සසරදී දෙව්දතුන් මහපොළොව ගිලි පරිදි

star_outline

මෙසේ මේ දෙවිදත් බුදුන්ට එක වාරයෙහි කළාවූ ද්වේෂය නිසා “සසර නො එක් වාරයෙහි ඔබ නසමි”යි උත්සාහ කොට නො එක් වාරයෙහි තෙමේ ම විනාශයට පැමිණී ය. සසරදී ම අටවාරයෙක්හි ඔහු මෙසේ මහපොළෝ ගිලී ය. බුදුන් බුදු වූ ජාතියෙහි හා නව වාරයෙක ඔහු මහ පොළෝ ගිලී ය. ද්වේෂය නම් තෙමේ සත්පුරුෂ වූ ජනයෙනි! එම කඳින් හුනු ගින්නෙන් එම කඳ දවන්නා සේ සත්ත්‍වයාගේ ද්වේෂාග්නිය ඔහු ම නසන්නේම ය. අනුන් නැසිය නොහෙන්නේ ම ය, සත්පුරුෂයන් විසින් කිපුනහු මෛත්‍රීන් ජයගන්නේය, අසත්පුරුෂයා සත්පුරුෂ ධර්‍මයෙන් ජයගත යුතුය. දිළිඳුහු දානයෙන් ජයගත යුතුය, බොරු කියන්නහු සබා කීමෙන් ජය ගත යුතු මැ යි. වදාළේ මැනෝ:

අක්කොධෙන ජිනෙ කොධං - අසාධුං සාධුනා ජිනෙ,

ජිනෙ කදරියං දානෙන - සච්චෙන අලිකවාදිනං.

තව ද: ඔහු බුදුන් සමයෙහි පොළොව ගිලූ පරිදි කවර යත්? මෙසේ සංසාර සාගරයෙහි නො එක් ජාතිශත සහස්‍රයෙහි බුදුන්ට වෛරීව ඇවිදුනාවූ දෙවිදත් මේ බුද්ධෝත්පාද කාලයෙහි කෝළිය නුවර සුප්‍රබුද්ධ රජහු නිසා සුදොවුන රජාණන් නං අමිතා නම් බිසොවුන් කුස පිළිසිඳ යශෝධරා දේවීන්ට බැහැ ව, බුදුන්ට උරෙහි දා සුහුරුබඩු ව බුදුන්ගේ වංශයෙහි ම උපන. ඔහු මහණවූ පරිදි පෙර කී අනුරුඬාදී රජුන්ගේ මහණ වීමෙහි කියන ලද ම ය. එ දවස් මල්ලරජුන්ගේ අනුපිය වෙනෙහි දී බුදුන් කෙරේ මහණ ව කර්‍මස්ථාන උගෙන භාවනා කරන්නාහු පෘථග්ජන වූ ධ්‍යාන උපදවාගෙන ආකාශයෙන් ඇවිදුනා තරම් කැමැති රූපයක් මවා ගන්නා තරම් සෘද්ධි ලදහ. අවශේෂ වූ සත්ත්‍වයන් මේ පළමුවන සෘද්ධිය ලත්කල සංසාර සාගරයෙන් ගොඩ නැඟීමට පසුරක් බැඳ ගත්තා සේ ප්‍රතිෂ්ඨාවට කාරණ වෙයි, මොහු ලදුවා වූ සෘධිය ශුනකයක්හු නාසයට වැඩි මුවපිත සේ ඕහට ම අනර්‍ථකාරී වි ය. හේ කෙසේ ද යත්? ශුනකයා නාසයට මුවපිත වැඩි කල්හි හෙතෙම සතුන් ගැන්මෙහි ඉතා ගිජු ච ඇත්පොවුවන් පවා පස්සෙහි දිව ගොස් භය නැති ඇතු කරා වැද ඔහු ඇත්පියෙන් කිහිඹියක සේ ගැහැටී තෙමේ ම විනාශයට පැමිණෙන්නේ ය. එසෙයින් ම මොහු ලද ධ්‍යානයද මෝහට අභිමාන වඩා විනාශයට මූලික වී ය. හේ කෙසේ ද? යත්;

“මා හා සමඟ මහණ වූ රජදරුවෝ ඇමදෙන ම පන්සිය පන්සිය පිරිස් සිටුවා, ලාභයෙන් යසසින් අගපැමිණියහ; මම තව දක්වා එකලා යෙමි, ජාතියෙන් යශසින් ඔවුන් හා ම සමය. දැන් මහණධම් පිරීමෙන් අඩු වෙම් දැ යි මහත් වූ අභිමානයක් උපදවා මම ද පර්‍ෂදක් ඇති කෙරෙමි යි, පර්‍ෂදක් ඇති කරන කල පළමු කොට ලාභය ඉපැදවුව මැනැව, නිරායාශයෙන් ලාභයක් උපදවා ගන්නා කල රජක්හු ම පහදවා ගත මැනැව. කෝශල බිම්බිසාරාදි මහා ප්‍රඥාවන්ත රජදරුවෝ තමන් මහ නුවණැ’ති හෙයින් බුදුන් රහතන් කෙරෙහි අති විශ්වාසයහ, එසේ හෙයින් ඔවුන් හැම කෛ‍රාටික ඥානයෙන් පහදවා ගත නො හැක්ක, මට තරම් අඥාන වූ මුර්ඛ වූ රජෙක් කවරෙක් දෝ හෝ”යි පරීක්‍ෂා කොට “තෙසැට දහසක් රාජධානි ඇති මුළු දඹදිවින් රජගහා නුවර බිම්සර රජහු පිත් අජාසත් කුමර කාරණාකාරණ නො දන්ති, නවුන් මනවුන් නො දන්ති, මවුපියන්ට නොකීකරුය, ඉතා ශ්‍රීවන්තය, එසේ හෙයින් ඔහු ඇසිරු කළෝ ද සිතු සිතූදෙයක් කොට ගන්නාහ, ඇසිල්ලෙකින් සුඛිත වන්නාහ, මනවුන්ට සංග්‍රහ නොකරන බවක් මිස, තමා පහන් කෙනකුන්ට සංග්‍රහක් කෙරේ නම් නො කල වස්නා මහා වර්ෂාවක් සේ පමණ නැතිව දෙයි, මේ මේ කාරණයෙන් මම ඔහු පහදවා ගතිම් නම් ලාභය උපදවා පිරිස් සිටුවාගත හැක්ක”යි සිතී ය.