එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධුකාර පූජා කොට “ස්වාමීනි! අප බුදුන් කවර දවස් දකුමෝ ද, කුමක් වදාළ සේක් දැ යි විචාළහ. එකල මහතෙරුන් වහන්සේ “උපාසක ජනයෙනි! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක. බුදුන් දක්නා කැමැති කෙනෙක් එතෙනට රැස්වව”යි වදාළ සේක. ස්වාමීනි! ඒ සකස් පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන් දැයි විචාළහ. උපාසක ජනයෙනි! මේ නුවරට තිස් යොදනෙකැ යි වදාළ සේක. එ වේලෙහි මනුෂ්‍යයෝ “ස්වාමීනි, මෙ තැනට රැස් වූ බාලදරුවෝ බෙහෙව. ජරා දුර්වලයෝ බෙහෙව. පයින් යා නොහෙන ශ්‍රි වන්තයෝ බෙහෙව. ඔහු එ තෙක් තැන් කෙසේ පලා යෙද්දැ යි විචාළහ. එ වේලෙහි මහතෙරුන් වහන්සේ “කිසිකෙනකුන්ටත් කිසි පීඩාවකු ත් නො වෙයි. දුරෙකැ යි නො සිතා මාගේ බුදුන්ගේ හා මාගේ ආනුභාවයෙන් හැම දෙනම නික්මෙව”යි වදාළ සේක. එ බස හා සමග ම මියර ලගුන් මහ වතුරක් සේ සහපිරිස එකවිට ම සෙලවී නික්මුනහ.
එ කෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහ පිරිස ආකාශයෙන් යන සක්විති පිරිසක් සේ ඉක්බිති ගෙයෙක මගුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැති ව පතුල් බොලැට ගැහැටුමකුත් නැතිව යන්නාහු ය. සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණු වත තිස් යොදුන් මග ගෙවා ගොස් සකස් පුර දොර දී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නාහු ඔබ වන් කල ම බැඳ නිම වූහ. එක් කණෙක කර්ණාභරණ සැවැත් නුවරදී පැළඳ අනික් කණ සකස්පුර දොර දී පැලැන්දහ. ඔවුනොවුන් පරයා නික්මුණාහු එක් අතෙක හස්තාභරණ පැළඳ අනික් අත හස්තාභරණ සකස් පුර දොර දී ලූහ. ඔවුනොවුන් පරයා නික්මෙන සන්සලයෙහි සුවහස් අගනා මුත්හර කරට දමා කර බඳිනා පමුයෙහි යතුරු ගන්ව ගන්වා ගොස් වැද ගිය උත්තමාඞ්ගනාවෝ කෙතෙක් දෙනද. සත් මැද මුහුණ තෙල් ගගා එක් ඇසෙක අඳුන් ගා අනික් ඇස අඳුන් ගානා දෑ තුරෙහි ගොස් වැද ගියා වූ යෞවන ස්ත්‍රී කෙතෙක් දෙන ද. රන් කැටපත් වමතින් ගෙන තමන් මුහුණ වටට කැටපත් වට නපුරැයි විසුළු ගන්වන්නා සේ කැටපත් බල බලා සුවෙන් වැද ගියාවූ දෙවඟනන් බඳු වරඟනෝ කෙතෙක් දෙන ද.
අපි පසු ව මෝ දෝ හෝ අපි පසු ව මෝ දෝ හෝයි ඔවුනොවුන් පරයා නික්මුණු කල්හි එක් කණෙක සක්පත් තබා අනික් කණ සක්පත තන තනා ගොස් එ තැනට වැද ගියා වූ තැන සිටි යොවුන් සිටියෝ කෙතෙක් දෙන ද. එකල මලක් හිස ගන්වා අනික් මල මුකුලිත කොට කොට හිසට දිගු කරන දෑතුරෙහි දිඟුමග ගෙවා ගොස් වැඳ ගිය සල්ලාල ස්ත්‍රී පුරුෂයෝ කෙතෙක් දෙන ද, කිරි බොන දරුවන් වඩාගෙන නික්ම ‘තොපට දුක, දරුවන් මා අතට වඩාපියව’යි පුරුෂයන් දරුවන් කරා දෑත් දිගුකල කල්හි පියන් අතට දරුවන් වඩාලන දෑතුරෙහි ගොස් එ නුවර වැද ගියා වූ ජයම්පතිකාවරු කෙතෙක් දෙනද. දහසක් අගනා කසීසළු හැඳ දෙදහසක් අගනා කසීසළු කරට දම දමා යෙහෙන් ගොස් වැද ගියා වූ මත් බමුණෝ කෙතෙක් දෙනද.
පෙරැනිමි පැන පැන කීප පිම්මකින් සකස්පුර දොරට ගොස් “කොල! මේ කිමෙක්දැ”යි ඔවුනොවුන් මුහුණ බලා විස්මය පත්ව නැවත පෙරැනිමි පනින්නා වූ ලංඝිකයෝ කෙතෙක් දෙනද. නරු තන තනා පිළිහැඳ හැඳ එක් වල්ලක් හඹා ගන්නා දෑතුරෙහි හඹාම ගොස් එ නුවර ගියා වූ නළුවෝ කෙතෙක් දෙනද. සක් සින්නම් තුඩ තබා එක් දෙයලක් පිඹ තුන්වන ධ්වනිය නො නඟන තෙක් ගොස් වැද ගියාවූ ධ්වනිකයෝ කෙතෙක් දෙනද, රන් පැන, රිදී පැන, රන් කලස, රිදීකලස, රන් කොතලා, රිදී කොතලා, රන්ධජ, රිදීධජ එක් අතකින් ඔසවා ගෙන අනික් අතට මාරු නොකොට එක අත නො එලෙන තෙක් නොයෙක් පූජා භාණ්ඩ ගෙන කෙළ ගොස් වැදගියා වූ පින් සොඬ වූ සත්ත්‍වයෝ කෙතෙක් දෙනද. සත්තිස් යොදනෙහි අතුරු නොදී හුන් ඒ සා මහ පිරිස ඒ සැවැත් නුවර සිට තිස් යොදුන් මග ගෙවා පැනක් බී නො පියන ඇසිල්ලෙහි බුලතක් යොදා නො ගන්නා ඇසිල්ලෙහි කිසි පීඩාවක් නැතිව ස්වප්නයෙන් ගිය ගමනක් සේ ඒ සකස්පුර දොරට ගියා වූ ඒ ගමන් පෙළහර මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු බුදුරජාණන්ගේ මහත් වූ බුද්ධානුභාවයෙන් ම විය. එකල ඒ මහ පිරිස සකස්පුර දොරට වැද උපන් සන්තෝෂයෙන් උත්සව කෙළි කෙළ එ තැන්හි ද කඳවුරු බැඳ උන්හ.
එකල බුදුරජාණන් වහන්සේ වප්මස මැදි පොහෝ දිනයෙහි පාණ්ඩුකම්බලාසනයෙහිදී ම වස් පවරා එ දවස් සක්දෙව් රජහු කැඳවා “සක්දෙව්රජ! අප මිනිස්ලොවට ගියමනා කලැ”යි වදාළ සේක. එ වේලෙහි ශක්‍රදේවේන්‍ද්‍රයෝ “ගැත්තකුගේ ගෙයි වැස ස්වාමිදරුවක්හු යන කල ගැත්තහු විසින් කිසියම් සත්කාරයක් කොට පසුගමන් කළම්පාවේ ය. එසේ හෙයින් මම ද මාගේ බුදුන්ට මා ශක්ති පමණින් පූජාවක් කොට පසුගමනක් කෙරෙමි. බුදුහු මාගේ පුරයට වඩනා දවස් තුන් පියවරකින් බුද්ධානුභාවයෙන් වැඩි සේක. දෙවනුව මාගේ පුරයෙහි සිට වඩනා ගමන දිව්‍යානුභාවයෙන් වැඩියමනා ම ය. බුදුහු දෙව්ලොවට සත්ත්‍වයන් සිත් සේ නැගෙන සේ සද්ධර්ම නමැති සෝපානයක් ඉපැද වූ සේක. එසේ වූ බුදුන්ට මම දෙව්ලොව සිට මිනිස් ලොවට වඩිනා පරිද්දෙන් දිව්‍යසෝපානයෙකින් පූජාවක් කෙරෙමි”යි සිතා මෙරමුදුනෙහි පටන් සකස්පුර දොර දක්වා බුදුන් බස්නා සේ සත්රුවන් හිනක් මවා, දකුණැ‘ලයෙහි දෙවියන් පූජා භාණ්ඩ ගෙන බස්නා සේ රන්හිතක් මවා වමැ‘ලයෙහි රිදීහිනක් බ්‍රහ්මයන් සේසත් ගෙන බස්නා සේ මවාලී ය.
ඒ තුන් හින ම සුවාසූදහසක් යොදුන් පමණට වඩා බොහෝ වූ උස ඇත්තේ ය. හිනිඉස මෙරමුදුනෙහි වි ය. හිනිපාමුල් සකස් පුර දොර වී ය. බුදුන්ට මැවූ සත්රුවන් හිනෙහි එක් පෙත්තෙක් රිදීමය ය. එක් පෙත්තෙක් ප්‍රවාලමය ය. එක් පෙත්තෙක් දෑවාණමය ය. එක් පෙත්තෙක් ලෝහිතඞ්කමය ය. එක් පෙත්තෙක් මසාරගල්ලමය ය. එක් පෙත්තෙක් ඉන්‍ද්‍රනීලමය ය. එක් පෙත්තෙක් සත් රුවන්ම ය යි වෙන වෙන ම නිර්මිත වූ දිව්‍යකර්මාන්තයෙන් හොබනේ ය. ඒ අසාධාරණ වූ දිව්‍යසෝපාන තුන ම ඉන්‍ද්‍රචාප සේ සත්ත්‍වයන්ට විශේෂයෙන් පෙනේ ම ය. එ කල මනුෂ්‍යයෝ “කොළ! මේ කුමන පෙළහරෙක් ද, පෙර මෙසේ වූ පෙළහරෙක් දුටුවෝ ඇසුවෝ කවුරුදැ”යි කිය කියා දොහොත් මුදුනෙහි තබාගෙන තුන් ඉනෙහි කර්මාන්ත තමන් ඉනෙහි තුබූ දෙයක් සේ සිත් සේ බල බලා සාධුකාර දි දී සිටිනාහු ය.
එ වේලෙහි ස්වාමිදරුවෝ පාණ්ඩුකම්බලශෛලාසනයෙන් බැස බණ අසා සිටි දිව්‍යසේනාවට පින් දි, එම දිව්‍යසේනාව පිරිවරා මෙර මුදුනෙන්වැඩ, සත්රුවන්මය වූ දිව්‍යසෝපාන මස්තකයෙහි රුවන් ඇගෑයක් මුදුනෙහි වැටී අගෙක දල්වාපු දිවපහනත් සේ වැඩ සිට, “සියලු ලෝකධාතුයෙහි සත්ත්‍වයෝ ම මා දකිත්ව”යි අධිෂ්ඨාන කළ සේක. එ වේලෙහි අවීචියෙහි පටන් භවාග්‍රය දක්වා, භවාග්‍රයෙහි පටන් අවීචිය දක්වා, දසදහසක් ලෝකධාතු එකාඞ්ගන වි ය. දෙතිස් මහා පූර්ව නිමිත්ත නම් පූජාවෝ ද පහළ වූහ. සියලු සත්ත්‍වයෝ ම ආකාශයෙහි සඳ දක්නවුන් සේ බුදුරජාණන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා, අසූ අනුව්‍යඤ්ජන ලක්‍ෂණයන් හා, අල්ලෙහි තුබූ මස්සෙක අකුරු දක්නවුන් සේ සිත් සේ බලන්නට පටන් ගත්හ. දෙවියෝ මිනිසුන්ට පෙනෙති, මිනිස්සු දෙවියන්ට පෙනෙති, මහබඹු කුරුකුහුඹුවන්ට පෙනෙති, කුරුකුහුඹුවෝ මහබඹුන්ට පෙනෙති, සුවහස් පහන් දැල්වූ පහන් ගබඩාවක් උඩින් යටින් බැලුවාහට සකසා පෙනෙන්නා සේ දසසහස්‍ර ලෝකධාතුයෙහි සියලු සත්ත්‍වයෝ ඔවුනොවුන් සිත් සේ බලන්නට පටන් ගත්හ. එ වේලෙහි ස්වාමිදරුවෝ මධ්‍යයෙහි මැවූ රුවන්හිත රුවන් පෙත්තෙහි ශ්‍රීපාදයෙන් ශ්‍රීපාදය තබ තබා ශ්‍රීපාදයෙහි අටතුරාසියක් මඟුල්ලකුණු සියලු සත්ත්‍වයන්ට දක්ව දක්වා බස්නට පටන් ගත් සේක.
එ කල සියලු සත්ත්‍වයෝ ම මිණිකැටපත් පෙනෙන්නා සේ දිලියෙන බුදුන්ගේ ශ්‍රීපාද දැක බුදුන් බස්නා ලීලා දැක “බුදුරජාණෝ රන්පෙත්තට බටසේක. රිදීපෙත්තට බටසේක. සුරක්ත වූ ශ්‍රීපාදය දැවාණපෙත්තෙහි තබා වදාළ සේක. අනික් ශ්‍රීපාදය ඉඳුනිල්මිණි පෙත්තෙහි තබා වදාළ සේක. ලෝහිතඞ්ක පෙත්තට බට සේක. මසාරගල්ල පෙත්තට බට සේක. සත්රුවන් හිනිපෙත්තට බට සේක. බුදුන් දකුණුපත්ල ඔසවන්නා බලව. වම්පත්ල ඔසවන්නා බලව. බුදුන්ගේ ශ්‍රීපාදයෙහි සක්ලකුණු බලව. සුවහස් දැවි පෙනෙන්නා බලව. ඡිද්‍රමුඛ පෙනෙන්නා බලව. ස්වස්තික පෙනෙන්නා ය. රුවන් පෙතිවල මහිමත් අප බුදුන්ගේ ශ්‍රිපාදවල මහිම බලව. අපට ම හොබනේම ය”යි කිය කියා මුව නො පොහොනා සේ සාධුනාද කෙරෙමින් සිටිනාහු ය.
එ කල ශක්‍රදේවේන්‍ද්‍රයා පක්‍ෂපාත වූ හුදියකු සේ ස්වාමිදරුවන්ගේ සුගත් සඟළ හා පාත්‍රය තමා ඉස්මුදුනෙහි තබාගෙන දෑතකින් ඒ පාත්‍රසිවුරු වහ වහා තමාගෙන අනික් දෑතින් තමාගේ විජයතුරා නම් සක තුඩ තබා පිඹ තුන්ලොවට ඇසෙන සේ මහත් වූ ශඞ්ඛනාදයෙන් බුදුන් පුද පුදා බුදුන්ට පළමු ව ලා බස්නේය. දසදහසක් ශක්‍රදේවේන්‍ද්‍රයෝ දස දහසක් විජයතුරාසක් පිඹිමින් දකුණැලයෙහි රන්හිත පෙති පෙත්තෙහි සිටගත්හ. දසදහසක් සුයම් රජහු ද දසදහසක් මිණි වාමරගෙන දසදහසක් මිණිපෙතිවල සිටගත්හ. දසදහසක් සන්තුෂිත රජහු ද දස දහසක් මිණිතල්වැට ගෙන, දසදහසක් රන්පෙත්තෙහි සිටගත්හ. දසදහසක් මිණිතල්වැට ගෙන, දසදහසක් රන්පෙත්තෙහි සිටගත්හ. දසදහසක් සුනිර්මිත රජහු ද එසේ ම පූජාභාණ්ඩ ගෙන දසදහසක් පෙත්තෙන් බසිති. දසදහසක් පරනිර්මිත රජහු ද මහත් වූ උත්සවයෙන් බුදුන් පුද පුදා බස්නට වන්හ. වාමභාගයෙහි රිදී හිතින් දසදහසක් සහම්පතී මහාබ්‍රහ්මරාජයෝ ද සදහසක් සඳ මඬුලු සේ සේසත් ගෙන බුදුන් පුද පුදා බස්නට වන්හ. අවශේෂවූ බ්‍රහ්ම රාජයෝ ද පෙනිපෙත්තෙහි සිට ගත්හ. මෙසේ දකුණැළයෙහි රන්හින සකස්පුර දොර පටන් මෙර මුදුන දක්වාම පෙති පෙත්තෙහි අතුරු නො දී සිටගත්තා වූ දිව්‍යසේනාව ඇගෑයෙක පහන් පෙළක් දිලියෙන්නා සේ එකාකාරයෙන් සිටගත්හ. වමැ‘ළයෙහි රිදීහින ද, පෙතිපෙත්තෙහි සිටගත්තා වූ බ්‍රහ්මසේනාව සකස්පුර දොර පටන් පෙරමුණ දක්වා ම එසේ ම එකාකාරයෙන් සිටියහ. ස්වාමිදරුවන් බස්නා වූ රුවන් හිනෙහි පය ගානාවූ එක ද දෙවියෙක් බඹෙක් නැත, සත්ත්‍වයන්ට එයි දු එක් පෙළහරෙක. එ කල ස්වාමිදරුවෝ ඒ දිව්‍යබ්‍රහ්ම සේනාව මධ්‍යයෙන් මුළු ලොව සාධුකාර දෙවමින් මෙසේ බස්නා සේක.
එ කල රන්හිතින් බස්නට තමන්ට අවකාශ නැති හෙයින් දසදහසක් පඤ්චශිඛදිව්‍යපුත්‍රයෝ තුන්හවු පමණ ඇති දසදහසක් බෙලුවාපාණ්ඩුනම් දිව්‍ය වීණා ගෙන, සුවහස්ගණන් තතින් සරහා ගවු පමණ දසදහසක් වීනා පඞ්ක්තීන් එක පැහැර බුදුගුණ ගායනා කෙරෙමින්, පනස් පනස් යොදනෙහි රඟමඬුලු බැඳගෙන පෙළ පෙළ දී බස්නට පටන් ගත්හ. දසදහසක් මාතලී නම් දිව්‍යරථාචාරීහු, දසදහසක් දිව්‍යඅශ්වයන් යෙදූ දසදහසක් වෛජයන්ත රථ ගෙන, නො යෙක් ධ්වජපතාකාදි පූජා පෙරහරින් අලඞ්කෘත කොට තමන් තමන්ගේ සුවහස් ගණන් දිව්‍යසේනාව ගෙන, පෙළ පෙළ දී බස්නට පටන් ගත්හ. දසදහසක් ඓරාවණ නම් දිව්‍යරාජයෝ තෙතිස් කුඹෙහි මවන ලද දළ හා, දළෙහි මැවු පොකුණු හා, පොකුණෙහි මැවු පියුම් හා, පියුම්පෙතිවල නටන දෙවඟනන් හා හා සමඟ, තුන්ලක්‍ෂතෙතිස් දහසක් සොඬ නඟා තුන්ලක්‍ෂ තෙතිස් දහසක් සේසත් බුදුන්සිරසට කෙරෙමින් ආකාශයෙන් පෙළ පෙළ දී බස්නට පටන් ගත්හ. සෙසු නට නටා දිව ගී කිය කියා, දිවවීණා ගගා, දිවකුලල් පිඹ පිඹ, බුදුන් පුද පුදා, බස්නා දෙවඟනන් හා දිවනළුවෝ මෙ තෙකැ යි පමණ නැත.[1]
මෙසේ නො එක් පූජා පෙළහරින් අහස්කුස මුළුල්ලෙහි දෙවියන් මැවූ දිවමඬු, දිවතොරණ, රුවන් ඇගෑ, පහන් ඇගෑ, ධජ, පුන්කලස මෙතෙකැ යි පමණ නැත. බුදුන්ගේ දහස්ගණන් ජය කාහල කිය කියා, ජයකාලම් පිඹ පිඹ, බස්නා දෙවියෝ මෙතෙකැ යි ගණන් නැත. දහවල් ආකාශයෙහි තරු පිපී ගිය. මහ පොළොවෙහි සත්රුවන් ඉපිල ගිය. මහමුහුද සිය දහස් යොදුන් දිග මත්ස්‍යරාජයෝ ඉපිල පැනනැඟී බුද්ධ ශ්‍රී විඳ විඳ බලනට පටන් ගත්හ. සියලු සතුන් ඇස් නිවී ගිය, සිත් නිවී ගිය, කන් නිවී ගිය.
එ වේලෙහි මාගේ ස්වාමිදරුවන්ගේ ඒ බුද්ධ ශ්‍රී හා බුද්ධමහිම හා බුද්ධානුභාව හා බුද්ධ පූජා දැක, අවස්ථා නො දැන. පිරූ පාරමිතාවක් නැති ව, අවිෂය දෙයක් බලව, නොදැන, මම බුදුවෙම්ව යි මම බුදු වෙම්ව යි නො පැතුවා වූ එකද සත්ත්‍වකෙනෙක් නැත. සියලු සත්ත්‍වයෝ මම බුදු වෙම්ව යි මම බුදු වෙම්ව යි කිය කියා වෙන වෙන ම ප්‍රාර්ථනා කළහ. එදවස් තබා මේ දවස් වී නමුත් ඒ මාගේ බුදුන්ගේ ඒ පෙළහරපූජාව හා, එ දවස් ඔබගේ බුද්ධානුභාව හා මා සිතට විශේෂයෙන් දැන් දැනී ගියා සේ සියලු සත්ත්‍වයන්ට විශේෂයෙන් දැන් දැනී ගියා නම් දැනුදු බුදුබැවුහ් ලෝභ නොකරනුවෝ කවුරු ද, එ බඳු වූ පුරුෂබල පරාක්‍රමයෙක් කවර නම් සත්පුරුෂ කෙනකුන්ට මිහිරි නො වේ ද, එයින් ස්වාමිදරුවන් එ දවස් ලද්දා වූ පූජා මහිම යනු බුදු ව කවර නම් සත්ත්‍ව කෙනෙක් සියක් දහසක් ලක්‍ෂයක් මුඛ මවා ගෙනත් කියා නිමවාලන්ට පොහොසත් වෙද්ද, මෙසේ අපරිමේය වූ බුද්ධලීලායෙත් රුවන් හිනින් බැස අනන්තාපරියන්ත වූ බුදුහුදු මෙසේ ම දෙව්ලොවින් බැස පළමු වන ශ්‍රීපාදය පිහිටුවා වැඩ සිටිනා අවිජහිත භූමියට බැස, සරත්හිරි මඬලක් සේ දිලිහි දිලිහී වැඩසිටි සේක.
අනන්තාපරියන්ත වූ බුදුන් ම යමාමහ පෙළහර පෑම ද, එයින් ගොස් තවුතිසා භවනයෙහි වස් විසීම ද, එහි දී දෙවියන්ට විජම් දෙසීම ද, දෙසූ බණ පළමු කොට අග්‍රශ්‍රාවක වූ මහතෙර කෙනකුන් දැරීම් ද, වස් අන්තයෙහි එම පූජාවෙන් දෙව්ලොවින් සකස්පුර දොරට බැස මෙම භූමියෙහි වැඩසිටීම ද, එ කෙණෙහි මහපිරිසට පළමුකොට එම අග්‍රශ්‍රාවක වූ මහතෙරුන් ගොස් බුදුන් වැඳ දොහොත් මුදුන් දී සිට බුදුන්ගේ ගුණ කිය කියා සිංහනාද කිරීම් ද, ඒකාන්ත වූ ධර්මතායෙක් ම ය.
සෙසු බුදුන් තබා දීපඞ්කර නම් බුදුන්මෙසේ ම මහ පූජාවෙන් දෙව්ලොවින් බැස අසූරියන් බුද්ධකායෙකින් මෙම භූමියෙහි දිලිහි දිලිහී වැඩසිටි දවස් මහපිරිසට පළමු කොට ගොස් සුමඞ්ගල නම් අග්‍රශ්‍රාවක වූ මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. කොණ්ඩඤ්ඤ නම් බුදුන් දෙව්ලොවින් බැස අට අසූරියන් බුද්ධකායෙකින් වැඩසිටි දවස් භද්‍ර නම් මහතෙරහු පළමු ව ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. මඞ්ගල නම් බුදුන්ට අට අසූරියන් බුදුබඳින් වැඩ සිටි දවස් සුදෙවු නම් මහතෙරහු ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. සුමන නම් බුදුන් එසේ ම රුවන් හිනින් බැස අනූරියන් බුදුබඳින් රන් මෙරක් සේ වැඩසිටි දවස් සරණ නම් මහතෙරහු ඔබ සරණ වැඳ සිටියහ. රේවත නම් බුදුන් එසේ ම දෙව්පිරිස් පිරිවරා බැස අසූරියන් බුදුබඳින් තුන්ලෝ තිලකයක් සේ වැඩසිටි දවස් වරුණ නම් මහතෙරහු පළමු ව දිව ගොස් ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. ශෝභිත නම් බුදුන් අටපනස්රියන් බුද්ධකායෙකින් එම භූමියෙහි බැස සිටි දවස් අසම නම් මහතෙරහු එ සමයෙහි වැඳ සිටියහ. අනෝම දස්සී නම් බුදුන් අටපනස් රියන් බුදුබඳින් කප් රුකක් සේ වැඩසිටි දවස් නිසභ නම් මහතෙර කෙනෙක් පළමු ව ගොස් වැඳ සිටියහ. පදුම නම් බුදුන් අට පනස් රියන් බුද්ධ කායෙකින් වැඩසිටි දවස් ශාල නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාදය වැඳ සිටියහ. නාරද නම් බුදුන් අටාසූරියන් බුදුබඳෙකින් සරච්චන්‍ද්‍රයා සේ වැඩසිටි දවස් භද්‍රශාල නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රී පාදය වැඳ සිටියහ.
පියුමතුරා නම් බුදුන් අට පනස් රියන් උසින් තේජෝ කඳක් සේ දිලිහි දිලිහී දෙව්ලොවින් බැස වැඩසිටි දවස් දෙවෙල නම් මහතෙර කෙනෙක් ඔබගේ පතුල්වැඳ සිටියහ. සුමේධ නම් බුදුන් එසේ ම මහාපූජාවෙන් වැඩ තුන්ලොවට රසාඤ්ජනයක් සේ අටඅසූරියන් උසින් වැඩසිටි දවස් දෙරණ සේ ගුණ ඇති ශරණ නම් මහතෙර කෙනෙක් පළමු ව අවුත් ඔබගේ පා වැඳ සිටියහ. සුජාත නම් බුදුන් පනස් රියන් උසින් හිරිවිමනක් සේ වැඩසිටි දවස් සුදස්සි නම් මහතෙර කෙනෙක් ඒ බුදුන් පා වැඳ සිටියහ. පියදස්සී නම් බුදුන් අසූරියන් බුදුබඳින් රන්කඳක් සේ වැඩසිටි දවස් පාලිත නම් මහතෙර කෙනෙක් ඔබ පා වැඳ සිටියහ. අත්‍ථදස්සි නම් බුදුන් එසේ ම රුවන් හිතින් බැස අසූරියන් උසින් තුන්ලෝ පහනක් සේ වැඩසිටිදා ශාන්ත නම් මහතෙර කෙනෙක් ඔබගේ ශ්‍රිපාදය වැඳ ලෝකශාන්තියක් සේ වැඩසිටි සේක. ධම්මදස්සි නම් බුදුන් අසූරියන් කයින් දිව්‍යද්‍රැමයක් සේ වැඩසිටි දවස් පදුම නම් මහතෙර කෙනෙක් පළමුව බුදුන් වැඳ ස්තුති සිංහනාද කළහ. සිද්ධාර්ථ නම් බුදුන් සැටරියන් බුදුබඳින් බැස එම භූමියෙහි වැඩසිටි දවස් සම්බහුල නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාද වැඳ ප්‍රියබාහුල්‍යෙයන් සිටියහ.
තිස්ස නම් බුදුන් දෙව්ලොවින් බැස සැටරියන් බුද්ධ කායෙකින් වැඩසිටි දවස් සන්තෝෂයෙන් මත් වූ බ්‍රහ්ම දේව නම් මහතෙර කෙනෙක් ඒ බුදුන් වැඳ සිටියහ. ඵුස්ස නම් බුදුන් විජම් බණ වදාරා මෙම දෙවෝරෝහණ පූජා ලදින් අට පනස් රියන් ශ්‍රීශරීරයකින් දිලිහි දිලිහී වැඩසිටි දවස් සුරක්‍ෂිත නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. විපස්සි නම් බුදුන් අසූරියන් බුද්ධකායෙන් අසූ අනුබ්‍යඤ්ජනයෙන් දිලිහි දිලිහී වැඩසිටි දවස් ඛන්‍ධ නම් මහතෙර කෙනෙක් පළමුව ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. සිඛී නම් බුදුන් තුන්ලෝ සිඛි කෙරෙමින් රුවන් හිනින් බැස සැත්තෑරියන් බුද්ධකායෙකින් වැඩ සිටි දවස් අහිභු නම් මහතෙර කෙනෙක් සියලු පිරිස් අභිභවමින් අවුත් ඔබ ශ්‍රීපාද වැඳ සිටියහ. වෙස්සභූ නම් බුදුන් එසේ ම බැස සැටරියන් උසින් තුන්ලෝ ප්‍රදීපයක් සේ දිලිසෙමින් වැඩසිටි දවස් සෝණ නම් මහතෙර කෙනෙක් ඒ ශ්‍රීපාද වැඳ සිටියහ. කකුසඳ නම් බුදුන් සතළිස් රියන් බුද්ධකායෙන් දෙවි බඹ පිරිස් මැදින් බැස සිටි දවස් විධුර නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාද වැඳ ස්තුති පූජා කොට සිටියහ. කෝණාගමන නම් බුදුන් තිස් රියන් බුද්ධකායෙකින් ශ්‍රීමත් ව වැඩසිටි කල්හි සභිය නම් මහතෙර කෙනෙක් ඔබ ශ්‍රීපාද වැඳ වැඳ පළමු ව කථාකළහ. කාශ්‍යප නම් බුදුන් විසිරියන් බුද්ධකායෙකින් දිලිහි දිලිහී වැඩ සිටි දවස් තිස්ස නම් මහතෙර කෙනෙක් මහපිරිසට පළමු ව අවුත් බුදුන්ගේ ශ්‍රීපාදය වැඳ බුදුන් හා ප්‍රියකථා කළහ.
-
මෙර බුදුන්. ↑