එ කල සැරියුත් මහ තෙරුන් වහන්සේ ද, බුදුන් දෙව්ලෝ වැඩිකල තමන්වහන්සේ සකස්පුර දොර වැඩ ඒ පන්සියයක් වග්ගුලි භික්‍ෂූන් කැඳවා “ඇවැත්නි! අප බුදුහු මනුෂ්‍යයන්ට නො දැනෙන හෙයින් අභිධර්ම නමැති දේශනාවක් දෙවියන්ට දෙව්ලොව දී වදාරණ සේක. බුදුන් දවස දවස කළ දේශනාව දවස දවස මම ගොස් ඉගෙන ඉගෙන එමි. තෙපි හැමදෙනම දවසින් දවස මා අතින් උගන්වා ඉගෙන අවශේෂ භික්‍ෂූන්ට මතු විජම් පිටකයට ආචාරි වව” යි කියා තමන්වහන්සේ උගත් දෙය ඒ පන්සියයක් භික්‍ෂූන්ට වදාරණ සේක. ඔබ වදාළ පරිද්දෙන් ඒ වහන්දෑ ද නො වරදවා උගන්නා සේක. එ තුන්මස මුළුල්ලෙහි ම බුදුහු විජම් පිටකය විස්තර කොට වදාළ සේක. බුදුන්ගේ දේශනාව හා සමග සැරියුත් ස්වාමි නිමවා ඉගෙනත් වදාළ සේක. සැරියුත් ස්වාමීන් අතින් ඒ පන්සියයක් භික්‍ෂූන් වහන්සේත් ඉගෙන නිමවා වදාළසේක් ම ය. අභිධර්මය ඉගැන්ම හා සමග ම පන්සියයක් දෙනා වහන්සේ ම අමාමහ නිවන් දැක වදාළ සේක් ම ය.