සඞ්ඝ භේද කර්‍මය කිරීම

star_outline

එ වේලෙහි දෙවිදත් මහතෙර තමන්ගේ කොකාලිකාදී සතර දෙනා මුහුණ බලා සොර හිඟිලා සිතින් සමාධි ඇතිව හුනස්නෙන් පැනනැඟී බුදුන් වැඳ “ස්වාමිනි! නුඹවහන්සේ මා ඉල්වූ යම් යම් වරයක් නොදී වදාරණ සේක් ම ය, මා කෙරෙහි සරුවක් නැතිසේක් ම ය”යි කියා තමන්ගේ විහාරයටම ගොස් බොහෝ අඥානයන්ට තමන් රූක්‍ෂ ප්‍රතිපත්තියෙන් බුදුන් අතින් වර ඉල්වූ නියාවත්, ඒ වර බුදුන් නුදුන් නියාවත්, “මෙයින් මතු අපි අපි ම එ පිළිවෙත් පුරම්හ. අද පටන් මම ද වෙන ම බුදුකම් කෙරෙමි”යි කියා අලුත අලුත මහණ වූ, පෘථග්ජන වූ කුසල් ලා වූ, මහණුන් ලා නො එක් දුර්මන්ත්‍රණ කොට පන්සියක් මහණුන් උගන්වා ගෙන තෙමේ වෙන්ව ගොස් සඞ්ඝභේදක්ඛන්‍ධයෙහි කී පරිද්දෙන් සඞ්ඝයා භේද කොට, තෙමේ වෙන ම පොහෝ පවුරුණු කොට, එයින් ගයා නම් ගංගාව සමීපයෙහි වෙහෙරක් කරවා එහි තෙමේත් බුදු වීමි යි කිය කියා බුදුන් සැටියට දවස් යවයි.

එ කල ස්වාමිදරුවෝ ඔහු උගන්වා ගෙන ගිය පන්සියක් මහණුන්ගේ නුවණ පිරි හුන් බවු දැන සැරියුත්-මුගලන් දෙදෙනා වහන්සේ කැඳවා “තෙපි දෙදෙන පලා ගොස් දෙවිදත්හුගේ මහණුන් ගෙනෙව”යි වදාළසේක. එ කල අගසවු දෙදෙනා වහන්සේ ගොස් දෙවිදත්හුගේ ආරාමයට වන් සේක. එ දවසු දු දෙවිදත් තමාගේ මහණුන් දෙපෙළ හිඳුවා ගෙන තෙමේ ධර්මාසනයෙක පැනනැගී සිංහයකුගේ වික්‍රම දක්වා හුන් කැනහිලකු සේ, බුදුන් සේම බණ කිය යි. එ වේලෙහි අගසවු දෙදෙනා වහන්සේ ආරාමයට වදනා දුටු භික්‍ෂූහු ගොසින් දෙවිදත්හට කීහ. දෙවිදත් “තමන් කෙරේ වසන්නට ආහ” යි සිතා සතුටු විය.

ඇළයේ හුන් කෝකාලිකයා කියනුයේ “ඔහු දෙදෙන නම් භවත් ගොයුම්හට වඩා සොරහ, තොප කෙරේ වසන්නට ආහ’යි නො සිතමි, තොපට විනාශයට ආහ යි සිතමි, ඔවුන් ඇතුළට නො ගන්ව’”යි කී ය. එ බසට දෙවිදත් “කුමක් දොඩයි ද, බුදු හුත් මමත් සමවූ කුල ඇතියම්හ, මම ඔවුන්ට ගුරුකමට නොතරම්ද, මට අගසවු කමට අවු ය. සැක නො කොට ම ඇතුළට ගන්ව”යි කියා දෙදෙනා වහන්සේම ඇතුළට ගෙන ප්‍රිය කථාකොට සැරියුත් මහ තෙරුන් වහන්සේ තමහට දකුණත ආසනයෙක හිඳුවාගෙන, මුඟලන් මහ තෙරුන් වහන්සේ වමත ආසනයෙක හිඳුවාගෙන, අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්වාමින් මාරුවට කෝකාලික මහල්ලා තමහට පිටිපස්සේ හිඳුවාගෙන, එතෙකින් තෙමේ සැබවින්ම බුදුව ගියෙමි යි සිත සිතා තෙමේ තමා බවු නො දන්නේ බණ ය යි කිය කියා තමා කටට ආ යම් ම දෙයක් දොඩා විඩාව ගොස් “බුදුන් සේම මමත් ශ්‍රාවකයන් ලවා බණ කියවමි”යි සිතා “ශාරිපුත්‍රස්ථවිරයෙනි! බණකියා විඩා ව ගියෙමි, පිට මඳක් රිදෙයි, මා මඳක් සැතපී ගත දී තෙපි බණ කියව”යි කියාලා තෙමේ ආසනයෙන් බැස සැරියුත් ස්වාමීන් අස්නෙහි හිඳුවාලා තෙමේ ආසනය පිටිපස්සෙහි බිතග් බඩ වැදහෙව “භො භො සාරිපුත්ත! සාධු සාධු සාරිපුත්ත!! දෙසෙථ ධම්මං සාරිපුත්ත!!!” යනාදීන් බුදුන් ඔබට කරන ස්තුති සැටියට තෙමේත් ස්තුති කොට කොට නිඳා මහ පිඹුරකු සේ සුස්ම සුස්මා තෙමේ තමා කොයි හොත් බවත් නො දන්ති.

එ වේලෙහි සැරියුත් ස්වාමි ආකාශ ගඞ්ගාව ගෙනහැර දක්වන්නා සේ, මුහුද මහරළකඳු දිවන්නා සේ, අනේක නයින් අනුබද්ධව ධර්‍ම දෙශනා කරන සේක. එ කෙණෙහි දෙව්දත්හුගේ පන්සියක් මහණු පිළිසිඹියාපත් රහත් ව ගියහ. ඔවුන් රහත් වූ බවු දැන දෙදෙනා වහන්සේ ම පියුම් විලෙකින් අහස්කුසට නැගි රාජහංසයන් දෙදෙනකු සේ ආකාශයට නැඟී බුදුන් වන දෙස බලා නික්මුණු සේක. සොල්මනකින් එක පැහැර අහස්කුසට පැනනැඟි ලිහිණි පෙළක් සේ, පන්සියක් රහත් සඟහු ද උන් උන් පොළින්ම ආකාශයට පැනනැඟී දෙදෙනා වහන්සේ පිරිවරා බුදුන් කරා ම ගියහ, එ කල දෙවිදත්හුගේ ආරාමය සිස් විය. තව ද දෙවිදත් පරමත්‍ව නිද්‍රා ම ය.

එ වේලෙහි කෝකාලික තෙම හැම මහණුන් ගිය බවු දැක තමා හා දෙව්දත්හු එකලා වූ සේ දැක තමා ම ළෙහි අත් ගස ගසා දෙවිදත්හු කරා දිව විළුඹෙන් ලෙහි හැන පුබුදුවා “කොල! තෝ මා කිය මන් නො ගත්තෙහි වේ ද; තාගේ හැම පිරිස් ගෙන අගසවුවෝ ගියෝ වේද, එතෙකින් තෝ බුදුකම් කෙසේ කෙරෙයි දැ”යි බැණ බැණ දණහිස නමාලා ඔහු ලෙහි කුළුපහරක් සේ ඇන්න. එකෙණෙහි දෙවිදත් හුණු ලේහැල්ලක් කටින් දමා එම ව්‍යාධිය මුල් කොට එතැන් පටන් නවමසක් ලෙඩ ව හෙව, පසු ව තමා ඒකාන්තයෙන් ම මියන බවු දැන තමා බුදුන්ට කළ නො එක් අපරාධ සිහිකොට උපන් භයින් “මියන ගමනෙහි බුදුන් වැඳ ක්‍ෂමා කරවමි” යි සිතා “මා බුදුන් දක්වා පියව”යි කීහ. අතවැසියෝ “තොප බුදුන්ට කළ ද්‍රෝහ තොපි ම නො දනු ද, බුදුහු තොප නො දක්නා සේකැ”යි කීහ. එ වේලෙහි දෙවිදත්:-

“වධකෙ දෙවදත්තෙ ච-චොරෙ අංගුලිමාලකෙ,

ධනපාලෙ රාහුලෙ වෙව-සබ්බත්‍ථ සම මානසො”‍යි.

යනු හෙයින් “බුදුහු මා කෙසේ අපරාධ කළත්, මා කෙරෙහි ආඝාතයක් නැතියහ” යි කියා තමා ඇඳකින් උසුළුවා ගෙන එවකට බුදුන් දෙවුරම බවු අසා ඔබ නික්මිණ.

ඔහු එන බවු අසා බුදුන් කරා ගොස් ‘“ස්වාමිනි! දෙවදත්තයෝ නුඹවහන්සේ දක්නට එමින් සිටියෝ ය”යි භික්ෂූන්වහන්සේ සැල කළ සේක. බුදුහු “මහණෙනි! දෙවිදත් මා දැක්ක නොහෙ”යි වදාළ සේක. තවද භික්ෂූන් වහන්සේ ‘ස්වාමීනි! දේවදත්තයෝ යොදනක් අවු ල. දෙගවුවක් තබා අවුල. ගව්වක් තැනට අවුල. අඩගවුවක් පමණ තැනට අවුල. දැන් අඩසනක් පමණ තෙන අවුල. වෙහෙරට පෙනෙන තෙනට අවුල” යනාදීන් ගොසින් දන්වන සේක. බුදුහු “මහණෙනි! දෙවිදත් මා අතින් පස්වරය ඉල්වා ගිය තෙක් පටන් බුද්ධ දර්ශනයට අභව්‍ය වි ය, ඔහු කළ කම් බෙහෙව, මා සේ බුදුහු සියක් දහසෙකුත් මෙ වකට ඔහු ගොඩනැඟිය නොහෙති, මේ ගන්‍ධමණ්ඩල මාලකයට ආ නමුත් මා දැක්ක නොහෙයි, ඇසිල්ලෙකින් ඕහට වෙන කම් දක්නා වා දැ” යි වදාළ සේක.

එකල දෙවිදත්හුගේ අතවැසියෝ ඔහු උසුළා ගෙනවුත් ජෙතවන දොරටුව සමීපයෙහි වූ පොකුණ මියර මතුයෙහි ඔහු ඇඳපිටින් තබාලා තුමූ නාන්නට දියට බටහ. එවේලෙහි දෙවිදත් දෙවුරම් දොරටුව දැක “දැන්දක් බුදුන් දකිමි”යි යන උත්සාහයෙන් කර්‍මජවූ බලයක් ලදින් මෙතෙක් දවස් නැගී සිටිය නො හෙනුයේ එ දවස් ඇඳින් නැඟී දෙපය බිම තබා වෙවුල වෙවුලා හුන්නේය. එකෙණෙහි මහපොළොව දෙකක්ව පැළී දඹදිව යට වළන් වස්නක් ඊ ඊ මතුයෙහි තුබුවාසේ, ක්‍රමයෙන් තුබූ අට මහා නරකයම එක රන්‍ධු ව යට තුබූ අවීචි මහනරකයෙන් ගිනිකඳෙක් පැන නැඟී පාශයකින් බැඳුවා සේ මොහු දෙකකුල් ගත. එකෙණෙහි කකුළුවකු පණුවකු සල්ව සල්වා ගලන්නාසේ දණ දක්වා ගැල නාභිය දක්වා ගැල-තනකිස දක්වා ගැල-ක්‍රම ක්‍රමයෙන් මෙසේ කර දක්වා ගැළපී ය.

එවේලෙහි දෙවිදත් “කොළ! මා ගනුව, මා ගනුව”යි මහ හඬින් හඬ හඬා බුදුන් සඳහන් කොට ‘“යශොධරා දේවීන් බැහැනනුයෙමි, රහල් තෙරුන් මයිලනුයෙමි, සුදොවුන් රජාණන් බැහැනනුයෙමි, එසේ හෙයින් ශාක්‍ය සිංහ වූ ලොවුතුරා බුදුනි! නුඹ සුහුරුබඩුයෙමි, ගැත්තවු අපරාධ කළත්, නුඹ නෑයන් බලා වී නමුත් අද මා රැක ගන්නැ”යි බුදුගුණ කියනුයේ,

ඉමෙහි අට්ඨිහි තමග්ගපුග්ගලං

දෙවාති දෙවං නරදම්මසාරථිං

සමන්තචක්ඛුං සතපුඤ්ඤලක්ඛණං

පාණෙහි බුද්ධං සරණං උපෙමි.

යන මේ ගාථාව කියා බුදුන් සරණ ගෙන බුදුන්ට ස්තුති පූජා කෙළේ ය.