ගණ්ඩබ්බ අඹ ගස

star_outline

එ වේලෙහි රජ්ජුරුවෝ කාරණ ගිවිස “ස්වාමීනි! කොයි දී ද ප්‍රාතිහාර්‍ය්‍ය පානේ දැ”යි විචාළහ. මහරජ! අනන්තාපරියන්ත වූ බුදුන් යමාමහ පෙළහර පෑවා සේ සැවැත් නුවර දී වේ දැ යි වදාළ සේක. කෙසේ වූ තැනෙක දී ද ස්වාමීනි යි විචාළහ. මහරජ! ගණ්ඩම්බ නම් වෘක්‍ෂමූලයෙක දී ය යි වදාළ සේක. කවර කල ද පෙළහර පානේ ය යි විචාළහ. මෙයින් සාරමසක් ගිය කල ඇසළ මැදිපොහෝ ලද උත්‍රසළ නැකතිනැ යි වදාළ සේක.

එ වේලෙහි රජ්ජුරුවෝ “ස්වාමීනි! මා විසින් කළමනා කිම් දැ”යි විචාළහ. මහරජ! මනුෂ්‍යයන් විසින් කළමනා දෙයක් නැත. මාගේ පාරමිතා බලයෙන් අඹගසෙකුත් මැවෙයි, ශක්‍රදේවේන්‍ද්‍රයා දොළොස් යොදුන් නිලුපුල්මණ්ඩපයකුත් මවා දෙයි. තොප විසින් කළමනා දෙයක් නැත. බුද්ධෝත්පාදයෙහි උපන් පින්වතුන් ලබන්නා වූ බුද්ධ ශ්‍රී මහිමය සිත් සේ ලැබ ගනුව යි වදාළ සේක. එ වේලෙහි රජ්ජුරුවෝ බුදුන් වැඳ රජගෙට ගියහ.

බුදුන් “පෙළහර පාමි”යි වදාළ බස් මුළුනුවර සැලව ගිය. එ කල සම්‍යග් දෘෂ්ටි ගතුවෝ උත්සවයට පටන් ගත්හ. තීර්ථකයෝ එ තෙපුල් අසා ලෙන් නැඟි ගින්නෙන් සුසුම් ලලා ඔවුනොවුන් මුහුණ බලා “කොල! එතෙකින් අපි නටුම්හ. මහණ භවත් ගෞතමයෝ පෙළහර නො පවති යි සිතා බොහෝ බස් දොඩාපීම්හ. දැන් ඔහු පෙළහර පවිත් ල. ඔවුන්ගේ ශික්‍ෂාපද ශ්‍රාවකයන්ට මුත් ඔවුන්ට නැත් ල. මේ සාරමස වී නමුත් අඩුවක් නො පෑ රැකී යම්හ. සොරහු පවා උලට නඟන තෙක් එක බස ම සිටිනාහු ය යි යන ව්‍යවහාරයෙහි සේ ම හැමදෙන ම තව අඩුවක් නො හඟවම්හ”යි මන්ත්‍රණය කොට නුවර මැද සිට “මහණ භවත් ගෞතමයෝ මායම් දන්නා කෙනෙක; තුමූ මේ නුවරදී පෙළහර නො පවිත්ල, අනික් නුවරක දී පෙළහර පවිත් ල. උන් කියන්නේ මායම් ම ය; අප හැම බා අනික් අතෙක සැඟවී පලායන මායමක් කරන සැටිය, එසේ උන් පලා යා නො දෙම්හ. මේ සාර මස අපි දු අන් පිට රකවල් කරම්හ”යි කිය කියා වෙහෙර දොරකඩ රැස් වූහ.

එ සඳ ස්වාමිදරුවෝ තරු පිරිවැරූ සඳක් සේ වෙහෙරින් නික් ම, දනවු සැරිසරා ලෝවැඩ කොට කොට ගමින් ගම සැතපි සැතපී ගමින් ගම වළඳ වළඳා ගමින් ගම දහම් වහරේ වස්ව වස්වා වඩනට පටන් ගත් සේක.

එ කල බුදුහු පෙළහර පානට නුවරින් නික්මුණු සේකැ යි මුඛපරම්පරාවෙන් දෙවියන්ගේ ආනුභාවයෙන් අසා දඹදිව ශ්‍රද්ධාවන්ත වූ ස්ත්‍රී පුරුෂයෝ “අපි අපි දු එ පෙළහර බලම්හ”යි උපන් සන්තෝෂයෙන් ගව මහිෂාදි සියලු සම්පත්තියෙහි ලෝභය නො කොට කිරි බොන දරුවන් දක්වා වඩාගෙන සම්පත්තින් පිරුණා වූ ගෙවල දොර පතු හයා බැඳ, නො එක් නො එක් ගම් හිස් කොට ධජ පතාකාදි නො එක් පූජාභාණ්ඩ ගෙන ස්වාමිදරුවන් ලැගි ගමන් ගමට හඬ හඬා ලුහුබැඳ රළපෙළ දිවන්නා සේ දවසින් දවස බුදුන්ට මහ පූජා කෙරෙමින් නික්මුණාහ.