දිව්‍යඥානයට විෂය වූ මෙසේ වූ අභිධර්ම දේශනාවක් කෙසේ වූ, පින්බලයෙකින් බුදුන් දෙව්ලොව වැඩ හින්ද දී ම, දෙව්ලොව දී වදාළ බණ මිනිස්ලොව දී ම දරා ගෙන අමා මහ නිවන් දුටුසේක් ද? යත්: මෙකප තුන්වනු ව බුදුවූ කාශ්‍යප නම් බුදුන්ගේ ශාසනයෙහි එක්තරා එක් මහතෙරහු දෙදෙනෙක් විජම්පිටකය නිමවා දැන එක්තරා එක් පබ්භාරයෙක නිරන්තර ව වාසය කරන සේක් දෙදෙන ඔවුනොවුන් ලා විජම් නය සාකච්ඡා කොට පෘච්ඡා ප්‍රතිපෘච්ඡා වසයෙන් අභිධර්මය පිරුවානා සේක. එ කල පබ්භාරයෙහි වසන පන්සියයක් කිරිවවුලෝ ඒ අභිධර්ම ශබ්ද මාත්‍රයක් අසා ඒ පිනින් මිය පන්සිය පන්සිය දෙවඟනන් පිරිවරා දෙව්ලොව ඉපැද බුද්ධාන්තරයක් මුළුල්ලෙහි අපාය නො දැක, දිව්‍යසම්පත් විඳ අප බුදුන් සමයෙහි දෙව්ලොවින් චුත ව අවුත් සැවැත්නුවර පන්සියක් කුලවල පන්සියක් කෙළෙඹියන්ට දා ව ඉපැද වැඩි පූර්ව විශ්වාසයෙන් ම පන්සියක් දෙන එක් ව ශ්‍රී විඳ වර්ගබන්‍ධනයෙන් ඇවිදුනාහු බුදුන් යමාමහ පෙළහර පෑ දවස් බුදුන් කෙරේ පැහැද බුදුසසුන් වැද සැරියුත් ස්වාමීන් කෙරේ මහණ වී එක් ව ම මහණධම් පුරා එ ම බණ ඇසූ කුශලබලයෙන් මෙසේ විජම් පිටකය දරා ගෙන එම පිනින් අමාමහ නිවන් දැක සංසාර සාගරයෙන් ගොඩ නැංගාහ යි දතයුතු.