ශාක්‍ය-කෝළිය දෙනුවර වාසීහු එක් ව රෝහිණී නම් ගංගාව අවුරා බැඳ දෙභාගයකට දිය නඟා ගොයම් කොට පැසවන්නාහු ය. පොසොන් මස පහරණ සැඩ මහ නියගෙහි ගඟ දිය මඳ ව දෙභාගයෙහි ම කරල් නඟන ගොයම් මියන්නට පටන් ගත. එ කල දෙනුවර වාසීන්ගේ ක්‍ෂෙත්‍රපාලයෝ එක් ව කථා කරන්නාහු “ගඟාදිය දෙභාගයට මඳ, එක් භාගයකට ම යේ නම් ඒ භාගයෙහි ගොයම් පැසෙයි. දෙභාගයට දිය ගලහොත් දෙභාගයෙහි ම ගොයම් මියෙයි. අපගේ භාගයට ම දිය හැරපියව. අපගේ භාගයට ම දිය හැරපියව”යි ඔවුනොවුන් අතින් දිය ඉල්වූහ.
එ කල කෝළිය නුවර ගොවී කියන්නාහු, “තොපගේ නුවර බඩසල් පිරීගියේ නම් තොප හා තොපගේ රජුන්ට සුව ය. අප හැමගේ බඩ පිරී නො යෙයි. අපි දිය නෙ දෙම්හ”යි කීහ. ශාක්‍ය නුවර ගොවී ද “තොපගේ නුවර බඩසල් පිරී ගියේ නම් තොප හා තොපගේ රජුන්ට සුවය එදා අප හැම බඩ පිරී නො යෙයි. අප නො වෙහෙසව. අපි දු දිය නො දෙම්හ”යි කියා දිය බැන්දහ.
එ කල කෝළිය නුවර ගොවීහු එ දිය කැපූහ. එ කල කලහ වඩාගෙන යත් යත් එකෙක් එකකු පහළ, දෙන්නෙක් දෙන්නකු පහළහ, සතර දෙනෙක් සතර දෙනකු පහළ. අටදෙනෙක් අට දෙනකු පහළ. සොළොස් දෙනෙක, දෙතිස් දෙනෙක යනාදින් වසයෙන් දෙනුවර ගොවීහු ඔවුනොවුන් පැහැර දෙභාගයෙහි ම බල සම හෙයින් එක් භාගයෙක ගොවීන් පරදවා දිය උදුරා ගත නොහී දියධාරා දෙභාගයෙහි වෙන් වෙන් ව ඔවුනොවුන්ට උදලු මිටි අමෝරා ගෙන සිටි කල්හි ඔවුනොවුන්ට ප්‍රහාර දීගත නො හී වාක් පරුෂයෙන් ජය ගනුම්හ යි ජාති ඝටනයෙන් බැණ ලජ්ජා කරම්හ යි කෝළිය නුවර ගොවීහු කියන්නාහු “කොල! තෙපි ශොණ ශෘඟාලයන් සේ ඔවුනොවුන් කෙරෙහි ලජ්ජා නැති ව කුශහොත් නගුන් පවා කලත්‍ර කොට ඥාතිසම්භෙද කරණ ශාක්‍යයන්ගේ ගැති කොල්ලෙනි! තෙපි අපට දිය නො දෙව්දැ”යි බිණූහ. ශාක්‍යනුවර ගොවීහු එ බසට කිපී “සර්වාඞ්ගයෙහි ශ්වේතකුෂ්ට ඇති ව වල් වන් ගැහැණියක කුසින් කුෂ්ට ඇති ව වල් වන් මිනිසක් හට දාව කොළොම සිදුරෙහි දී උපන් ගස් ඔඩැල්ලෙහි වවුලන් සේ උපන් අශරණ ව වැඩුණු කෝලියයන්ගේ ගැති කොල්ලෙනි! අපට දිය නො දෙව් දැ”යි මෙසේ ඔවුනොවුන්ගේ රජදරුවන්ට කුල ඝටා බිණූහ.
එ වේලෙහි සමහරු තම තමන්ගේ නුවරට දිව දිව ගොස් තමන් තමන්ගේ ධුර මුදලිවරුන්ට කලහ ඩබර හා බිණූ බිණුම් එකක් දෙකක් කොට කීයෙන් නො කීයෙන් කියා බිඳවූහ. ඔහු දිව දිව ගොස් එකක් දසයක් කොට කියා මහ ඇමතියන් ඉද වූහ. ඔහු කිපි කිපී ගොස් දසයක් විස්සක් කොට කියා යුවරජුන් සිත් කැළඹූහ. ඔහු ගොස් විස්සක් සියයක් කොට කියා සේනාධිපතීන් කලකිරවූහ. ඔහු කිපී දිව දිව ගොස් සියක් දහසක් කොට කියා නිය පිට ගල් ගැසූ මතැතුන් සේ රජුන් කෝපයෙන් මත් කරවාපීහ.
එ කල අසූ දහසක් ශාක්‍ය රජ්ජුරුවෝ සුළං දුටු ගිනිකඳන් සේ කෝගින්නෙන් දිලිහි දිලිහී තමන් තමන්ගේ ඇත් අස් රථ පාබල සෙනග ගෙන “නඟුන් හා ඥාති සම්භේද කරණ ශාක්‍යයන්ගේ කඩුවල මුවහත් ඇති නියාව කෝළියයන්ට පෑ බලම්හ. කෙහෙල්කඳන් සේ අද කෝළිය රජුන් පොලු ගසම්හ”යි වාසි කිය කියා දිව දිව අවුදින් විදුලිය සේ කඩුපත් බව බමා සියදහස් ගණන් සෙනහඬ සේ දුනු දිය වල් අත් පොළ පොළා ගඞ්ගාවෙහි එක් භාගයෙක ඇනිලා සිටගත්හ.
එ තෙපුල් ඇසූ අසූදහසක් පමණ කෝලිය රජදරුවෝ ද ගිනි දුටු ලුණු සේ කිපී තමන් තමන්ගේ සිවුරඟ සෙනඟ ගෙන “කොළොම් සිදුරෙහි උපන් අශරණයන්ගේ කඩුශරඹ ඇති බවත් මුවහත් ඇති බවත්, ශාක්‍යයන්ට හඟවා අලමදන් සේ ඇසිල්ලෙකින් පොලු ගන්නා බලව”යි වාසි කිය කියා දිව දිව අවුදින් ගඟ අනික් භාගයෙහි වැසි ගිගුම් ගත් මහ මුහුදක් සේ ගර්ජනා කෙරෙමින් කඩුපත් බමට බමවා සිටගත්හ.
එ කල ශාක්‍යනුවර උපන් බිසෝවරු කෝළියනුවර රජුන් කෙරෙහි ම වෙසෙති. කෝළිය නුවර උපන් බිසෝවරු ශාක්‍ය රජුන් කෙරෙහි ම වෙසෙති. එසේ හෙයින් තමන් තමන්ගේ මල්බෑයන් මරම්හ යි කිය කියා තමන් තමන්ගේ පිරිවර හා සමඟ අවුත් අසූ දහසක් ශාක්‍ය බිසෝවරුන් හා අසූදහසක් කෝළිය බිසෝවරුන් හා දෙභාගයෙහි ම සාහසික ව බන්‍ධුප්‍රේමයෙන් ස්වාමිප්‍රේමයෙන් “අද කවුරුන්ට කුමක් වේ දෝ හෝ” යි කියමින් දෙසෙනගෙහි ම සම වූ කරුණාවෙන් වැලප වැලප සිටියහ. ඒ සා දෙ නුවර ගේ බලන්නෝ පමණතුත් නො රඳා දෙ නුවර ම සිස් කොට අවශේෂ වූ සත්ත්‍වයෝ අවුත් වන්හ.
එ කල මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේ එ දා අරුණෝද්ගමන වේලායෙහි “අද කෙසේ වූ ලෝවැඩක් කෙරෙම් දෝ හෝ”යි ලෝකය බලා වදාරණ සේක්, එ දවස් තමන් වහන්සේගේ බන්‍ධුසමූහයා බොහෝ දෙන නස්නා සේ දැක, තමන් වහන්සේ එ තෙනට වැඩියහොත් එ දවස් වන බොහෝ වැඩ දැක, පාත්‍රා සිවුරු තමන් වහන්සේ ම ගෙන උපස්ථායක වූ අනඳ මහ තෙරුන් වහන්සේ පමණකුත් නො කැඳවා, එකචාරී සිංහරාජයකු සේ සවස් වේලෙහි දෙවුරම් වෙහෙරින් නික්ම එතෙනට වැඩ, දෙ සෙනඟ මධ්‍යයෙහි ගං මුදුනෙහි ආකාශයෙහි පැනනැඟී පලග් බැඳ වැඩහිඳ සියලඟ දුමා මුලු ලොව එකාන්‍ධකාර කොට “මාගේ නෑයෝ දෙදෙනෙක් ඔවුනොවුන්ට නො පෙනෙත්ව යි ඔවුන්ගේ ඇඟින් ලේ බින්දුවක් සොල්වා ගත නො හෙත්ව යි මාගේ මෛත්‍රී පාරමිතා නමැති මහ දියවතුරෙන් ඔවුන්ගේ කෝගිනි සන්හිඳේව”යි අධිෂ්ඨාන කළ සේක.
එ වේලෙහි ඔවුන්ගේ ඒ සා මහත් සෙනඟ දෙදෙනෙක් ඔවුනොවුන්ට නො පෙනෙති. ඔවුනොවුන්ගේ කටහඬත් නො අසති. තමන් තමන් අත තුබූ ආයුධ නො දකිති. එකල දෙ සෙනඟ ම ලෝඇඳිරි නරකයට වන්නවුන් සේ සටන් තබා අන්‍ධකාරයෙන් මූර්ඡා වූහ. එ කල බුදුහු ඒ අඳුර අන්තර්ධාන කොට ආකාශයෙහි සරාහිරි මඬලක් සේ පෙනී වදාළ සේක.
එ වේලෙහි මරසෙනඟක් සේ දෙගං භිත්තියෙහි සිටි මහ සෙනඟ “කොල! මේ සබා අඳුරෙක් නො වෙයි. අප බුදුන්ගේ පෙළහරෙක. අප බුදුහු අපගේ මේ කලහ දැක අප සන්හිඳුවන නිසා වැඩියහ. අප බුදුන් දුටු නෑයන් තබා උන් මරම්හ යි ආ මරසෙනඟ පවා ඒ ඒ දිග්හි පලා ගියහ. උන් මරම්හ යි ගිය දුනුවායෝ පවා උන්ට කුලගැති වූහ. උන් විදුම්හ යි දුනු හයා ගත් කුක්කුටමිත්‍රාදි දරුණු වූ වැද්දෝ පවා උන්ට කුලගැති වූහ. එ බඳු වූ අපගේ නෑ උතුමාණන් දැක දැක අපි සටන් නො කරම්හ. අපි කලහ නො කරම්හ”යි කිය කියා අත තුබූ ආයුධ බිම දමා දෙනුවර එක්ලක්‍ෂ සැටදහසක් රජදරුවෝ ඔවුනොවුන් වැළඳ සිඹ සනහා ඔවුනොවුන් අත්වැල් බැඳ සිනා සිසී ගොස් බුදුන් පිරිවරා උන්හ. දෙනුවර එක්ලක්‍ෂ සැටදහසක් බිසෝවරු ද බුදුන් දුටු සන්තෝෂ හා මල් බෑයන් දිවි ලද සන්තෝෂෂ හා පුරුෂයන්ගේ කෝගිනි නිවී ගිය සන්තෝෂයෙන් හා, තමන් තමන් වැන්දමු නො වූ සන්තෝෂයෙන් හා, පීන පීනා ගොස් බුදුන් වැඳ හිරු දුටු පියුම් වනයක් සේ බුදුන් සිසාරා උන්හ.
එ කල බුදුහු තුන්ලක්‍ෂ විසිදහසක් පමණ තමන් වහන්සේගේ බන්‍ධුසේනාව මධ්‍යයෙහි තරුමැද සඳක් සේ දිලිහි දිලිහී වැඩහිඳ “ශාක්‍ය කෝළිය රජුනි! තොපගේ මේ කුමන උත්සවයෙක් ද, ගඟ දියකෙළිියට අවුනැ”යි විචාළ සේක. එ වේලෙහි රජදරුවෝ ඔවුනොවුන් මුහුණු බලා මඳක් සී “ස්වාමීනි! කෙළියකට නො ආම්හ. ඩබරකට ආම්හ”යි කීහ. බුදුහු “කුමන කලහයෙක් දැ”යි කී සේක. රජදරුවෝ කියන්නාහු “ස්වාමීනි! අපි කිපී යුද්ධයට ආ බවක් මිස කුමක් නිසා වූ කලහයක් බවත් නො දනුම්හ. සේනාධිපතිවරු දනිති” යි කීහ. ඔවුන් අතින් විචාළහ. සේනාධිපතිවරු “අපි නො දනුම්හ. යුවරජුන් අතින් ඇසුම්හ”යි කීහ. යුවරජහු “මහ ඇමැතියන් අතින් විචාළ මැනැවැ”යි කීහ. මහ ඇමැතියෝ “ක්‍ෂෙත්‍රාධිපතීන් අතින් විචාළ මැනැවැ”යි කීහ. ක්‍ෂෙත්‍රාධිපති “ක්‍ෂෙත්‍රපාලයන් අතින් විචාළ මැනැවැ”යි කීහ. ක්‍ෂෙත්‍රපාලයෝ දියඩබර වූ නියායෙන් කීහ.
එ වේලෙහි බුදුහු “රදුනි! දිය කෙතෙක් අගී දැ”යි විචාළ සේක. ස්වාමීනි! දියෙහි අගයෙක් නැත. ස්වල්පදෙයෙකැයි කීහ. මහ පොළොව කෙතෙක් අගී දැ යි විචාළ සේක. ස්වාමීනි! මහපොළොව අනැගි ය යි කීහ. රජහු කෙතෙක් අගිද්දැයි විචාළ සේක. ස්වාමීනි! රජහුත් අනැගියෝ ය යි කීහ. බිසෝවරු කෙතෙක් අගිද්දැයි විචාළ සේක. ඔහු ද අනැගියෝ ය යි කීහ. තොප හැමගේ බන්‍ධුත්‍වය කෙතෙක් අගී දැ යි විචාළහ. ස්වාමීනි! බන්‍ධුත්වය නම් මහමෙර සේ උතුම් දෙයක් ම වේ දැයි කීහ. එ බැවින් තොප හැමදෙනා ස්වල්ප වූ මුහුදට යන දියක් නිසා මහපොළොව සේ අනැගි වූ, රජුන් හා අනැගි වූ, රාජ මහීෂිකාවන් හා අනැගි වූ, බන්‍ධුසම්බන්‍ධය හා නසම්හ යි සිතූ සේ ඉතා නොයෙදෙයි; වදාරා “තොපගේ වංශයෙහි උපන් බුදුහු පඤ්චවෛරයන් දුරු කොට සුවෙන් වෙසෙති. තොප පඤ්චවෛරයන් පිරිවරා වසන සේ නොයෙදෙයි” යනාදීන් වදාරණ සේක්:-
සුසුඛං වත ජීවාම - වෙරිනෙසු අවෙරිනො
වෙරිනෙසු මනුස්සෙසු - විහාරාම අවෙරිනො - යි.
යනාදි ධම්මපද ගාථාවෙන් බණ වදාරා නැවත ඵන්‍දන ජාතක තිත්තිර ජාතක - රුක්ඛධම්ම ජාතකාදි තමන් වහන්සේගේ නො එක් ජාතිභේද කථාවෙනු දු විසිතුරු වූ බණ වදාරා කෙළවර අත්තදණ්ඩ සූත්‍රෙයන් දේශනාව කුළු ගන්වා දෙනුවර රජුන් ක්‍ෂමා කරවා බිසෝවරුනු ද වල්ලභයන් - මල්බෑයන් හා ක්‍ෂමා කරවා ගඞ්ගොදකය හා යමුනොදකය සේ නො වෙනස් කොට වදාළ සේක.
එ වේලෙහි දෙනුවර රජුන් හා බිසෝවරු “අප බුදුන් අද මෙ තෙනට වැඩ වදාළහෙයින් මිස අපට ඉතා මහත් වූ හානි වෙයි. අප බුදුහු අප මෙලොව ත් රකිති. පරලොවත් රකිති. අපගේ නෑ උතුමාණෝ බුදු වූයෙන් මිස සක්විති රජ වූ නම් අප හැම තබා සතර මහ දිවයින රජහු ම ඔවුන් පිරිවරති. එසේ වූ උතුමාණන් අපගේ රජකුලෙන් බුදු ව සෙසු මහණුන් පිරිවරා ඇවිදිනා සේ නො යෙදෙයි. මෙයින් මත්තෙහි රජ මහණුන් පිරිවරා ඇවිද්ද මැනැවැ”යි ඔවුනොවුන් හා මන්ත්‍රණය කොට ශාක්‍යරජකුමරුවන් දෙසිය පනසක් හා, කෝළිය රජකුමරුවන් දෙසිය පනසක් හා පන්සියයක් රජකුමරුවන් බුදුන්ට පුදා ගියහ. එ වේලෙහි ස්වාමිදරුවෝ ඒ පන්සියයක් රජකුමරුවන් එ තැනදී ම මහණ කොට ගෙන මිණි පිරිවැරූ සිතුමිණි රුවන සේ රජ මහණුන් ම පිරිවරා දෙවුරම් වෙහෙරට ම වැඩි සේක.
එ කල ඒ පන්සියයක් රාජකුමාරවරුන්ගේ රූප නන්‍දාවෝ ය. ථුල්ලනන්‍දාවෝ ය, සුන්‍දරි නන්‍දාවෝ ය, කල්‍යාණි නන්‍දාවෝ ය, ශ්‍රී නන්‍දාවෝ ය, ලක්‍ෂණ නන්‍දාවෝ ය, පදුම නන්‍දාවෝ ය, චන්‍ද මුඛීය, පදුම මුඛීය, ආදාස මුඛීය, සුන්‍දරී මුඛීය යනාදි පන්සියයක් බිසෝවරු පුරුෂ වියෝගයෙන් පෙළෙන්නාහු පුරුෂයන්ට සොර පත් යවා සොර පඬුරු යවා ඔවුන් හා පෙර තමන් කළ ප්‍රියකථා හා සලකුණු කියා යවා පුරුෂයන්ට සංවේග උපදවා මහණධම් පිරීමෙහි උත්සාහ මඳකොට සස්නෙහි උකටලී කරවති. එ කල ස්වාමිදරුවෝ මේ කාරණය දැක ඒ පන්සියයක් රජ මහනුන් සෘද්ධිබලයෙන් හිමාලය වනයට ගෙන ගොස් එහි කුණාල නම් විල දී කුණාල ජාතක ය දෙසා සෝවාන් කොට කිඹුල්වත් පුර නුවර මහ වෙනෙහි දී මහාසමය සූත්‍රය දෙසා අමාමහ නිවන් දක්වා සංසාර සාගරයෙන් ගොඩනඟා ගෘහවාසයෙහි ලෝභය හා ස්ත්‍රීන් කෙරෙහි කාම තෘෂ්ණාව අහසට පොළොව සේ දුරු කරවා වදාළ සේක.
පසුව ද ඒ බිසෝවරු ඔබ රහත් වූ බවු නො දැන පෙරසේම සරුප කියා යවති. එ කල ඒ භික්‍ෂූන් වහන්සේ “ගිහිවාසය මේ ජාතියෙහි තබා මතු ජාතියෙහි ද දුරු කළම්හ. නිවන් සුව විඳිමින් සිටියම්හ. නිවන්සුවයෙහි රස දත්තවුන්ට කාමසුව නම් ගැරවිල් කුණක් සේ පිළිකුල, එසේ හෙයින් තෙපි තෙපි අප හැම ප්‍රාර්ථනා නො කරවා රහතුන් පැතීම නම් සුළං බදන්නා වැන්න, සඳට අත දිගු කරන්නා වැන්න. අප නො පතා තෙපි තෙපි දු තපස් කොට සසරින් ගැළවී ගනුව”යි කියා යවන සේක.