තව ද: අප බුදුන් සකස්පුර දොර දී දෙවොරෝහණ පූජා නම් කවර? යත්;
මෙසේ මාගේ ස්වාමිදරු වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දී යමාමහ පෙළහර දක්වා එයින් නැඟී ශක්‍රදේවේන්‍ද්‍රයාගේ පාණ්ඩුකම්බලශෛලාසනයෙහි සත්වන වස, වසා දෙවියන්ට අභිධර්ම දේශනා කොට ඒ වස් අන්තයෙහි මහා පවාරණ දිනයට සත් දවසක් තුබූ කල්හි බුදුන් වඩනා තුරු සතිස් යොදනෙහි කඳවුරු බැඳ සැවැත් නුවර හුන් මහපිරිස වප්මස පුර අටවක් ලද පොහෝ දිනයෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ කරා රැස්වී “ස්වාමීනි! අප බුදුන් නො දැක්මෙන් දැන් අප හැමදෙනාට තෙයාසූ දවසෙක් අනික්‍රාන්ත විය. අප බුදුන් කවර දවසෙක දකුමෝ ද, අප බුදුහු කවර දවස් මිනිස්ලොවට වඩනා සේක් ද, ඒ අපට නියම දැන වදාළ මැනැවැ”යි කීහ. එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ “එ බැවින් මම බුදුන් කරා තවුතිසා භවනයට නැගෙමි යි මා නැඟෙන්නා බලා සිටුව”යි මහ පිරිසට කියාලා තමන් වහන්සේ සිටි තෙනින් ම දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළොව කිමිද ගොස් මෙර පත්ලෙහි දහසක් යොදුන් ත්‍රිකූටයන් දරාසිටි මහසාල පොළොවින් පැන නැගි ඉන්‍ද්‍රනීල සාගරයෙහි දිලියෙන්නා වූ ප්‍රවාලාංකුරයක් සේ දිලිහි දිලිහී වැඩසිට “මෙතැන් පටන් මා නැගෙන්නා වූ සියලු සත්ත්‍වයෝ ම විශේෂයෙන් දකිත්ව”යි අධිෂ්ඨාන කොට ලා එක්ලක්‍ෂ අටසැට දහසක් යොදුන් උස මහමෙර මහවිදුරු තොරපණසෙකින් සිදුරුකොට විද නගන්නා සේ කිමිද කිමිද නැඟෙන්නට පටන්ගත් සේක.
එ වේලෙහි ජම්බුද්වීපවාසී වූ සියලු සත්ත්‍වයන්ට ඉන්‍ද්‍රනීලයක් රත්හුයකින් අවුනා නඟන්නා සේ පෙනෙන සේක. අපරගොයාන ද්වීපවාසී සත්ත්‍වයන්ට ලොහිතඞ්ක මාණික්‍යයක් රත් පලස් හුයකින් අවුනා නඟන්නා සේ පෙනෙන සේක. උතුරුකුරු ද්වීපවාසී සත්ත්‍වයන්ට රත් මැණිකක් රත්හුයකින් අවුනා නඟන්නා සේ පෙනෙන සේක. පූර්වවිදේහ ද්වීපවාසී සත්ත්‍වයන්ට ස්ඵටික මාණික්‍යයක් රත් පලස් හුයකින් අවුනා නගන්නා සේ පෙනෙන සේක. මෙසේ සතර මහාද්වීපවාසී සත්ත්‍වයන්ට සතරමහ පෙළහරක් දක්ව දක්වා අහස්කුසින් නැඟෙන විදුලියක් සේ, විශේෂයෙන් ම සියලු සතුන්ට ම පෙනි පෙනී මහමෙර පලාගෙන නැඟෙන සේක.
එ කල සත්ත්‍වයෝ “අප මහ තෙරුන්ගේ පෙළහරක් බලව. අප මහ තෙරහු අප බුදුන්ගේ අනුජාත වූ පුත්‍රය, අනුබුද්ධයහ; අනුප්‍රාතිහාර්‍ය්‍ය ඇතියහ. අප මහ තෙරහු පන්සියයක් යොදුන් උස ඇති පළමුවන උරගාලින්‍දයට පැනනැංගහ. දෙවන ගරුඬාලින්‍දයට පැනනැංගහ. තුන් වන දානවාලින්‍දයට පැනනැංගහ. සතරවන යක්‍ෂාලින්‍දයට පැනනැංගහ. යොදනක් නැංගහ. දෙ යොදනක් නැංගහ. දසයොදනක් නැංගහ. සියක්යොදනක් නැංගහ. දහසක් යොදනක් නැංගහ. යුගඳුරු මුදුන ගෙවූහ. සවුමහරජය ගෙවූ. මෙර මුදුනට ආසන්න වූහ.” යනාදි වශයෙන් කිය කියා දොහොත් මුදුන් දිදී සාධුකාර දිදී දැල්වූ ඇසිපිය හෙළා ලිය නොහී, දැල්වූ කට පියාලිය නො හී, නැගූ සුස්ම හෙළාලිය නොහී, මහත් වූ සන්තෝෂයෙන්, මහත් වූ විස්මයෙන්, අසුරුසන් දෙමින්, සාධුකාර දෙමින්, දොහොත් මුදුන් දෙමින්, කොල මේ කිමෙක් දැ යි කියමින් පෙළහරින් මත් ව සිටිනාහු ය.
එ වේලෙහි මුගලන් මහ තෙරුන් වහන්සේ මෙසේ වූ සතර මහ පෙළහරක් දක්වමින්, මුළුලෝ විස්මය පත් කරවමින්, මහමෙර කිමිද, බුදුන්ගේ ශ්‍රිපාදයෙහි තමන් වහන්සේගේ සිරස ස්පර්ශ කෙරෙමින් මහා ජම්බුවෘක්‍ෂ මූලයෙන් පැනනැගී ස්වර්ණාඞ්කුරයක් සේ දෙවි බඹ පිරිස් බබුළුවා බුදුන් සමීපයෙහි වැඩ සිටි සේක. එවේලෙහි ඒ දිව්‍යසේනාව මහ තෙරුන් වහන්සේ බුදුන් පෙරට ඉන්‍ද්‍රජාලයක් සේ පෙනීගිය පෙළහර දැක “අප මහ තෙරහු, මේ සා දිව්‍යසේනාවක් මධ්‍යයෙහි බුදුන් ළඟ කෙසේ ඇවිත් පෙනී ගියාහු දැ”යි තුන්ලෝ පුරා සාධුකාර දුන්හ.
එ වේලෙහි මහතෙරුන් වහන්සේ බුදුන් වැඳ නැවු තරුවට අනු වූ අරුන්‍ධතී තරුවක් සේ බුදුන්ට අනුව සිට “ස්වාමීනි! තුන්ලොවට ගුරු වූ බුදුරජාණෙනි! නුඹවහන්සේගේ අසාධාරණ වූ මහපෙළහර හා මනෝහර වූ දේශනාවෙහි මත් වූ මුළු දඹදිව සත්ත්‍වයෝ හස්තිකාන්ත වීණාවෙහි මහත් වූ හස්තිසේනාවක් සේ මේ තුන්මස මුළුල්ලෙහි ‘අප බුදුන් අද දකුම්හ. සෙට දකුම්හ’ යි විඩා වූහ. බුද්ධ දර්ශනයෙහි සත්ත්‍වයෝ අතිලෝභි වූහ. මිනිස්ලොවට වඩිනේ කවර දවස් ද, කෙසේ වූ ස්ථානයකට වඩිනා සේක්”යි විචාළ සේක.
එ වේලෙහි ස්වාමිදරුවෝ “මුගලන් මහාස්ථවිරය! මෙයින් සත් දවසක් ගිය කල වප්මස මැදි පොහෝ දවස් සකස් පුර දොරට බස්මි. තොපගේ බෑනෝ ශාරිපුත්‍ර ස්ථවිරයෝ ද එහිම වස් විසූහ. තෙපි මාගේ ආනුභාවයෙන් ඒ මහ පිරිස ගෙන සකස් පුර දොර රැස්කරව”යි වදාළ සේක. එවේලෙහි මුගලන් මහතෙරුන් වහන්සේ නැවත බුදුන් වැඳ සමුගෙන එම මෙර මුදුනෙන් කිමිද පෙර සේම මෙර පත්ලට බැස ජල පොළොව ද, පස් පොළොව ද කිමිද ගොස් මහ පිරිස මධ්‍යයෙන් සරා හිරිමඬලක් සේ පැනනැඟි සේක.