එ කල පූරණ කාශ්‍යප තෙම ගිය ගිය තැන ම මරා ලුහුබැඳ වන හෙයින් කිසි තෙනෙකත් රඳාලිය නොහී “මේ මුළා විඳිනා බලා ත් දිවි නසා ගන්නේ ම යෙහෙකැ”යි පිටතට දිවිබාවකු සේ ම දිවෙයි. එ කල ඔහුගේ එක්තරා එක් උපාසක වූ ගොවියෙක් උදාසන ම ගොස් සී සෑ කල් තබා ගොන්ගේ මුදා සී රැන්දෙක හා අඹුගෙන ගිය කලය හා ගෙන “මාගේ මේ පූරණ කාශ්‍යප බුදුන්ගේ පෙළහර බලන්නට කල්තබා යෙමි”යි සිත සිතා දිවනුයේ ඔහු දැක “ඉක්මන් ව කොයි දිවන සේක් ද, ස්වාමීනි, මා යන්නේ නුඹගේ පෙළහර බලන්නට වේ ද, සිටිය මැනැව, සිටිය මැනැවැ”යි කී ය. එ වේලෙහි පූරණ කාශ්‍යපයා “තාගේ වලහම් පෙළහර තබා තෙලේ මට දීපිය”යි කියා කළස් හා බාන ඔහු අතින් ඉල්වාගෙන වහ වහා ගඟට දිව “ගඟදී මට පානා පෙළහරෙක් වනැ”යි තමා පසු පස්සෙහි දිව ඔහු බල බලා සිටිය දී තෙමේ ගංබිත්තියෙහි සිට සී රෑනෙහි එක් කෙළවරක් කළ කට හා එක් කෙළවරක් තමා උගුරෙහි බැඳ ගංමැදට දෑතින් කළය ගෙන පැන වැටී එක් විටක් කලය උල්පවා, එක්විටක් තෙමේ ඉල්ප කලකටින් නැඟෙන දිය බුබුලෙන් හා තමා කටින් බොන පැනින් හා තමාගේ ගොවියාට පෙළහර පැ පෑ දිය බිබී මිය අවීචි මහ නරකයෙහි ඉපැද ගිය.
මෙසේ තීර්ථකයන් පරාජය වූ කල්හි ස්වාමිදරු වූ බුදුරජාණෝ එදා පස්වරු අනන්තාපරියන්ත වූ බුදුන් යමාමහ පෙළහර දැක්වූ සත් පෑ සමාරක් ගිය සත්ත්‍වයන්ට සුවපහස් දෙන උත්සවයට හොබනා වේලෙහි බුද්ධශය්‍යා වූ සිංහශය්‍යාවෙන් පැන නැඟී සශ්‍රීක වූ සුගත් පාංශුකූල චීවරය දරා නැඟු නැඟූ පත්ලෙහි පියුම් දක්වා, තෙමේ ම විවෘත වූ ද්වාර ඇති ගන්‍ධකුටියෙන් රන්ගල්ගුහාවෙන් නිකුත් අභීත කේශරසිංහ රාජයක්හුගේ වික්‍රම අවික්‍රම කෙරෙමින් කිසි ශඞ්කාවක් නැති ව පිටත් ව ගඳකිළි නිසවත්තෙහි වැඩසිටි සේක.
එ කෙණෙහි උදයගිරි පර්වතයෙන් පැන නැඟි ලහිරි විමනින් නිකුත් සුවහස් රස් සේ, ස්වාමිදරුවන්ගේ ශ්‍රී ශරීරයෙන් නිකුත් බුදුරස් කඳු බුදුන් තුන් යලක් සිසාරා ආවර්තනය කොට එයින් ගොස් ඒ සා සැවැත් නුවර රන්පටක් අතුරන්නා සේ, රන්වන් කොට, එයින් ගොස් මුළු දඹදිව ව්‍යාප්තව රන්කැටපතක් සේ බබුළුවා, එයින් ගොස් සක්වළගල සිසාරා තුන්වාරයක් ඇවිද මුළු සක්වළ රන්මුහුදු කෙරෙමින්, එයින් අහස්කුසට පැන නැඟී සදෙව්ලොව, සොළොස් බඹලොව දෙවියන්ගේ ශරීර හා නොයෙක් රන්විමන් හිරු දුටු කදෝපැණියන් සේ නිෂ්ප්‍රභ කෙරෙමින්, එයින් උඩ නැඟී අජටාකාශයෙහි ගැසි ගැසී සිටගත.
ශ්‍රීපාදයෙන් නිකුත් බුදුරස්කඳ ද, දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් මේ සා ඝන කඩ බොල් මහපොළොව විසුරුවාපු රන් පිඩැල්ලක් සේ කෙරෙමින්, යට සාරලක්‍ෂ අසූදහක් යොදුන් දියපොළොවට වැද, එයි දු රන්රසයක් සේ කෙරෙමින් එයින් යට නවලක්‍ෂ සැටදහසක් යොදුන් වාතමණ්ඩලයට බැස එයි දු රන්වන් කෙරෙමින් එයින් යට අජටාකාශයෙහි ගැසි ගැසී සිටගත. මෙසේ මාගේ ස්වාමිදරුවන්ගේ එක ශරීරයෙන් නිකුත් බුදුරස් කඳින් මේසා මුළුතුන්ලොව සුවහස් පහන් දැල්වූ පහන් රුකක් සේ දිලිහී ඉතා ශ්‍රීවන්ත වූ නියාවට, දෙවිබඹ කැලන් බුදුරසින් රැඳී සැදී ගිය නියාවට, කාලපර්වතයන් රන් පර්වතයන් සේ රන්වන් වූ නියාවට නානාවර්ණ වූ සත්ත්‍වයන් රන්වන් ව ඒකවර්ණ වූ නියාවට, අනික් උපමාවක් දැක්ක නො හෙමි. මුළුතුන්ලොව සියලු සත්ත්‍වයන් තමන් වහන්සේගේ අර්හත් ධජයෙන් එ දවස් ම සරහා ගත්තාක් වන්නැ යි කියා ම සිතමි.
එ වේලෙහි මෙසේ ගන්‍ධකුටිද්වාරයෙහි සඳරස් කලබක් සේ, හිරිරස් කලබක් සේ, අමාපිඩක් සේ, නිවන් පිඩක් සේ, ස්වාමිදරුවන් වැඩසිටි වේලෙහි අයමින් විතරින් දොළොස් යොදුනක හා සිසාරා සතිස් යොදනක් මානයෙහි තලමිටක් අහසට දැමූ කල අටකුත් බිම හී යා නො හැක්කා සේ, ගහනව සිටියා වූ ඒ සා මහපිරිස් අනිකක් බැලුවෝ නැත. අනිකක් සිතුවෝ නැත. අහෝ බුද්ධො යනාදීන් එකපැහැර දොහොත් මුදුන් දිදී සාධුනාද පූජා කළහ.
එ වේලෙහි සියලු සත්ත්‍වයන්ට උපන් සන්තෝෂ හා උපන් විස්මය හා ස්වාමිදරුවන් වැඩසිටි බුද්ධලීලා හා විශේෂයෙන් බලා නුවණැසින් දැක මා සිතට උපන් බුද්ධාලම්බන ප්‍රීති සේ ම සියලු සතුන්ට ම පෙනී ගියේ ය. සිතී ගියේ ය. දැනී ගියේ වී නම් සතර අපාය හඳුනන්නෝ කවුරු ද, දෙව්ලොව නො හඳුනන්නෝ කවුරු ද, මා වැනියන් වදාළ ද බිලිඳි වූ පස්ඇවිරිද්දෙහි බුදුසස්නෙහි ලා මෙවෙනි දහම් අමාවිලෙක සිත්සේ ගැලී සැනහී ඇවිදිනා සේ මට මේ සා වැඩක් සාදා දී මෝහයෙන් ප්‍රේම නො කොට නුවණින් ප්‍රේමකලා වූ මාගේ මවුපිය දෙදෙනා ආදි වූ සියලු සතුන්ට ම මෙවෙනි සන්තෝෂයක් උපදවා දීලිය හෙම්වයි, සියලු සතුන් සංසාරසාගරයෙන් ගොඩ නඟම්වයි, මෙසේ මාගේ ස්වාමිදරුවාණන් මට ම සන්තෝෂ කෙරෙමි යි වැඩසිටියා සේ, තුන්ලෝ තිලකයක් සේ, වැඩසිටි වේලෙහි බුදුන්ගේ අදහස් දත් කෝටිගණන් ශ්‍රාවකයෝ පෙළ පෙළ දී අවුත් බුදුන් සිසාරා රත්පළස් කඩතුරාවක් ඇද්දා සේ සැදී සිටගත්හ. එ වේලෙහි දෙවියෝ ආකාශයෙන් පරසතුමල් වැසි වැස්වූහ. දස දහසක් සක්වළ දෙවියෝ ආකාශයෙහි සිතියම් කඩක් ඇද්දා සේ පෙනි පෙනී දොහොත් මුදුන් දිදී සිට ගත්හ.