දෙවිදත්තෙර දුනුවායන් යෙදීම

star_outline

දෙවිදත් මෙසේ බිම්සර රජහු මරවා “බුදුන්ගේ අග්‍ර උපාසකවූ රජහු පිටි දැක ගතිමි, එතෙකින් බුදුන් මරවා මම ද බුදුරජය ගනිමි”යි දවසෙක අජාසත් රජහු කරා ගොස් “මහරජ පියරජහු මරා තොප රජය ලත් බැවින් තොපගේ මනොරථය සිද්ධ වී ය, බුදුන් මරා මාගේද මනොරථය සිද්ධකරව”යි කී ය. අජාසත් රජ “මා විසින් කළ මනා යම් දෙයක් කෙරෙමි යි, සැක නැතිව වදාළ මැනවැ”යි කීය. එබසට දෙවිදත් කියනුයේ “සෙසු කෙනෙකුන් ලවා බුදුන් මරවා ගත නො හැක්ක. රූක්‍ෂ වූ දුනුවායන් ලවා විද්දා මරවා පියනු කැමැත්තෙමි, තොපගෙන් දුනුවායන් මට පාවා දෙව”යි කීය. රජ්ජුරුවෝ පන්සියක් දුනුවායන් රැස්කොට එයින් අක්‍ෂණ වෙධීන් එක්තිස්දෙනකු තෝරා තෙපි “දෙවිදත් මහ තෙරුන් කරා පලා ගොස් උන් කීවක් කරව”යි යැවීය. දෙවිදත් ඔවුන් දැක සතුටුව ඔවුන් අතුරෙන් ජ්‍යෙෂ්ඨ වූ දුනුවායා තනිකොට ගෙන “මා කියන රහස කිසිවක්හට නො කියව. මට කීකරු වව, අජාසත් රජහු රාජ්‍යය ලත් නියාව දුටුයෙහි වේ ද, තොයි දු මා කීවක් කෙළෙහි නම් තාත් ඉසුරුමත් කරවාලමි”යි කීය, “නුඹ කී යම් ම දෙයක් කෙරෙමියි වදාළ මැනැවැ”යි ඔහු විසින් කී කල “බුදුහු ගිජ්ඣකූට පර්‍වතයෙහි අසුවල් තැන සක්මන් කෙරෙති, තොපි එතෙනට පලාගොස් බුදුන් විද මරා පියා අසුවල් මඟින් කාටත් නො පෙනී පලා වරැ”යි ඔහු පළමුව යවා දුනුවායන් දෙදෙනකු “අසුවල් මඟින් එන දුනුවායා තෙපි දෙදෙන මරාපියවයි” උගන්වා යවා උන් දෙදෙනා මරණ සේ සතරදෙනකු යවා, උන් සතරදෙනා මරණ සේ අටදෙනකු යවා උන් අටදෙනා මරණසේ සොළොස්දෙනකු යවා, උන් සොළොස් දෙනා ආ කල පසුව මම් ම නිහඬ දන්නෙම් වේ දැ”යි සිතා මෙසේ තමා කළ සොරකම කිසිවක්හු කනට නොගිය මැනැවැයි සිතා බුදුන් මරණ සේත් දුනුවායන් එක් තිස් දෙනා මරණ සේත් එක කටයුත්තක් දෙදෙනකු නොදන්නා නියායෙන් සංවිධාන කොටලීය.

එ දවස් මාගේ ස්වාමිදරුවෝ අරුණොද්ගමන වේලෙහි මහා කරුණා සමාපත්තීන් නැඟී මුළුලොව බලා වදාරන සේක් එ දවස් දුනුවායන් එක්තිස්දෙනා තමන් වහන්සේගේ නුවණ දැලෙහි බැඳී සංසාර නමැති පාප ලවණ සාගරයෙන් ගොඩනැඟී නිවන් අමාමුහුද සිත්සේ බැස කෙළනා පින් ඇති බවු දැක තවද පෙර තමන් වහන්සේ සසර ළදරු කුමාරව පසේ බුදුන් දැක ක්‍රීඩා නිසා ඔබ ඇඟට ගල් ගසා වඩනා මඟ අකුරු බොරලු රැස් කළ අකුශලය ද එ දවස් විඳුවන බවු දැක තමන් කරා එන දරුවන් පෙරමඟ බලන පෙම්බර මවක සේ පෙරමඟ බල බලා මහ කුළුණෙන් සක්මන් කරණ සේක.

ඉක්බිත්තෙන් පළමු ව එවූ දුනුවායා කඩුවක් උරෙහි ලා හීය උරපිට බැඳ මැඬහඟු දුන්න ගෙන සන්නද්ධව දෙවිදත්හුගේ සලකුණෙන් ගොස් බුදුන් දැක විෂ පෙවූ සැරයක් ගෙන උරපුරා හයා ගත. එ කෙණෙහි උන්වහන්සේ සසර මුව ව උපන් කල පවා විදිමි යි දුනු හයාගත් රජුන් පවා රූප ශ්‍රී දැක සැරය මුදාපිය නො හී චිත්‍රකාර රූප සේ සිටිනා කල, දැන් ලොවුතුරා බුදු ව තුන්ලෝ මුදුන් වූ සමයෙහි ඔහු අතින් සැරය නො හැරෙන නියාව කිනම් පෙළහරෙකැයි කියම් ද, එසේ ද වුවත් ඔහු දකුණත හී පගිලිය හා දුනුදිය හැලී ගිය, වමත දුනුමිට හා ඊ මුදුන්ද හැලී ගිය, ධනු වේගයෙන් යන්ත්‍රයෙකලා පෙළන්නාසේ සර්වාංගයෙහි ඇට මුරුමුරු යන අනුකරණව මහත්වූ වේදනා විය.

එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ මොහු සිටිනා ලෙස දැක ඔහු කෙරෙහි ද, ඔහු එවූ දෙවිදත්හු කෙරෙහි ද, ඔහුට උපස්ථායක වූ අජාසත් රජහු කෙරෙහි ද, සුදොවුන් මහරජානන් කෙරෙහි ද, රහල් තෙරුන් කෙරෙහි ද, ශුචි අශුචි භූමියෙහි සමව පවත්නා චන්ද්‍රකාන්තිය සේ සියලු සතුන් කෙරෙහි සමව පවත්නා මහා කරුණාවෙන් ඔහු මුහුණ බලා මධුර වූ නාදයෙන් “දරුව! අපට කැලි කම් කොට නොවෙහෙසී මෙසේ පලා එව”යි වදාළසේක. එ කෙණෙහි ස්වාමි දරුවන් බැණනැගී බස හා සමග ඔහු අතින් දුන්න හා සැරය බිම වැටී ගිය, කඩුව හා හියවුරුද වැටී ගිය; තෙමේ භයින් වෙවුල වෙවුලා ගොස් බුදුන් ශ්‍රීපාද වැඳ “ස්වාමීනි! කරුණා මෑණියනි! දුර්ජන වූ දෙවිදත්හුගේ බස් ගෙන නුඹ වැනි උතුමාණ කෙනකුන්ට අපරාධ කෙළෙමි, ගැත්තවු කළ වරද ක්‍ෂමා කළ මැනැවැ”යි කිය කියා එකත්පස්ව හුන්නේය. එ කෙණෙහි ස්වාමිදරුවෝ ඕහට බණ වදාරා සෝවාන් කොට “දරුව, දෙවිදත්හු කී මඟ ගියානම් තොපට අන්තරායෙක් පෙනෙයි! අනික් මඟෙක යව”යි ඕහට සමු දී වදාළ සේක.

ඉක්බිත්තෙන් ඔහු මරම්හ යි සිටියා වූ දෙදෙන, සිට වෙහෙසී ඔහු නොදැක “කාරණ කිම් දෝ හෝ”යි පරීක්ෂා කරන්නාහු ගොස් බුදුන්දුටහ. සතර දෙනද, අට දෙනද, සොළොස් දෙනද, එම ක්‍රමයෙන් ගොස් බුදුන් දැක බණ අසා සෝවාන් ව, නිදුක් ව, නුවරට ගොස් එත්තිස් දෙන ම ඔවුනොවුන් හා මන්ත්‍රණය කොට තමන් තමන්ට මරණ යෙදූ නියාවත් බුදුන් නිසා දිවි ලත් නියාවත් දැන දෙවිදත්හට පරිභව බැණ බැණ “ගිහිගෙයි නො රඳම්හ”යි අඹුදරුවන්ට කළමනා සංග්‍රහ කොටලා එක්තිස්දෙනම බුදුන් කරා ගොස් බණ අසා රහත් ව එහි භික්ෂුභාවයෙන් පැවිදිව, එක්තිස් මහතෙරව, එතැන් පටන් එක්තිස්තල වාසින්ට ශාන්ති පිණිස ම, බුදුන් විසින් ඇතිකළාවූ ශ්‍රාවක එක්තිසක් සේ, එක්තිස් මහතලයට නඟාලු එක්තිස් මහා ධ්වජයක් සේ, දෙවිමිනිසුන් කෙරෙහි ප්‍රසිද්ධ ව බුදුන්ට උත්තම ප්‍රතිපත්තීන් පූජා කළ සේක.

මෙසේ තමන් වහන්සේ විද මරම්හයි ආ දුනුවායන් පවා තමන් වහන්සේ මරන්නා තබා, තමන්වහන්සේට උපද්‍රවයෙක් වේනම්, තමන් වහන්සේට පළමුකොට අපගේ ජීවිතය දෙම්හ යි සිතන තරම් මහත්වූ ප්‍රේම උපදවා ගෙන, ඔවුන් විසින් කරනලද ජීවිතාන්ත ප්‍රතිපත්ති පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ බුදුහු අර්හත් නම් වන සේක.