එ වේලෙහි බුදුන්ගේ සද්ධර්මලීලා හා ශ්‍රී විභූතිය දැක, මහා ප්‍රජාපතී ගෝතමීන් වහන්සේ පෙර තමන් වහන්සේ චුල්ලධර්මපාල ජාතක චුල්ලනන්‍දිය ජාතකාදී නො එක් ජාතිකෝටියෙහි මවුව ත් අවුදින් කෙළවර බුදු වූ ජාතියෙහිද මහපෙම් කළා වූ පුත්‍ර ස්නේහය, බුද්ධස්නේහය, ධර්මස්නේහය යි ත්‍රිවිධ වූ ප්‍රේම නමැති මහ වතුරෙන් සොලවන ලදුව ඉපිල නැංගා සේ හුනස්නෙන් පැන නැගි දොහොත් මුදුන් දී සිට මෙසේ මහ පිරිසට ඇසෙනසේ ස්තුති කරන සේක්;
බහුන්නං වත අත්‍ථාය - මායා ජනයි ගොතමං,
බ්‍යාධිමරණ තුන්නානං - දුක්ඛක්ඛන්‍ධිංබ්‍යපානුදී-යි.
යන මේ ගය කිය කියා “සාධු සාධු ම පුතණුවෙනි, ශ්‍රීමත් වූ ගෞතමයෙනි, මෙ බඳු වූ ශ්‍රීයෙක් තවත් නුඹට ම වඩ වඩා වේව යි නුඹ නිසා මුළු ලෝවාසීන්ට මේසා මහත් වූ වැඩෙක් වී ය. මා බූනැනියෝ මහාමායා දේවී ඒකාන්තයෙන් මුළුලොවට වැඩ නිසාම මෙතෙක් සත්ත්‍වයන් අතුරෙන් නුඹ වැනි පුත් රුවනක්ම වදා ලූ දෑ ය. එසේ හෙයින් මේ නුඹ කරන ලෝවැඩෙකැ යි නො සිතමි. මා බූනැනියන් මහාමායා දේවීන් ම මේ ලෝවැඩ කළහ යි සිතමි”යි බුහුනැනියන්ගේ ගුණව්‍යාජයෙන් බුදුන්ට ස්තුතිකොට පියා නැවත බුදුන්ට ආ වැඩුව මනා කාරණයක් දැක:
චීරං ජීව මහාවීර - කප්පං තිට්ඨ මහාමුනෙ!
සබ්බලෝකස්ස අත්‍ථාය - භවස්සු අජරාමරො - යි.
යන මේ ගාථාව කියා “මහත් වූ වීර්‍ය්‍ය ඇති බුදුරජාණෙනි! චිරාත් කාලයක්ම ජීවත් වුව මැනැව. මුළු ලොවට වැඩ පිණිස කපක් මුළුල්ලෙහි වැඩහිඳිනේ මැනව. අජරාමර වුව මැනැව”යි කියා බුදුන්ට ආ වැඩූ දෑ ය. එ බස හා සමග තුන්ලෝ පුරා සිටි මහ පිරිස ද “චිරං ජීව මහාවීර!”යි කියා එකපැහැර බුදුන්ට ආ වඩන්නාහු බඹලොව දක්වා කෝලාහල කළහ.
එ වේලෙහි බුදුහු මහ පිරිස සන්හුන් කළ “මහාප්‍රජාපති ගෝතමීනි! සර්වඥවරයන්ට ආ වඩන්නේ නම් තෙල සේ නො වෙ”යි වදාළ සේක. කෙසේ ද ස්වාමීනි යි විචාළ දෑ ය. බුදුහු වදාරණ සේක් “සර්වඥවරයෝ නම් ශ්‍රාවකයන් ම ආභරණ කොට ඇතියහ. වල්ලභයන්ගෙන් ශෝභාවත් වූවා සක්විති රජුන් වැනියහ. තාරකාවන්ගෙන් ශෝභාවත් වන්නා වූ සඳ දෙව්පුත් වැනියහ. බුදුහු සමඟ වූ ශ්‍රාවකයන් ම දකිනා කැමැතියහ. එසේ හෙයින්:
ආරද්ධවිරියෙ පහිතත්තෙ - නිච්චං දළ්හ පරක්කමෙ,
සමග්ගෙ සාවකෙ පස්සෙ - එසා බුද්ධාන වන්‍දනා - යි.
යන මේ ගාථාව උගන්වා “අනූන වූ ශ්‍රාවකසඞ්ඝයා බල බලා වැඩහුන මැනැවැයි කියව. එසේ වූ වචනය බුදුන්ට ආ වැඩුම් නමැ”යි වදාරා එ තෙනට අනුරූප වූ දේශනාවෙන් බණ සමහර කොට මහපිරිසට සමු දී යවා වදාළ සේක. එ වේලෙහි සතර මහ සතර ඵලයට පැමිණියා වූ භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාදී දිව්‍ය, බ්‍රහ්ම, ගරුඩ, නාග සංඛ්‍යාත වූ අෂ්ටප්‍රකාර වූ මහපිරිස බුදුන්ට අප්‍රමාණ වූ පූජා කොට ගියහ.
මෙසේ කෙලෙසුන් කෙරෙන් දුරු වූ හෙයිනුදු, කෙලෙස් නමැති සතුරන් නැසූ හෙයිනු දු, සංසාර චක්‍රයාගේ අර බුද්ධඥාන නමැති කෙටේරියෙන් පළා සුණුවිසුණු කොට, මූලොච්ඡින්න කොට, නැසූ හෙයිනු දු තමන් වහන්සේ රහසත් පව් නො කරන හෙයිනු දු, මෙසේ මෙසේ වූ ආමිෂ ප්‍රතිපත්ති සංඛ්‍යාත වූ අසාධාරණ වූ, පූජා ලැබීමට සුදුසු හෙයිනු දැයි යනාදි වූ, අනෙකප්‍රකාර වූ, අර්ථයෙන් මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි.
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො,
අත්‍ථානුරූපං “අරහං” ති ලොකෙ
තස්මා ජිනො අරහති නාමමෙතං - යි.
මේ පූජාවලියෙහි
අප බුදුන් මහා ප්‍රජාපත්‍යාදි පන්සියයක්
ශාක්‍ය මෙහෙණින්ගෙන් ලද
භික්‍ෂුණී ශාසනොත්පත්ති - ප්‍රතිපත්ති පූජා කථා නම් වූ සවිසි වන පරිච්ඡේදය නිමි.