එ වේලෙහි දෙවිදත් බෝසතුන් කෙරෙහි ආඝාත බැඳ මහත් වූ ක්‍රෝධයෙන් දත් කකා “මෙ බඳු ධනහානියක් කොට මාගේ රන්තලිය හැරගත්තා ජාති ජාතියෙහි නසම්වයි, කිසි කලෙකත් තා දුටු දුටු විටෙක තා කෙරෙහි මාගේ ක්‍රෝධයෙක් මුත් කරුණාවෙක් අහසට පොළව සේ දුරු වේව” යි කිය කියා ධන ශෝකයෙන් එ කෙණෙහි ම ළය පැලී මිය එ තැන්හි ම පස් කඳ හෙළීය.
බෝසතාණන් වහන්සේ ද මොහු කරන ප්‍රාර්ථනාව අසා ඔහු ළය පැළි මළ සේ දැක, ඔහු කෙරෙහි උපන් මහ කුළුණු ඇති ව “තෝ මා නසයි නම් මම තා නො නසම්ව යි, තාගේ ක්‍රෝධාග්නි මාගේ මෛත්‍රි ජලයෙන් නිවම්වයි තෝ තාගේ ද්වේෂයෙන් මාගේ ඇඟ මස් කඩ කඩ කොට කපයි නමුත් එ දවස් මම මාගේ ක්‍ෂාන්ති පාරමිතාව කුළුගනිම්ව යි, තෝ යම් දවසෙක මාගේ අඹුදරුවන් ආදිය උදුරා බැඳගෙන ගියේ නමුත් එ දවසු දු දානපාරමිතාව කුළුගනිම්ව යි යනාදීන් තෝ මට අනර්ථයක් කෙළෙහි නම් මම් මාගේ පාරමිතාර්ථ සිද්ධියෙන් වැඩක් ම සාදා ගනිම්ව යි, දැන් මා තා කෙරෙහි කළාවූ මෛත්‍රිය යම බුදුබව මට සාදාදීලව යි කියා සම්‍යක් ප්‍රාර්ථනා ම කොට ගත්සේක. එ දවස් කළාවූ ද්වේෂයෙන් බුදු වූ දවස් දක්වා දෙවිදත් බුදුන්ට වෛරී වී ය යි දතයුතු.
සසර ඇවිදිනා කල ත් ඔහු බුදුන්ට අවැඩක් ම සිතූ නියාවත්, ඔබට අනර්ථයක් නුවූ නියාවත්, මොහු තමාගේ ද්වේෂයෙන් ම තමා ම නට නියාව ත්, මේ මා මතු කියන ජාතිභේද කථාවෙන් අසා දැන සත්පුරුෂයන් විසින් අනුන් කෙරෙහි ද්වේෂයක් නො කොට සංසාර සාගරයෙන් ගැළවිය යුතු.
නළපාන ජාතකයෙහි දෙවිදත් අති ක්‍රෝධයෙන් මිය මහා වන මධ්‍යයෙක විලෙක උදක රාක්‍ෂස ව ඉපද විල දිය සඳහා බටු බටුවාවූ බොහෝ ප්‍රාණීන් අල්ව අල්වා ගෙන සල්ව සල්වා කා බොහෝ පවුරැස් කෙරෙයි. මාගේ ශ්‍රී මහා බොධිසත්ත්‍වයෝ ඒ ජාතියෙහි අසූ දහසක් වඳුරන්ට රජ ව ඉපැද ඒ වෙනෙහි ඇවිදිනා සේක් ඔහුගේ විලට පැමිණ බල බලා සිටියදී ම හුණුදඬු තුඩ තබාගෙන ගොඩ සිට ම සිත් සේ පැන් උරා බී අසූදහසක් නෑයන් හා සමඟ ජලස්නානය කොට වැඩිසේක. දෙවිදත් ‘මාගේ මේ සතුරා හා නෑයන් අද සිත් සේ කාපිය නුහුනුයෙමි” යි සුසුම් ලලා අන්තර්ධාන වි ය. මෙසේ ඒ ජාතියෙහි දු රාක්‍ෂසව ඉපැද පවා ඔබ නසා ගත නුහුනුයේ ම ය. එ දවස් ඔබ කළාවූ වික්‍රමය කල්පාන්තය දක්වා පවතිමින් සිටියේ ම ය.
තව ද: කුරුඞ්ගමිග ජාතකයෙහි ස්වාමිදරුවන් කුරුඞ්ග නම් මුවරජ කල දෙව්දත් රෞද්‍ර වූ වැදිකුලෙහි ඉපැද ප්‍රාණඝාත කොට කොට වෙනෙහි ඇවිදිනේ බෝසතුන් දැක “මේ මාගේ සතුරා කවර දවසෙක මරා ඇඟමස් සිත්සේ පළහා කාපියම් දෝ හෝ” යි සිතනුයේ බෝසතුන් ඵලාඵල අවුළා කන ගස්වල උඩ මැසි බැඳ එහි සැඟවී හිඳ රාත්‍රියෙහි නිඳි වරා යන එන මඟ උගුලු ලා වෙහෙසෙනුයේ තෙමේ ම වෙහෙසී විඩා වූ බව මුත් බෝසතුන් නසාගත නුහුනුයේ ම ය.
තව ද: මහාශීලව ජාතකයෙහි ස්වාමිදරුවන් මහා ශීලව නම් රජ ව, දශරාජ ධර්‍මයෙන් රාජ්‍ය ය කරන කල්හි දෙව්දත් දුෂ්ට වූ අමාත්‍යව ඔබ නිසා ම වසනුයේ, ඔබගේ ම පුරෙහි අසු ව තමා නො මරා ඇරපු කල්හි තවත් ඔබට ම විනාශ ය යොදනුයේ, කොසොල් රජහු කරා ගොස් ඔහු උගන්වා ගෙන, රජ පිරිස් ගෙන, පෙරළා අවුත් බෝසතුන්ගේ රාජ්‍යය ගෙන නිරපරාධ වූ බොධිසත්ත්‍වයන් හා දහසක් ඇමැතියන් කට පමණක් වළ තළවා අමුසොහොන්හි ලවා මහත් වධ කරවා පසුව බෝසතුන්ගේ ගුණ දත් දෙවියන් ස්වකීය වූ රාජ්‍ය ය ගෙන දුන් කල්හි මේ තෙමේ ම තමාගේ නුගුණ දත් තමා ම ගෙනා සතුරන් විසින් අතින් පයින් තළා දමන ලදු වි ය. ස්වාමිදරුවෝ ද ඒ ජාතියෙහි මෛත්‍රී පාරමිතාව කුළුගත් සේක් ම ය.
තව ද: වානරින්ද ජාතකයෙහි මේ මාගේ බෝධිසත්ත්‍වයන් වහන්සේ වඳුරුව ඉපැද ගඞගාවක් සමීපයෙහි වාසය කොට සතර ධර්‍මයෙන් ජයගත් සමයෙහි, මෙම දෙව්දත් එම ගඟ මහඔරුවක්සා කිඹුල් ව ඉපැද බෝසතුන් කමි යි උත්සාහකොට ගලතල පිට සැඟවී වැදහෙව තමා කටට පැනපු දා පවා කාපිය නුහුනුයේ ම ය.
තව ද: කුම්භිල ජාතකයෙහි දෙව්දත් කිඹුල් ව ම ඉපැද වඳුරු ව උපන් බොධිසත්ත්‍වයන් තමා පිට හිඳුවාගෙන ගංමැදට ගෙන ගොස් පවා එ දවසු දු නසාගත නුහුණුයේ ම ය.
තව ද: තයො ධර්‍ම ජාතකයෙහි දෙවිදත් අසූදහසක් වඳුරන්ට රජ ව උපන, බෝසතාණෝ ඕහට පුත්‍ර ව උපන් සේක. එ කල පවා බෝසතාණන් සනාන පසාරයෙන් මරමියි උත්සාහකොට එසේ ත් නසාගත නො හී දියරකුස්සා ලවා කවා මරවා පියමියි සිතා රකුසුවිලකට යවා එසේ ත් නසාගත නො හී, පසුව බෝසතුන්ගේ ඓශ්වර්‍ය්‍ය වඩ වඩා ගෙන යත් යත් තෙමේ ම ශෝකයෙන් ළපැළී මළේය. පසු ව බෝසතාණෝ අසූදහසක් වඳුරන්ට රජ ව ස්වස්ථයෙන් වාසය කළ සේක.
තව ද: දුම්මේධ ජාතකයෙහි දෙව්දත් මගධරට රජ ව ඉපැද බොධිසත්ත්‍වයන් සර්‍වාඞ්ග ධවල ව තමහට මඟුලැත් ව උපන් සමයෙහි පවා, බෝසතුන් පර්‍වතයක් මුදුනෙන් හෙළවා මරමි යි උත්සාහ කොට එ කෙණෙහි බෝ සතුන් කර්‍මජ වූ සෘද්ධි ලදින් ආකාශයට නැඟීගිය කල්හි තෙමේම හස්තිවාහනයෙන් පිරිහී පරිභවයට පැමිණියේ ය.
තව ද: අසම්පදාන ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් ශඞ්ඛ නම් ධනසිටුව දිළිඳුව ආ තමාට සතළිස් කෙළක් සම්පත් දුන් කල්හි තෙමේ ම තමාගේ රට ගොස් පිළිය නම් සිටුව සම්පත් විඳිනේ පසුව බෝසතුන් එ ම ජාතියෙහි දුඃඛිත ව තමා කරා ගිය දා බොල් වී තිඹක් දී අසත්පුරුෂ ධර්මයෙහි කෙළ පැමිණියේ ය.
තව ද: ගොධ ජාතකයෙහි ස්වාමිදරුවන් ගොධරාජව ඉපැද හීනයන්ගේ විශ්වාසයෙහි ආදීනව දක්වා වදාළ සමයෙහි දෙවිදත් කටුසු බොහොඬ ව ඉපැද පවා ඔබ නසමි යි උත්සාහකොට ගෝවැද්දන්ට බිලය පෑ දුම්සළා දෙවා නො එක් උත්සාහ කොටත් ඔබ නසාගත නොහී තෙමේ තමා දිවි නසාගත.
තව ද: සිගාල ජාතකයෙහි මේ මා ගේ බොධිසත්ත්‍වයන් වහන්සේ සිගාල රාජන්ව ඉපැද සුසාන භූමියෙහි කාරණාකාරණ දන්නා නුවණින් වාසය කරනසේක්. දෙවිදත් සුරාධූර්තව ඉපැද බෝසතුන් දැක දැහැව මායමකින් මරමියි සිතා පොල්ලක් අතින් ගෙන සොහොන්මැද ඇසපෙරළා, දත නියාගෙන, මළ මිනිසකු සේ වැදහොත්තේ ය, මාගේ බොධිසත්ත්‍වයෝ සොහොන්වල කඬ රෙදි බලා ඇවිදිනා තපස්වී රාජයකු සේ ගොදුරු බලා ඇවිදිනාසේක් මළ මිනියෙකැයි මොහු කරා පැමිණ අත තුබූ පොල්ල දැක “මළ මිනී අත පොලු තිබෙන්නේ කාරණයෙක් නො වෙයි, අපට මුන්ගේ මස් නො කැමැත්තේ ය” යී ආපස්සේ නික්මුණු සේක; දෙවිදත් පොල්ල දමාලා ගසා ත් වරදවා තෙමේ ම පැරද ගියේ ය.
තව ද: චුල්ලපදුම ජාතකයෙහි ස්වාමිදරුවන් පදුම නම් රජ ව රජ ය හැර ගොස් තපස් කරන කල, අත් පා කන් නාසා කපා තමා දියට දමාපී කල්හි දියෙන් ගොඩ නඟා වණ සුව කොට බෝසතුන්ගෙන් ඒසා සංග්‍රහයක් ලදින් පසුව ස්ත්‍රි ය උගන්වාගෙන බෝසතුන් සෙලින් හෙළවා දුර්ජනකම් කළාවූ කන් නාසා කොටා නමු දු මෙම දේවදත්තයා ම ය.
තවද: කාෂාව ජාතකයෙහි ස්වාමිදරුවන් අසූදහසක් ඇතුන් හා සමඟ පසේ බුදුන්ට උපස්ථානකොට පාරමිතා භූමියෙහි ඇවිදිනා කල දෙවිදත් හස්තිමාරක වැදිකලෙහි ඉපිද පසේ බුදුන්ගේ වෙස් ගෙන, කඩුවක් ගෙන කෂාපිළිය යට සඟවා හස්ති මාර්‍ගවල සැඟවී සොර තපස්වෙසින් හිඳ පවා දිවි පමණින් උත්සාහ කොට බෝසතුන් නසාගත නුහුනුයේ ම ය.
තව ද: රොම ජාතකයෙහි ස්වාමිදරුවන් පරාපත යෝනියෙහි උපන්කල දෙවිදත් කූට ජටිලයෙක්ව “මේ පරවියා අල්වාගෙන මරාපියා මස් කා පියමි”යි නො එක් සොරමායම් කොට හසු කොට නුහුණුයේ ම ය.
තව ද: ජවසකුණ ජාතකයෙහි ස්වාමිදරුවෝ කෑරල ව උපන් සේක. දෙවිදත් එම වෙනෙහි සිංහව ඉපැද නොයෙක් සතුන් මරා මස් කනුයේ මස්ඇටක් උගුරෙහි සරස්ව මහත් වූ වේදනාවෙන් මරණප්‍රාප්ත ව කට දල්වා ගෙන ආන ආනා හොත්තේය. එ වේලෙහි බෝධිසත්ත්‍වයෝ මොහු කෙරෙහි උපන් මහ කුළුණු ඇති ව “යහළු! මේ කිමෙක් දැ”යි විචාරා මස් ඇට ගෙලෙහි ගත් පවත් දැන මොහුගේ ආකාරයෙන් අසත් පුරුෂයෙකු බව ත් දැන දඬුකඬක් තුඩින් ගෙන ඔහු දෙතල්ලෙහි අවුළුවාලා යටට වැද ඇට ගසා හළ දෑය. දෙවිදත් ඇට ගැළවුනු බවු දැන “මා බඩ දළ ත් දැඩි ය, සත් දවසක් ගොදුරු නොලත් හෙයින් සතකු දිව අල්වා ගන්ට බලත් නැත, එතෙකින් මොහුගෙන් මට කම් නැත, කටට වන්නහු නො හරිමියි, දෙහනු ගසාලීය. එ කෙණෙහි දඬුකඩ යටි තල්ල හා උඩුතල්ලෙහි හැනී කීලයක් සේ සිට ඉනු දු වේදනා විය. බෝධිසත්ත්‍වයෝ මොහුගේ මේ කාරණ ය දැක යන ගමනෙහි ම පයින් දඬුකඩ ගසා හැර පිටතට පලා ගොස් “යහළු! මා නිසා එ තෙකින් දිවි ලදුව, මට කුමන සංග්‍රහයක් කරවුදැ”යි විචාළ දෑ ය. දෙවිදත් “මා වැනි සිංහයක්හු කටට වැද තා දිවි ලද්දේ ම එක් උපකාරයෙක් නොවේ දැ යි” යි අසත්පුරුෂ බස් කී ය.
තව ද: සාලික ජාතකයෙහි මාගේ බෝධිසත්ත්‍වයන් සත් හැවිරිදි කුමාර ව ගසක්මුල වැලි කෙළිනා සමයෙහි දෙවිදත් වෙද කුලෙහි ඉපැද මඟ යනුයේ බෝසතුන් දැක උපන් මහා ක්‍රෝධයෙන් ඔබ නොබ බලනුයේ ගස උඩ බිලයෙක්හි කරපොවා හොත් නයකු දැක “නයි ලවා මොහු කවා මරවා පියමි”යි සිතා “පැටව! තෙල බිලයේ කර පොවාලා හෝනා සැළලිහිණි පැටියන් අල්ලාගෙන නො කෙළින්නැ”යි කීය. බෝධිසත්ත්‍වයෝ ඔහුගේ වඤ්චාව නො දැන සැළලිහිණියෙකැයි යන සිතින් ගස උඩට නැඟි නයිගේ ග්‍රීවය අතින් අල්වා ගෙන සුස්මාපු හඬින් නයා බව දැන “අත හළ හොත් මා අත ම කඩා කයි” සිතාලා නයිබොටුව මිරිකා ම අල්වාගෙන නයි ඛිලයෙන් ඇද ඒ වෙදු කරපිටට දැමූ දෑ ය. නයා ඔහු බොටුවේ ම දරණ ලා ඒ ඒ තන්හි කර වටකොට කඩා කා එ තැන්හි ම මරා හෙළීය. මෙසේ බෝසතුන් නසමි යි ඒ ජාතියෙහි දු තෙමේ ම නට,
තව ද: ස්වර්ණ කර්කටක ජාතකයෙහි ස්වාමිදරුවන් බ්‍රාහ්මණ මහාසාරව කෙත්වත් බලන්ට ගිය දා දෙවිදත් තෙමේ කපුටු ව නයක්හු ලවා බෝසතුන් කවා එදාත් මරාගත නුහුනුයේ ම ය. තෙමේ ම කකුළු නළින් බොටුව සිඳුනා ලදුව නයි හා සමඟ ම දිවි නසාගත.
තව ද: පරන්තප ජාතකයෙහි දෙවිදත් පරන්තප නම් රජ ව පර පිහිඩාවෙන් අධර්මයෙන් රජ කරනුයේ බෝසතුන් තමහට පුත් ව උපන් කල්හි “තමහට ආ සතුරන් කරා බෝසතුන් යවා මරවමි”යි උත්සාහ කොට යවා ත් බෝසතාණන් නසා ගත නුහුණුයේ මය. පසු ව තෙමේ ම ඒ සතුරන් අත නස්නා ලදුව ජීවිතයෙනුදු රාජ්‍යයෙනුදු විනාශයට පැමිණියේ ම ය.
තව ද: කුක්කුටක ජාතකයෙහි දෙවිදත් බරණැස් රජ ව ඉපැද ස්වාමිදරුවන් වලිකුකුළුව උපන් කල පවා දෙවිදත් පියා උකුසුව ඉපැද පවා බෝසතුන් අල්වා ගනිමි යි උත්සාහ කොට නසාගත නො හී තෙමේ විනාශයට පැමිණියේ ම ය.
තව ද: මහාපදුම ජාතකයෙහි දෙවිදත් බරණැස් රජ ව ඉපැද අවිචාරමත්ව රාජ්‍යය කරනුයේ මහාපදුම නම් කුමාර ව බෝසතුන් තමහට ම පුත්‍ර ව උපන් කල්හි දුෂ්ට වූ ස්ත්‍රිය කී බස් ගිවිස රත්පියුමක් වන් මුවපියුමක් ඇති ඒ පියුම් නම් බෝසතුන් කෙරෙහි උපන් මහා ක්‍රොධයෙන් පුත්‍රප්‍රේමයක් නො සිතා බෝසතුන් දෙකකුල් ගෙන ශතපුරුෂ ප්‍රපාතයෙන් අධඃශීර්ෂකොට දමාපී ය. එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ දුර්ජන වූ ඒ ස්ත්‍රිය කෙරෙහි ද, ගලින් හෙළන පියාණන් කෙරෙහි ද, සියලු සතුන් කෙරෙහි ද සම මෙත් කළ සේක. එ කෙණෙහි ඒ පර්‍වතයෙහි අරක් ගත් දේවතාවා උඩට දැමූ පුතකු අත හෙළවා ගත් මවක සේ බෝසත් දෙ අත්ලෙහි හෙළවාගෙන උරපිට වතුරුවා දිවපහසින් නිදිගන්වා, එම පර්‍වතයෙහි වසන දිව්‍ය නාගරාජයාගේ එණ ගර්භයට වඩාලීය. නාරජ බෝසතුන් දැක මහාප්‍රේමයෙන් තමන්ගේ දිව්‍යසම්පත්තීන් අර්ධයක් දී රක්‍ෂා කෙළේය. සැරියුත් මහතෙරුන් වහන්සේ වැනියන් එම පර්වතයෙහි දිව්‍යරාජන් ව උපන් කල අනඳ මහ තෙරුන් වහන්සේ වැනියන් එහි ම නාග රාජ ව උපන් කල මාගේ ස්වාමිදරුවන් දෙවිදත්හු වැනියෝ කෙසේ නම් නසා ගනිද්ද?
තව ද: අම්බ ජාතකයෙහි ස්වාමිදරුවන් චණ්ඩාල වැ ඉපැද බ්‍රාහ්මණ කුලයෙහි උපන් දෙවිදත්හට ආචාරී වූ සමයෙහි, තෙමේ ජාතිමානයෙන් බෝසතුන් වළහා අනිකක්හු නම කියා ගුරුද්‍රෝහි කොට දිව්‍යාම්‍ර ඵල ගන්නා වූ එබඳු වූ අනර්ඝ වූ දිව්‍යමන්ත්‍රයෙකින් පිරිහී එම ශෝකයෙන් ජීවිතයෙනු දු පිරිහී ගිය.
තව ද: රූරුමිග ජාතකයෙහි ස්වාමිදරුවන් රන්වන් මුව රජ කල දෙවිදත් දියෙහි මියන්නේ බෝසතුන් නිසා දිවි ලදින් ඔබ කී මගම ජනපද ගොස් ඔබ වසන තැන් බරණැස් රජුට කියා, ඒ සා රජ පිරිසක් ගෙන බෝසතුන් කරා අවුත් ඒ සා භයක් උපදවා බෝසතුන්ගේ වික්‍රම දැක්වූ බව මුත් තමාගේ ම නුගුණ දැක්වූ බව මුත් ඔබට අවැඩක් කොටගත නුහුනුයේම ය.
තව ද: සොමනස්ස ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් බරණැස් රජහට පුත්‍ර සොමනස්ස නම් රාජකුමාර ව උපන් කල්හි දෙවිදත් කූට ජටිලව, රජ්ජුරුවන් හා “තොප පුතු මරව”යි නො එක් දුර්මන්ත්‍රණ කොට බෝසතුන් නසා ගත නුහුනුයේ ම ය. තෙමේ ම බෝසතුන් ගුණ දත් අමාත්‍යයන් විසින් මරා දිවි නසන ලදුයේ වී ය.
තව ද: චම්පෙය්‍ය ජාතකයෙහි ස්වාමිදරුවන් චම්පෙය්‍ය නම් නාගරාජන් ව එක විෂධූමයෙකින් මුළුලොව දවාපියන ආනුභාව ඇති ව පවා තපස් කරන සමයෙහි දෙවිදත් අභිතුණ්ඩික ව ඉපැද ඔබ දැක අල්ලා ගෙන දියබරණකු සේ කෙළවා නො එක් නිග්‍රහ කරනුයේ ඔබගේ පාරමිතාවට අන්තරාය කොට ගත නුහුනුයේ ම ය.
තව ද: ඡද්දන්ත ජාතකයෙහි දෙවිදත් සොණුත්තර නම් වැදි ව ඒ සා උත්සාහයෙකින් හිමාලය වනයට ගොස් බෝසතුන් විද මැරීය. බෝසතාණන් වහන්සේ එවේලෙහි පවා ඔහු කෙරෙහි සිත නො කලඹා ඔහු ම මුල්කොට දානපරමාර්ථ පාරමිතාව සිද්ධ කොට ගෙන බුදුබව පත පතා දළ දෙක කපා දන් දුන් සේක.
තවද මහා කපි ජාතකයෙහි ස්වාමිදරුවන් අසූදහසක් වඳුරන්ට රජ ව, මී අඹගස හසු ව බරණැස් රජුගේ දුනුවායන් සිසාරා සිටිය දී සියලු නෑයන් හින වැලක් බැඳ ගළවා ඥාත්‍යථී චර්යායෙහි මුදුන් පැමිණි දා දෙවිදත් එ වක බෝසතුන්ට සේවකව වසනුයේ එ දා ඒ අවකාශය දැක බෝසතුන් පිටට පැන දෙපයින් පිට මැඩ වසට කඩා ජීවිත හානි කොට ඔබ බලයෙන් ගැළවී පලා ගිය. බෝසතාණන් වහන්සේ ද ඔහු දෙපයින් වසට තළන වේලෙහි ද ද්වේෂයක් නොසිතා තමන් වහන්සේගේ පාරමිතා නමැති ප්‍රාසාදයෙහි කූටසන්‍ධිග්‍රහණයට පහරණ අතකුළු පහරක් කොට සිතා බුදුබවම ප්‍රාර්ථනා කළ සේක.
තව ද: භූරිදත්ත ජාතකයෙහි මේ මාගේ ස්වාමිදරුවන් භූරිදත්ත නම් නාරජ කල්හි දෙව්දත් වැදිපුත්‍ර ව ඉපැද බෝසතුන් දැක උපන් මහාක්‍රොධ ඇති ව, බෝසතුන් අල්ලා ගෙන ඉස සිසාරා බිම අපුළා විළුඹෙන් තුන් වාරයක් මැඩ කට ලේ වගුර වගුරා දළ කඩා හැර නො එක් පීඩා කෙරෙයි. මාගේ ස්වාමිදරුවෝ, “අද මම ක්‍රෝධයක් කෙළෙම් නම් මාගේ එක දත්හස්සෙකින් ගියා වූ එක විෂ බින්‍දුවකින් මොහු තබා මුළුලොවත් දවාපියමියි මොහුගේ ක්‍රෝධයට මම ත් ක්‍රෝධ කෙළෙම් නම් මොහුගෙත්, මාගෙත් වෙනසෙක් කිම් දැ”යි සිතා ඇකයේ හිඳ අතින් මිටින් ගසන පුතක්හු කෙරෙහි පහරින් පහරට සනා වඩන පියාණන් කෙනකුන් සේ මොහු කෙරෙහි මෛත්‍රී ම කළ සේක, අමෛත්‍රී නො කළ සේක.
තව ද: මණිචොර ජාතකයෙහි දෙවිදත් අධර්මිෂ්ඨ වූ රජ ව, නිරපරාධ වූ බොධිසත්ත්‍වයන් මැණික් මායමකින් සාපරාධකොට බෝසතුන් ඉස කප්පමි යි සිතා තමා ඉස කප්වාගෙන බෝසතුන්ට රාජ්‍යය දී තෙමේ ගොස් මහා නිරාවළ හින.
තව ද: ධර්‍මධ්වජ ජාතකයෙහි බෝසතුන් ධර්මධ්වජ නම් පණ්ඩිත ව ධර්මධ්වජය නඟා ලොකාර්‍ථ කළ සමයෙහි ද, දෙවිදත් කාළ නම් සේනාධිපතිව බෝසතුන්ට නො එක් මරණ ප්‍රයෝග කොට ඔබ මරාගත නුහුනුයේ පසුව බොහෝ දෙන තමාම අල්වා ගෙන මරා දමාපිහ.
තව ද: උපාහන ජාතකයෙහි ස්වාමිදරුවන් හස්ත්‍යාචාර්‍ය්‍ය කල දෙවිදත් ඔබ අතින් ශිල්ප ඉගෙන ඔබ හා ම ශිල්පයට වාද කොට ගුරුද්‍රෝහ කොට පැරද එ කෙණෙහි ද බොහෝ දෙනා විසින් අතින් පයින් තැළුම් ලදින් මිය අපාය ගත වී ය.
තව ද: ගුත්තිල ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් ගුත්තිල නම් ගන්ධර්‍ව කල ද මෙම දෙවිදත් මූෂිල නම් ගන්ධර්‍ව ව, ගුරුන් හා වාද කොට තෙමේ ම පැරද රජපිරිස අතින් පයින් තැළුම් ලදින් මිය ගොස් අපාය ගත විය.
තව ද: තිත්තර ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් වටු ව ඉපිද පවා වෙදත්‍රය නිමවා දැන දිසාපාමොක් ආචාරිධුරයෙහි සිට පන්සියක් දෙනාට ශිල්ප දුන් සමයෙහි දෙවිදත් කූට ජටිල නම් සොර තාපස ව ඇවිදිනේ බෝසතුන් දැක, එ දවස් රන්තලියෙහි කළා වූ ද්වේෂය මෙ දවස් දක්වා නුසුන් හෙයින් අවකාශයක් ලදින් බෝසතුන් මරා සිත් සේ ඇඟමස් කා එ කෙණෙහි ම, මතු ඔබට ම අගසවු වන ව්‍යාඝ්‍රරාජයා විසින් මරණ ලදුව එකෙණෙහිම අපාය ගත වී ය.
තව ද: ඛණ්ඩහාල ජාතකයෙහි ස්වාමිදරුවන් චන්ද්‍ර නම් රාජකුමාර කල දෙවිදත් තෙමේ ඛණ්ඩහාල නම් පුරෝහිත ව බෝසතුන් මරා යාග කරමි යි එ දවසුද නො එක් උත්සාහ කොට ඔබ නැසිය නුහුනුයේ තෙමේ ම මහජනයා විසින් නට.
තව ද: මහ උමංදායෙහි ස්වාමිදරුවන් මහෞෂධ නම් මහ පඬි ව ලොව බුද්ධෝත්පාද කාලයක් සේ කොට නුවණ නමැති මහ ලියයෙහි මල් රොන් සළා දෙවූ සමයෙහි මෙම දෙවිදත් කේවට්ට නම් පුරෝහිත බමුණු ෙව අටළොස් අක්ෂෞහිණී මහ සෙනගක් ගෙන අවුත් ඔබ වැඩහුන් නුවර සිසාරා හිඳ සාරමසක් මුළුල්ලෙහි නො එක් යුද්ධ කරවා නසා ගත නො හී ධර්‍මයුද්ධයෙක ජය ගනිමියි ඔබ කරා අවුත් තෙමේ ම පැරද නළලත් ලේ ලවා ගෙන ගොස් පසු ව විවාහ මන්ත්‍රණයෙන් ඔබ මරවමි යි සිතා අවුත් තෙමේ ම පැරද පතුපිට පහරකා දිවිලෙනකට වන් මුවපොල්ලකු සේ භයින් වෙවුලා ම, ගොස් නැවත තමාගේ නුවරට බෝසතුන් උපායෙන් ගෙන්වාගෙන මරවමියි උත්සාහ කොට නුවරට වැඩි දා ම තමාගේ පාය බිඳිනා වේලෙහි තෙමේ ම හුණපත්තෙන් පහර කෑ ය. ලක්‍ෂයක් අගනා රන්තලියට ඔබට වෛරව යමක් කරන්නා තබා ඔබටම තමා අතින් ලක්‍ෂයක් අත්ලස් දී තමාගේ ගෙය පමණක් ගළවා ගෙන මෙසේ ඒ ජාතියෙහි ත් බොහෝදෙනා අතින් අපහාස ම ලද.
තව ද: මහාපිඞ්ගල ජාතකයෙහි මෙම දෙවිදත් මහපිඞ්ගලනම් රජ ව ජම්බුද්වීපයෙහි දොර දොර හුණු සෙණක් සේ බොහෝ දෙනාට නිග්‍රහ කොට, අධර්මයෙන් රාජ්‍යය කෙරෙයි. සොළොස් දහසක් බිසෝවරු මොහු ඇස හුණු කසළක් සේ නුරුස්සති. රජ යුවරජ මහ ඇමැතියෝ මුයෙහි තිබූ බතින් සැපීගිය අකුරක් සේ ඔහු නො කැමැතියහ. රාජ්‍යවාසී සමයේ තමන් තමන් පය ඇනුණු කටුවක් කොට සිතති. එ කල මාගේ බොධිසත්ත්‍වයෝ ගිනිවළෙකින් මහ පියුමක් නැංගා සේ මෝහට පුත්‍ර ව ඉපැද බොහෝ දෙනා ඇසට රසාඤ්ජනයක් සේ ප්‍රිය වූ සේක. මෙ තෙමේ බෝසතුන්ගේ ඓශ්වය්‍ය වඩ වඩා ගෙන යත් යත් උපන් ශෝකයෙන් තෙමේ ම මිය ගොස් නරකයෙහි වැටීගියේ ය. එ කල රාජ්‍යවාසි මොහු දවා අළු හස්කොට බෝසතුන් ඔටුනු පළඳවා සිංහාසන මතුයෙහි හිඳුවා මොහු මළ සතුටින් උත්සව මඟුල් කෙරෙති. මොහුගේ ද්වාරපාලයා මිනී මළ තැනක් සේ මහ හඬින් හඬයි, බොහෝ දෙන මොහු එකලාවම සිට හඬන්නහු දැක “කොල! මේ කුමන විස්මයෙක් ද, පිඞ්ගල රජු මළ දවස් පටන් ගෙන හැම දෙන සන්තෝෂයෙන් කති, බොති, නටති, ගී කියති, දොම්නසක් ඇති කෙනෙක් නැත, රජු තට දීපු සම්පත් බොහෝම දැ”යි විචාළහ.
ද්වාරපාලයා කියනුයේ පිඞ්ගල රජුට ශෝකයෙන් නොවෙයි මා හඬන්නේ, පිඞ්ගල රජ මේ රජගෙට තමා වදනා යම් ම විටෙක ද පිටත් වන යම් ම විටෙක ද මා හිස්මුදුනෙහි ටොකු අටක් අටක් බැගින් ඇන මහත් වූ වෙදනා කෙරෙයි. ඔහු මළ දවස් පටන් ගෙන දැන් මා හිස සැතපී ගොස් මා ම රාජ්‍යය ලද්දා කොට සිතමි. ඒ මෙ තෙකට ගොස් නරකයෙහි වැටී යෙයි. තමා ගුණ නපුරු හෙයින් මට සේ ම යමයනුදු ඔළුවෙහි ටොකු අනිති, යමපල්ලු ඔහු අතින් ටොකු කා විඩාව පියා ‘අපගේ නරකයට මොහු නො කැමැත්තේ’යි නැවත ගෙනවුත් මෙම රජගෙහි ලා පියා යෙද්දෝ හෝ දෙවනු වත් ඔහුගේ දැක්මෙක් මට සම්ප්‍රාප්ත වේ දෝ හෝ යි මා කෙරෙහි ම කළ ශෝකයෙන් හඬමි”යි කී ය. එ කෙණෙහි මහරජ පිරිස ඔල්වරසන් දී මහ කෙළි කෙළියහ. මෙසේ දෙවිදත් ඔබ කෙරෙහි ද්වේෂ කොට තෙමේ මිය පවා බොහෝ දෙනා අතින් කරුණා නො ලදුයේ ම ය.
තව ද: මහා වෙස්සන්තර ජාතකයෙහි දෙවිදත් ජූජක නම් බුමුණු ව ඒ සා මහත් පුත්‍රදානයෙහිදී ත් නො එක් පරුෂ වාක් කියා ත් ඔබ දැක්ක දී දරුවන් මරාත් ඔබ සිත කලඹා ගත නුහුනුයේ ම ය. පසුව තෙමේ ම ජීවිතයෙනු දු පිරිහිණ, අමිත්ත තාපනා නම් අඹුවගෙනු දු පිරිහිණ, ඒ සා මහත් ධන සමූහයෙනුදු පිරිහිණ. ස්වාමිදරුවෝ වූ කලි තමන් වහන්සේගේ නො එක් ජාති නමැති නවරුවන් වැලයෙහි රුවන් මොර ඇටෙකින් මරා ඝර්‍ෂණය කොට ලූවා සේ, පාරමිතාවන් නිමවා සත්වාරයක් මහ පොළොව ගුගුරුවා දෙවියන් ලවා සත්රුවන් වැසි වස්වා මහත්වූ දාන කෝලාහල කොට එයින් වැඩ තුසී පුරයෙහි උපන් සේක් ම ය.
තව ද: සසර දෙවිදත්හු මහපොළොව ගිලූ ජාති අට නම් කවර? යත්; ශීලවනාග ජාතකයෙහි ස්වාමිදරුවන් ශීලව නම් ඇත් රජ ව වෙනෙහි එකලා ව තපස් කළ සමයෙහි දෙවිදත් දිළිඳු කුලයෙක ඉපැද කිසි කටයුත්තක් වල්වැද, වල්මත් ව, දිශා මූඪ ව, සත්දවසක් නිරාහාරව මරණ ප්‍රාප්ත වූ දා ඔබගේ ම කරුණාවෙන් ඒ වනයෙන් ගැළවී පසුව ඔබ කරා ම තුන් වාරයක් ගොස් දළ දන් ඉල්වා තුන්වාරයෙහි පොලු පොලු බැගින් දළ කපා තමහට දන් දුන් කල්හි අන්තවාරයෙහි මොහුගේ දුර්ජන භාරය දරාගත නො හී මහපොළොව පැළී සල්වා ගැල මහ නිරාවළ හිණ.
තව ද: ධර්‍මපාල ජාතකයෙහි දෙවිදත් මහප්‍රතාප නම් රජ ව තමහට ම දාව උපන් මාගේ බොධිසත්ත්‍වයන් ධර්‍මපාල නම් සත් මැසි කුමාර කල බෝසතුන් වඩාගෙන මෑණියන් වහන්සේ තමා දැක්ක දී උස උන්හ යි කිපී බෝසතුන්ට අසිමාලක නම් වධයක් යොදා අහසට දම දමා කඩු පහරින් සියලඟ කප කපා තූ තූ කොට ඒ සා රාජාඞ්ගනයෙහි මස් බිඳුයෙන්, ලේ බිඳුයෙන්, වදමල් කපා ඉස්නා සේ විසුරුවා පී ය.
මාගේ ස්වාමිදරුවෝ වසි කරවන දෙවිදත්හු කෙරෙහි ද, ඔහුගේ නියෝගයෙන් කඩුයෙන් සියලඟ පොලුගන්නා වධකයා කෙරෙහි ද, පියුම් පෙති සේ රාජාංගණයෙහි විසිර ගිය අතුල් පතුල් කන් නාසා අවුළ අවුළා සමහරක් හින ලාගෙන, සමහරක් තමන් ළෙහි තබා ගෙන. දරුශෝකයෙන් හඬා පෙරළෙන ඒ මෑණියන් වහන්සේ කෙරෙහි ද, මෙසේ වූ වධ විඳිනා තමන් වහන්සේ කෙරෙහි ද, සම වූ මෛත්‍රි කොට තමන්වහන්සේගේ ක්‍ෂාන්ති පාරමිතා නමැති මහ ගැල් කෙත්හි අද මාගේ වප් මඟුල් දිනයෙකැ යි සිතා වදාළ සේක. එකෙණෙහි ද මහපොළෝ පැළී ඔහු සල්ව සල්වා ගැල මහ නිරාවළ හින.
තව ද: ක්‍ෂාන්තිවාදී ජාතකයෙහි මේ මාගේ ස්වාමිදරුවන් ක්‍ෂාන්තිවාද නම් තාපස කල දෙවිදත් කලාබු නම් රජ ව ඔබ “ක්‍ෂාන්ති වාදිමි” කී බසට කිපී “අද කාගේ ක්‍ෂාන්තිය බලමි”යි දෑත් දෙපාකන් නාසා කප්වා කටු සැමිටියෙන් මරවා නො එක් වධ කොට “ක්‍ෂාන්ති වාදිමි”යි කියන බස හරවාගත නොහී, තව ද ක්‍රෝධය රඳවාගත නො හී දිව ගොස් ලෙහි තමාගේ විළුඹින් පහරක් ඇන්නේය. එවේලෙහි ද මාගේ ස්වාමිදරුවෝ ඔහු කෙරෙහි ද්වේෂයක් නො සිතා “මොහුගේ මේ විළුම් පහර නම් මීට ඒ වධයෙක් නො වෙයි. මාගේ ක්‍ෂාන්ති පාරමිතා නමැති මහමාලිගාවෙහි කූටසන්‍ධිග්‍රහණයෙන් ස්ථාවරත්‍වය පිණිස ගැසූ අත කුළු පහරක් වැන්නැ”යි ක්‍ෂාන්ති පාරමිතාව ම තර කළ සේක. එ කෙණෙහි දු දෙවිදත් මහ පොළොව පැළී සල්ව සල්වා ගැල් ගොස් නරක ගින්නට බත් වී ය.
තව ද: චෙතිය ජාතකයෙහි ස්වාමිදරුවන් කපිළ නම් මහා සෘෂි කල දෙවිදත් තෙමේ චෙතිය නම් රජව බෝසතුන් මලනුවන් කොට “කෝරකළඹයන් වැඩිමහලු කෙරෙමියි, බෝසතුන් බාල කෙරෙමි”යි ලොවට පළමු වන බොරු උපදවා ඵ කෙණෙහි ම ආකාශයෙන් බිමට වැටී මහපොළොව පැළී සල්ව සල්වා ගෙන ගොස් මහ නිරාවළ හින.
තව ද: චූලනන්දිය ජාතකයෙහි ස්වාමිදරුවන් වානර යෝනියෙහි ඉපැද මහා නන්‍දිය නම් වඳුරු රජ ව චූළනන්‍දිය නම් මලනුවන් හා සමග අන්ධ වූ මෑණියන්ට මෙහෙ කොට මාතුපට්ඨාන ධර්මය පූරණය කළ සමයෙහි දෙවිදත් වැදි ව වෙනෙහි ප්‍රාණඝාත කොට ඇවිදිනේ දවසෙක බෝසතුන්ගේ අන්‍ධ වූ මෑණියන් දැක විදිමි යි හී සැරයක් උරපුරා හයාගත. එ කෙණෙහි බෝසතාණෝ “මා මෑණියන් හැර පියව, මා ඇඟමස් ගනුව”යි කිය කියා මෑණියන් වහන්සේ පසුකොට ලා සිට ගත් දෑ ය. හෙතෙම දයාවක් නැති ව එම සැරයෙන් බෝසතුන් විද හෙළා අනික් සැරයක් හයා ගත. චූළනන්‍දිය නම් මලණුවෝද එසේ ම යාච්ඤා කොට “අප දෙදෙනාගේ මස් ගෙන අප මෑණියන් හැරපියව’”යි කියා හී පසට පැමිණියහ. උනුදු විද හෙළා අනික් සැරයෙකින් අන්‍ධ වූ වැඳිරි මැහැල්ල ද විද මෙසේ තුන්දෙනාම ජීවිත හරණය කොට එ දවසු දු මහ පොළොව පැළී ගොස් සල්ව සල්වා ගැල මහ නිරාවළ හින.
තව ද: ධර්‍ම ජාතකයෙහි මාගේ ස්වාමිදරුවන් ධර්‍ම නම් දිව්‍යරාජ ව ඉපැද මුළුලොව ධර්මයෙහි පිහිටුවා ලොකාර්‍ථචර්යාව පූරණය කළ සමයෙහි දෙවිදත් කෙසේ දෝ අත වැරද ගිය කුශල ධර්‍මයෙකින් අධර්‍ම නම් දිව්‍ය රාජන් ව ඉපැද ලෝවැසියන් අධර්‍ම සමාදානයෙහි පිහිටුවා අවැඩින් යෙදී ඇවිදිනේ දවසෙක බෝසතාණන් හා “අධර්‍මය වැඩි ය, ධර්‍මය අඩුය”යි තෙමේ අධර්‍ම වාද කොට බෝසතුන්ගේ ධර්‍ම වාදයට පැරද එ කෙණෙහි දු ආකාශයෙන් බිම හී මහ පොළොව පැළී ගොස් මහ නිරාවළ හින.
තව ද: පණ්ඩර ජාතකයෙහි ස්වාමිදරුවන් ගරුඬරාජන් ව උපන් සමයෙහි දෙවිදත් අචේල නම් තාපස ව ගරුඬයන් දුටු කල නයින්ට අනර්‍ථ උගන්වා, නයින් දුටු කල ගරුඬයන්ට අනථි උගන්වා, මෙසේ දෙපක්‍ෂයට මිත්‍ර ස්වරූපයෙන් අමිත්‍රකම් කොට මෙසේ මිත්‍රද්‍රෝහ බලයෙන් ඒ ජාතියෙහි දු සත්කඩක්.ව හිසපැළී අධඃශීෂීව මහපොළොව පැළීගොස් මහනිරාවළ හින.
තව ද: මහාකපි ජාතකයෙහි මෙම මාගේ බොධිසත්ත්‍වයන් වහන්සේ වානරෙන්‍ද්‍ර ව ඉපැද මහ වන මැදෙක වාසය කරන කල දෙවිදත් කෘෂි බ්‍රාහ්මණව ඉපැද කිසියම් ප්‍රයෝජනයෙකින් මහ වෙනෙහි ඇවිදිනේ සැටරියන් නරාවළෙක වැටී සත් දවසක් නිරාහාරයෙන් දුග් ගන්ති. එ කල බොධිසත්ත්‍වයෝ මොහු දැක උපන් මහාකරුණාවෙන් නො එක් උත්සාහයෙන් මොහු ගොඩ නගාගෙන විඩා සන්හිඳුවන පිණිස ඔහුම ඇකයේ සැක නැති ව ඉස තබා මඳක් සැතපී ගත්තෑය. එ කෙණෙහි දෙවිදත් එතෙකින් මොහුගෙන් මට කම් නැත. මොහු මරා ඇඟමස් කා කායබල උපදවාගෙන වලින් හෙලිබැස පියමි”යි සිතාලා පහණක් අතින් ගෙන පැහැර බෝසතුන් හිස්මුදුන පළාපීය. එ කෙණෙහි බෝධිසත්ත්‍වයෝ පිබිද මොහුගේ ආකාරය දැක ඇසිල්ලෙකින් ගස උඩට පැනනැඟී ඔහු කෙරේ ආඝාතයක් ම නො කොට “මොහුගේ දුර්ජනකම් නිසා මෝහට එ තෙකින් සහායක් නොවීම් නම් හෙලි බැස ගත නොහී මේ වෙනෙහි ම මියෙයි, එ කල මාගේ කරුණා පාරමිතාව කෙසේ මුදුන් පත් කොට ගනිම්දැ”යි සිතා වදාරා ඇස වසා වැටීගිය මස් වැදැල්ල එක් අතෙකින් ඔහවා ගෙන අතු අත්තට පැන පැන ගොස් ඕහට මඟ පෑ මනුෂ්‍යපථයෙහි ලූ සේක. දෙවිදත් මනුෂ්‍යපථයට ගොස් මිත්‍රද්‍රෝහකම් කළාවූ පවින් සර්වාඞ්ගයෙහි කුෂ්ට කිලාස ඇති ව, මනුෂ්‍යප්‍රේත ව සත් අවුරුද්දක් මුළුල්ලෙහි ගෙයක් නැති ව, දොරක් නැතිව ඇවිද පසුව බරණැස් රජ්ජුරුවන්ගේ උයනෙහි රජපිරිස බල බලා සිටිය දී මහ පොළොව පැළී සල්ව සල්වා ගැල ගොස් මහ නිරාවළ ම හින.