එ කල පන්සියක් බිසෝවරු “වැන්දඹු වාසයට වඩා අපි දු තපස් කරමෝ නම් යෙහෙකැ”යි කියා ඔවුනොවුන් හා මන්ත්‍රණය කොට හැමදෙන ම මහා ප්‍රජාපතී ගෝතමී නම් බුදුන් වැඩූ කුඩා මෑණියන් වහන්සේ කරා ගොස් “ස්වාමීනි! අප හැමදෙනාත් කැඳවා ගෙන බුදුන් කරා ගොස් මෙහෙණි සස්න අනුදන්වා ගෙන මහණ වුව මැනවැ”යි යාච්ඤා කළහ. එ සමය නම් ශුද්ධෝදන රජ්ජුරුවන් දළපුඩුසේසතින් යුක්ත වූ ශ්‍රීයානේ වැදහෙව අමාමහ නිවන් දැක පිරිනිවන් පෑ සමය ය.
එ කල බුදුහු පිය මහරජ්ජුරුවන්ගේ ආදාහන පූජාවට වැඩ බන්‍ධුසංග්‍රහ නිසා නිග්‍රෝධාරාමයෙහි වසන සේක. එසේ හෙයින් මහාප්‍රජාපතී ගෝතමීන් වහන්සේ ද ඒ බිසෝවරුන් කී බස් ගිවිස බුදුන් කරා ගොස් බුදුන් වැඳ “ස්වාමීනි! නන්‍ද කුමාරයන්-රාහුල කුමාරයන් වැනියන් ගිහි ගෙය හැර ගොස් නුඹවහන්සේ කෙරෙහි මහණ ව වසන කල, රජ්ජුරුවනු ද නිවන්පුර ගිය කල, එකලා වූ මා වැනියන් ගිහි ගෙයි විසීමෙන් කම් නැත. මහණවනු කැමැත්තෙමි, භික්‍ෂුණී ශාසනය අනුදැන වදාළ මැනැවැ”යි ආරාධනා කළහ.
එ වේලෙහි බුදුහු ඔබ මා උදෙසා භික්‍ෂුණී ශාසනය මතු ඇති වන නියාවත් ස්ත්‍රී ලෝකයහට බොහෝ වැඩවන නියාවත් ස්ත්‍රීන්ගේ පැවිදි වීම නිසා මතු ශාසනයට බොහෝ අභ්‍යාඛ්‍යාන උපදින නියාවත්, එ කල බොහෝ අඥාන සත්ත්‍වයන් ශාසනයෙහි සිත් කලකිරුවා අපාගත වන නියාවත්, දැක ස්ත්‍රීන්ගේ බහුල වූ යාච්ඤාවෙන් ම උන්ගේ නො එක් උත්සාහයෙන් ම පැවිදි දුන් කල ප්‍රව්‍රජ්‍යාව ගරු වන නියාවත්, පෙවු අතට දීපු වස්තුවක් අසාර කොට සිතන්නා සේ එක වාරයෙහි කළ යාච්ඤාවට මෙහෙණි සස්න අනු දතිම් නම් ගරු නො වන්නේ ය. මතු අභ්‍යාඛ්‍යානයක් උපන් කල සත්ත්‍වයෝ “බුදුහු මේ මේ කාරණ දැක ආදිම මැලි වූ සේක. ස්ත්‍රීන්ගේ ම මහත් යාච්ඤා නිසා මහ කරුණාවෙන් මෙහෙණි සස්න අනුදත් සේක. බුදුන්ගේ වරද නැතැ”යි බුදුන්ගේ ගුණ ගෙන සිත් පහදවා සත්ත්‍වයෝ සඟමොක් දෙකට පැමිණෙන්නාහුය යි නො එක් කාරණ පරීක්‍ෂා කොට මේ වාරයෙහි අවසර නොදෙමි යි සිතා “අලං තෙ ගොතමි මං තෙරුච්චි මාතුගාමස්ස කථාගතප්පවෙදීතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා”යි වදාරා “මාගේ නිර්මල වූ ශාසනයෙහි ස්ත්‍රීන්ගේ පැවිදි වීමට ගෝතමීනි! උත්සාහ නො කරව”යි වදාරා ප්‍රතික්‍ෂේප කළ සේක.
දෙ වන වාරයෙහි යාච්ඤා කළහ. දෙවන වාරයෙහිත් බුදුහු ප්‍රතික්‍ෂේප කළ සේක. තුන්වනුව යාච්ඤා කළහ. තුන්වනුවත් බුදුහු නො ගිවිසී සේක. සතරවනුව බුදුන්ට යාච්ඤා කොටගත නොහී බුද්ධානුභාවයෙන් තැතිගෙන බුදුන් වැඳ පසු බැස බැස “අනිත් වාරයෙහි උත්සාහ කෙරෙම් මය, පැවිද් ත් වෙම් ම ය” යි සිත සිතා රජගෙට ගියහ.
එ කල ස්වාමිදරුවෝ එ නුවරින් වැඩ විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි ලෝවැඩ වඩ වඩා වාසය කරන සේක. පසු ව මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ ඒ පන්සියක් බිසෝවරුන් කැඳවා “දරුවෙනි! බුදුහු ස්ත්‍රීන්ට පැවිදි නො දෙන සේක. තුන්වාරයක් යාච්ඤා කොට පවා මා වැනියන්ට පැවිදි නුදුන් සේක. එසේ හෙයින් බුදුන් අනු දන්වා ගත නො හැක්ක. අපි හැමදෙන ම මහණව ගොසින් බුදුන් දකුම්හ. එසේ කල බුදුහු අප හැම කෙරේ කළ අනුකම්පාවෙන් භික්‍ෂුණී ශාසනය අනුදන්නා සේක්මය”යි කියා හැමදෙනා ම ගිවිස්වා කෙස්වැටි කපා හැර සිවුරු පෙරව මැටි පාත්‍ර ගෙන ඒ පන්සියක් දෙනා හා සමඟ විශාලා මහනුවර බලා නික්මුනු දෑ ය.
එ කල ශාක්‍ය-කෝළිය දෙ නුවර රජදරුවෝ උන්වහන්සේ මහණ ව නික්මුණු බවු අසා උපන් මහත් වූ කම්පා ඇති ව කිඹුල්වතින් දෙසිය පනසක් හා දෙව්දහ නුවරින් දෙසිය පනසක් හා පන්සියක් රන්රථ පෙරමඟට ගෙනහැර “ස්වාමීනි! මේ රථයෙන් වැඩිය මැනව. මේ රථයෙන් වැඩිය මැනැවැ”යි ආරාධනා කළහ. එ කල “අපි දැන් රථ නැගී අලඞ්කාරයෙන් බුදුන් දක්නට ගියමෝ නම් ඒ බුදුන්ට ආදරත් නො වෙයි. තපසට අඞ්ගත් නොවෙයි. අප හැම මහත් වූ කායබ්‍යසනයෙන් ගිය කල එම කරුණෙන් කරුණා උපදවා පැවිදිත් දෙන සේක. පයින් යාමෙන් දරුවෙනි! අප හැමට මහත් වූ වැඩ වෙයි. රථ නො නැගෙම්හ”යි කියා එ පන්සියක් රථ ආ පස්සේ ම යවා පයින් ම නික්මුණු සේක.
ඇති වූ දවස් පටන් මතුමහලින් යටිමහලට බස්නා කල පවා මහත් වූ වැසනයෙන් බස්නා වූ, හොප් නැඟූ දර්පණ භූමියෙහි සක්මන් කරන කල පවා රන්රුවන් මරවැඩියෙන් සක්මන් කරන්නා වූ, ගිනි තපිනා කලපවා ‘මලදණ්ඩෙහි ගිනි ඉතා දැඩි ය, සඳුන් දණ්ඩෙහි ගිනිදුම් මඳක් දැඩි ය’යි සළුපිළි පටපිළී තෙල්ගාලා ගින්නෙන් ගිනි තපිනා වූ, රහස්ගෙට - පැන්ගෙට පිටත් වන වේලෙහි පවා බුමුතුරුණු අහස් වියන් හා සමග ම ඇවිදුනා වූ, කුලයෙහි උපන් අතිසුඛුමාල වූ, ශ්‍රීවන්ත වූ, කුලදූන් හෙයින්, මොළොක් වූ, පතුල් ඉදිම ඉගිනි ඇට සේ බිබිලි නැගී සමහර බිබිලි ගැසී මහත් වූ කාය ව්‍යසන විය.
එ කල “මහාප්‍රජාපතීන් වහන්සේ හා පන්සීයක් බිසෝවරු මහණ වූ ල. බුදුන් දක්නට නික්මුනාහු ල. මහත් වූ විඩායෙන් පයින් යෙත් ලැ”යි දඹදිව බොහෝ තැන සැලව ගිය. එ කල එ් ඒ දනව්වෙහි ශ්‍රීවන්ත වූ චාතුර්වර්ණයෝ පෙර තමන් එ නුවර බිසෝවරුන්ගේ රූපසම්පත් විශේෂයෙන් අසා දන්නා හෙයින්, ‘ඔවුන්ගේ රූපසම්පත් බලම්හ’යි ඒ ඒ දිගින්දිව අවුත් මඟ බලාගෙන උන්නාහු උන්වහන්සේ පන්සියක් රජදූන් පිරිවරා සන්හුන් ගමනින් දසදිග් නො බලා තවුස් වෙසින් වඩනා ලෙස් දැක වැඳ පෙරළෙන්නාහු ය. නො එක් දානෝපකරණයන් ගෙන වුත්, පෙරමග ඒ ඒ තන්හි සිට “ස්වාමීනි! අපට අනුග්‍රහ කළ මැනැව. අපට අනුග්‍රහ කළ මැනැව. නුඹ පුතනුවන් වහන්සේ ද මේ මඟ වඩනාසේක් අපට අනුග්‍රහ කළසේක. අපගෙන් දන් වැළඳූ සේක. අපගේ අරම ලැගි සේක. අපට බණ දෙසූ සේක. නුඹ ද අපගෙන් වැළඳුව මැනැවැ”යි ආරාධනා කෙරෙති. සමහරු ඉදීම ගිය පතුල් දැක, පැන නැඟි බිබිලි දැක, ගැසි ගැසී ගිය බිබිලෙන් වහනය වන ලේ දැක, උපන් මහා කරුණාවෙන් මහ හඬින් හඬමින් වැලපෙමින් ඇත්වාහන - අස්වාහන - රථවාහන ඉදොලු කෑනම් ගෙන අවුත් “මෙයින් වැඩිය මැනැව, මෙයින් වැඩිය මැනැව පතුල්වලට දුක් නුදුන මැනැවි” යනාදීන් කිය කියා ඒ ඒ තැන්හි මුළු බැඳ බැඳ සිටිනා වූ ස්ත්‍රී පුරුෂයෝ මෙ තෙකැයි පමණ නැත.
එ කල එක වාහනයකටත් නො නැඟී, දුටු දුටුවන්ට පින් දිදී, පතුල් රෙදව රෙදවා, දණ අත් ඔබ ඔබා, ඒ ඒ තැන සැතපි සැතපී, එක් පනස් යොදුන් මඟ ගෙවා විශාලා මහනුවර වැද බුදුන් වසන කූටාගාර ශාලාවේ දොරටුයෙන් පිටත සවස් වේලෙහි මළානික ව ගිය රත්පියුම් කැලයක් සේ මෙහෙණිනි පෙළ පිරිවරා වෙහෙර දිශාව බල බලා සිටි දෑ ය. කුමක් නිසා ඇතුලු වෙහෙරට නො වැද සිටි දෑ ද? යත්;
පෙර මම තුන් වාරයෙක මාගේ බුදුන් අතින් පැවිදි ඉල්වා නො ලදිමි. දැනු දු පැවිදි ලැබීමෙහි නියම නැත. මා ආ නියාව දඹදිව බොහෝ තැන සැලව ගිය. මඟදී ද බොහෝ දෙන දුටහ. “බුදුන් කරා ගොස් බුදුන්ගේ චුල්ලමාතාවෝ පැවිදි නොලද්දාහුල. බුදුහු පැවිදි නුදුන්නාහු ලැ”යි සැලව ගියේ නම් බුදුන්ටත් නින්දා වෙයි. මටත් නින්දා වෙයි. බුදුන් නො දැක මෙ තෙන සිට පැවිදි ඉල්වා යවමි. පැවිදි ලදිම් නම් ඇතුළට වැද බුදුන් දකිමි. නො ලදිම් නම් බුදුන් නොදැක ආ පස්සෙහි ම යෙමි. එසේ කල බුදුන්ටත් නින්දා නොවෙයි. මටත් නින්දා නොවෙයි. සිතා වෙහෙරට නො වැද දොරටුයෙන් පිටත සිටි දෑය.
එ කල අනඳ මහ තෙරුන් වහන්සේ ඇතුළෙහි බුදුන්ට කළ මනා වෙය්‍යාවත් කොට කිසියම් ලද අවකාශයෙක පිටත කළ මනා අඩුවැඩි වත් පිළිවෙත් බලා ඇවිදිනා සේක් දොරටුයෙන් පිටත සිටියා වූ මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ හා පන්සියක් බිසෝවරුන් දැක එ තෙනට වහ වහා ගොස් ඉදිම ගිය පතුල්වල බිබිලි හා සමහරුන් පයින් වැගිරෙන ලේ හා රජසින් පිරුණු ශරීර හා, තවුස්වෙස් හා මලානික ව ගිය ශරීර දැක, ලපිරුණු ශෝකයෙන් ඇස් පිරුණු කඳුළෙන් “මේ කිමෙක් ද මා මැහැනියෙනි, තෙලේ කෙසේ වූ වෙස් ද, රජදූනි, ශාක්‍ය කුලයට පරිහානියෙක් වී ද, රාජ්‍යෙයන් නෙරපූ කෙනෙක් ඇද්ද, මේ කෙසේ වූ අසරණ ගමනෙක් ද, මේ සා කතරෙක කැඳවාගෙන ආවෝ කවුරු ද, එසේ අවුදිනුත් මාගේ බුදුන් වැනි නුඹ පුතනු කෙනකුන් වහන්සේ වැඩහුන් වෙහෙරට නො වැද පිටත සිටියේ කුමක් නිසාදැ”යි විචාළ සේක.
එ වේලෙහි ඔබ කියන සේක් “මපුතනුවන් වහන්ස! නුඹ වහන්සේගේ ශාක්‍යකුලයට ද පරිහානියෙක් නො වී ය. අප හැම නෙරපූ කෙනෙකුත් නැත. මම පෙර තුන්වාරයෙක ම ම පුතණුවන් වහන්සේ අතින් පැවිදි ඉල්වා නො ලදින් දැන් මම් ම මහණ ව අවුත් තව ද: පැවිදි නො ලැබෙම් දෝ හෝ යි යන සැකයෙන් ඇතුළට නො වැද සිටියෙම් පැවිදි ලදිම් නම් ඇතුළට වදිමි යි, නැත ආපස්සෙහි යෙමි”යි කී දෑ ය.
එ කල අනඳ මහතෙරුන්වහන්සේ “එ බැවින් මැහැනියෙනි! මා පළමුව ඇතුළට වැදගොස් බුදුනට නුඹ ආ බව දන්වා බුදුන්ගේ අදහස් දැන මා එන තෙක් මඳක් මෙතෙන සැතපී සිටිය මැනැවැ”යි කියාලා ඇතුළු වෙහෙරට ගොස් බුදුන් දැක වැඳ “ස්වාමීනි! මහා ප්‍රජාපති ගෝතමී පන්සියක් බිසෝවරුන් හා සමග කෙස්වැටි කපා මහණ වෙස් ගෙන පාත්‍ර කරලා මහත් වූ ව්‍යසන ගෙන දුරු මග ගෙවා පයින් ම අවුදින් දැන් දොරටුව සමීපයෙහි “පැවිදි දෙන සේක් දෝ හෝ, නො දෙන සේක් දෝ හෝ, යි හඬ හඬා සිටියහ. පැවිදි ලදිම් නම් ඇතුළට වැද බුදුන් දකිමි යි නො ලදිම් නම් ආපස්සෙහි ම යෙමි යි කීහ. ඔහු බුදුන්ගේ ශාසනයෙහි අනගාරිය වූ පැවිදි ලද්දාහු වූ නම් යෙහෙකැයි දැන්වූහ.
එ වේලෙහි ස්වාමිදරුවෝ එ තෙපුල් අසා මතු වන දෙය තමන් වහන්සේ විශේෂයෙන් ම දන්නා හෙයින් තව ද ස්ථිර කරවනු ම නිසා “ආනන්‍දය! ස්ත්‍රීන්ගේ පැවිදිවීමට උත්සාහ නො කරව”යි වදාළ සේක. නැවත අනඳ මහතෙරුන් වහන්සේ “ස්වාමීනි! මහා ප්‍රජාපතී ගෝතමී පැවිදි ලැබ්බ යුත්තාහු ම ය”යි දැන් වූ සේක. නැවත බුදුහු එසේ ම ප්‍රතික්‍ෂේප කළ සේක. අනඳ මහතෙරුන් වහන්සේ තවත් නො පසු බැස “ස්වාමීනි! මහා ප්‍රජාපතී ගෝතමී පැවිද්ද ලැබ්බ යුත්තාහු ම ය”යි දැන්වූ සේක. නැවත බුදුහු “ආනන්‍දය! එසේ උත්සාහ නො කරව”යි ප්‍රතික්‍ෂේප කළ සේක.
එ කල අනඳ මහ තෙරුන් වහන්සේ පසුබැස්මක් නැති ව තමන් වහන්සේ බුදුන් කෙරෙහි ඉතා වල්ලභ හෙයින්, බුදුන් තුන් වාරයක් ප්‍රතික්‍ෂේප කළ හෙයින්, සතර වන වාරයෙහි ද දන්වාගත නොහී ප්‍රශ්නයක් විචාරණ පසාරයෙන් තව ද: එම කටයුත්ත බුදුන්ට දන්වන සේක් “ස්වාමීනි! පැනයක් විචාරනු කැමැත්තෙමි”යි කී සේක. ස්වාමිදරුවෝ තෙරුන් වහන්සේ නො පසුබැස කතාකරන ආකාරයෙන් සිතින් සමාධි ඇති ව “කැමැති පැනයක් විචාරව”යි වදාළ සේක. එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි! ස්ත්‍රී බුදුන්ගේ ශාසනයෙහි ඉදින් පැවිදි ලදුවාහු වූ නම් අධිගමයට භව්‍යයෝ ද, අභව්‍යයෝ දැ”යි විචාළ සේක. බුදුහු “ස්ත්‍රීහුභව්‍යයහ’යි වදාළ සේක. එබසට අනඳ මහ තෙරුන්සේ සිතින් කුල්මත් ව “එසේ කල ස්වාමීනි! ලොවුතුරා බුදුන් ලෝකයෙහි උපදිනේ ස්ත්‍රී ලෝකයා හැර පුරුෂ ලෝකයා ම සංසාර සාගරයෙන් ගොඩනගන නිසා ම දැ”යි දැන්වූ සේක.
එ වේලෙහි බුදුහු අනඳ මහ තෙරුන් වහන්සේගේ තර්කයෙහි තවද: ප්‍රිය ඇතිසේක් “එසේ නැත ආනන්‍ද ය, සර්වඥයෝ උභය ලෝකයා නිසා ම ඇතිවූහ. දිව්‍යනිකායෙහි බොහෝ ස්ත්‍රී ලෝකයා ගැළවෙන්නාහු ම වේ ද, මනුෂ්‍ය ලෝකයෙහි ස්ත්‍රී බොහෝ දෙනෙක් රජගහා නුවරදී මා තිරොකුඩ්ඩ සූත්‍රය දෙසූ දවස් නිවන් දුටුවාහු සුවාසූ දහසක් දන්මඩියෝ නො වෙද්ද, තවුතිසා භවනයෙහි දී මාගේ අභිධර්ම දේශනාවෙහි සසරින් ගැළවුනා වූ දිව්‍ය ස්ත්‍රී මෙතෙකැ යි පමණ ඇද්ද, මාගේ අසඞ්ඛ්‍ය මණ්ඩලවල දේවදේවතීන්ගේ අභිසමය ද සම සම යේ වි ය. මනුෂ්‍යලෝකයෙහි ස්ත්‍රීන් පැවිදි නො ලදත් සෝවාන් ආදි වූ මාර්ගඵල ලැබේ ම ය. එක දවස් විශාඛාවන් හා පන්සියක් කුලදූවරු සෝවාන් වූහ. තව ද: උත්තරාවන් හා පන්සියක් ස්ත්‍රීහු සෝවාන් වූහ. බන්‍ධුල මල්ලිකා දේවීන් හා පන්සියක් බිසෝවරු සෝවාන් වූහ. සාමාවතීන් හා පන්සියක් බිසෝවරු මා කී බණ අනුන් අතින් අසා අනාගාමී වූහ. පන්සියක් කළ මඬියෝ දවසෙක සෝවාන් වූහ. සුමනාව හා පන්සියක් ලදැරියෝ සෝවාන් වූහ. මෙසේ මෙසේ ම එකි එකී දවස් මාර්ග ඵල ලදුවා වූ ස්ත්‍රී ලෝකයා පමණ ඇද්ද; ආනන්‍දය! බුදුහු උභය ලෝකයා ම ගළවත් ය”යි වදාරා තව ද: අනඳ මහ තෙරුන් වහන්සේගේ ප්‍රතිවචනය අසන නිසා තුෂ්ණිම්භූත ව නො ගිවිස්සා සේ වැඩඋන් සේක.
එ වේලෙහි බුදුන් මේ කථාව වදාළ කල දෙවියෙක් බඹෙක් වී නමුත් එ බසට උත්තරයක් දැක්ක නො හේ ම ය. එසේ ද වුවත් අනඳ මහතෙරුන් වහන්සේ තමන් වහන්සේ බුදුන් අදහස් දන්නා නුවණ ඇති හෙයිනුත්, හේතුසම්පත් ඇති හෙයිනුත් පසුබැස්මක් නැති ව “ස්වාමීනි! නුඹවහන්සේගේ ශාසනයෙහි භික්‍ෂුණී ශාසනයක් ඇත මනා කාරණ ඇත්තාම වුව”යි දැන්වූ සේක. බුදුහු “කාරණ කියා බලගැ”යි වදාළ සේක. ස්වාමීනි! ස්වාමිදරුවන් ම වදාළ බුද්ධවංශ දේශනාවෙහි සූවිසි බුදුකෙනෙක් “ඛේමා උප්පලවණ්ණා ච - අග්ගා හෙස්සත්ති සාවිකා”යි යන මේ ගාථා පදය කුමක් නිසා සූවිසි වාරයක් කී සේක් දැ යි දැන් වූ සේක.
එ වේලෙහි ස්වාමිදරුවෝ තමන් වහන්සේගේ අදහස් නො වරදවා ම ඔබ කීවාවූ විශේෂ වූ උත්තරය අසා අතිශයෙන් සන්තෝෂ වූ සේක්. තව ද මෑණියන් වහන්සේගේ ගුණ කථනය ඔබ ලවා ම කියවනු නිසා ඔබට ප්‍රතිකතාවට අවසර දී වැඩහුන් සේක. එකල අනඳ මහ තෙරුන් වහන්සේ “ස්වාමිදරුවන් තුෂ්ණිම්භූත වනු නො යෙදෙයි. ස්වාමිදරුවන්ගේ ශාසනයෙහි භික්‍ෂුණී ශාසනය ඇති වන නියාව සූවිසි බුදුකෙනකුනුත් වදාළ කල, පැවිදි ලද්දාවූ ස්ත්‍රීන් මාර්ගාධිගමයට භවය වන කල, ස්වාමීනි! මහාප්‍රජාපතී ගෝතමී කුමක් නිසා පැවිදි නො ලැබෙද් ද, ඔහු බුදුන්ට කෙසේ වූ අපරාධයක් කළෝ ද, අපරාධයක් කළ කෙනෙක් නොවෙති. බුදුන්ට බොහෝ වූ උපකාර කළ කෙනෙක. ඔවුන් බුදුන්ට කළා වූ උපකාර සිහි කළ කල දැන් බුදුන් විසින් කරන්නා වූ සියලු ලෝවැඩ ඔවුන් ම කළහ යි සිතමි. කෙසේ ද? යත්;
බුදුන්ගේ කුඩා මෑණියහ. ඉනු දු සෙසු කුඩා මවුන් හා සම කළ නො හැක්ක. ඔවුන් කුස බුදුන් නො උපන් බවක් මිස ස්වාමිදරුවන් උපන් සත්වන දවසින් මවු දේවීන් දෙව්ලෝ ගිය කල්හි කිරිමවක බුදුන්ගේ ශ්‍රී ශරීරයෙහි අතක් වකාපිය නො දී තමන් ස්වහස්තයෙන් ම වැඩූහ. බුදුන්ගේ හස්තපාදයන් ලද බිළිඳි ව ඉතා ම කෝමල කල්හි බුදුන්ගේ හස්තපාදයෙන් කළ මනා කෘත්‍යය ඔහු තමන්ගේ හස්තපාදයෙන් සම්පාදනය කළහ. ඒ කෙසේ ද? යත්;
බුදුන් පයින් ගමන් නො යාහෙන සමයෙහි ඔහු තමන් ඇකයෙන් වඩාගෙන ඨාන - නිසජ්ජා - චංක්‍රමණාදියෙන් ස්වාමිදරුවන්ට පාද කෘත්‍යයන් සාදා දුන්හ. තව ද බුදුන්ගේ ශ්‍රී හස්ත යුග්මයෙන් හස්ත කෘත්‍යයන් සාදාගත නො හෙන සමයෙහි ඔවුන් හස්තයෙන් හස්ත කෘත්‍යයන් සාදා දෙන ලද. එසේ හෙයින් උන්ගේ හස්තපාදයන් බුදුන්ගේ හස්තපාදයන් නො වෙති යි නො සිතමි. තව ද: මේ ලෝකයෙහි අන්‍යස්ත්‍රියකට අවිෂය වූ අද්භූත වූ ගුණයකු ද බුදුන්ට කළහ. ඒ කෙසේ ද? යත්;
බුදුන්ට කිරි මවුන් තෝරන සමයෙහි බුදුන්ගේ අසදෘශ වූ රූපශ්‍රී බලා උදාර වූ පෙම් බැඳ තමන් පුතණුවන් නන්‍ද කුමාරයන් කිරිමවුන්ට පාවා දී තුමූ බුදුන් වඩන්නාහු ඔවුන් දවසෙකත් තමන් තනය ඉඳුල් කොට මුව පාරවා පිය නො දී; නො ඉඳුල් පිරිසිදු තමන් තනයෙහි කිරි පොවා බුදුන් වැඩූහ. මේ මේ කාරණයෙන් මහා ප්‍රජාපතී ගෝතමී බුදුන්ට උපකාරයහ. පැවිදි ලැබීමට යෝග්‍යයාහු ය”යි දැන්වූ සේක.
එ වේලෙහි බුදුහු “එතෙකින් භික්‍ෂුණී ශාසන ප්‍රතිෂ්ඨාවට කල මා විසින් ආයාචනය ස්ථිර කරන ලදැ”යි සිතා අනඳ මහතෙරුන් වහන්සේගේ වාදයෙහි ප්‍රිය ඇති ව “එ බැවින් ආනන්‍දය, මහා ප්‍රජාපතී ගෝතමී මහණවනු කැමැතියා නම් අනන්තා පරියන්ත වූ බුදුන්ගේ ශ්‍රාවිකාවන් පූරණය කොට ආවා වූ ගරු වූ ධර්මයෝ අට දෙනෙක් ඇත. ඒ අටදෙනා පිළිගත්හු නම් එකෙණෙහි ම ඔවුන්ට, පැවිද්ද ද, උපසම්පදාව ද, වන්නේ වේ දැ”යි වදාළ සේක. එ බසට අනඳ මහතෙරුන් වහන්සේ “ස්වාමීනි! ඒ ධර්මයෝ අටදෙන නම් කවුරු දැ”යි විචාළ සේක.
ආනන්‍ද ය! ස්ත්‍රී ජාතිහු නම් ඉතා උත්සන්නයහ. චණ්ඩයහ. ක්‍රොධිනීයහ. කලහ කටැටියහ. පුරුෂයන් හෙළා ම දක්නාහ. මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කල පෙර කලට වඩා උත්සන්න වෙති. මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙළා දකිති. එසේ කල ඔවුන්ගේ මහණධර්ම අර්ථසිද්ධියට නො පැමිණෙයි. මාර්ගාවරණය වෙයි. එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක් බැන්දා සේ ස්ත්‍රීන්ගේ අභිමාන ශූන්‍ය වන්නා වූ ඔවුන්ට ම වැඩ වන ධර්මයෝ අට දෙනෙක. ඔහු කවරහ? යත්;
1. සියක් වස් ව ගියා වූ මෙහෙණින්නක් වී නමුත් මාගේ සස්නෙහි අද උපසම්පදා වූ සත් හැවිරිදි ලදරු වූ මහණ කෙනෙකුන්ටත් දුර දැක ම හුනස්නෙන් නැඟී පෙර ගමන්කොට වැඳ පුදා ආදර කළ මැනැව. මේ එක් ධර්මයෙක. 2. තව ද: භික්‍ෂුණීන් විසින් ස්වච්ඡන්‍දික ව ගිය ගිය තැන්හි වාසය කළ නො හැක්ක. මාගේ භික්‍ෂූන් වසන්නා වූ ජනපදයෙක එක්වරු ගොසින් වැඳපුදා අවවාද ඉගෙන නැවත එන්නට තරම් වූ සමීප වූ මෙහෙණවරෙක ම වාසය කළ මැනැව. මේ එක් ධර්මයෙක. 3. තව ද: දෙපෝයෙන් දෙපෝය කඩ නො කොට භික්‍ෂූන් කරා එළඹ “ස්වාමීනි! පෞෂථ දිනය කවරේ ද? භික්‍ෂුණීන්ට අවවාද දුන මැනැවැ”යි ආරාධනා කළ මැනැව. මෙයි දු භික්‍ෂුණීන්ගේ එක් ධර්මයෙක. 4. තව ද: වස් අන්තයෙහි උභතො සඞ්ඝයා කෙරෙහි ම වස් පැවරුම මනා ම ය. මෙයිදු එක් ධර්මයෙක. 5. තව ද: ගරු ධර්මයෙන් නැගෙන්නා වූ භික්‍ෂුණීන් විසින් දෙපෝයක් උභතො සඞ්ඝයා කෙරෙහි මානත් පුරා නැංග මනාම ය. 6. තව ද: උපසම්පදාපෙක්‍ෂක වූ මෙහෙණින්නන් විසින් දෑවුරුද්දක් සික්ඛමාන ධර්මයන් පුරා උභතො සඞ්ඝයා කෙරෙහිම උපසම්පදාව ලද මැනව. මෙයි දු එක් ධර්මයෙක. 7. තව ද: කිසියම් කාරණයෙකිනු ත් මාගේ භික්‍ෂූන්ට ආක්‍රෝශ පරිභවයක් නො කළ මනාම ය. මෙහි දු එක් ධර්මයෙක. 8. තව ද: භික්‍ෂුණීන් විසින් මාගේ භික්‍ෂුණීන්ට අවවාද කිය නො හැක්කේ ම ය. භික්‍ෂූන් විසින් භික්‍ෂුණීන්ට අවවාද කළ මනා ම ය. ඒ අවවාද ඔවුන් විසින් පිළිගත මනා ම ය. එයිදු එක් ධර්මයෙක. මේ ගරු වූ ධර්මයෝ අටදෙන නම් මාගේ සසුන් වන් මාතුගාමයන් විසින් දිවි පමණින් ඒකාන්තකොට රක්‍ෂා කළ මනා වූ ගුණධර්ම කෙනෙකැ යි වදාළ සේක.
එ වේලෙහි අනඳ මහ තෙරුන් වහන්සේ හුනස්නෙන් පැන නැඟී බුදුන් අතින් සමුගෙන මහා ප්‍රජාපතී ගෝතමින් වහන්සේ වැඩ සිටි තැනට ගොස් තුන් වාරයක් කොට තමන් වහන්සේ ඔබගේ ස්වරූප බුදුන්ට දැන වූ නියාවත් තුන් වාරයෙහි ම බුදුන් ප්‍රතික්‍ෂේප කළ නියාවත්, තමන් වහන්සේ නො පසු බැස බුදුන් හා ප්‍රශ්නව්‍යාජයෙන් නො එක් කථා කළ නියාවත්, පසුව මෙහෙණි සස්න අනුදන්වා ගත් නියාවත්, ගරු ධර්මයන් අටක් වදාළ නියාවත්, විස්තර කොට කියා ඒ ධර්මයන් අටදෙනා වෙන වෙන දක්වා ඔවුන්ටත් බුදුන් වදාළ පරිද්දෙන් ම කියාලා “මැහැනියෙනි! මේ ධර්මයන් අටදෙනා දැන් මා අතින් පිළිගතුයේ වී නම් නුඹට ද දැන් ම පැවිදි ලැබෙයි. භික්‍ෂුණී ශාසනය ද ඇති වෙයි. ඒ අෂ්ට ගරු ධර්මයන් පුරාගත හෙනුයේ දැ”යි විචාළ සේක.
එ කෙණෙහි පැවිදි ලැබෙයි කී බසට කේශාන්තය පටන් පාදාන්තය දක්වා ලොමු දහ ගන්වමින්, පස්වණක් ප්‍රීතින් පිනා බුදුන් දිශාවට දොහොත් මුදුන් දී සිට “යම් සේ ශිරස්තානය කොට සිටියා වූ යෞවන පුරුෂ ස්ත්‍රී කෙනෙක් සමන් මල් දමක් හෝ, මහනෙල් මල් දමක් හෝ, යොහොඹු මල් දමක් හෝ ලදින් දොහොතින් පිළිගෙන සන්තෝෂයෙන් තමන්ගේ උත්තමාඞ්ගයෙහි පිහිටුවා ගනිත් ද, එ සෙයින් මම ද මාගේ බුදුන් වදාළා වූ ඒ නිහතමාන වූ ධර්මයන් අටදෙනා පිළිගතිමි පිළිගතිමි පිළිගතිමි”යි තුන් යලක් කියා ඒ ධර්මයන් අටදෙනා පිළිගත් සේක. ඒ වචනය හා සමග උන්වහන්සේට ශාසන ප්‍රව්‍රජ්‍යාව විය. නව කෙළ දහස් අසූ සියක් කෙළ පනස් ලක්‍ෂ සතිස් සංවර ශීලයෙකින් යුක්ත වූ උපසම්පදා ශීලයද පහළ විය. සෙසු පන්සියක් බිසෝවරු ද එකෙණෙහි ම පැවිදි ව අෂ්ටගරු ධර්මයන් පිළිගෙන උභතො සඞ්ඝයා කෙරෙහි ම උපසම්පදා ශීලය ලදහ. එ කල ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ පන්සියක් බිසෝවරුන් හා සමග මෙසේ පැවිදි හා උපසම්පදා ශීලය ලදින්, උපන් මහා ප්‍රීතීන් පින පිනා වෙහෙරට වැද බුදුන් දැක වැඳ එකත් පස්ව සිටි දෑ ය.
එ වේලෙහි බුදුහු ඔබට අනුරූප වූ ධර්මදේශනාවෙන් සමාධි කරවා අනුශාසනා කොට “මෙයින් මත්තෙහි බුද්ධමාතාවෙනි! අප්‍රමාද වව. ස්ත්‍රීලෝකයට තොප නිසා ම මහත් වූ වැඩෙක් වෙයි. මාගේ භික්‍ෂුණී ශාසනයට තෙපි ම ප්‍රධානයහ. තෙපි ම රාත්‍රඥයහ”යි ස්ථානාන්තර හා මෙහෙණි සස්න පාවා දී චර්‍ය්‍යානුකූල වූ කර්මස්ථාන ඉගැන්වූ සේක. එ කල නොබෝ දවසෙකින් භාවනා කොට විදර්ශනා වඩා පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා ත්‍රිවිධ්‍යා හා සමඟ සිවුපිළිසිඹියා පත් රහත් වූ සේක. සෙසු පන්සියක් මෙහෙණින්නෝ බුදුන් නන්‍දෙකෝවාද නම් සූත්‍ර දේශනාවෙන් නන්‍ද මහ තෙරුන් වහන්සේට ධර්මදේශනා කරන දවස් ඒ බණ අසා හැම දෙන ම අමා මහ නිවන් දුටහ.
එතැන් පටන් උන්වහන්සේ ම මුල් කොට බුදු සසුන් වැද මහණ ව අමාමහ නිවන් දුටුවා වූ ශ්‍රාවිකාවෝ සියයෙක, දහසෙක, ලක්‍ෂයෙක, කෝටියෙකැ යි යනාදිනු දු මෙ තෙකැයි පමණ නැතියහ. භික්‍ෂු ශාසනයට භික්‍ෂුණීශාසනය ම බොහෝ වුවා සේ ම දැනෙයි. භික්‍ෂුණී ශාසනයට භික්‍ෂුශාසනය ද බොහෝ ව ගියා සේ දැනෙයි. එක සරසියෙක පිපී වැනී ගියා වූ පද්මොත්පල රාශියක් සේ උභය ශාසනය ම ඉතා ගහන වි ය.
මෙසේ මාගේ බුදුන්ගේ ශාසනය රුවනින් පිරුණු මහා සමුද්‍රය සේ, මලින් ගැවසී ගත් පරසතු රුක සේ, ස්වර්ණාංකුරයෙන් ගැවසී ගත් මහදඹගස සේ, තරු පිපී වැනී ගිය අහස සේ, ඉතා ගහන විය. ඉතා සමෘද්ධ විය. ඉතා නිස්කලංක විය. ඉතා සශ්‍රීක විය. මුළු දඹදිව අහස්කුස බැලු බැලු දිශාවෙහි රන්වන් හංසරාජයන් පෙළ පෙළ යන්නා සේ ඇවිදුනා වු ශ්‍රාවකයන් හා ශ්‍රාවිකාවන්ගෙන් අතුරු නැතියේ ය. ඒ සා දඹදිව ධ්‍යාන සුවෙන් වැඩ හිඳිනා තරම් විවේක භූමි මඳ හෙයින්, දෙව්ලෝ නැගී දිව්‍යොද්‍යානවල ඒ ඒ රුක්මුල දෙවියන්ගේ ප්‍රාසාදවල වැඩහිඳ ධ්‍යානසුව විඳිනා ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කෙතෙක් දෙන ද, දිව්‍යප්‍රාසාදවල, කූටාගාරවල, හිඳිනා රහතන් වහන්සේ කෙතෙක් දෙන ද, බඹලොවට පැන නැඟී මහබඹුන්ගේ ප්‍රාසාදවල වැඩහිඳ ධ්‍යාන සුව විඳිනා ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කෙතෙක් දෙන ද, නාගභවනවලට ගොස් පෙර ඒ ඒ ජාතියෙහි බොහෝ දවසක් දිව්‍ය සුව අනුභව කළා වූ රම්‍යස්ථානවල වැඩහිඳ දිව්‍යනාග පූජා විඳිනා වූ ක්‍ෂීණශ්‍රාව ශ්‍රාවකයෝ කෙතෙක් දෙන ද, ගරුඬ භවනවලට පැන නැගී ගරුඬයන්ගේ පක්‍ෂ නමැති විතාන පූජා ලදින් නිවන් සුව විඳිනා වූ මහණ මෙහෙණින්නෝ කෙතෙක් දෙන ද, හිමවු කුළට නැඟී සුවාසූදහසක් රන්කුළු මුදුනෙහි සතර ඉරියව්වෙන් දවස් යවන්නා වූ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කෙතෙක් දෙන ද,
අසුරයන්ගේ භවනයට වැද ඒ ඒ තැන්හි සිත්සේ වාසය කරන්නාවූ රහත්හු කෙතෙක් දෙන ද, තත් තත් රාජ්‍යවල පෙර තමන් රජසුව විඳි උද්‍යානවල සිත් අලවා ගොස් වැඩ හිඳිනා රජ මහණුන් හා රජමෙහෙණින්නෝ කෙතෙක් දෙන ද සත්හැවිරිදි වයස බුදුසසුන් වැද මහණව අමාමහ නිවන් දැක එ කෙණෙහි ආකාශයට පැන නැඟී හිරි මඬුලු ආසන කොට ශාසන බල දක්වමින්, සඳමඬුළු පිටාටු කෙරෙමින්, මෙරගල් සක්වළගල් ලාලීවට කෙරෙමින් මහපොළෝ පත්කුඩ කෙරෙමින්, විෂඝෝර දිව්‍යනාග රාජයන්ගේ ඵෙණගබ් මතුයෙහි සක්මන් කෙරෙමින්, දෙවිබඹුන් ලවා සාධුකාර දෙවමින්, කලෙක තමන් භාවනා කරන ගෙවල සක්දෙව් රජුන් ලවා අසුර යුද්ධයෙහි රකවල් ගන්වමින්, තමන් වැළඳීමට වේලා ආසන්න වූ කල්හි හිරි දෙවියන් සඳ දෙවියන් ආකාශයෙන් ගමන් යා නොදී සෘද්ධිබන්‍ධනයෙන් බැඳ රඳවමින්, සිටි පොළ සිට මෙර පත්ලෙහි වැදහොත් සියදහස් යොදුන් දිව්‍යනාග රාජයන්ගේ කුසට අත ලා දාකරඬු ගන්වමින්, එකවිට හඬ ගෑ හඬින් දසදහසක් සක්වළ දෙවියන් බණට අඬගාවමින්, නො එක් පෙළහර දක්වමින්, දරු ලද්දවුන් සතුටු කඳුළෙන් තෙමවමින්, තුඩ තුඩ සාධුකාර දෙවමින්, ඇවිදුනා වූ මහණ-මෙහෙණි ළදරුවෝ කෙතෙක් දෙන ද,
මෙසේ මාගේ බුදුන්ගේ ශාසනය සමෘද්ධ වූ නියාව ත්, තුන් ලෝවාසීන් ඇස්හි ඵල ලද නියාවත්, සිත්හි ළුල ලද නියාවත්, කන්හි ඵල ලද නියාවත්, දිවි ඵල ලද නියාවත්, ලොව බුද්ධමය ව ගිය නියාවත් සද්ධර්මයෙන් ඉතිර ගිය නියාවත්, සඞ්ඝයාගෙන් රත්නමය ව ගිය නියාවත්, මාගේ සියක් දහසක් ලක්‍ෂයක් මුඛ නැති හෙයින් මා සිතට විශේෂයෙන් දැනී ගියා සේ අසන්නවුන්ට හඟවාලීම මෙ පමණකින් භාරකම ය. මට සේ ම සියලු සත්ත්‍වයන්ට ම මාගේ බුදුන්ගේ මහිමය විශේෂයෙන් ම දැනී ගියේ වී නම් මේ ලෝකයෙහි තුණුරුවනෙහි පෙම් නො කරන්නෝ කවුරු ද, සතර අපාය හඳුනන්නෝ කවුරු ද, දෙව්ලෝ නො හඳුනන්නෝ කවුරු ද, සඟ මොක් සුවයෙන් නො පිනන්නෝ කවුරු ද,
මේ ජාතියෙහි පටන් මාත් බුදුවන ජාති දක්වා මට උපන් මේ තුණුරුවන් කෙරෙහි සන්තෝෂය මාගේ සිතින් නො මිදේ ව යි, මතු එක පදික ගාථාවක් පමණ අසා සියලු සද්ධර්මයන් දරා ගන්නා වූ ඥාන සම්පත්තීන් පිනම්ව යි, උපනුපන් බුදුන්ගේ ශාසනවල ද හිරු සේ, සඳු සේ, ප්‍රසිද්ධ ව සසුන් බබුළුවම්වයි, මට මේ සා වැඩක් කළ මවුන් පියන් ගුරුන් ආදි වූ සියලු සතුනු දු සසර සයුරෙන් ගොඩ නඟා ලෝවැඩ කෙරෙම්ව යි,
මෙසේ මාගේ ස්වාමි දරු වූ ගෞතම නම් බුදුරජාණන් යථෝක්ත වූ ශාසනශ්‍රීන් දිලියෙන කල්හි දවසෙක දෙව්රම් වෙහෙර බ්‍රහ්මාමර නර නාග නයන රසායන වූ ධර්මමණ්ඩපයෙහි ධර්මාසනයෙහි සවණක් රසින් දිලිහි දිලිහී කසුන් මෙරක් සේ සද්ධර්ම ලීලාවෙන් වැඩහුන් සේක. එ දවස් අශීති මහාශ්‍රාවකයෝ ම අනූන වූ පන්සිය පන්සිය සඟපිරිස් ගෙන අවුත් ඡද්දන්තවිල සිසාරා පිපී වැනී ගියාවූ රත්පියුම් වනයක් සේ ධර්මමණ්ඩලය සිසාරා අතුරු නො දී උන්හ. ඒ සඟපෙළ සිසාරා රක්තොත්පල වනයක් සේ මහාප්‍රජාපතීන් වහන්සේ ආදි වූ ශ්‍රාවිකාවෝ පෙළෙක් අතුරු නො දී උන්හ. ඒ මෙහෙණිනි පෙළ සිසාරා මංජූෂ්ක වෘක්‍ෂ සේ ස්වර්ණාභරණයෙන් සැරහී නා නා වර්ණ වස්ත්‍රයෙන් අලංකෘතව රජ බමුණු වෙළඳ ගොවි සිවු සෙනඟක් මිශ්‍ර වූ පියුම් වනයක් සේ හිඳගත්හ. ඒ පිරිස සිසාරා ශක්‍රපුරයෙහි දෙවඟනන් එපුරෙන් අවුත් මිහිමඬලට බැසපී කලක් සේ, දහසක් අගනා කසි සළු හැඳ දෙදහස් අගනා උතුරු සළු කරලා, ලක්‍ෂ අගනා ගෙල මුතුදම් පැළඳ, අනැගි වූ සිරිකණින් ශ්‍රිකාන්තාවන් සේ සැදී ස්ත්‍රී සේනාවෙක් දිව අවුදින් මුඛ නමැති පියුමෙන් හා, ඇස් නමැති නිලිපුලයෙන් හා, දත් නමැති කොඳකැකුළෙන් හා, බුදුන් පූජා කරන්නවුන් සේ දොහොත් මුදුන් දී බසින් බසට සාධුකාර දිදී අතුරු නො දී වතුරක් සේ උන්හ.
මෙසේ සිවුවණක් මහ පිරිස මිහිමඬල ගලා හුන් කල්හි ඒ බවු දත් චාතුර්මහාරාජික, තාවතිංස, වශවර්ති, බ්‍රහ්මි යයි යන චාතුර් වර්ණ දිව්‍යසේවා දිව දිව අවුදින් සියලු ගුවන්කුස සක්වළ ගල් සිසාරා සිතියම් කඩක් ඇන්දා සේ, අහස්කුස පුරා සාධු නාදයෙන් තුන්ලෝ පුරා සිට ගත්හ.
මෙසේ මේ අට මහ පිරිස ආකාශය හා පොළොවෙහි බුදුන් පිරිවරා සිටි කල්හි ස්වාමිදරුවෝ සියලු සතුන් සිත් බලා, ආකාර බලා, චන්‍ද්‍රොපමාවෙන් දසදිග් බලා වැඩහිඳ ලීලොපෙත අෂ්ටාඞ්ග සමුපෙත දේශනාවෙන් ධර්මනාද නමැති මේඝනාදයෙන් හා, දන්ත නමැති බලාකා පංක්තීන් හා, කන්වැල් නමැති විදුලියෙන් හා, බැම නමැති දෙව්දුන්නෙන් හා, මස්තක නමැති මේඝකූටයෙන් හා විරාජමාන වූ සද්ධර්ම නමැති මහා වර්ෂාව වස්වා දිව්‍ය මනුෂ්‍ය නමැති විනේය ජන සත්ත්‍වයන් අමෘතාභිෂේකය කරන්ට පටන් ගත් සේක.