මෙසේ පූර්වයෙහි වූ අග්‍රශ්‍රාවකයන් කොට ආවා වූ සිරිතක් ම හෙයින්, මාගේ බුදුරජාණන් වහන්සේ ද දෙවොරෝහණ පූජාවෙන් දෙව්ලොවින් බැස රුවන් හිනිපාමුල පූර්ව බුද්ධ භූමියෙහි අෂ්ටාදශ හස්ත වූ බුද්ධකායෙකින් ශ්‍රීමත් ව වැඩසිටි වේලෙහි, සැරියුත් මහ තෙරුන් වහන්සේ ද මහ සෙනඟට පළමු ව බුදුන් පෙරටු ගොස් සිට බුදුන්ගේ ශ්‍රීපාදමූලයෙහි හිස තබා වැඳ නැගී සිට දොහොත් මුදුනෙහි තබාගෙන,
න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ - න‘ස්සුතො උද කස්සචි,
එවං වගගුවදො සත්‍ථා - තුසිතා ගණිමා‘ගතො - යි.
යනාදීන් බුදුන්ට ස්තුති කොට “තුන්ලෝ මුදුන් වූ බුදුරජාණෙනි! නුඹ වැනි වූ නිවන්මැහැනි කෙනකුන් ලදිමි. නුඹ සේ වූ නිවන්පියාන කෙනෙකුන් ලදිමි. නුඹ සේ වූ ගුරුකෙනකුන් ලදිමි. නුඹ සේ වූ කල්‍යාණමිත්‍රකෙනකුන් ලදිමි. නුඹසේ වූ දිව්‍යනේත්‍රයක් ලදිමි. නුඹසේ වූ තිලකාභරණයක් ලදිමි. නුඹසේ වූ මුදුන් මල් කඩක් ලදිමි. නුඹසේ වූ චූඩාමාණික්‍යයක් ලදිමි. නුඹසේ වූ ලයක් ලදිමි. නුඹසේ වූ රක්‍ෂාස්ථානයක් ලදිමි. නුඹසේ වූ චින්තාමාණික්‍යයක් ලදිමි. නුඹසේ වූ භද්‍රඝටයක් ලදිමි. නුඹසේ වූ කල්පද්‍රැමයක් ලදිමි. නුඹ සේ වූ නේත්‍රාඤ්ජනයක් ලදිමි. මේ මේ කාරණයෙන් මා සේ වූ භාග්‍යවන්තයෝ නැත. ස්වාමීනි! අද නුඹවහන්සේගේ මේ බුද්ධශ්‍රී බලා බුදුවෙම්හ යි නො පැතූ එක ද දිව්‍ය-මනුෂ්‍ය කෙනෙක් නැත. මෙ දසදහසක් සක්වළ රැස්වූවවුන් අතුරෙන් සියලු දිව්‍ය සේනාව හා සතිස් යොදනෙහි සිටි මහපිරිස නුඹවහන්සේ කෙරෙහි අතිප්‍රසන්න වූ බොහෝ දෙන ම බුදුබැවු පැතූහ. ස්වාමීනි! ඔහු හැම දෙන ම මතු බුදුවෙත්දැ”යි විචාළ සේක.
එ වේලෙහි බුදුහු “ශාරිපුත්‍ර ස්ථවිරය! බුදු වම්හ යි පැතූ සියල්ලවුන්ට ම බුදු බැවු සිද්ධවන්නේ ම වේ දැ”යි වදාළ සේක. එ කල සැරියුත් මහ තෙරුන් වහන්සේ “ස්වාමීනි! පාරමිතා නුපුරා පූර්ව හේතුවක් නැති ව, මෙ පමණ සන්තෝෂයකින් කළා වූ ප්‍රාර්ථනාව ගෙන බුදුවන්නේ කෙසේ දැ”යි විචාළ සේක. එහි විභාග මෙසේ දතයුතු.