදත් මහතෙර අනික් වරයක් ඉල්වන්නාහු ‘“එසේ වී නම් ස්වාමිනි නො එක් ලබ්ධිගතුවා වූ සත්ත්‍වයෝ ද මත්ස්‍ය මාංසානුභවය නො කරන්නාහුය, ලෝකවාසීහු ද මත්ස්‍යමාංසානු භවය නො කරන්නවුන් කෙරෙහි ඉතා පහදිති, නුඹවහන්සේගේ ශාසනයෙහි භික්ෂූන් මත්ස්‍යමාංස අනුභව කරනු ඉතා නොයෙදෙයි. එසේ හෙයින් මිථ්‍යාදෘෂ්ටිහු ද ශාසනයෙහි නුගුණ කියති, ශාසනයට ම වැඩ පිණිස සියලු භික්ෂූන් ම මත්ස්‍යමාංසානුභව නො කරන්නේ ය යි කියා ශික්ෂාපද පනවන්නේ ය”යි කී ය.

එ වේලෙහි දු ස්වාමිදරුවෝ පූර්වබුද්ධවරයන් එ බඳුවූ ශික්ෂාපදයක් නො පැන වූ බවු දැන “තා ඉල්වන්නාවූ වරය නම් පර්වත පෙළා පැන් නොලබන්නාසේ සර්වඥවරයන්ගෙන් ලැබගත නො හැක්කා වූ වරයෙක් ම ය, දේවදත්තය! අනුන් පිටිමුව හෙලීගෙන ගමන් යන ජාත්‍යන්‍ධයන් සේ සර්වඥවරයෝ අනුන් කීවා කාරණ යයි නොගිවිස්නාහුය, මේ ලෝකයෙහි සර්වඥවරයන්ට වඩා කුශලාකුශල ධර්‍මයන්ගේ විභාගයෙහි සාරය දන්නා සත්ත්‍වකෙනෙක් නැත්ම ය. එසේ හෙයින් කෑවානට පාපයෙක් වේනම් මහාකරුණා සම්පන්නවූ බුදුහු වරද ය යි හරවන්නාහු ය, මේ ලෝකයෙහි ආහාර විහාරාදි චතුර්විධ වූ ප්‍රත්‍යය දාන දුන්නා වූ සත්ත්‍වයන්ට ජනිත වන්නාවූ කුශලය`ඒ දන් අනුභව කළාවූ ශ්‍රාවකයන්ට හා සම නොවන්නා සේ මාංසය ද මැරුවානට වූ පාපය, කෑවානට නැත්තේම ය; යමෙක් ලොභය නූපදවා මේ ජීවිත බ්‍රහ්මචර්යාව රක්ෂා කරන්නාහු අනුභව වස්තුවෙක් වනැ යි දිවි රැක සිල් රකුම්හ යි සිත සිතා අනුභව කළාහු වූ නම් පවු නැත්තේ ම ය, එසේ හෙයින් මාගේ ශ්‍රාවකයෝද යම් යම් දේශයෙක, යම් යම් ද්වීපයෙක, යම් යම් දෙයක් අනුභව කොට සත්ත්‍වයෝ ජීවිතවෘත්තිය කෙරෙත් නම් ඒ ඒ භෝජනයන් අනුභව කොට ශාසනය රක්‍ෂා කොට ලෝ වැඩ කරන්නාහු ම ය. එසේ හෙයින් ත්‍රිකොටි පරිශුද්ධ දශවිධ වූ මාංසයෙන් පිටත් වූ කප්පිය මාංසය අනුදනුම්හ. ඒ වරයත් නො දෙම් ම ය”යි වදාරා මෙසේ පස් මහ වරය ම නො ගිවිස “මාගේ ශාසනයෙහි ශික්‍ෂාපදයන්ගේ නිමාව නම් නිර්වාණය කෙළවර කොට ඇතියේය, එසේහෙයින් සමහරු ආරණ්‍යයෙහි වැස භාවනා කොටත් රහත් වෙති, සමහරු ග්‍රාම්‍ය වාසයෙහිත් දිව්‍යසමාන මහ පාමුදුන්හි යහන් මතුයෙහි හිඳත් ඒ ඒ අරමුණෙන් රහත් වෙති. සමහරු පිණ්ඩපාතිකාඞ්ගය පුර පුරාත් රහත් වෙති, සමහරු ගෘහපති භෝජන වළඳාත් රහත් වෙති, සමහරු පාංශුකූල චීවර ධරාත් සුසානභූම්‍යාදියෙහිත් රහත් වෙති, සමහරු ගෘහපති චීවර ධරා හිඳත් රහත් වෙති, සමහරු රුක්මුල්හි හිඳ භාවනා කොටත් රහත් වෙති, සමහරු විහාර සෙනාසනාදියෙහි හිඳත් රහත් වෙති, සමහරු මත්ස්‍යමාංසානුභවයෙහි යෙදීත් රහත් වෙති, සමහරු අවශේෂානුභවයෙන් යෙදීත් රහත් වෙති. එසේ හෙයින් මේ මේ කාරණයෙන් බුදුන්ට ප්‍රයෝජන නම් බුදුන් ලෝකයෙහි පහළ වූයේ නම් සත්ත්‍වයාට නිවන් අමා දෙන නිසා ය. යමෙක් නිවනට බාධක වී නම් එසේ වූ වරද සර්වඥවරයෝ වළකන්නාහු ම ය, යමෙක් මාර්ගාවරණය නො කෙරේ නම් එසේ වූ වරද සර්වඥවරයෝ වරදට නො ගන්නාහු ම ය; එසේ හෙයින් තා ඉල්වූ වර පස ම බුදුහු නො දෙති”යි වදාළ සේක.