එ වේලෙහි ස්වාමිදරුවන්ගේ ශාසනයෙහි අනාගාමි වූ සෘද්ධිමත් ඝරණි නම් කුලස්ත්‍රියක් අවුත් බුදුන් වැඳ “ස්වාමීනි! මා බඳු වූ නුඹ දුවක විද්‍යමාන කල්හි නුඹ පෙළහර පෑ විඩාවනු නො යෙදෙයි. මම පෙළහර පවීමි”යි කීහ. එබසට බුදුහු උන් ලවා සිංහ නාද කරවනු කැමැති ව තෝ කෙසේ පෙළහර පව් දැ”යි වදාළ සේක. ස්වාමීනි! මම මේ මහ පොළොව දියපොළොවක් කොට සියදහස් යොදුන් මහ දිය කා වෙසක් මවාගෙන එහි පූර්වසක්වළින් සැලී පැළසක්වළින් නැඟෙමි. එයින් ගැලී උතුරුසක්වළින් නැඟෙමි. එයින් ගැලී දකුණුසක්වලින් නැඟෙමි. සක්වළගබ සිසාරා කර නඟ නඟා සියදහස් ගණන් වාරයෙහි ඇවිදීමි. එසේ ඇවිද ඇවිද සුවහස් ගණන් වෙස් මවා ඒ ඒ තැනින් ඉස් නඟා පවිමි. තෙපි කවුරු දැ යි විචාළ දෙවි බඹ කෙනෙක් ඇත් නම් තිලෝගුරු බුදුන්ගේ පාද රජස් ඉස්මුදුනෙන් පිළිගත් ඔබගේ අතවැසි දුවකිමි යි කියමි”යි කීහ. එවේලෙහි ස්වාමිදරුවෝ “තෝ එ බඳු වූ සෘද්ධිබල ඇතියෙහි ය. මේ බුදුන් ම පැව මනා පෙළහරෙක. ඒ තිට බැරිය. තෝ සිටැ”යි වදාළ සේක.
ඉක්බිත්තෙන් සුළු අනේපිඬු සිටාණෝ අවුත් බුදුන් වැඳ “ස්වාමීනි! එසේ වී නම් මම පෙළහර පවිමි”යි කීහ. තා පානා පෙළහර කියා බලගැ යි වදාළ සේක. ස්වාමීනි! මම ඇසිපියක් හෙළා නො ලන ඇසිල්ලෙහි අහස් කුසට පැන නැඟී මහපිරිස බල බලා සිටිය දී මාගේ මේ වෙස “අන්තර්ධාන කොට සත්ගවු සමාරක් දිග පතුල් ඇති, දොළොස් ගවු රියන් ඇති, සගවු වියත් ඇති සොළොස් ගවු මිණිඔටුනු ඇති, දොළොස් යොදුන් මහ බඹවෙසක් මවාගෙන එක් ඇඟිල්ලක් ඔසවා දහසක් සක්වළ අලුකෙරෙමින්, දසැඟිල්ලක් ඔසවා දසදහසක් සක්වළ අලුකෙරෙමින්, තුන්ලොවට ඇසෙන සේ අත්පොළසන් දි දී දිව්‍යමනුෂ්‍ය සේනාව වෙවුල්වා “සත්ත්‍වයෙනි! මම අනිකෙකිම් නො වෙමි. තිලෝගුරු බුදුන්ගේ එක්තරා එක් උවටාවෙකිමි”යි නුඹ බල කියමි යි කීහ. තෙපි දු සිටැ යි වදාළ සේක.
ඉක්බිත්තෙන් සත්ඇවිරිදි වයස් ඇති විරා නම් රහත් සාමණේරි කෙනෙක් සුවහස් ගණන් භික්‍ෂුණී සේනාව පිහිර පිහිරා රත්පියුම් වනයෙකින් පැන නැගි රන්වන් හංස රාජයක් සේ අවුත් බුදුන් වැඳ, අතුල් සුංදෙක හිස්මුදුනේ තබාගෙන “ස්වාමීනි! ස්වාමිදරුවාණන්ගේ ශාසනයෙහි ලද බිලිඳි කාලයෙහි රහත් වූ මා වැනි දුවක සිටිය දී ස්වාමිදරුවන් ප්‍රාතිහාර්‍ය්‍ය පානා සේ නො යෙදෙයි. ශ්‍රාවකයන් ප්‍රාතිහාර්‍ය්‍ය පානෙත් නො යෙදෙයි. මම් ම පෙළහර පවිමි. මට ම මේ පිරිස හද්‍ර මැනව. මම් ම තීර්ථකයන් ජයගනිමි. එ කල තීර්ථකයන්ගේ ලබ්ධි ගත් නොයෙක් ස්ත්‍රී සමූහයෝ ද, නොයෙක් ලදැරියෝ ද මාගෙන් ම පරාජය වන්නාහු ය” යි කීහ. එ වේලෙහි ස්වාමිදරුවෝ වෙස්සන්තර ජාතියෙහි කෘෂ්ණජිනා නම් දියණියන් කියන්නා වූ සුරතල් සේ, කරුණා සිත් ඇති සේක් “තී වයස් ඇති අවශේෂ වූ කුඩාකෙල්ලන් මවුන්ගේ තනයෙන් තව දක්වා තුඩු නො හැර කිරි බොන්නා සේ වුව. තෝ කුමන පෙළහරක් පවි ද, වැළි කියා බලගැ”යි වදාළ සේක.
එ වේලෙහි සාමණේරී දන්වන්නාහු “ස්වාමීනි! මිද්ධියගේ බල ස්වාමිදරුවන්ට දැනේ ම ය. එසේ ද වුවත් මම සක්වළ ගල හා හිමවුකුළ මහමෙර හා තුණ ලාලීවට තුණක් සේ මෙ තෙන ම සිට හයාගෙන ස්වාමිදරුවන් අභිමුඛයෙහි තබාලා මම රාජහංස ධේනුවකගේ වෙසක් ගෙන එක් පර්වතයෙකින් කිමිද, එක් පර්වතයෙකින් නැඟෙමි. ඒ පර්වතයෙන් කිමිද, අනික් පර්වතයෙන් නැඟෙමි. නැවත ඒ තුන් පර්වතය ම ලාලීලට තුණක් සේ අහසට දම දමා බිම හී යා නො දී ලාලිකෙළි නම් පෙළහරක් පවිමි”යි දැන්වූ දෑ ය. එ වේලෙහි ඒ සා මහ පිරිසින් සාධුකාර නුදුන් එකද සත්ත්‍ව කෙනෙක් නැත. සතුටු කඳුළෙන් නුවන් නො තෙමූ කෙනෙක් නැත. දරු ලද්දා වූ සුවහස් ගණන් කුලස්ත්‍රීන්ගෙන් නිකුත් සතුටු කඳුළු වතුරෙන් දිවන්නා වූ දඬුපරණලා සේ මිථ්‍යාදෘෂ්ටි ගත්තා වූ සුවහස් ගණන් ස්ත්‍රී පුරුෂයෝ ඒ ඒ දිග්හි පැරද දිවන්නට පටන් ගත්හ. ස්වාමිදරුවෝ “තී එ බඳුවූ පෙළහරක් පානා බවු සබා ම ය. මා පානා පෙළහර තිට බැරි ය. තොයි දු සිටැ”යි වදාළ සේක.
ඉක්බිත්තෙන් පිළිසිඹියා පත් රහත් වූ සත්හැවිරිදි චුන්‍ද නම් සාමණේරයන් වහන්සේ සඟපිරිස් පිහිරා ගෙන මහත් පියුම්වනයෙකින් පැන නැංගා වූ පියුම් කැකුලක් සේ පැනනැගී අවුත් පිට “ස්වාමීනි! මම පෙළහර පවමි”යි කී සේක. තා කරන පෙළහර ද කියා බලගැ යි වදාළ සේක. ස්වාමීනි! මම පන්සියක් යොදුන් උස හිමාලය පර්වතයෙහි සිටි සියක් යොදුන් මහදඹගස ඇතකු පිල අත්තක් අල්වා සලන්නා සේ සලා මහදිය කළ සා දඹ ගෙනවුත් මේ සතිස් යොදනෙහි සිටි මහපිරිස දඹ කවා නුඹ අඹ කැවුවා සේ ම මම ද සතුටු කරවා පියමි. තව ද: ශක්‍රදේවේන්‍ද්‍රයාගේ සියක් යොදුන් පරසතුගස කොබළීල අත්තක් සේ සලා ගවු දෙගවු සා මහත ඇති පරසතු මල්වැස්සක් වස්වා මහපිරිස විස්මයපත් කරවමි යි කී සේක. බුදුහු “තොයි දු එ බඳු ආනුභාව ඇතියෙහි ම ය. මා පානා පෙළහර තට බැරි ය. තොයි දු සිටැ”යි වදාළ සේක.
ඉක්බිත්තෙන් බුද්ධශාසන නමැති මහාසරසියෙන් පැනනැගී නීලොත්පල රාජියක් බඳු වූ සෘද්ධිමත් ශ්‍රාවිකාවන් කෙරෙහි අගතැන් පත් වූ උපුල්වන් මහා ස්ථවිරීන් වහන්සේ පන්සියයක් මේ හණින්නන් පිරිවරා අවුත් බුදුන් වැඳසිට ඡද්දන්ත නම් හස්තිරාජයා අභිමුඛයෙහි වූ සුභද්‍රා නම් කණේරුකාව සේ, කිසි භයක් නැති ව “ස්වාමීනි! අප වැනියන් සිටිය දී නුඹ වැනියන් පෙළහර පෑ දුක් ගන්නා කල අප සෘද්ධිමතුන් කෙරෙහි අගපැමිණීමෙහි ප්‍රයෝජන කිම් ද? මේ දසදහසක් සක්වළ රැස් වූ දෙවියන් පමණකට මම පෙළහර පවිමි”යි කී දෑ ය. බුදුහු “තී කරණ පෙළහරත් කියා බලගැ”යි වදාළ සේක. ස්වාමීනි! මම මේ මහපිරිස බල බලා සිටිය දී ආකාශයට පැන නැඟිලා “මා කරන පෙළහරක් බලව”යි තුන්ලෝ පුරා සිටි පිරිසට හඬගා කියාලා මාගේ මේ මෙහෙණිවෙස අන්තර්ධාන කොට මේ බිම පුරා සතිස් යොදනෙහි සිටි මනුෂ්‍ය සේනාව සේ ම මම ද සතිස්යොදනෙක සිටි සක්විතිපිරිසක් මවාලා මම සක්විති රජක්හුගේ වෙස් මවාගෙන ආකාශයෙහි සිට සත් රුවන පිළිවෙලින් නුඹවහන්සේ අභිමුඛයට මෙහෙය මෙහෙයා සත් පූජාවක් කොට අටවනු ව මම මහපිරිස හා සමග ආකාශයෙන් බැස නුඹවහන්සේ මැද වැඳ සිට මහත් වූ සක්විති රාජ නම් පූජාවක් කොට පෙළහර කෙරෙමි”යි කී සේක.
නැවත සෘද්ධිමතුන් කෙරෙහි අග්‍ර වූ මුගලන් මහතෙරුන් වහන්සේ ද පන්සියයක් සඟපිරිස් ගෙන අවුත් බුදුන් වැඳ සිට “ස්වාමීනි! මම පෙළහර කෙරෙමි. මා පෙළහර කළ හෙන නියාව සියලු දෙව්මිනිස්සු දනිත් ම ය. ස්වාමිදරුවන් වැඩ සිටිනේ යහපතැ”යි ආරාධනා කළ සේක. බුදුහු තොප කරන පෙළහර කියා බලගැ”යි වදාළ සේක. එ වේලෙහි “ස්වාමීනි! මම එක්ලක්‍ෂ අටසැට දහසක් යොදුන් මහමෙර අතින් මැඩ උඳැටක් සා කොට දත් හස්සෙන් සඟවා ගන්මි. දසදහසක් සක්වළ දසදහසක් මෙරගලුත් එසේ ම හයාගෙන වෙන වෙන ම දත්හයියෙන් සඟවා ගන්මි”යි කී සේක. අනික් කුමක් කෙරෙයි දැ යි වදාළ සේක. මේ සා මහ පොළොව පෝතාසි කළාලක් සේ හකුළා ඇඟිලි හස්සේ තබා ගන්මියි වදාළ සේක. අනික් කුමක් කෙරෙයි දැ යි වදාළ සේක. නැවත මෙම මහ පොළොව කුඹල්සකක් සේ පෙරළා යට තුබූ අමෘතය සියලු සතුන්ට බෙදා දීලමි යි කී සේක. අනික් කුමක් කෙරෙයි දැ යි වදාළ සේක. මේ සක්වළ මහපොළොව සක්වළගල මෙරගල හිමවු කුළ සත්කුලපවුවන් හා සමග එක අතෙකින් ඔසවා ගෙන අනික් සක්වළෙක ලාලමි. ඒ සක්වළ අනික් අතෙකින් ඔසවාගෙන මේ සක්වළ ලාලමි යි කී සේක.
නැවත කුමක් කෙරෙයි දැ යි වදාළ කල “මේ මහපොළොව පරණලා පතක් සේ ඔසවාගෙන මෙර මත්තෙහි තබාලා මහ මෙර කුඩදණ්ඩක් සේ කොට පත්කුඩයක් ගෙන සක්මන් කරන මහණ කෙනකුන්ගේ ලීලා දක්වමි යි කී සේක. එ වේලෙහි ස්වාමිදරුවෝ සිංහසේනාවකගේ ගර්ජනා අසන සිංහරාජයා සේ ශ්‍රාවකයන්ගේ පෙළහර සිංහනාද අසා “මුගලන් මහා ස්ථවිරය! මෙ තෙන ශ්‍රාවකයන් නිසා බඳනා මල්පුටයෙක් නො වෙයි. මෙ තෙන බුදුන් කරන පෙළහර ධුරය අනිත් උසුළාලිය හෙන කෙනෙක් නැත. මා ලොවුතුරා බුදු වූ කල් තබා අහේතුක වූ ආජානීය වූ වෘෂභරාජන් ව උපන් කල පවා මා අදිනා ගැල් ඇදලූ කෙනෙක් නැතැයි වදාරණ සේක් :-
යතො යතො ගරුධුරං - යතො ගම්භිරවත්තනිං,
තදස්සු කණ්හං යුඤ්ජන්ති - ස්වාස්සුදං වහතෙ ධුරං.
මනුඤ්ඤමෙව භාසෙය්‍ය - නාමනුඤ්ඤං කුදාචන,
මනුඤ්ඤ භාසමානස්ස - ගරුං භාරං උදද්ධරි,
ධනා ච නං අලබ්භෙසි - තෙන චත්තමනො අහූ යි.
යන මේ ගාථාද්වයෙන් කණ්හජාතක - නන්‍දිවිශාල ජාතක බණ වදාරා “මහණෙනි! තොප තොප පොහොසත් වුවත් තෙපි හැමදෙන සිටුව. බුදුන්ගේ සමත්‍රිංශත් බුද්ධකාරක ධර්මයන්ගෙන් අද පසළොස් වන ධර්මය සිද්ධවන දවස ය. අද මා පානා වූ පෙළහර මා සේ ම අනික් බුදුකෙනකුන් මුත් අන්‍ය සත්ත්‍වයක්හට බැරි වූ පෙළහරෙක. අද මහත් වූ ලෝවැඩෙක් වෙයි. බුදුන්ගේ පාරමිතා නැමති මග කප්රුක අමාඵලයන් දෙන දවසෙකැ”යි වදාරා ගඳ කිළිනිසවත්තෙන් ගන්‍ධමණ්ඩලමාලයකට බැස ආකාශය බලා වදාළ සේක.
එ කෙණෙහි සක්දෙව්රජ “මාගේ ස්වාමිදරුවන්ගේ පෙළහරට රැස් වූ ජනයන් හැමදෙනා ම ආතපාදියෙන් පීඩා නැති ව සිත් සේ පෙළහර බැලුව මැනැවැ”යි සිතා දිගින් පුළුලෙන් දොළොස් යොදුන් අවටින් සතිස් යොදුන් පමණ දිව්‍යමය වූ නිලුපුල් මණ්ඩපයක් මැවී ය. ඒ මණ්ඩපයෙහි සියලු දිව්‍යකර්මාන්ත අහස සඳමඬල පෙනෙන්නා සේ සත්ත්‍වයන්ට විශේෂයෙන් ම පෙනෙයි. දසදහසක් රන්මෙර රන්පා සේ තැනී ඒ මතුයෙහි එක්දහස් දෙසිය තුන්කෙළ පන්සාළිස් ලක්‍ෂයක් යොදුන් දිග ඇති මහ රුවන් සක්මනෙන් මැවී ගිය. එයි දු විශේෂයෙන් පෙනේ ම ය. එ වේලෙහි මහපිරිස එක පැහැර සාධුකාර දෙමින් ඔල්වරසන් දෙමින්, අසුරුසන් දෙමින් උතුරුසළු ඉස සිසාරමින් “කොල! මේ කිමෙක් ද, මේ කුමන පෙළහරෙක් ද, පෙර මේ වැන්නන් දුටු විරුවෝ කවුරු දැ”යි කියමින් අනිකක් බැලුවෝ නැත. අනිකක් සිතුවෝ නැත. අහෝ සාධු අහෝ සාධු යි යන සාධු නාදයෙන් උත්සවයට පටන් ගත්හ.
එ වේලෙහි ස්වාමිදරුවෝ උදයගිරි තලාවට පැන නැඟි සරාගිරි මඬල සේ සත්ත්‍වයන් ඇසිපිය මරා නො ලන ඇසිල්ලෙහි රුවන් සක්මනට පැන නැඟි සේක. එ වේලෙහි දු අවීචියෙහි පටන් භවාග්‍රය දක්වා ලෝකුස් පුරා සිට සියලු දිව්‍ය මනුෂ්‍ය සේනාව එක පැහැර සාධුකාර දී දොහොත් මුදුන් දුන්හ. එ කෙණෙහි දසදහසක් සක්වළ දසදහසක් ශක්‍රයෝ ද, දසදහසක් විජයතුරා සක් තුඩ තබාගෙන එකවිට ම දසදහසක් ශඞ්ඛධ්වනි පූජාවට පටන් ගත්හ. දසදහසක් සුයම් රජහු දසදහසක් දිව්‍යචාමර පවනින් බුදුන්ට සුවපහස් දෙමින් එක් පෙළෙක සිටගත්හ. දසදහසක් සන්තුෂිත රජහු හිරමඬුලු සේ දිලියෙන දසදහසක් මිණිතල් වැට ගෙන එක් පෙළෙක සිටගත්හ. දසදහසක් සුනිර්මිත රජහු රන්කැටපත් රිදී කැටපත් මිණි කැටපත් පූජා නොයෙක් පෙළහර ගෙන එක් පෙළෙක සිටගත්හ. දසදහසක් පරනිර්මිත රජහු රන්කරඬු රිදී කරඬු රුවන් කරඬු ආදි නොයෙක් මඟුල් පෙළහර ගෙන එක් පෙළෙක සිටගත්හ. දසදහසක් සක්වළ සතළිස් දහසක් වරම් රජදරුවෝ තමන් තමන්ගේ සතළිස් දහසක් දිව්‍ය සේනාව හා සමග නොයෙක් පූජා පෙළහරයෙන් අවුත් පෙළ පෙළ දී සිට ගත්හ. දසදහසක් සක්වල දසදහසක් සහම්පතී මහාබ්‍රහ්මරාජයෝ සඳමඬුලු සේ දසදහසක් සේසත් ගෙන අවුත් පෙළ පෙළ දී සිට ගත්හ. සෙසු දිව්‍යබ්‍රහ්මරාජයෝ ද දිවමල් දිවසුවඳ ආදීන් බුදුන් පුද පුදා තුන්ලෝ පුරා සිටගත්හ. දෙතිස් මහා පූර්වනිමිත්ත නම් වූ බුදුන්ගේ අද්භූත පූජාවෝ ද බුදු වූ දවස් සේ ම එ කෙණෙහි ම පහළවූහ.