දානානිශංස කථා

star_outline

එ වේලෙහි බුදුහු ළඟ හුන් ඉන්‍දකයන් බණවා “ඉන්‍දකය! තා කළ පිණු දු කියා බලගැ”යි වදාළ සේක. එ තෙම හුනස්නෙන් පැන නැඟී බුදුන්ට දොහොත් මුදුන් දී සිට “ස්වාමීනි! පෙර මම ඉන්‍දක නම් දුඃඛිතයෙක්මි. දොරින් දොර භික්‍ෂාටනය කොට ඇවිදුනා වූ මම එක් දොරෙක සිඟා සිටියෙමි. එ ගෙයි මනුෂ්‍යයෝ මා දැක උපන් මහා කරුණාවෙන් බත් සැන්දක් ගෙනාහ. එ වේලෙහි නුඹවහන්සේගේ සස්නෙහි අනුරුද්ධ නම් මහ තෙරුන් වහන්සේ ද පසු ව එ දොරට සිඟා වැඩිසේක. මම එ කල උන්වහන්සේ දැක මහත් වූ සැදෑ ඇති ව “පෙර පින් නො කෙළෙන් දුන් දුඃඛිත වීමි. දැන් මෙතෙන කිසි යම් පිනක් පුරා ගන්මි”යි සිතිාලා එ බත් සැන්ද ඔබගේ පාත්‍රයට පිළිගන්වාලීමි. එ පමණ පිනින් මෙ පමණ සැපතක් ලදුයෙම් වේද. මාගේ ශරීරයෙන් නිකුත් ප්‍රභා හැම දෙවියන් මැඩගෙන පවතිනා ලෙසුත් මා අභිමුඛයේ හිඳගෙන දේවතාවකු නැති නියාවත් මාගේ මහත් වූ දිව්‍යෙත්ජස හා පිරිවරත් බලා වදාළ මැනැවැ”යි කී ය. බුදුහු එ වේලෙහි:

විචෙය්‍ය දානං සුගතප්පසත්‍ථං

යෙ දක්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ,

එතෙසු දින්නානි මහප්ඵලානි

බීජානි වුත්‍ථානි යතා සුඛෙත්තෙ - යි.

යනාදීන් දානවිභාගයෙන් බණ වදාළ සේක. හේ කෙසේ ද? යත්; දන් දෙන්නා වූ සත්ත්‍වයන් විසින් පළමු කොට ත්‍රිවිධ වූ චේතනාව පිරිසිදු කොට සිල්වතුන් වහන්සේ හැඳින පින් කෙත් වෙත බලා දිය යුත්තේ ය. තිරිසනුන් සියක්දෙනාට දුන් දානයට වඩා එක මනුෂ්‍යයක්හට දුන්නා වූ දානය ම අපමණ වූ විපාක දෙයි. එසේ වූ සාමාන්‍ය මනුෂ්‍යයන් ඒ සියක්දෙනාට දුන්නා වූ දානයටත් වඩා තිසරණ පිහිටි එක පුද්ගලයක්හට දුන්නා වූ දානය ම මහත් වූ විපාක දෙයි. තිසරණ පිහිටි ඒ සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා පන්සිල් රක්‍ෂා කරන්නා එක පුද්ගලයක්හට දුන්නා වූ දානය ම මහත් වූ විපක දෙයි. පන්සිල් රක්‍ෂා කරන්නා වූ ඒ සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා අටසිල් රක්‍ෂා කරන්නා වූ එක පුද්ගලයක්හට දුන්නා වූ දන් ම මහත් වූ විපාක දෙයි. අටසිල් රක්‍ෂා කරන්නා වූ ඒ සියක්දෙනාට දුන්නා වූ දානයටත් වඩා දසසිල් රක්‍ෂා කරන්නා වූ එක පුද්ගලයක්හට දුන්නා වූ දානය ම මහත් වූ විපාක දෙයි. දසසිල් රක්‍ෂා කරන්නා වූ ඒ සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා සතළිස් අගින් යුක්ත වූ සාමණේරසීලය රක්‍ෂා කරන එක හෙරණ පැවිද්දක්හට දුන්නා වූ දානය ම මහත් වූ විපාක දෙයි.

සාමණේර සීලය රක්‍ෂා කරන්නා වූ ඒ සියක්දෙනාට දුන්නා වූ දානයටත් වඩා කෝටියක් සංවරසීලය රක්‍ෂා කරන්නා වූ එක උපසම්පන්න භික්‍ෂුවක්හට දුන්නා වූ දානය ම මාහැඟි වූ විපාක දෙයි. උපසම්පන්න භික්‍ෂූන් ඒ සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා එක සෝවාන් පුද්ගලයක්හට දුන්නා වූ දැන් ම මහත් වූ විපාක දෙයි. සෝවාන් එක්සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා සෙදගැමි එක පුද්ගලයක්හට දුන්නා වූ දානය ම මාහැඟි වූ විපාක දෙයි. සෙදගැමින් එක්සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා අනාගාමි එක පුද්ගලයක්හට දුන්නා වූ දානය ම මාහැඟි වූ විපාක දෙයි. අනාගාමීන් එක්සියක් දෙනාට දුන්නා වූ දානයටත් වඩා එක රහත් කෙනකුන්ට දුන් දන් ම මාහැඟි වූ විපාක දෙයි. ඒ රහතුන් ඒ සියක් දෙනාට දුන් දානයටත් වඩා එක පසේ බුදුන් කෙනකුන්ට දුන්නා වූ දානය ම මහානිසංස මහාඵල වෙයි. පසේ බුදුන් ඒ සියක් දෙනාට දුන් දානයටත් වඩා එක ලොවුතුරා බුදු කෙනකුන්ට දුන් දානය ම අසංඛෙය්‍ය වූ, අප්‍රමේය වූ, විපාක දෙයි.

මේ ලෝකයෙහි ලොවුතුරා බුදුන්ට වඩා අග්‍ර දක්‍ෂිණෙය්‍ය පුද්ගල කෙනෙක් නැත්තාහු ම ය. යම් සෘද්ධිවන්ත කෙනෙක් සක්වළගබ සා බිමෙක මණ්ඩපයක් මවා එහි පසේ බුදුන් රහතුන් පෙළින් පෙළ අතුරු නො දී දනින් දන ගස්වා හිඳුවා චතුමධුර රසයන් දන් දුන්නාහු වී නම් ඒ සා මහත් වූ දානවිපාකය මාගේ බුදුන්ට එක දවසක් දන් දුන්නා වූ බත් කෙනෙස්සෙක්හි සොළොස් වන භාග්‍යයකුත් නො හඟනේ ම ය. එසේ හෙයින් මාගේ ස්වාමිදරු වූ බුදුහු ලොවට අග්‍ර වූ දක්‍ෂිණීය පුද්ගල සේක. එසේ වූ බුදුන්ට දුන්නා වූ දානයටත් වඩා බුදුපාමොක් සඟනට දුන්නා වූ සාංඝික දානය ම තාරකාවන්ට චන්‍ද්‍රයා අග්‍ර වූවා සේ ම ප්‍රභා සම්පන්නයන්ට සූර්‍ය්‍යයා අග්‍ර වූවා සේ ම, මනුෂ්‍යයන්ට රජුන් අග්‍ර වූවා සේ ම, ගංගාවන්ට සමුද්‍රය අග්‍ර වූවා සේ පින් කැමැත්තා වූ සත්ත්‍වයන්ට සාංඝික දානය ම අග්‍ර වූ විපාක දෙන්නේ ම ය. වදාළේ මැනෝ:-

අග්ගි හුත්ත මුඛා යඤ්ඤා - සාවිත්ති ඡන්‍දෙසා මුඛං,

රාජා මුඛං මනුස්සානං - නදීනං සාගරො මුඛං.

.

නක්ඛත්තානං මුඛං චන්‍දො - ආදිච්චො තපතං මුඛං,

පුඤ්ඤං ආකඞ්ඛමානානං - සංඝො ද්වෙ යජතං මුඛං යි.

තව ද: ඒ දානයටත් වඩා යමෙක් තුන් බෝ පිහිටි විහාරයෙක දොරකවුළු ඇතිකරවා කෙස්සෙන් දොර හැර සතර දිගින් වඩිනා මහා සඞ්ඝයා වහන්සේ සුව සේ සැතපෙන සේ ආවාස දානයක් කරවා දන් දුන්නාහට අසංඛෙය්‍ය වූ අප්‍රමෙය්‍ය වූ විපාක දෙයි. මේ හැම පිනටත් වඩා තුණුරුවනෙහි ප්‍රසන්න වූ සිතින් යමෙක් “තුණුරුවන් සරණ යෙමි”යි ශරණශීලයෙහි පිහිටියේ වී නම් අසංඛෙය්‍ය වූ අප්‍රමෙය්‍ය වූ විපාක දෙයි. ඊටත් වඩා යමෙක් ශරණශීලයෙහි පිහිටා පන්සිල් රක්‍ෂා කෙළේ වී නම් එහි පින් මහා ඵල මහානිසංස දෙයි. ඒ පිනටත් වඩා යමෙක් කිරි සිඳක් දෝනා ඇසිල්ලකුත් “සබ්බෙ සත්තා සුඛිතා හොන්තු”යි කියා සියලු සතුන්ට මෛත්‍රී භාවනා කෙළේ වී නම් එහි පින් මහාඵල මහානිසංස වෙයි. ඒ පිනටත් වඩා යමෙක් “අනිත්‍යය, දුඃඛ ය, අනාත්ම ය”යි තිලකුණු මෙනෙහි කෙළේ වී නම් එහි පින් මහාඵල මහානිසංස වෙයි. මේ ආදි කුශලයන්ටත් වඩා යමෙක් ධර්මදානයක් දුන්නේ වී නම් දෙවූයේ වී නම් එහි ම පින් මහානිසංස මහාඵල වෙයි. වදාළේ මැනෝ:-

සබ්බදානං ධම්මදානං ජිනාති

සබ්බං රසං ධම්මරසො ජිනාති,

සබ්බං රතිං ධම්මරතිං ජිනාති

තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාතී යි.

එසේ හෙයින් මේ ධර්මය නම් සත්ත්‍වයන්ගේ මොහඳුරු විදහා වැඩ අවැඩ දක්වන ලද හෙයින් සද්ධර්ම නිසා ම සත්ත්‍වයන්ට සංසාර සාගරයෙන් ගොඩනැගීම වන හෙයින් සියලු දානයට වඩා ධර්මදානය ම උතුම් ම ය යි දතයුතු.

ඉක්බිත්තෙන් මේ ආදි වසයෙන් වීචෙය්‍යදානයාගේ විභාගයෙන් පළමු කොට දානවිපාකය දිව්‍යමනුෂ්‍යයන්ට හඟවා බණ වදාළ සේක. එකල ඉන්‍දක-අංකුර නම් දිව්‍යරාජයෝ දෙදෙන සෝවාන් වූහ. අවශේෂ වූ බොහෝ දෙවියෝ ද මාර්ගඵල ලදහ. සතිස් යොදනෙහි සැවැත්නුවර සිටියා වූ මනුෂ්‍ය සේනාව ද බුදුන් එ පිරිස් මැද වැඩහිඳ වදාළා වූ බණ සේ ම ඒ බණ විශේෂයෙන් තමන්ටත් ඇසෙන හෙයින් විඳ විඳ අසා බොහෝ දෙන මාර්ග ඵලයට පැමිණ සාදුනාද පූජා කළහ. “අප බුදුහු නො පෙනෙන්නාහ. අප බුදුන්ගේ මිහිරි වූ කටහඬ ඇසුම්හ”යි යනාදීන් කිය කියා උත්සව කළහ.

එ කල තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සුවහස් පහන් දැල්වූ පහන්රුකක් මුදුනෙහි දිලියෙන මහාප්‍රදීපයක් සේ දසදහසක් සක්වළ දිව්‍යසේනාව මධ්‍යයෙහි දිලිහි දිලිහී බුද්ධමහිම දැක්වූ කල්හි එකල මෑණියන් වහන්සේ ප්‍රධාන වූ සියලු දිව්‍යසේනාව දොහොත් මුදුන් දී සිට “ස්වාමීනි! බුද්ධාන්තරයක් මුළුල්ලෙහි ලෝකයෙහි සැඟවී තුබූ අභිධර්ම නමැති රුවන් නිධානයෙහි නුඹවහන්සේගේ බුද්ධඥාන නමැති කෙස්සෙන් දොර හැර වදාළ මැනව. සයුරමැද ගමන්ගත් තිමිඞ්ගල නම් නම් මත්ස්‍යරාජයාගේ විලාස දක්වා වදාළ මැනව. ඒ කෙසේ වූ විලාසයෙක් ද? යත්; හේ තෙම මුහුද මැද තමා සරොයෙහි ගමන් ගත් කල දකුණු කම්පත සෙලවීමෙන් පන්සියක් යොදුන් තැන් මුහුද හළලා ගෙන, වම් කන්පත සෙලවීමෙන් පන්සියක් යොදුන් තැන් හළලා ගෙන, දකුණු වරල් තින් පන්සියක් යොදුන් තැන් හළලා ගෙන, වම් වරලිනු ද පන්සියක් යොදුන් හළලා ගෙන, වාලධිය ගැසීමෙන් පන්සියක් යොදුනෙහි දිය රැළි කවා ගෙන, ඉසිනු දා පන්සියක් යොදුනෙහි මහ රළකඳු ඝටා ගෙන යයි. තෙමේ ද පන්සියයක් යොදුන. දිගින් යෙළ දාසක් යොදුනේ හා පුළුලින් දසදහසක් යොදුන් හා මහමුහුද මහ සැළෙක කකියා නැගෙන දිය සේ හළලා ගෙන දිවෙයි. හෙ තෙම කියන කල “සත්ත්‍වයෝ මුහුද ගැඹුර ගැඹුරැ යි කියති. මාපිට ගැලී යන තරම් ගැඹුරු තෙනක් නො ලැබෙමි”යි යෙයි. මෙසේ වූ ඒ තිමිඞ්ගල නම් මත්ස්‍යරාජයා යුගඳුරු මුහුදු බැස සිත් සේ නික්මුනා වූ ලීලා දක්වා වදාළ මැනව. නුඹවහන්සේගේ අභිධර්ම නමැති මහ මුහුදට බැස වදාළ මැනව. ස්වාමීනි! නුඹ බුදු වූ දවස් පටන් පිපාසිතයන් පැන් පතන්නා සේ දෙවියෝ අභිධර්මාමෘතය කවර දවස් අපට දෙන සේක් දෝ හෝ යි ප්‍රාර්ථනා කෙරෙති. සියලු දෙවියන්ගේ සිත් පුරා විජම් දෙසා වදාළ මැනැවැ”යි ආරාධනා කළහ.