මේ ලෝකත්‍රයෙහි කළ මනා සියලු ප්‍රාර්ථනාවෙන් බුදුවෙම් ව යි ප්‍රාර්ථනා කිරීම නම් වීර්‍ය්‍ය ඇත්තාහටත්, නැත්තාහටත් උතුම් වූ ප්‍රාර්ථනාවෙක් ම ය. බුදුවම්හ යි ප්‍රාර්ථනා කොට පින් රැස්කළ කල අධික වූ වීර්‍ය්‍ය ඇත්තාහු ලොවුතුරා බුදුබවු ම සාදා ගනිති මධ්‍යම වූ වීර්‍ය්‍ය ඇත්තාහු ප්‍රත්‍යෙකබෝධිය සාදා ගනිති. සාධාරණ වූ වීර්‍ය්‍ය ඇත්තාහු අසාධාරණ වූ ශ්‍රාවක බෝධිය සාදා ගනිති. එසේ හෙයින් බුදුබවු ප්‍රාර්ථනා කළාහට මේ තුන්බෝධියෙන් එක් බෝධියෙන් සිද්ධ වේ ම ය. යම් සේ තුන් තොටක් ඇති මහත් වූ ගඞ්ගාවකට බැස දියකපා පිහිනන්නා වූ පුරුෂයෙක් මත්තෙහි තොටින් නැඟෙමි යි සිතා වීර්‍ය්‍ය කොට පිහිනන කල සුරු යේ වී නම් එම තොටින් නැඟෙයි. එ තොට වරදවාපුයේ වී නම් මැද තොටින් හෝ නැඟෙයි. එ තොට වරදවාපුයේ වී නම් තුන්වන තොටින් ගොඩ නැඟේ ම ය. බුදුවන්ට ප්‍රාර්ථනා කළ කල මත්තෙහි තොටින් නැඟෙමි යි පිහිනුවා වැන්න. ඒහට තුන් තොටින් එක් තොටකින් නැඟීම ඒකාන්ත වන්නා සේ ම බුදුවන්ට පැතුවා හට ද තුන් බෝධියෙන් එක් බෝධියෙක් ඒකාන්ත වේ ම ය. මේ මේ කාරණයෙන් බුදුහු “ශාරිපුත්‍රය! මේ සියලු සත්ත්‍වයන්ට ම අද උන් කළා වූ ප්‍රාර්ථනාව තුන් බෝධියෙන් එක් බෝධියක් සිද්ධ කොට දෙන හෙයින් සාර්ථක වූ ප්‍රාර්ථනාවෙක් ම ය. එසේ හෙයින් බුද්ධාදි වීරපුරුෂයෝ දිව්‍ය-මනුෂ්‍යයන්ට ප්‍රියවන්නාහු ම ය”යි වදාරණ සේක්:
යෙ ඣානපසුතා ධීරා - නෙක්ඛමමුපසමෙ රතා,
දෙවාපි තෙසං පිහයන්ති - සම්බුද්ධානං සතීමතං යි.
යන මේ ගාථාව වදාරා නැවත එමවිට ම සිතන සේක් “මාගේ ශාසනයෙහි මුගලන් මහතෙරහු සෘද්ධිමතුන් කෙරෙහි අග්‍ර වූ තනතුරු ලදහ. අවශේෂ වූ ශ්‍රාවකයෝ ද වෙන වෙන ම තමන් තමන්ට සුදුසු වූ ස්ථානාන්තර ලදහ. මාගේ ශාසනයෙහි සැරියුත් මහ ස්ථවිරයන්ට වඩා ප්‍රඥාවන්ත කෙනෙක් අද මේ මුළු තුන්ලෙව්හි ම නැත. බුද්ධඥානයට අනුරූප ව පවත්නා වූ ඥානගති ඇතියහ. ඔහුගේ ඥානයට ලක් තබත් හොත් පඤ්චමහා ගඞ්ගාවෙහි වැලි මඳ, මුහුදු දිය බිඳු මද, පොළොව පස්බිඳු මඳ, ඔහුගේ නුවණ බෙහෙව. බුද්ධඥානයෙන් මා විසින් දෙසුවා වූ අභිධර්මය එක ශ්‍රැතියෙන් විශේෂයෙන් දරාගත. අද මේ මහ පිරිස මධ්‍යයෙහි මොහුගේ නුවණ බල පරාක්‍රම දක්වා මහපිරිස විස්මය පත් කරවා, මෝහට නුවණැතියන් කෙරෙහි අග්‍ර වූ ස්ථානාන්තර දැන් ම දෙමි”යි සිතා මොළොක් වූ උත්තාන පැනයක් වදාළ සේක. ඒ විපැනය පෘථග්ජනයෝ කීහ. ඔවුන්ට නො දැනෙන අනික් පැනයක් වදාළ සේක.
එ පැනය අසා පෘථග්ජනයෝ තුෂ්ණිම්භූත වූහ. එ පැනය සෝවාන් මාර්ගඵල ලදුවෝ කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනයට සෝවාන්හු තුෂ්ණිම්භූත වූහ. සෙදගැමි මග ලදුවෝ කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනය සෙදගැමි මඟ ලදුවන්ට නො දැනෙයි. අනාගාමි කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනය අනාගාමින්ට නො දැනෙයි. ක්‍ෂීණාශ්‍රවයෝ කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනය නිකම් ක්‍ෂීණාශ්‍රවයන්ට නො දැනෙයි. ත්‍රිවිද්‍යාප්‍රාප්ත වූ මධ්‍යම ක්‍ෂීණාශ්‍රවයෝ කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනය මධ්‍යම ක්‍ෂීණාශ්‍රවයන්ට නො දැනෙයි. ෂට් අභිඥාප්‍රාප්ත වූ ක්‍ෂීණාශ්‍රවයෝ කීහ. අනික් පැනයක් වදාළ සේක. එ පැනයෙහි අර්ථ සියලු සතුන්ට නෙ ාදැනෙයි. දෑළයෙහි සිටි සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ඔවුනොවුන් පරයා කී සේක. අනික් පැනයක් වදාළ සේක. එ පැනය මුගලන් මහ තෙරුන් වහන්සේටත් නො දැනෙයි. දම්සෙනෙවි සැරියුත් මහතෙරුන් වහන්සේ සියුම් කරයකින් ඇඹුල දන්ඩක් නොපැකිළ කපා හළුවා සේ පැකිලීමක් නැතිව ම කියාපු සේක.
එ කල බුදුහු බුද්ධඥානය අතිගම්භීර නියාම මෝහට ද, සියලු සතුන්ට ද, හඟවා මොහුගේ ද නය දන්නා නුවණ ප්‍රසිද්ධ කෙරෙමි යි සිතා බුදුකෙනකුන් මුත් අනික් සත්ත්‍වයක්හට අවිෂය වූ අති ගම්භීර වූ ප්‍රශ්නයක් වදාළ සේක. එ වේලෙහි සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුන් වදාළ පැනය අතිගම්භිර හෙයින් විශේෂයෙන් අර්ථ නෙ ාදැක මුහුදු පීනා ගොඩක් නො දැක ඔබිනොබ දිවන්නා වූ ශූරපුරුෂයකු සේ සද්ධර්මසාගරයට වැද හළලා නොයෙක් නය කල්පනා කොට තෙරක් දැක්ක නො හෙන සේක. එ වේලෙහි ස්වාමිදරුවෝ “භූතමිදං සාරිපුත්ත”යි යන මේ අකුරු සතරින් කිසියම් නයක් දීලූ සේක. ඒ ශ්‍රාවකපිරිසෙන් බුදුන් වදාළ නය කුමක් බවත් දතුවෝ නැත. එ කල සැරියුත් මහ තෙරුන් වහන්සේ එ පමණ නයෙකින් බුදුන් වදාළ නය විශේෂයෙන් අර්ථ දැක සිය දහස් ලක්‍ෂ කෝටිගණන් නය ගෙනහැර දක්ව දක්වා ප්‍රශ්නව්‍යාකරණය කරන්ට පටන්ගත් සේක.
එ වේලෙහි ස්වාමිදරුවෝ මහතෙරුන් වහන්සේ ප්‍රශ්න ව්‍යාකරණය කරත් කරත් ප්‍රියපුත්‍රයකුගේ ශිල්ප බලන්නා වූ පෙම්බර පියාණකෙනකුන් සේ “සාධු සාධු ශාරිපුත්‍රය! තෝ ඉතා නය දන්නා සූක්‍ෂම ඥාන ඇතියෙහි ය. බුදුන් අදහස් නො වරදවා කියන්නෙහි ය. බුදුන්ට අනු වූ ඥානසම්පත් ඇතියෙහි ය” යනාදීන් මහ තෙරුන් වහන්සේට ස්තුති කොට වදාරා තෝ මාගේ ශාසනයෙහි ඥානවන්තයන් කෙරෙහි අග පැමිණියෙහිය යි නුවණැත්තවුන් කෙරෙහි අග්‍ර වූ ස්ථානාන්තර නමැති මහා ප්‍රාසාද දුන් සේක. එ කල සියලු දිව්‍ය-මනුෂ්‍යයෝ මහ තෙරුන් වහන්සේගේ නුවණ බලවික්‍රම දැක අතිප්‍රසන්න වූවාහු ආතත විතතාදි පඤ්චාඞ්ගික තූර්‍ය්‍ය එක පැහැර භවඅග දක්වා ඇසෙන සේ මහා පූජා කළහ.
මෙසේ වූ ප්‍රඥාබලයක් කෙසේ වූ පින්බලයෙකින් ලද සේක් ද? යත්; මේ සැරියුත් මහ තෙරුන් වහන්සේ ගිය ජාතියෙක පුස්පත් ගෙඩියක් හා පන්හිඳක් පමණ බණක් ලියන්ට දන් දුන් සේක. එ පමණ වූ කුශලයෙකින් මෙ පමණ වූ ඥාන බලපරාක්‍රමයක් ලද සේකැ යි දතුයුතු. එ වේලෙහි ස්වාමිදරුවෝ මෙසේ සැරියුත් මහ තෙරුන් වහන්සේගේ ප්‍රඥාව මුළුලෝ වාසීන්ට දක්වා ඒ පර්ෂදට තරම් වූ ධර්මදේශනා කොට වදාළ සේක. එ වේලෙහි තිස්කෙළක් ප්‍රාණීහු අමාමහ නිවන් දුටහ.
මෙසේ මේ දේවෝරෝහණ පූජාවෙහි ම සක්දෙව් රජහු විසින් මවන ලද ත්‍රිවිධ වූ දිව්‍යසෝපාන පූජා ය. දෙතිස් පූර්වනිමිත්ත පූජා ය, වරම් ශක්‍ර සුයාම සන්තුෂිත සුනිර්මිත පරනිර්මිත පඤ්ච ශිඛ මාතලී ඓරාවණාදි දස දහසක් සක්වළ දිව්‍යරාජයන්ගෙන් දැක්වූ එක්ලක්‍ෂ විසිදහසක් දිව්‍යරාජ පූජා ය, අරූතල අසංඥතලයන් හැර දස දහසක් සක්වළ බ්‍රහ්මරාජයන් කළ එක්ලක්‍ෂ පණස්දහසක් බ්‍රහ්මරාජ පූජාය යි, දෙලක්‍ෂ සැත්තෑ දහස් පන්තිස් මහා පූජාවක් ලත් හෙයිනු ත්, සංඛ්‍යාපථයට අවිෂය වූ නො කියන ලද අසංඛ්‍යගණන් පූජා ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මාගේ ම ස්වාමිදරු වූ, තුන්ලොවට මේ සා බුදුමහිමයක් දක්වා නිවන් අමා බෙදා දීලූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි:-
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො,
අත්‍ථානුරූපං “අරහං”ති ලොකෙ
තස්මා ජිනො අරහති නාමමෙතං යි.
මේ පූජාවලියෙහි අප බුදුන් සකස්පුර දොර දී ලද
දේවොරොහණ පූජා කථා නම් වූ පස් විසි වන පරිච්ඡේදය නිමි.