බුදුහු යමා මහ පෙළහර දැක්වීම

star_outline

එ කෙණෙහි ස්වාමිදරුවෝ පීත කසිණ සමාපත්තියට සමවැද සියලඟින් රස් කඳු හැර දසදහසක් සක්වළ අවීචිය පටන් භවාග්‍රය දක්වා පහන් ගබඩාවක් සේ ඒකාලෝක කෙරෙමින් “සියලු සත්හු දැන් සිත් සේ මා බලත්ව යි, ඔවුනොවුනු දු විශේෂයෙන් දකිත්ව”යි අධිෂ්ඨාන කළ සේක.

එ කෙණෙහි දෙවියෝ මනුෂ්‍යයන්ට පෙනෙති, මනුෂ්‍යයෝ දෙවියන්ට පෙනෙති, කුරුකුහුඹුවෝ මහබඹුන් දකිති, මහබඹු කුරුකුහුඹුවන් දකිති, බුදුහු සියලු සතුන්ට ම පෙනෙන සේක. සියලු දසදහසක් සක්වළ දශලක්‍ෂ සතිස්දහසක් නරකවල ගිනි නිවී පියුම් පිපී සිහිල් දියවිල් සේ විය. දසදහසක් සක්වළ සතළිස් දහසක් සමුද්‍රෙයහි සියලු ප්‍රාණීහු ම සිතියම ඇඳි මසුන් සේ කන්පත් වරල්පත් නො සොල්වා වැදහෙව බුදුසිරි බලන්නට පටන් ගත්හ.

එ කෙණෙහි ස්වාමිදරුවෝ එක චිත්තක්‍ෂණයෙහි ම තේජෝ ආපෝ කසිණ සමාපත්තියට සමවන් සේක. එකෙණෙහි නාභියෙන් මත්තෙහි තුන්ලෝ බබුළුවා මහ ගිනිකඳක් පැනනැංගා අධඃකායෙන් ආකාශ ගංගාව නික්මුණා සේ මහා ජලස්කන්‍ධෙයක් නික්මිණ. නැවත ගිනිකඳ නැගි පූර්වකායෙන් දියකඳ හෙයි, දියකඳ හුනු අධඃකායෙන් ගිනිකඳෙක් නැගෙයි. උකුණුවළ දිසාවෙන් දියකඳෙක් හෙයි, පෙරළී පිට දිසාවෙන් ගිනිකඳෙක් නැගෙයි, ශ්‍රී මුඛයෙන් දියකඳෙක් හෙයි, දකුණැසින් නාඹතල්කඳක් සා ගිනිකඳක් නැගෙයි. වම් ඇසින් නාඹ තල් කඳක් සා දියකඳෙක් හෙයි; නැවත වම්ඇසින් නාඹතල් කඳක් සා ගිනි කඳෙක් නැගෙයි, දකුණැසින් නාඹතල්කඳක් සා දියකඳෙක් හෙයි. දකුණු කන්සිදුරෙන් නාඹතල්කඳක් සා ගිනි කඳෙක් නැඟෙයි, වම් කන්සිදුරෙන් නාඹතල්කඳක් සා දියකඳෙක් හෙයි, නැවත ගිනි කඳු නැඟි තැනින් දියකඳ බස්සී, දියකඳ හුනු තෙනින් ගිනිකඳ නැඟෙයි. දකුණු දසරුයෙන් නාඹතල්කඳක් සා ගිනිකඳක් නැඟෙයි, මම්දසරුවන් නාඹතල්කඳක් සා දියකඳෙක් හෙයි, ගිනිකඳ නැඟී දසරුවෙන් දිය කඳ හෙයි, දියකඳ හුනු අතින් ගිනිකඳ නැඟෙයි.

නැවත දකුණු ශ්‍රීහස්තයෙන් නාඹතල්කඳක් සා ගිනිකඳක් නැඟෙයි. වම් ශ්‍රී හස්තයෙන් නාඹතල්කඳක් සා දියකඳෙක් හෙයි, ගිනිකඳු නැඟි අතින් දියකඳු හෙයි. දියකඳු හුනු අතින් ගිනිකඳ නැඟෙයි. නැවත දකුණු ශ්‍රී පාදයෙන් නාඹතල්කඳක් සා ගිනි කඳෙක් නැඟෙයි, වම් ශ්‍රී පාදයෙන් නාඹතල්කඳක් සා දියකඳ හෙයි, නැවත ගිනිකඳ නැගි පයින් කියකඳ හෙයි, දියකඳ හුනු පයින් ගිනිකඳ නැඟෙයි. නැවත එකි එකි ඇඟිලි අගින් නාඹ තල්කඳ සා විසි ගිනිකඳ නැඟෙයි, නැවත එම ඇඟිලි අගින් නාඹ තල්කඳ සා දියකඳ බස්සී. ඇඟිලි අසූ අස්සෙනුදු වෙන වෙන ම නාඹතල්කඳ සා ගිනිකඳ නැඟෙයි. නාඹතල්කඳ සා දියකඳ බස්සී. නවානූදහසක් ලෝමකූපයෙන් නවානූදහසක් ගිනිකඳ නැඟෙයි. නවානූ දහසක් දියකඳ බස්සි. නැවත හසුහසස්සෙනු දු එසේ එසේ ම ගිනිකඳ නැඟෙයි. දියකඳ බස්සී. මෙසේ හැඟෙන්නා වූ ගිනිකඳ දියකඳ හසුහස්සෙන් සවණක් බුදුරැස් නික්ම ඉන් ඊ වළඳිමින් ඉන් ඊ රැළි දෙවමින් කරකැවෙමින් මුළු සක්වළ මැඩ භව අග දක්වා නැඟෙයි. ගිනිකඳ දියකඳ භවඅග ගැසි ගැසී නැවත අවුත් සක්වළ ගල් මුවවිට ගැසී පරසක්වළ මැඩගෙන දිවෙයි. මෙසේ ම පැන නැඟී සවනක් රසුදු භවඅග ගැසි ගැසී නැවත බැස සක්වළ ගල් මුවවිට හී මුළු සක්වළ පුරාගෙන යන්ත්‍රනළින් මඩනා ස්වර්ණරසධාරා සේ මුළු සක්වල පුරා උතුරුවා දිවන්නේ ය. මෙසේ සත් රුවන් ගොණැස් උරවාලූ රුවන් කැණිමඬුල්ලක් සේ මුළු සක්වළ හෙබවූ සේක.

වෙන වෙන ම නීලපීතාදි සමවතට සමවදනා සේක. එක ක්‍ෂණයෙහි සමවත් දෙකකට සමවැදීමෙක් අවශේෂ වූ සෘද්ධිවන්තයන්ට අවිෂය ම ය. බුදුන්ගේ වනාහි බොහෝදවසක් වශීභූත කොට ආ හෙයින් භවාඞ්ගචිත්තය ඉතා සියුම් වන හෙයින් බුදුහු සමවත් දෙකක් සමවදිනා සේක. ක්‍ෂණ ක්‍ෂණයෙහි නොයෙක් සමවත් සමවදිනා සේක. එසේ හෙයින් මේ පෙළහර යමක යමක ව සමාපත්ති සමවැදීමෙන් බුදුන්ට ම ප්‍රතිහියත වූ යමා මහ පෙළහර නම් වීය. තුඩ නො හැර බණත් වදාරණ සේක. වදාරණ බණ තුන්ලෝ පුරා සිටි ඒ සා දිව්‍ය මනුෂ්‍ය සේනාවෙහි එකක් එකක්හුගේ සොළොස් සොළොස් ආකාරයක් බැගින් වෙන වෙන ම සිත් පරීක්‍ෂා කොට වදාරණ සේක.

මෙසේ තමන්වහන්සේගේ එක බුදුමහිමයට ම තුන්ලොව හෙලි කෙරෙමින්, පෙළහර පාමින් සිට එක ඇතකු නැංගා වූ නැවකට ඇතුන් දෙන්නකු නැඟුවා සේ අනික් බුදුකෙනකුන් මවා වදාළ සේක. දෙදෙනා වහන්සේ ම එක්වැනි වූ රූ ඇති සේක. එක් වැනි වූ කටහඬ ඇති සේක. එක්වැනි වූ පෙළහර ඇති සේක. එක් බුදුකෙනකුන් සක්මන් කරන කල එක් බුදුකෙනෙක් හිඳිනා සේක් හෝ ය සිටිනා සේක් හෝ ය. එක් බුදුකෙනකුන් විචාළ පැන එක් බුදුකෙනෙක් විසඳන සේක. එක් බුදුකෙනකුන් විසඳූ පැනයට එක් බුදුකෙනෙක් සාධුකාර දෙන සේක. මෙසේ ලොවට අද්භූත වූ යමා මහ පෙළහර දක්වා වදාරා දහම්වැසි වැස්වූ සමයෙහි විසිකෝටියක් සත්ත්‍වයෝ අමාමහ නිවන් දැක සංසාරසාගරයෙන් ගොඩනැගී නිවන් පුර මැද පීනා ගියහ.

මෙසේ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ එක යමා මහ පෙළහර පූජාවෙහි ම මා විසින් දක්වන ලද්දා වූ චන්‍දනපාත්‍ර ප්‍රාතිහාර්‍ය්‍යයෙහි ලදුවා වූ නොයෙක් පෙළහර පූජා ය. එම පිණ්ඩොල භාරද්වාජ මහතෙරුන්ගෙන් ලද සම්‍යක් ප්‍රතිපත්ති පූජා ය. රජගහ නුවර සිට සැවැත් නුවරට වඩනා දෑතුරෙහි සාරමසක් මුළුල්ලෙහි දවසින් දවස ලදුවා වූ සියලු සත්ත්‍වයන් විසින් කරන ලද එක්සිය විස්සක් පමණ දවස් පූජා ය. කොසොල් රජහු සත් දවසක් මුළුල්ලෙහි දවසින් දවස කළා වූ ධර්මභේරිමඞ්ගල්‍ය පූජා ය. ගණ්ඩම්බ නම් උද්‍යානපාලකයා තමාගේ බල පරිද්දෙන් කළ අම්බඵල දාන පූජා ය, අඹරුක පොළොව පළාපැන නැඟි වේලෙහි ලදුවා වූ අද්භූත වූ මගුල් පූජා ය, පෙළහර කරන වේලෙහි සෘද්ධිමත් වූ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සදෙනාගෙන් ලද අසාධාරණ වූ සිංහනාද ප්‍රාතිහාර්‍ය්‍ය ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත වූ අෂ්ටාදශ ප්‍රතිපත්ති පූජා ය, සක්දෙව් රජහුගෙන් ලද දිව්‍යමණ්ඩප පූජා ය, දෙතිස් පූර්වනිමිත්ත පූජා ය, දසදහසක් සක්වළ අනූදහසක් දිව්‍යරාජයන් කළ අනූදහසක් දිව්‍යරාජ පූජා ය, දසදහසක් සක්වළ අරූතළ අසංඥතලයන් හැර එක්ලක්‍ෂ පනස් දහසක් බ්‍රහ්මරාජයන් කළ එම තෙක් බ්‍රහ්මරාජ පූජා ය යි දෙලක්‍ෂ සතළිස් දහස් එක්සිය දෙයාසූවක් පමණ මහාපූජාවන් ලත් හෙයිනුත් සඞ්ඛ්‍යාපථයට අවිෂය වූ අප්‍රමාණ වූ පූජාවන් ලත් හෙයිනුත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනුත්, මේ මේ කාරණයෙනුදු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදි.

පූජාවිසෙසං සහපච්චයෙහි

යස්මා අයං අරහති ලොක නාථො

අත්‍ථානු රූපං අරහන්ති ලොකෙ

තස්මා ජිනො අරහති නාම මෙතං - යි.

මේ පූජාවලියෙහි අප බුදුන් ගණ්ඩම්බ නම් රුක්මුල දී ලද

යමක ප්‍රාතිහාර්‍ය්‍ය පූජා කථා නම් වූ තෙවිසි වන පරිච්ඡේදය නිමි.