එ කල “බුද්ධමාතාවෝ අද පිරිනිවන් පාවිත්ල, දැන් බුදුන් අතින් අවසර ඉල්වමින් සිටියෝ ල, ක්ෂමා කරවමින් සිටියෝල, බුදුහු ඔවුන්ට බණ වදාරමින් සිටි සේක්ල”යි සියලු ශ්‍රාවකයන්ට සැලව ගි ය. එ බස් අසා මහත් වූ ධර්‍මසංවේගයට පැමිණ “බුද්ධ මාතෘවූ මහ පින්වතුන්ට පවා නො නවත්නා ධර්‍මයෙක් වනැ”යි කිය කියා අඤ්ඤාකොණ්ඩඤ්ඤාදි අසූ මහ සවුවෝ පිරිවර හා සමඟ අවුත් ගඳැත් පෙළක් සේ පෙළ පෙළ සැදී බුදුන් සමීපයෙහි සිටියහ. නන්ද-රාහුල දෙදෙනා වහන්සේ ද පන්සියයක් ශාක්‍ය කුල ස්ථවිරයෝ ද ධර්‍මසංවේගයට පැමිණ සිටියහ. අනඳ මහ තෙරුන් වහන්සේ එවකට තමන් වහන්සේ රහත් නොවන හෙයින් ශෝක දරාගත නොහී “බුද්ධමාතාවන්ගේ පරිනිර්‍වාණය වනුයේ මාගේ බුදුන්ගේ පරිනිර්වාණ කාලය ආසන්න හෙයින්මය” යි සිත සිතා බාෂ්පධාරා වගුරුව වගුරුවා හඬන්නට පටන් ගත් සේක.
.
එ කල මහා ප්‍රජාපතී ගෝතමින් වහන්සේ මහාශ්‍රාවකයනුදු වැඳ සමුගෙන, පුතණුවන් වහන්සේ හා මුණුබුරාණන් වහන්සේද වැඳ සමුගෙන, අනඳ මහ තෙරුන් වහන්සේ හඬ හඬා සිටිනා තැනට ගොස් “මට ම පිය වූ, මට ම කල්‍යාණමිත්‍ර වූ, මට ම උපකාරී වූ, මට ම මේ සා නිවන් සුවයක් අනුබල ව සාදාදීලු, භික්ෂුණී ශාසනයට පිහිට ව මේ සා ලෝවැඩක් කළාවූ, පුතණුවෙනි! නුඹ බහුශ්‍රැතයන් කෙරෙහි අගපැමිණ සිටි කෙනකුන් වුව. බුද්ධෝපස්ථානයෙහි අප්‍රමාද කෙනකුන් වුව, මධුර ව බණ කීමෙහි ඉතා දක්ෂ වූ කෙනකුන් වුව, බුදු කෙනකුන් අතින් අට මහ වරයක් ලත් ශ්‍රීවන්තයාණ කෙනකුන් වුව, ධර්‍මභාණ්ඩාගාරය රක්ෂා කරන කෙනකුන් වුව, නුඹ වැනියන් හඬනු නො යෙදෙයි, මේ හැඬුව මනා කාලයෙක් නො වෙයි, මාගේ ආනන්‍දභෙරි වූ මහා මඞ්ගල්‍ය කාලයෙක.
එසේ හෙයින් නුඹ වැනියන් ඉතා සන්තෝෂ වුව මනා කාලයෙක, ඇසිල්ලෙකින් මා ලබන අද්භූත වූ මඟුල් නුඹ දක්නා දෑ ය; බුදුකෙනකුනුදු ලැබගත නො හැක්කා වූ මහත් වූ පූජා දැන් දක් මා ලබන ලෙස් බල බලා නො හඬා වැඩසිටිය මැනැව, නුඹගේ ම සහායයෙන් පැවිදි ලදිමි, උපසම්පදා ලදිමි, නුඹ මට කළ අනුබල සංග්‍රහ මම ත් ව්‍යර්ථ නො කෙළෙමි, පූර්වකාලයෙහි මහ පඬි වූ, සියස් වයස් ව ගියාවූ, ස්ත්‍රීනු දු සාදාගත නුහුනුවා වූ, දැක්ක නුහුණුවා වූ, රස නො දත්තා වූ, අමාමහ නිවන් රසයක් දැන් සත්හැවිරිදි කුමාරිකාවරුන්ට පවා සාදා දෙවා පීමි, දක්වා පීමි, රස දන්වා පීමි, සසුන් බල පෑ තුන්ලෝ වාසීන් තුඩ තුඩ සාධුකාර දෙවා පීමි, එසේ හෙයින් නුඹ මට කරවාලූ සංග්‍රහය ස්ථානෝචිත ය, මුදුන් පැමිණි අර්ථවනැ’’යි යනාදීන් නො එක් ඔවා තෙපුල් දී උන්වහන්සේ අස්වසා බුදුන් වන දෙස බලා සිටි දෑ ය.
එ වේලෙහි ස්වාමිදරුවෝ “බුද්ධමාතාවගේ වික්‍රම මුළුලෝවාසීන්ට දක්වා බුදුබල පෑ, පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි පවත්නා මාගේ බුද්ධ ශාසනයෙහි මතු අතිප්‍රසන්න වූ ශ්‍රද්ධාවන්ත කුලස්ත්‍රීන් මේ වික්‍රම අසා උපන් සන්තෝෂයෙන් ඔවුන්ගේ මුඛ පද්මයන් ප්‍රබෝධ කරවා, ශ්‍රීවන්ත වූ පුතුන් පැතීමෙහි උත්සාහ කරවා, බුද්ධමාතාවන්ගේ බල පරාක්‍රම මුළු ලොවට දක්වා, මතු බුදු වන බුදුන්ට ද මාතෘ ධර්‍මයන් පුරන්නා වූ කුලස්ත්‍රීන්ගේ වීර්‍ය්‍ය ද වඩනා සේ ලෝවැඩක් කරවමි”යි සිතා වදාරා මෑණියන් වහන්සේට “මහාප්‍රජාපති ගොතමිනි! බුද්ධමාතා වූ තොප වැනි පින්වත්හු ලෝකයෙහි ඉතා දුර්ලභයහ, එසේ තොප වැනියන් ලෝකවාසීන්ට පෙළහරක් නො දක්වා නිවන් පුරයට අප්‍රසිද්ධ ව පලායනු නො යෙදෙයි, මා තොපට කළාවූ සංග්‍රහ මතු ලෝක ප්‍රසිද්ධ වන සේ හා පෙර ස්ත්‍රීන්ගේ අභිසමයෙහි ශඞ්කා කළාවූ අඥාන වූ සත්ත්‍වයෝ බොහෝය. ඔවුන්ගේ ද ශඞ්කා දුරු කරන පිණිස දැන් මා මැදයෙහි තොපගෙන් කිසි යම් සෘද්ධිබලයක් දක්වා බලගැ”යි වදාළ සේක.
එ වේලෙහි උන්වහන්සේ බුදුන් වදාළ බස් මුදුනෙන් පිළිගෙන “යෙහෙක ස්වාමිනි! මා වැනියන්ගේ කුමන බල දක්වම් ද, නුඹගේ බුදුබල ලෝකවාසීන්ට දක්වා කිසියම් පෙළහරක් කෙරෙමි” යි කියාලා බුදුන් වැඳ අවසර ගෙන ධ්‍යානයට සමවැද ආකාශයට තලෙක, දෙ තලෙක, තුන් තලෙක, සතර තලෙක, පස් තලෙක, සතලෙක, සත් තලෙකැ යි නැඟි නැඟී, බැස බැස, සත් වාරයෙක බුදුන් වැඳ නැවත සියක් තල, දහසක් තල, ලක්ෂයක් තලැ යි ආකාශයට පැනනැඟී පුන්සඳක් සේ දිලිහි දිලිහී සිට දසදිග් බලා “මුළුලෝ වැසියෙනි මේ මාගේ බලයෙකැ යි නො සිතව, මපුතණුවන් ගෞතම බුදුන්ගේ සසුන් වන් සියලු ස්ත්‍රීන්ගේම බලයෙක් ම ය. එසේ හෙයින් මා පුතණුවන් ගෞතම බුදුන්ගේ පෙළහරක් බලව”යි හඬගෑ දෑ ය. එකෙණෙහි දසදහසක් සක්වළ සියලු දෙව් බඹපිරිස් රැස් ව තුන්ලෝ පුරා සිට බුදුන්ට සාධුනාදයෙන් ස්තුතිපූජා කළහ.
ඉක්බිත්තෙන් මෙහෙණින්නන් දෙදෙනකු සේ පෙනී, සතර දෙනකු සේ, අටදෙනකු සේ, සොළොස් දෙනකු සේ, සියක් දෙනකු සේ, දහසක් දෙනකු සේ, ලක්ෂයක් සේ, කෝටියක් සේ පෙනි පෙනී වෙන වෙන රූ මව මවා මේසා මුළු සක්වළ මුළුල්ලෙහි අහස්කුසට අවකාශයක් නො තබා චක්‍රවාට සරසියෙහි පිපී වැනී ගියාවූ රත්පියුම් වනයක් බුදුන්ට පිදුවා සේ එකලා වෙසින් සිට ඒ සා මහත් මෙහෙණිනි පිරිස ලවා මා පුතණුවන් ගෞතම බුදුන්ගේ බලයක් බලව යි කටින් කටින් කියවූ දෑය, එ කෙණෙහි දු මහත් වූ සාධු නාදයෙන් පූජා වි ය.
නැවත: ඒ සා මහපිරිස හෙළූ ඇසිපිය නඟා නො ලන ඇසිල්ලෙහි එ තෙක් රූ අන්තර්ධාන කොට නැවත ගුවන් කුස එකලා වෙසින් පෙනී “මම ය බුද්ධමාතාවෝ” යයි බැණ නැඟි දෑය, එ කෙණෙහි දු මහත් වූ සාධුනාද පූජා වි ය.
නැවත: විදුලියක් සැඟවුණා සේ අන්තර්ධාන වූ දෑ ය, තුන්ලෝ පුරා සිටි ඒ සා මහත් දිව්‍ය සේනාවෙන් උන්වහන්සේ කොයිවන් බවත් දන්නා කෙනෙක් නැත; උන්වහන්සේ දෙවු ලොව ත් නැත, බඹලොවත් නැත; මිනිස්ලොවත් නැත; මේ සක්වළත් නැත; පර සක්වළත් නැත; වැළි කොයි වන් සේක් ද යත්; සිටි තැන ම සිටිසේක. කොයි සැඟවුනු සේක් දෝ හෝ යි මහපිරිස කුහුල් වමින් සිටිය දී නැවත විදුලියක් පෙනී ගියා සේ මහපිරිසට පෙණුනු දෑ ය. එ කෙණෙහි දු සාධුනාද පූජා වී ය.
නැවත: පිරිස බල බලා සිටිය දී උතුරුකුරු දිවයින මෙර ගලින් මුවා වූ දෑ ය, එ කෙණෙහි දු දන්නෝ නැත, මෙ තෙන සිට පෙනෙත්ව යි අධිෂ්ඨාන කළ දෑ ය; දෑවානයෙකින් වැසූ රන් මල්දමක් සේ ඒ සා මෙරගල විනිවිද විශේෂයෙන් පෙණුනු දෑ ය, එ කෙණෙහි දු සාධුනාද පූජා වි ය.
එයින් ගොස් සක්වළ ගලින් මුවා වූ දෑ ය, නැවත සක්වළගල විනිවිද පෙණුනු දෑ ය, එ කෙණෙහි දු සාධු නාද පූජා වි ය.
නැවත අහස්කුස පෙනී “තුන්ලෝ වැසියෙනි! මේ මාගේ බලයෙක් නො වෙයි. ම පුතණුවන් ගෞතම බුදුන්ගේ සසුන් වන් සත් හැවිරිදි කුමාරිකාවරුන්ගේ පවා මෙබඳු වූ පෙළහර ඇත් ම ය. එසේ හෙයින් මෙයි දු බුදුන්ගේ ගුණමහිමයෙකැ”යි හඬගෑ දෑ ය. එ කෙණෙහි දු බුදුන්ට දුන් සාධුනාද පූජා තුන්ලෝ පුරා ගි ය.
නැවත: “කුමන පෙළහරක් දක්වන සේක් දෝ හෝ”යි මහ පිරිස සිත සිතා සිටිය දී අසුරුසනක් කලින් අහසින් බැස මහ පොළොව කිමිද යට සාරලක්ෂ, අසූදහසක් යොදුන් දිය පොළොව කිමිද, එයින් නවලක්ෂ සැටදහසක් යොදුන් වා පොළොව කිමිද යට අජටාකාශය බලා, නැවත හුස්මක් නඟා නො ලන ඇසිල්ලෙහි දක්‍ෂිණ සාගරයෙන් පැන නැඟි දෑ ය, එ කෙණෙහි දු සාධු නාද පූජා විය.
නැවත: දක්‍ෂිණ සාගරය කිමිද පශ්චිම සාගරයෙන් නැඟි දෑ ය, පශ්චිම සාගරයෙන් කිමිද උත්තර සාගරයෙන් නැඟි දෑ ය, උත්තර සාගරය කිමිද පූර්වසාගරයෙන් නැඟි දෑ ය, පූර්ව සාගරය කිමිද දක්‍ෂිණ සාගරයෙන් නැඟි දෑ ය, ඒ ඒ කාලයෙහිදු සාධු නාද පූජා වි ය.
නැවත: සතර මහා සාගරය සිසාරා කීපවාරයක් සක්මන් කළ දෑ ය, නැවත එයින් ආකාශයට පැන නැඟී “සියලු සත්හු ම මා දකිත්ව”යි අධිෂ්ඨාන කොට ලා අහස්කුස පලක් බැඳ රන් පිළිමයක් සේ වැඩහුන් සේක.
තව ද: කුමන විස්මයක් පානා සේක් දෝ හෝ යි සියලුදෙනා බලන කල්හි ශරීර ය මහත් කොට මව මවා ක්‍රම ක්‍රමයෙන් උස් උස් ව දෙව්ලෝ බඹලෝ ගෙවා ශිරස තබා ගෙන මේ සා මුළු තුන්ලොව එක කයින් හැසවා ගෙන පූර්ව පශ්චිම චක්‍රවාටයෙහි දෙදන මඬුල්ල තබාගෙන වැඩඋන්නා සේ පෙනී “මම දෙවියෙක් බඹෙක් නො වෙමි, බුදුන්ට කිරිමව්කම් කළා වූ එක්තරා එක් ස්ත්‍රියක්මි, බුදුන්ගෙන් මා ලද කිසියම් ගුණලවයෙක්හි බල බලව”දි කී දෑ ය. එ කෙණෙහි දු මහත් වූ සාධුකාර පූජා වි ය. තුන්ලොව උන්වහන්සේගේ එක මෙහෙණි රූපයට ම අවකාශ වූ කල දෙවි බඹ කැලෝ කොයි වැද සිටියාහු ද? යත්; එසේ නැත; උන්වහන්සේ තමන් වහන්සේගේ ස්වභාව වූ ශරීරයෙන් අඟලක් සා තැනුත් මහත් වූයේත් නැත, උස් වූයේත් නැත; ඒ අසාධාරණ වූ ඍද්ධි මහිමයෙක් ම ය, එ වෙනි සෘද්ධි ලදුවවුන්ට මුත් නොදැනේ ම ය, නො සිතේ ම ය, සෘඬිවිෂ ය අචින්ත්‍ය ම ය.
නැවත: එ පෙළහර හැර එක් අතක් පොවා එක්ලක්ෂ අට සැට දහසක් යොදුන් උස මෙරගල කුඩ දණ්ඩක් සේ හයා ගෙන අනික් අත දිගු කොට දෙ ලක්ෂ සතළිස් දහසක් යොදුන් ඝන කඩ බොල් මහපොළොව අනික් සක්වළකින් පාන්මාලාවක් සේ හයා ගෙන, මෙරගල මතුයෙහි තබා එක් අතෙකින් පත්කුඩයක් සේ ගෙන, නැඟෙන හිරි සක්වළ මුවවිට සිට පැළසක්වළ මුව විටට ය, පැළසක්වළ මුවවිටින් පූර්වසක්වළ මුවවිටට ය, උතුරු සක්වළ ගලින් දකුණු සක්වළ ගලට ය, දකුණු සක්වළ ගලින් උතුරු සක්වළ ගලට ය, සක්වළගල සිසාරා ය යි. නො එක් වාරයෙහි සක්මන් කොට වදාළ සේක. එ කෙණෙහි දු සාධුනාද පූජායෙන් තුන්ලෝ පිරී ගිය.
නැවත: එ පෙළහර හැරපියා සියලඟින් දුම්කඳු හැර හැර මුළුලොව එකාන්‍ධකාර කළ දෑ ය, දෙවියෝ බඹුන්ට නොපෙනෙති, බඹු දෙවියන්ට නො පෙනෙති, මනුෂ්‍යයෝ ද ඔවුනො’වුන්ට නො පෙනෙති, “කොල! මේ කුමන පෙළහරක් ද, අපි ඇම ඔවුනො‘වුන් නො දකිමෝ, තොපි කොයි ද, මම කොයි ද, රෑව ගිය නියා ද, හිරු ගල නොහී ම කෙසේ රෑ වූ නියා දැ”යි යනාදීන් කිය කියා සිටි කල්හි, නැවත ඒ අඳුර අන්තර්ධාන කොට හිරි රස් කලබක් සේ පෙනී තේජෝකසින සමාපත්තියට සමවැදලා සියලඟින් ගිනි කඳු හැර තුන්ලොව ම ඒකාලොක කොට ගිනිපුලිඟුයෙන් පිරූ දෑ ය, ඒ සා මහත් ගින්නෙන් මුළු ලොව ම මකුළු හු දැලකටත් හානියෙක් නො වීම ය, එ කෙණෙහිදු “මුළු ලෝ වැසියෙනි! මේ කප් ගින්නෙකුත් නොවෙයි, සෙසු අවැඩකරු ගින්නෙකුත් නො වෙයි, භය නො කරව, මහා ගෞතම බුදුන්ගේ චුල්ලමාතාවන් කළ පෙළහර වූ ලෝවැඩ ගිනිය සසුන් බල බලව’යි හඬගා කී දෑ ය; එ කෙණෙහි දු දුන් සාධුනාද පූජායෙන් තුන් ලෝ පිරී ගිය.
නැවත: එ ගිනි අන්තර්ධාන කොට පෙනී “මීටත් වඩා පෙළහරෙක් තවත් ලෝකයෙහි ඇද්දෝ හෝ”යි මහපිරිස කුහුල්වමින් සිටියදී “තව ද පෙළහරක් බලව”යි කියාලා ආකාශයෙහි සිටි පොළ සිට ම, එක් අතක් දිගු කොට කොට පන්සියක් යොදුන් හිමාලය පර්වතයට පොවාලා එහි මුචලින්‍දය, සිනෙරුය, මන්දාරය, දද්දරය, චිත්‍රකූටය, කාළකූටය, කෛලාසකුටය, සුදර්ශනකූටය, ගන්‍ධමාදනකූටය, චුල්ලකාළය, මහාකාළය, චන්‍ද්‍රපාර්ශ්වය, සූර්‍ය්‍යපාර්ශ්වය, ජලපාර්ශ්වය, මණිපාර්ශ්වය යි යනාදි වූ සුවාසූ දහසක් පර්වත සමූහයන් අබබිජු අවුළන්නා සේ, අවුළා එක මිටට ගෙන අත නඟා පෑ සේක. එ කෙණෙහිදු මහ පිරිස සාධුකාර දුන්හ.
නැවත: ඒ පර්වතයන් ස්වකීය ස්වකීය ස්ථානයට ම හැර දෑඟිල්ලක් පොවා එක් ඇඟිල්ලෙකින් පනස් යොදුන් හිරි මඬල වසා අනික් ඇඟිල්ලෙන් උනු පනස් යොදුන් සඳමඬල කිසිවක් නො පෙනෙන සේ වසා පෙළහර පෑ දෑ ය. ඒ පෙළහරෙහි දු දෙවි මිනිස්සු සාධුකාර දුන්හ.
නැවත: අනික් පෙළහරකු දු බලව යි කියා සිටි පොළ සිට ම එක් අතක් දිගු කොට දාසක් සක්වළෙහි හිරිමඬුලු දාසක් හා සඳමඬුලු දාසක් හයා ගෙන පෙරට තබා සෘද්ධි සූත්‍රයෙන් අවුණා මන්ත්‍රවැල දෙකක් සේ, දෑතින් ගෙන සිටි දෑ ය. එ කෙණෙහිදු තුන් ලෝ වැසියෝ මහත් වූ සාධුකාර කොට බුදුන්ට ම මහත් වූ ස්තුති පූජා කළහ.
නැවත: එ පෙළහර ද හැරපු සේක; එ කෙණෙහි යම් සේ යපාලමක් රත්කොට කිනිහිරි මුදුනේ තබා කුළු මුදුනෙන් පහළ කල ඒ ඒ දිග්හි දිවන්නා වූ ගිනිමල් සේ හිරි මඬුලු දාසත්, සඳමඬුලු දාසත්, ඒ ඒ දිග්හි දිවීය, එයි දු එක් පෙළහරෙක, එ පෙළහර දුටු වේලෙහි සත්ත්වයන්ට උපන් සන්තොෂ ද මෙ තෙකැ යි පමණ නැත.
නැවත: හිරි විමන ආසන කොට, සඳවිමන ආලම්බන කොට වැඩහිඳ ධ්‍යාන මුහුර්තයකින් එක් පෙළහරක් දැක්වූ දෑ ය, එ කෙණෙහිදු දෙවි මිනිස්සු සාධුකාර දුන්හ.
නැවත: එ පෙළහර ද හැර එක් අතක් දිගු කොට සතර මහා සාගරයෙහි දිය එක අත්ලෙන් උකාගෙන අත ඔසවා පෑ දෑ ය, එ කෙණෙහි සමුද්‍රයෙහි පැන් නො දැක සියලු දෙවි මිනිස්සු ‘‘කොල! මේ කුමන විස්මයෙක් ද, මහමුහුද පැන් කොයි වන්දැ”යි කියන්නාහු එ කෙණෙහි “එම්බා සත්ත්වයෙනි! මහමුහුද පැන් මාගේ මේ අත්ලේ තුබුයේ ය, සියලු ප්‍රාණීන්ට ද කිසි හානියෙකුත් නො වී ය, තෙල පැන් බලව”යි අතලොස්සෙහි පැන් මහමුහුදට දැමූ දෑ ය, එ කෙණෙහි කල්පාන්ත වර්ෂාවක් සේ යොදුන්, දෙයොදුන්, සිය දහස් යොදුන් ජලධාරාවෝ මුළු සක්වළ පුරා වැගිර සතර මහා සාගරය පෙර සේ ම පුරා සිට ගත්හ. එ පෙළහර දුටු දෙවි, මිනිස්සු සාධුනාද පූජාවෙන් තුන්ලෝ පිරූහ.
නැවත: “දෙව්මිනිසිනි! තව ද බුද්ධමාතාවන්ගේ පෙළහර බලයක් බලව”යි කියාලා සක්විති රජක්හුගේ වෙසක් මවා චක්‍ර රත්නාදි සත්රුවන මවා, සුවාසූදහසක් රජසෙනග මවා, සතිස් යොදනෙක පැතිර සිටි සෙනඟක් මවා, ආකාශයෙහි ගමන් ගත් සක්විති රජක්හුගේ ශ්‍රීවිභූති දැක්වූ දෑ ය, එ පෙළහර දුටු සත්ත්වයෝ ද “සක්විති රජකු හා බුදුකෙනෙකුන් හා, එක සක්වළෙක ඉපදීමෙක් ඇද් ද, මේ කුමන විස්මයෙක් දැ”යි කිය කියා සිටියහ, එ වේලෙහි තමන් වහන්සේ “සත්ත්වයෙනි! මම සක්විති රජෙක් නො වෙමි, බුදුන් මවු මහාප්‍රජාපතී ගොතමී නම් මම් ම වේ දැ”යි හඬගා කී දෑය, එ කෙණෙහිදු සාධුනාද පූජාවට තුන් ලෝකුස කුඩා ව ගියා ය යි සිතමි.
නැවත: මහත් වූ ඇත් වෙසක් මවා, සියදහස් යොදුන් තැන් වසා සිට, තුන්ලොවට ඇසෙන සේ හස්ති කුඤ්චනාද නම් පූජාවක් බුදුන්ට කළ දෑය, ඒ ඇත්වෙස ද අන්තර්ධාන කොට ඉතා මහත් වූ ගුරුළුවෙසක් මවා, දෙපියායෙන් මුළු සක්වළගබ වියනක් සේ වසා ගෙන පෙනී ගරුඩනාද නම් පූජාවක් කළ දෑ ය.
නැවත ඒ ගරුඬරූපය අන්තර්ධාන කොට මහත් වූ සිංහ රූපයක් මවා ආකාශයෙහි පෙනී තුන්ලොවට ඇසෙන සේ ගර්ජනා කොට සිංහනාදයෙන් බුදුන් පිදු දෑය.
නැවත: ඒ සිංහරූප ය අන්තර්ධාන කොට ආකාශයෙහි ස්වරූප වූ මහණ වෙසින් පෙනී:-
මාතුච්ඡා තෙ මහාවීර - තව සාසන කාරිකා
අනුප්පත්තා සකං අත්‍ථං - පාදෙ වන්‍දති චක්ඛුමා-යි.
යන මේ ගාථාව කිය කියා ආකාශයෙන් බැස බුදුන් වැඳ “ස්වාමීනි! බුදුරජාණෙනි! මේ පෙළහර කළා වූ මම දෙවි බඹ කෙනෙකුන්ගේ ආනුභාවයෙකින් අනික්, කෙනෙකුන්ගේ උපදෙසකින් නො කෙළෙමි, නුඹවහන්සේ උගන්වාලූ උපදෙස් වූ පරිද්දෙන් ම කෙළෙමි, නුඹවහන්සේගේ සසුන් වන් ස්ත්‍රීන්ගේ ද බල දැක්වීමි, නුඹගේ ද බල දැක්වීමි, මම නුඹගේ කුඩා මෑණියෙමි, මහා ප්‍රජාපති ගෝතමී නම් මම ය”යි යනාදීන් කිය කියා ආකාශයෙන් බැස බුදුන් වැඳ එකත් පස් ව හුන් සේක.
එ කල මේ පෙළහරෙහි පහන් වූ සියලු ස්ත්‍රී පුරුෂයෝ යුගාන්ත වාතයෙන් එක විට නැමුනා වූ මහ සල් වනයක් සේ උන්වහන්සේගේ පාද මූලයෙහි වැඳ පෙරළී “ස්වාමීනි! මෙතෙක් දවස් බුදු වූ සේක් අප බුදුහු ම ය යි සිතුම්හ, නුඹ ත් බුදු වූ බවු නො දතුම්හ, පුතණුවන් වහන්සේ පළමු කොට බුදුකොටලා නුඹ පසුව බුදු වූ දෑ ද” යනාදීන් ඔබට සියදහස් ගණන් ස්තුති පූජා කොට “මෙසේ වූ පෙළහර හා මෙසේ වූ ආනුභාවයක් ලැබීමට කෙසේ වූ පිනක් කළ සේක් දැ”යි විචාළහ. එ වේලෙහි “තවද සත්ත්වයන් වඩ වඩා පින් කැරවීමෙහි උත්සාහ වඩවමි”යි සිතා පෙර තමන් වහන්සේ කළ කුශලමූල ය දක්වන සේක් මෙසේ වූ ඍද්ධි බලයක් අනෙක් කාරණයෙකින් ලදුයෙම් නො වෙමි, පූර්වජාතියෙහි කළ කුශලබලයෙකින් ම ලදුයෙමි යි. ඒ කෙසේ ද යත්?
මෙයින් කප්ලක්‍ෂයෙකින් යට පියමතුරා නම් බුදුරජාණ කෙනෙක් ලෝකයෙහි උපන් සේක, එ කල ඒ බුදුන්ගේ ද චුල්ල මාතා කෙනෙක් ඒ බුදුන්ගේ සසුන් වැද මහණ වූහ; එ කල බුදු රජාණෝ සිවු වනක් පර්ෂද් මැද ඔවුන් රාත්‍රඥයන් කෙරෙහි අග්‍ර කොට භික්ෂුණී ශාසනයට ප්‍රධාන වූ ස්ථානාන්තර දුන් සේක. එ සමයෙහි මම ශ්‍රීමත් වූ කුලස්ත්‍රියක් ව ඉපැද ශ්‍රද්ධා ලදින් කලින් කලට වෙහෙරට ගොස් බුදුන් අතින් බණ අසනුයෙම් ඒ ස්ථවිරීන් ගේ මහිම දැක “මේ ලෝකයෙහි ස්ත්‍රී ජාතියෙහි ඵල ලදුවෝ නම් මෙ බඳු වූ ස්ත්‍රීහු ම ය. රූ ඇතියන් කෙරෙහි අග්‍ර වූහ, රජක්හට අගමෙහෙසිනි වූහ, බුදුකෙනකුන්ට මවු වූහ, භික්ෂුණී ශාසනයට ගුරු වූහ, අමාමහ නිවන් දුටහ, සෘද්ධිමතුන් කෙරෙහි අග පැමිණියහ. මෙසේ එක ජාතියෙහි ම පඤ්ච ස්ථානයෙකින් අග්‍ර වූහ, මෙ බඳු වූ ශ්‍රී විභූතියෙක් මට ද වී නම් යෙහෙකැ”යි පත පතා ඒ බුදුන් පවරා සත් දවසක් මධුරාහාරයෙන් ලක්ෂ ගණන් ශ්‍රාවකයන් හා බුදුන් වළඳවා පසුව දා අනැඟි වූ පිරිකර දී “මට ද මෙ බඳු වූ ස්ථානාන්තරයෙක් වී නම් යෙහෙකැ”යි පතා බුදුන් වැඳ හොත්තෙමි.
ඒ බුදුහු “මේ පිනෙන් මතු තොයිදු රජකුලයෙක්හි ඉපැද දිව්‍ය සමාන රූප සම්පත් ලදින් ශුද්ධෝදන නම් රජක්හට අග බිසෝ ව එ කල උපදිනා ගෞතම නම් බුදුන්ට චුල්ලමාතා ව ඔවුන්ගේ සසුන් වැද මහණ ව භික්ෂුණී ශාසනයට ගුරු ව අමා මහ නිවන් දැක සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය ඇතියවුන්ට අග්‍රව රාත්‍රඥ මහාප්‍රජාපතී ගොතමී ය යි මෙ නමින් ප්‍රසිද්ධ වන්නීය”යි විවරණ පතුල් දුන් සේක. එකෙණෙහි දු මට අද සේ ම සියලු දෙවි මිනිස්සු සාධු නාදයෙන් පූජා කළහ. එ තැන් පටන් කප් ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව මිනිස් ලොව ඇවිදිනා ලදුයෙම් එක් කලෙක ත් සතර අපාය ඇසින් නුදුටුයෙමි, ශක්‍ර, සුයාම, සන්තුෂිත, සුනිර්මිත, පරනිර්මිත චක්‍රවර්ති ආදි වූ දිව්‍ය-මනුෂ්‍ය රජුන්ට ම අගමෙහෙසිනී වීමි, මෙසේ සසර සුව විඳ ඇවිද,
තව ද: මෙ කප කසී රට එක්තරා එක් කුලයෙක උපන්නෙමි, එ කල පියුමෙන් උපන් පදුමවතී නම් බිසොවුන් කුසින් එක දා උපන් පන්සියක් දරු කුමරහු වැඩී, පසේ බුදු ව එක පෙළ අවුත් වස්වසන දවස් මා පෙරට පෙනී ගිය සේක. එ වේලෙහි මම ඒ පන්සියක් පසේ බුදුන් පවරා, පන්සියක් ස්ත්‍රීන් හා ඔවුන්ගේ පන්සියක් පුරුෂයනු දු සමාදන් කරවාගෙන, පන්සියක් ගෙවල් කරවා, පන්සියක් පසේ බුදුන් වස්වස්වා, පන්සියක් අටපිරිකර දිනිමි, එ පන්සියක් කුලස්ත්‍රී නම් මේ පන්සියක් ශාක්‍ය මෙහෙණින්නෝ ය, එ පන්සියක් පුරුෂයෝ නම් මේ පන්සියක් ශාක්‍ය මහණු ය, එ සමයෙහි මාගේ වල්ලභයාණෝ නම් මෙ සමයෙහි ශුද්ධෝදන රජ්ජුරුවෝ ය. පෙර මා විසින් කළා වූ මෙසේ වූ කුසල් බලයෙකින් මෙ බඳු වූ ස්ථානාන්තර හා සෘද්ධි ප්‍රාතිහාර්‍ය්‍ය ලදිමි, යනාදීන් මහපිරිසට තමන් වහන්සේගේ පූර්ව ප්‍රණීධීන් සද්ධර්‍ම දේශනා කළ දෑ ය. එ වේලෙහි දු සත්ත්වයෝ දොහොත් මුදුන් දී සාධුනාද පූජා කළහ.
එයින් සමහර සත්ත්‍වකෙනෙක් “මේ පන්සියක් මෙහෙණින් නො ත් මුන්වහන්සේලා එක්ව ම පින් කළාහු ල. ඔවුන්ට ත් මෙ වැනි පෙළහරෙක් ඇද්දෝ හෝ නැද්දෝ හෝ”යි සැක කළහ. එ කල ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ සත්ත්‍වයන්ගේ ඒ අදහසු දු දැන ළඟ සිටි පන්සියක් මෙහෙණින්නන් දිසාව බලා “දරුවෙනි! සත්ත්වයන්ගේ සැක දුරු කරවා තෙපි තෙපි දු වෙන වෙන ම පෙළහර දක්වා තොප තොපට මේ සා මහත් වූ අමාමහ නිවන් දුන් මපුතණුවන් ගෞතම බුදුන්ට සාධුකාර පුජා කරව”යි කී දෑය.
එ වේලෙහි උන්වහන්සේ කී බස හා සමඟ පන්සියක් මෙහෙණින්නෝ ආකාශයට පැනනැඟී එකි එකී දෙන සිය දහස් ලක්‍ෂ කෝටිගණන් මෙහෙණිනි රූ මව මවා, නො එක් පෙළහර පානාහු දක්‍ෂ වූ ස්වර්ණකාරයකු එකඝන රන්පිඩක් ගෙන නානාසණ්ඨාන වූ රූපාඞ්කාරයන් මව මවා දක්වන්නා සේ, එකි එකී දෙන ශත සහස්‍ර ගණන් වෙන වෙන රූ මව මවා, නො එක් පෙළහර පෑ තරු කැලයෙන් දිලියෙන ආකාශය සේ සියලු ගුවන්කුස භොබවා, නො එක් වාරයෙහි දු මා දිලිහී අන්තර්ධාන ව පෙනී ඉතා මහත් වූ අද්භූත දක්වා බුදුන්ගේ මහිම පෑ මහත් වූ ස්තුති පූජාවෙන් ලෝ කුස් පුරා, ආකාශයෙන් බැස බුදුන් රහතන් වැඳ මහාප්‍රජාපති ගෝතමීන් වහන්සේට “ස්වාමීනි! මේ සා මහත් වූ ශ්‍රීයක් අපට ගෙන දීලු දෑය. නුඹවහන්සේගේ ම සහායෙන් පින්කොට දෙව්ලොව-මිනිස්ලොව සුව විඳ ත් ඇවිදියම්හ. දැනු දු නුඹගේ ම බලයෙන් බුදු සසුන් වැද මහණ ව අමාමහ නිවන් දැක සංසාර සාගරයෙනු ත් ගොඩ නැංගම්හ. එසේ හෙයින් නුඹම අපට ඉතා මහත් වූ වැඩක් කළ දෑය’යි යනාදීන් ඔබට මුඛ නො සෑහෙන සේ සිය දහස් ගණන් ස්තුති කොට උන්හ.
ඉක්බිත්තෙන් මෙසේ අවසර ලදින් මෙ බඳු වූ පෙළහර පා ලෝවැඩ කොට හුනස්නෙන් නැඟී බුදුන් වන දෙස වැඳ වැඳ ඒ මහාප්‍රජාපතී ගෝතමී නම් වූ බුද්ධමාතාවෝ සපිරිවරින් මෙහෙණවර බලා නික්මුණු දෑය, එ කෙණෙහි මහපොළොව ද කම්පිත විය, රැස් වූ දෙවි මිනිස්සු ද කම්පිත වූහ.
එ වේලෙහි ස්වාමිදරුවෝ සඟපිරිස් බලා “මහණෙනි! බුද්ධ මාතාවෝ නම් උත්තමයන්ගෙන් ආදර ලැබ්බ යුත්තාහ, ඔවුන්ට පසු ගමන් කරම්හ”යි හුනස්නෙන් පැන නැඟී තමන් වහන්සේ ගේ මඟුල්ලකුණෙන් දිලියෙන ශ්‍රී පාද යුගලයෙන් මිහිකත සනහ සනහා පෙර තමන් වහන්සේ දම්පල් නම් කුමාර කල මහා ප්‍රතාප නම් වූ දෙවිදත් රජහු තමන් වහන්සේ අහසට දම දමා අසිමාල නම් වධ කරවා මෛත්‍රී පාරමිතාව කුළුගැන් වූ දවස් “මා කළ වරදට තෙල වධ මට ම කරව, ම පුතණුවන්ට වධ නො කරව, ඔහු නිරපරාධයහ”යි යනාදීන් මහත් වූ විලාපයෙන් හඬ හඬා රත්පියුම් පෙති සේ රාජාඞ්ගණයෙහි ඒ ඒ තැන්හි කපා විසුරුවන ලද අතුල් පතුල් හිනලා සමහරක් තුරුල්ලෙහි ලලා “තොප නො නවත්නා බැවින් අතුල් පතුල් කැපූ බැවින් කන් නාසා කැපූ බැවින් තෙල කොට පුතණුවන් මට දීපියව, එතෙකින් හැරපියව, එතෙකින් හැරපියව”යි යනාදීන් කිය කියා හඬ හඬා, පවන්ගත් පේයාපතක් සේ රාජාඞ්ගණයෙහි ඒ ඒ තැන්හි පෙරළි පෙරළී ඔබට කරන්නා වූ වධ තුමූ තමාට කරන්නා සේ ඉවසාගත නොහී ඔබගේ ජීවිතක්ෂයට පළමුකොට ශ්‍රාන්ත ව, ළ පැළී මළා වූ උන් වහන්සේ තමන් වහන්සේට එ දවස් කළා වූ අපමණ වූ දරුසනාවට ම මෙ දවස් පසුගමන් නිමවා සංග්‍රහ කරන්නා සේ, ශ්‍රාවක සෙනඟ හා සමඟ වෙහෙර දොරටුව දක්වා ඔබට පසු ගමනින් පූජා කළසේක. මේ බුදුසස්නෙහි සත්ත්වයන්ට ලෝවැඩ නිසා ස්වාමිදරුවන් විනෙයජන පුද්ගලයන්ට පෙර ගමන් කළ තැන් බොහෝ සේ පෙනේ ම ය, බුදුන්ගෙන් පසුගමන් පූජාවක් ලද කෙනෙක් මේ මහාප්‍රජාපතී ගෝතමින් වහන්සේ විනා අනික් කිසිකෙනෙකුත් නැතැයි දත යුතු.
මෙසේ ස්වාමිදරුවන් ගොස් ඉන්ද්‍රඛිල මස්තකයෙහි රන්ගල් ද්වාරයෙක සිටි සිංහරාජයකු සේ වැඩ සිටි කල්හි නැවත බුදුන්ගේ ශ්‍රීපාද වැඳ ස්වාමීනි! මා ඇතුළු වූ සියලු සතුන්ගේ මැහැණියෙනි! පියාණෙනි! නුඹගේ අමාකඳක් බඳු වූ මේ රූපකාය හා, පුන්සඳක් බඳු වූ මේ ශ්‍රී මුඛය හා නවහම් මල්මාලාවක් බඳු වූ මේ ශ්‍රී පතුල් හා මේ මාගේ අන්තිම වූ දර්ශනය ය. තව ද මට සමු දුන මැනු වැ”යි කිය කියා බුදුන් පාදමූලයෙහි වැදහොත් දෑ ය. එ වේලෙහි දු නො එක් දෙවිමිනිස්සු කම්පිත වූහ. එ වේලෙහි ස්වාමිදරුවෝ තමන් වහන්සේගේ මුඛ නමැති පද්මයෙන් සුචඳගඳ විහිදුවා වදාරන සේක්.
නිබ්බායිස්සාමි ඉච්චෙවං-කිං වක්ඛාමි වදන්තියා
යස්ස දානිච්ච වො කාලං-මඤ්ඤථා’ති ජිනො බ්‍රැවි යි.
යන මේ ගාථාව වදාරා “සියලු සතුන් නිවන් පුරයට ම මෙහෙයන්නාවූ මම දැන් තොප නිවන් පුරයට යම්හ යි අවසර ඉල්වනුවන්ට කුමක් නම් කියම් ද, යෙහෙක, කල් දනුව” යි අවසර දී වදාළ සේක.