අජාසත් කුමරු පියරජු මැරවීම

star_outline

එ කල එක් දවසක් දෙවිදත් මහ තෙරහු අජාසත් කුමාරයන් තනි කොට මන්ත්‍රණයක් කරන්නාහු “අජාසත් කුමාරය! පෙර මනුෂ්‍යයන්ගේ ආයු බොහෝ ය, දැන් මිනිසුන්ගේ ආයු මඳ, දැන් තෝ සොළොස් හැවිරිදියෙහිය, මතු කවර කල රජය ලබන බවත් නියම නැත, මම තට උපදෙසක් කියමි, මා කීවා කරතොත් තා පියා මරා රජය ගනුව, මම බදුන් මරා බුදුරජය ගනිමි, එ කල අපි දෙදෙන ම සිත් සේ සුව විඳුම්හ”යි නො එක් සේ මන්ත්‍රණය කොට පියරජහු මරන්ට ගිවිස්වා පී ය.

එ කල අජාසත් රජ සතුටු ව “අපගේ මහතෙරහු මහානුභාව ඇතියහ, මහනුවණ ඇතියහ, ඔවුන් නො දන්නා දෙයෙක් නම් නැත, මට කීයේ වැඩෙක්මය”යි ගිවිස තමා කලවයෙහි සොටිය බැඳගෙන දෙවන දහවල් රජගෙට ගොස් වැද වෙවුල වෙවුලා බලා සිටියේය. එ වේලෙහි ආමාත්‍යයෝ ඔහු අල්වා ගෙන පය තිබූ සොටිය දැක “අප රජහු මරන්නට ම ආය”යි සැබවින් දැන “මොහුත් දෙවදත්තයාත් ඔහුගේ මහණුනුත් මරම්හ”යි ඔවුනොවුන් අතුරෙහි මන්ත්‍රණය කොට “රජ්ජුරුවන්ට නො කියා නොමරම්හ’”යි රජ්ජුරුවන්ට මෙ පවත් සැල කළහ. රජ මෙ පවත් අසා “පුතු මරම්හ’”යි මන්ත්‍රණය කල අමාත්‍යයන්ට උරණ ව නො මරම්හ යි මන්ත්‍රණය කළ අමාත්‍යයන්ට ප්‍රසාද දී ළඟට කැඳවා ගෙන “පුතණ්ඩ! කුමක් නිසා මා මරමියි සිතූදැ”යි විචාළහ. කුමාරයා “රාජ්‍ය ලොභයෙනැ”යි කී ය. රාජ්‍යයෙහි ලෝභී කල තොපගේ රජය තෙපි ම ගනුව, පුතණ්ඩ, මට කුමට ද්‍රෝහ සිතූ දැ”යි කියා කුමරු සිඹ සනහා රාජ්‍යය හැම පාවා දුන්හ.

එ කල රජකුමර රජගහා නුවර හැම රාජ්‍යය ලදින් සතුටු ව දෙවදත්තයා කරා ගොස් “ස්වාමීනි! නුඹ කී උපදෙස් කොට පිය රජහු මරාගත නුහුනු බව මුත් රාජ්‍යය ලදිමි, මාගේ මනොරථය සිද්ධ වී ය”යි කීය. දෙවිදත් එ බසට නො සතුටු ව “තා ලත් රාජ්‍යය මීයන් ඇතුළේ ලා ඇද සැදු බෙරක් ලද්දා වැන්න, රජුන්ගේ මායම් නො දන්හි ද, සතුරන්ට ප්‍රසාද සතුටු කරවා නසන ලෙස නො දන්හි ද, කීප දවසෙකින් තාගේ නිහරසර බලා තා මරවා රාජ්‍යය ගන්ති, සැක නොකරැ’”යි කී ය. එ කල රජ කුමර භයින් වෙවුලා “වැළි ස්වාමීනි! කුමක් කෙරෙම්දැ”යි කීය. දෙවිදත් “නො දොඩා තා පියා මරා පියව”යි කීය. අජාසත් කුමර කියනුයේ “ආයුධයෙන් මපියාණන් වහන්සේ මැරිය නො හැක්ක, කෙසේ මරම් දැ”යි කී ය. දෙවිදත් “බත් වැද්ද නොදී මරවා පියව’”යි කී ය.

එ කල අජාසත් කුමර පියරජ්ජුරුවන් සිරගෙයි ලවා “ම මෑණියන්වහන්සේ මුත් අනික් කිසි කෙනෙකුනුත් ඇතුළට වැද්ද නො දෙව”යි රකවල් ලැවීය. එදා පටන් බිසොවු රන්තැටියෙන් බත් හින තබාගෙන සිරගෙට වැද රජ්ජුරුවන් කවා එති. රජ්ජුරුවෝ එබත් කා ජීවත්වෙති. සත් අට දවසක් ගිය කල අජාසත් කුමර “මපියාණන් වහන්සේ කෙසේ රැකෙන සේක්දැ”යි විචාරා මේ කාරණ අසා “අද පටන්ම මෑණියන් වහන්සේ හිනින් කිසි දෙයක් ගෙන සිරගෙය ඇතුළට යා නොදෙව’”යි රකවල් ලැවී ය. එ දාපටන් බිසොවු හිනින් බත් ගෙනයා නො හැක්කෙන් රන්තැටියෙන් බත් මුහුලස යට සඟවා තබා ගෙන ඇතුළට වදිති. එ බත් අනුභව කොට සත් අට දවසක් රජහු ජීවත් වූ කල අජාසත් කුමර මෙ පවත් අසා “ම මෑණියන් වහන්සේ හිස කේ බැඳගෙන ඇතුළට වැද්ද නොදෙව”යි රකවල් ලැවීය. එ දා පටන් බිසොවු ඉසකෙස් යටින් බත් ගෙන යා නොදෙන හෙයින් රන්මරවැඩි යට අග බොජුන් පුරාලා පියනින් වසාලා පයින් බත් ගෙන සිරගෙට වැද සමණන් කවා එති. එබත් කා සත් අට දවසක් රජ්ජුරුවන් ජීවත් වූ කල අජාසත් කුමර එපවත් අසා “මෑණියන් වහන්සේ මරවැඩි ලාගෙන සිරගෙට යා නොදෙව’”යි රකවල් ලැවීය. එදා පටන් බිසොවු අනික් උපදෙසක් නොදැක සුවඳ පැනින් නහා සර්වාඞ්ගයෙහි චතු මධුර ගල්වාගෙන උතුරු සළුවෙන් ඇඟවසා ඇතුළට වදිති. රජ්ජුරුවෝ බිසොවුන් ඇඟ ලෙව කොට ජීවත් වෙති. මෙසේ සත් අට දවසක් ගිය කල අජාසත් කුමර මෙ පවත් අසා “ම මෑණියන් වහන්සේ මෙතැන් පටන් ඇතුළට යා නොදෙව”යි නියෝග කෙළේය. එදවස් බිසොවුන් දොරකඩ දී රකවල්හු රැඳවූහ. එවේලෙහි බිසොවු මහත්වූ ශෝකයෙන් තැවී දොර මුල සිට “ස්වාමිනි! බිම්සර රජ්ජුරුවෙනි, ඔහු බාල කල ම මරා පිය නුදුන්නව, තොප සතුරා තොපි ම වැඩුව, අද මේ නුඹ හා මාගේ නිමාම් දැක්ම ය; අද පටන් නුඹ දැක්මත් නොලැබෙමි, ස්ත්‍රීන්ගේ නම් වරද බෙහෙව, මා කළ වරදෙක් ඇත් නම් ක්‍ෂමා කළ මැනැවැ”යි කිය කියා සමණන් වැඳ ක්‍ෂමා කරවාගෙන හඬ හඬා නැවත ගියහ. එ දා පටන් රජ්ජුරුවන්ට නිරාහාරය.

සෝවාන් රජ්ජුරුවෝ මාර්‍ගඵල සුවයෙන් සක්මන් කොට ජීවත්වෙති, රජ්ජුරුවන්ගේ ශරීරප්‍රභාව අඩුවෙක් නැත. මෙසේ කීප දවසක් ගිය කල “ම පියාණෝ කෙසේ ජීවත් වෙත්දැ”යි විචාරා “සක්මනින් යැපෙන සේක, ශරීරයෙහි අඩුවෙක් නැතැ’”යි අසා “ම පියාණන් අද පටන් සක්මන් නොකළ දෙව, දෙපතුල් කරයෙන් සැත් හෙව ඇඹුල් ලුණු තෙල් ගල්වා ගිනි අඟුරට පෑ චිටි චිටි යන අනුකරණ වන තුරු පැසව”යි නියෝග කොට කරනවෑමියන් යැවීය.

පිය රජ්ජුරුවෝ තමන් කරා එන කරනැවෑමියන් දැක “ම පුතණුවෝ කිසි කෙනකුන්ගේ අවවාද ලදින් සන්හිඳුනාහු වන්හ. මොහු අද මා දැළිරවුලු කපා අන්දම් තබන්ට එන්නාහු වනැ”යි සිතුවාහු ය. ඔහු ගොස් රජ්ජුරුවන් වැඳලා සිටියහ. රජ්ජුරුවෝ “දරුවෙනි! කුමකට අවුනැ”යි විචාළහ. පුතණුවන් වහන්සේ කියා එවූ වධක පවත් කීහ. රජ්ජුරුවෝ එපවත් අසා කෝපයක් නො කොට “තොපගේ රජහු කීවා කරව”යි අස්නෙහි හිඳ පතුල් දිගු කළහ. ඇමැත්තෝ රජ්ජුරුවන් වැඳ සිට “ස්වාමීනි! අපගේ වරදනැත, රජහුගේ නියෝගයෙන් කරම්හ, අපට ක්‍ෂමා කළ මැනව, නුඹ වහන්සේ වැනි ධර්මිෂ්ඨ වූ රජක්හට මේ තරමෙක් නොවෙ”යි කිය කියා හඬ හඬා වමතින් ගොප්මස අල්වාගෙන දකුණතින් කරය ගෙන රජුගේ දෙපතුල් පලා ලුණු තෙල් ගල්වා කිහිරඟුරට පෑ චිටි චිටි යන අනුකරණය දක්වා පැසවූවාහුය.

මෙසේ ධර්මිෂ්ඨ සෝවාන් රජ්ජුරුවෝ, මෙසේ වූ ව්‍යසනයක් කෙසේ පවෙකින් ලද්දාහු ද යත්? පූර්‍ව ජාතියෙහි දාගබ් මලුයෙක කරුණක් නැතිව වහන් පය ලා ගෙනගියාවූ එක් පවෙක, තවද එක් ජාතියෙක සංඝයා වැඩහුන් සම්කඩක් නොදැන මැඩ පියා ක්‍ෂමා කරවා නොගත් පවෙකැ යි මේ අකුසල් දෙක මේ ජාතියෙහි විපාක දිනැ යි දතයුතු.

පය පැසවන වේලෙහි රජ්ජුරුවන්ට මහත් වූ වේදනා විය. “අහො බුද්ධො අහො ධම්මො-අහො සංඝො” යි කිය කියා දාකරඬුයෙක පුදා ලු මල්දමක් මළා ගියා සේ රජ්ජුරුවෝ පය පැසවන වේදනාවෙන් මිය චාතුර්‍මහාරාජික නම් දිව්‍යලෝකයෙහි ජනවසභ නම් දිව්‍යරාජව ඉපැද ගියහ. මේ ජාතියට පූර්‍වභාගයෙහි, එක් ජාතියෙක එම දිව්‍යලෝකයෙහි මහත් වූ දිව්‍යසුව වුන්හ. එයින් අවුදින් පිට පිට මෙසේ සවාරයෙක දඹදිව රජ කළහ, දැන් මේ සත්වන වාරයෙහි එම දිව්‍යපුරයෙහි ඉපැද අද දක්වාත් සුව විඳිති.

මෙසේ පියරජහු මළ දා ම අජාසත් රජහුගේ පුතෙක් උපන. පුතණුවන් උපන් නියාවද, පියාණන් මළ නියාව දැයි පත් දෙක අසුන් එක විට ම ගෙන ගොස් අමාත්‍යයෝ “පළමු කොට ප්‍රිය හසුන් කියම්හ”යි පුතණුවන් උපන් අසුන් පත රජු අත තුබූහ. එ කෙණෙහිම පුත්‍ර ප්‍රේමයෙන් රජුගේ සර්වාංගය පිරී ඇට මිඳුලු ගසා සිට ගෙන ලොමහර්‍ෂ ගත. එ කෙණෙහි පියාණන්ගේ ගුණ සිහි කොට ‘“මා උපන් වේලෙහිත් ම පියාණන් වහන්සේට ද මෙසේම සනා උපන්නේම ය, කොල! වහා ගොස් ම පියාණන් වහන්සේ සිරගෙන් හැර පියව”යි කීහ. එ කල අමාත්‍යයෝ රජහු මළ පවත් ලී අසුන්පත අතට දීලූහ. පත බලාපියා පියරජහු මළසේ දැන උපන් මහත් ශෝකයෙන් මෑණියන් වසන රජගෙට ගොස් හඬා වැලප “මෑණියන් වහන්ස! මා උපන් දා ත් මපියාණන් වහන්සේට දරු සනා මෙසේ ම උපන්නේ වේ දැ'යි කීය.

මෑණියෝ ද එ වේලෙහි හඬා වැලප “පවු කළ පුත! කුමක් කියයි ද? තොප බාල කල ඇඟිලි අග පොළෙක් නැංග, එ කල තොප හඬා නොනැළැවෙන හෙයින් වඩාගෙන ගොස් අධිකරණ මධ්‍යයෙහි අමාත්‍යයන් පිරිවරා සිංහාසනයෙහි උන් තොප පියාණන් ඔරට වඩාලූහ, එ කල තොප පියරජ්ජුරුවෝ තොප හඬන සේ දැක එ පොළ ඇති ඇඟිල්ල තමන් කට ලා ගත්හ, එවේලෙහි පොළ මුඛයට සිල්විය. එවේලෙහි තොප පියාණෝ තොප කෙරෙහි කළ ප්‍රේමයෙන් ලේ මුසු වූ තොප ඇඟිල්ලෙහි ඒ සැරව දමා නොපියා ගැලපුවාහු වේ දැ”යි කියා “තොප පියාණන් තොප කෙරෙහි ඇති ප්‍රේම මෙසේ වෙ දැ”යි කීවා හු ය. එ කල අජාසත් රජ හඬා වැලප ගොස් පියරජහු දවා අලු හස් කැරවී ය.